අනුන්ගෙ දේවල් 

නිපුනි නිහඬවම කාර්‍යාලයට ඇතුල් වෙනකොට කීප දෙනෙක්ම ඇය දිහා බැලුවේ ඇගේ මූණේ තිබුන කලු වලාවන් දැකලා.වෙනදට හිනාවෙන් මූණ පුරෝගෙන එන නිපුනිගේ මේ වෙනස කාටවත් හිතා ගන්න බැරිවුනා

” ඇයි නිපුනි ? ” 

කවුරුත් අහපු ඒ ප්‍රශ්නෙට නිපුනි දුන්නේ එක උත්තරයි

” ඔලුව රිදෙනවා ” 

ඒත් නිපුනිගෙ වෙනසට ඇත්තම හේතුව ඒක නෙමෙයි කියලා තේරුම් ගන්න හැමෝටම පුලුවන් වුනා

” නිපුනි අයන්ත එක්ක බ්‍රේකප් වෙලා ලු ” 

පහුවදා ඒ ආරංචිය අරගෙන ආවේ මේනකා. ඕන කෙනෙකුගේ දෙයක් හරි ඉක්මනින් හොයාගන්න පුළුවන් උනන්දුවක් ඇයට තිබුණා. 

” ඔයා කොහොමද දන්නේ ? ” 

චානක මේනකා දිහාට හැරුනා.

” දැනගන්න විදි ද අනේ නැත්තේ ? ” 

මේනකා කියන්නේ ජයග්‍රාහි විලාසයෙන්

” නිපුනි යාලුවෙලා හිටපු අයන්ත වැඩ කරන ඔෆිස් එකේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා තමයි මට කිව්වේ. ඇත්තටම එයා මට කිව්වේ නෑ. මම නිකන් හිතිලා එයාගෙන් ඇහුවා ” 

මේනකාගේ හඬේ අනුකම්පාවක් ගෑවිලා වත් තිබුණේ නැති උනත් නිපුනිගේ ආදර කතාව බිඳ වැටුන එක ගැන හැමෝටම වගේ දැනුනේ දුකක්

නිපුනි කාර්යාලයට ඇතුළු වුණේ ඔය අතරෙදි.

” good morning නිපුනි ” 

මේනකා කිව්වේ ප්‍රබෝධයෙන් 

” good morning මේනකා ” 

මද හිනාවකින් උත්තර දීපු නිපුනි ඇගේ ආසනයට ගියා. මේනකා ඇය ළඟට ගියේ ඒ එක්කමයි.

” ඔයා එක්ක හරියට කතා කරන්නත් බැරි උනා අනේ ගොඩක් දවසකින්. මේ ටිකේ අපි හැමෝටම වැඩ වැඩියි නේ. ඉතින් ? ලඟදි අයන්ත එක්ක කොහේවත් ගියේ එහෙම නැද්ද ?  ” 

මේනකා ඇඟට පතට නොදැනී එහෙම අහනකොට නිපුනිට වඩා පුදුම වුණේ අනිත් අය. ඒ වගේම නිපුනිගේ මූණත් බලාගෙන ඉද්දි වෙනස් වෙනවා හැමෝම දැක්කා.

” න්.. නෑ .එයා ටිකක් බිසි ” 

නිපුනි උත්තර දුන්නේ උගුරෙන් පිට වෙන්න හදන ඉකිය අමාරුවෙන් නවත්ත ගන්න හදන ගමන්.

” ෆේස්බුක් එකේ ෆොටෝ එකක්වත් දැක්කේ නෑ. ඒකයි මං ඇහුවේ ” 

මේනකා පිට පනින්න හදන සමච්චල් සහගත  හිනාව නතර කරගෙන ඇගේ ආසනයට ගියා. තවත් මිනිත්තු කිහිපයක් එතනම ගල් වෙලා හිටපු නිපුනි පුටුවෙන් නැගිටලා වේගයෙන් කාර්යාල කාමරයෙන් එළියට යන හැටි කාටත් දැක ගන්න පුළුවන් වුණා

” ඒ වැඩේ නම් හරිම නරකයි මේනකා ” 

මුලින්ම හඬ අවදි කළේ හංසි

” ඔයාට අයන්ත ගැන අහන්නේ නැතිව ඉන්න තිබුණා. ඇත්තටම ඔයා කලේ වැරදි වැඩක් ” 

චානකත් කතාවට එකතු වුණා 

” ඇයි ? මොකක්ද වැරැද්ද ? ” 

” මනුස්සයෙක්ට කරදරයක් වුණාම ඒ වගේ විහිලුවට ගන්න එක හොඳ නෑ ” 

හංසිගෙ කතාවට හැමෝම එකඟ වුණා

” මොකක්ද එයාට වෙච්ච කරදරේ ? ඒක එයා ගිහින් දාගත්ත එකක්නෙ ? මතක නැද්ද ඒ දවස්වල තිබුණු පම්පෝරිය. ලෝකෙ ඉන්න හොඳම මනුස්සය ලැබුණා වගේ නේ එයා උඩ පැන්නේ.  ” 

තමන් කරපු දේ සාධාරණීකරණය කරන්න මේනකා උත්සාහ කරා

” ඉබේ වෙච්ච එකක් හරි , විහින් දාගත්ත එකක් හරි ඒක එයාගේ පෞද්ගලික දෙයක්. ඒක ප්‍රශ්න කරන්න අපි කාටවත් අයිතියක් නෑ මේනකා ” 

හංසි ආයෙමත් කිව්වා 

” යාළු වුණ කාලෙට අපිටත් හිතෙනව අපිට හම්බ උනේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයා කියලා. කාලයක් යනකොටනේ හැමදේම තේරෙන්න පටන් ගන්නේ ” 

බොර පාට වෙච්ච ඇස් දෙක හංගගෙන නිපුනි ආපහු එනකොට ඇයට කියන්නේ මොනාද කියලා කාටවත්ම හිතාගන්න බැරි වුණා. 

