හැමදාම සතුටින් ඉන්න නම් ජීවිතේට එකතු කර ගත යුතුම පුරුදු 8 ක්

අපේ ජීවිතය අපි අර්ථාන්විතව ගත කරනවා නම් තමයි අපිට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ.දවසේ පැය විසි හතර නිසි විදියට සැලසුම් කරගෙන , එදිනෙදා වැඩ කළමනාකරණය කරගෙන සිදු කරනවා නම් දවස අවසානයේදි තෘප්තිමත් හිතකින් නින්දට යන්න ඔබට පුලුවන්.ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කරගෙන සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඔබ ඇති කරගන්න ඕන පුරුදු මොනවද ? ඒ ගැන මෙර් ලිපියෙන් කතා කරමු

දේවල් පිළිවෙලට තබාගන්න

ඔබ නිතරම ඔබේ දේවල් පිළිවෙලට තබාගන්න උනන්දු වෙන්න.ඇඳ අස් කිරීම ,ඔබ වැඩ කරන මේසය පිළිවෙලට තබා ගැනීම ,පොත් රාක්කය පිළිවෙලට තබා ගැනීම ආදී දේවල් වලින් ඔබට මේ සඳහා හුරු වෙන්න පුලුවන්
අපිළිවෙල වූ ඇඳක නින්දට යනවාට වැඩිය පිළිවෙලට සකස් කල ඇඳක නින්දට යාම ඔබේ මනසට වඩාත් සුවයක් ගෙන දෙනවා.ඒ වගේම උදෑසනම අපිලිවෙල වූ පිරිසිදු නොකල මුලුතැන්ගෙයක ආහාර පිසින්නට පටන් ගන්නවාට වඩා හොඳින් පිරිසිදු කල මුලුතැන්ගෙයක වැඩ ආරම්භ කිරීමත් ඔබට දවස පුරාම ඉතා හොඳ මානසිකත්වයක් පවත්වා ගැනීමට උපකාරි වෙනවා.ඒ නිසා නිතරම ඔබ පාවිච්චි කරන ස්ථාන , දේවල් පිළිවෙලට තබා ගැනීම පුරුද්දක් කරගන්න

ඔබේ මුදල් හොඳින් කළමනාකරණය කරගන්න

සාර්ථක පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ මුදල් හොඳින් කළමනාකරණය කරගන්නවා.අනවශ්‍ය වියදම් වලින් ඈත්වී ඉතිරි කිරීම වගේම එදිනෙදා වියදම් කරනුයේ කුමන දේවල් සඳහාද යන්න සැලකිලිමත් වීම ඉතාම වැදගත්.ඒ නිසා දිනපතාම ඔබේ වියදම් ගැන පරික්ශා කිරීම පුරුද්දක් කරගන්න.ඒ වගේම ඉතිරී කිරීම සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වාගෙන යාමත් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත

සජලීයව සිටින්න

දවස තුල ඔබ කොතරම් කාර්‍යබහුල උනත් අනිවාර්යයෙන්ම හොඳින් වතුර පානය කරන්න.එය ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා ගුණදායක වනවා වගේම අනවශ්‍ය ලෙස ඔබ ආහාර ගැනීමත් වළක්වනවා.දිනකට වතුර වීදුරු අටක් වත් පානය කිරීමට උනන්දු වන්න.

ඔබේ දවස සැලසුම් කරන්න

සාර්ථක පුද්ගලයන් කිසිවිටකත් දවසේ එක විනාඩියක් වත් අපතේ යවන්නේ නෑ. ඔබට දවස තුල කිරීමට මොනතරම් කාර්‍ය්යන් තිබුනත් ඔබ ඒවා පිළිවෙලට සැලසුම් කරගන්නවා නම් ඔබේ මනසට අනවශ්‍ය පීඩනයක් දරන්නට සිදුවන්නේ නෑ.එම නිසා කාල සටහනක් හෝ වැඩ සැලසුම් කිරීම සඳහා සටහනක් පවත්වාගෙන යාම ඔබට වඩාත් පහසු වනු ඇත.එම නිසා දිනපතා රාත්‍රියේදි ඔබට පසු දින නියමිතව ඇති වැඩ සැලසුම් සටහන් කරගෙන නින්දට යාම පුරුද්දක් කරගන්න