කෑම පැයෙදි හැමෝම එලියට යනකොට නිපුනි විතරක් පරිගණක තිරයට මුහුණ යොමාගෙන වෙන කල්පනාවක හිටියා. එළියට යන්න ගියපු හංසි ආයෙම හැරුණේ නිපුනි එක්ක කතා කරන්න ලැබෙන හොඳම වෙලාව ඒක කියලා හිතාගෙන.

” අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්නැති මිනිස්සු කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා නිපුනි ” 

හංසි නිපුනිගේ කරට අතක් දාගත්තා. නිපුනි හංසි දිහාවට හැරුණේ පුදුමයෙන් වගේ.

” මං අවුරුදු පහක් ආදරේ කරපු මනුස්සයා මාව දාලා ගියේ එයාගේ වෙඩින් එකත් කියලමයි. එයා මාව දාලා ගියපු තැන මම නැවතිලා හිටිය නං මම තාමත් එතන “

නිපුනි ඇස් දෙකෙන් ගිලිහෙන කඳුළු වලට ඉඩ දීලා හංසිට ඇහුම්කන් දුන්නා.

” හැම මනුස්සයාම අපිට තියෙන ප්‍රශ්න ගැන දුක් වෙන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ ඒ ප්‍රශ්න රසවිඳින එක. විශේෂයෙන්ම මේනකා වගේ අය. ඒ වගේ මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා ” 

හංසි කිව්වේ කරුණාවෙන්

” ඒ වගේ මිනිස්සු ගැන අහලා තිබුණට දැක්කේ අදයි ” 

නිපුනි උත්තර දුන්නේ දොර දිහා බලන ගමන්. හංසි එක්ක තවත් ටිකක් වෙලා කතා කරපු නිපුනි ඊළඟ මොහොතේ ඉඳලා සාමාන්‍ය විදියට ඇගේ වැඩ කරගෙන යන්න උත්සාහ කරා.

” නිපුනිට තව කොල්ලෙක් සෙට් වෙලාද මන්දා ” 

සතියක් දෙකක් ගත වුණාට පස්සෙ නිපුනිගේ ප්‍රශ්න කාටත් අමතක වෙයි කියල හිතුවට මේනකාට නම් එහෙම වෙලා තිබුණෙ නැහැ

” ඇයි ඔයා එහෙම කියන්නේ ? ඔයා මොන හරි දැක්කද ? ” 

එහෙම ඇහුවේ චානක 

” නෑ අනේ. පේන්නේ නැද්ද , නිපුනි ඉස්සර වගේ ලස්සනට අඳින්න පටන් අරගෙන නේ. දුකක් ගෑවිලාවත් නෑ මූණේ. ෂුවර් එකටම අලුත් එකක් සෙට් වෙලා ඇති ” 

මේනකා කිව්වේ සමච්චල් සහගත විදිහට

” කටේ දිවේ නොගෑවී තම කෙල්ලෙකුට පදයක් හදන්න ඔයාට පුලුවන් උනේ කොහොමද මේනකා ? ” 

හංසි මේනකා දිහාවට හැරුනේ කෝපයෙන් පුපුරමින්

” ඔයාට මොකද ඩෝං ගිහිල්ලා ? ” 

” මට ඩෝං ගියේ නිපුනිත් මං වගේම අහිංසක කෙල්ලෙක් නිසා. ඔයා කිසිම හේතුවක් නැතුව ඒ ළමයට පද හදන නිසා ” 

” කවුද එයාට පද හැදුවේ ? මම කිව්වේ ඉතින් දැක්ක දේ ” 

” දකින දකින හැම දේම කියවන්න එපා. මොකද ඇහැට දකින හැමදේම ඇත්ත නෙමෙයිනේ. මිනිස්සුන්ට වරදිනවා තමයි. හැබැයි එහෙම කියලා එයාලා හැමදාම දුකෙන් ඉන්න ඕනේ කියලා නීතියක් නෑ නේ . එයාලටත් පුළුවන් ජීවිතේ අලුතෙන් හදාගන්න. ජීවිතේ ඉස්සරහට යන්න. හැබැයි ඔයා වගේ මිනිස්සු ඉන්නකම් ඒක ටිකක් අමාරුයි ” 

හංසි එක එල්ලේම මේනකා දිහා බලාගෙන ඒ වචන ටික කියනකොට මේනකාට දැනුනේ ලැජ්ජාවක්.

” තව කෙනෙකුට දෙයක් කරන්න කියන්න කලින් හිතන්න , ඒක තමන්ට වුනොත් කොහොම දැනෙයිද කියලා ” 

එහෙම කියපු හංසි දොරෙන් ඇතුල් උන නිපුනිට ලස්සන හිනාවක් පෑවේ කිසිම දෙයක් නොවුන ගානට.

More Stories

Don't Miss


Latest Articles