ඔබේ පවුලට මුල් තැන දෙන්න

මෙය ජීවිතය සාර්ථක කරගැනීමට බලපාන ඉතාමත් වැදගත් සාධකයක්. ඔබ මොන තරම් ඉහල රැකියාවක යෙදුනත් , මොන තරම් කාර්‍යබහුල පුද්ගලයෙක් උනත් ඔබේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්න එපා.ඒ වගේම ඔබේ රැකියා ස්ථානයේ ගැටලු සහ රැකියාවට අදාල වැඩ කටයුතු කිසිම විටක ඔබේ නිවසට ගෙන එන්නත් එපා. ඔබේ පවුලේ අය , දරුවන් සමග ගත කරන කාලය තුළ ඔවුන්ට වඩාත් ආදරය සහ රැකවරණය ලබා දෙන්න

උදෑසනම අවදි වන්න

මෙය සාර්ථක පුද්ගලයෙක් තුල දක්නට ලැබෙන ඉතා හොඳ ලක්ශණයක්.උදෑසනින් අවදි වීම ඔබට දීර්ඝ දවසක් උදා කර දෙනවා වගේම සාර්ථක දවසක් ගත කරන්න සූදානම් වෙන්න ඔබට කාලය ලබා දෙනවා.මේ කාලය තුළ ව්‍යායාම කිරීම ,ඇවිදීම වැනි ක්‍රියාකාරකම් වල යෙදි ඔබේ දවස ප්‍රබෝධමත් කරගන්න ඔබට පුලුවන් .ඒ වගේම අලුයම් කාලය කියන්නේ ඔබේ මනස සැහැල්ලු කරගැනීමටත් හොඳම වේලාවක්

පසු දින සඳහා සූදානම් වන්න

ඔබ රැකියාවට යන කාන්තාවක් නම් ඔබේ උදෑසන කාලය අනිවාර්යයෙන්ම අතිශය කාර්‍යබහුල එකක් බවට කිසිම සැකයක් නෑ. ඒ නිසා පසුදින සඳහා රාත්‍රියේදීම සූදානම් වීම ඔබේ කාලය ඉතිරි කරනවා වගේම උදෑසනම ඔබට කලබලයෙන් එහා මෙහා දුවන්නට අවශ්‍ය වෙන්නෙත් නෑ.ආහාර පිසීම සඳහා අවශ්‍ය දෑ සූදානම් කර තැබීම , ඇඳුම් සූදානම් කර තැබීම ආදී සුලු දේවල් වලින් ඔබට පසු දින සඳහා පෙර සූදානමක් ලබා ගන්න පුලුවන්

විවේකය

ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට වෙහෙස වී වැඩ කරනවා වගේම විවේකයක් ලබා ගැනීමත් අනිවාර්යයෙන්ම කල යුතුයි. දිගින් දිගටම වෙහෙස වී වැඩ කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් නොවන නිසා ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කාලයක් වෙන් කරගන්න. චිත්‍රපට නැරඹීම , පොත් කියවීම, රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට යාම, මිතුරන් සඳහා කෝපි පානයට යාම හෝ සාප්පු සවාරියක් යාම ඔබට කරන්නට පුලුවන්

ඔබේ ජීවිතයේ සාර්ථකත්වය රදා පවතින්නේ ඔබ අතේයි.ඔබ ජීවත් වන ආකාරය අනුව ඔබ සාර්ථක පුද්ගලයෙක්ද නැද්ද යන්න තීරණය වනවා. ඉතින් සෑම දිනක්ම ඔබට සහ ඔබේ පවුලේ අයට ප්‍රයෝජනවත් වන ආකාරයට ගත කිරීම සඳහා ඔබට මෙන්න මේ ක්‍රම අනුගමනය කර බලන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles