හිමගිරි අරණ -28

“පුතු,තාත්තිට එන්න වෙන්නේ නෑ හොඳේ”

මහත් උද්‍යෝගයක් සහිතව උපන්දින සාදයට සැරසෙමින් සිටි කුඩා දිනාරා කලබලයට පත් වූයේ අම්මාගේ ඒ වචන වලට ය.තාත්තා කියන්නේ ඉඳහිට දකින චරිතයක් වූව ද අද ඇයට තාත්තා ඕනෑම බව සිතුණු දවසකි.ඇගේ පෙරපාසල් මිතුරු මිතුරියන් උපන් දින කේක් කපන්නේ අම්මාටත් තාත්තාටත් මැදිව ය.ඇයට ද තාත්තා ඕනෑ ඒ නිසා ය.

“මට තාත්තා ඕනෑ.”

මහා හයියෙන් හඬන්නට කුඩා දැරියට සිත් විය.එහෙත් ඇය බොහෝ ආශාවෙන් බලා සිටි සාදය ද සූදානම් ය.කේක් කපන්නට ද තිබේ.තාත්තා නැති වේදනාවෙන් පෙළෙමින් සිටිය ද ඇයට ඒ අවස්ථා අහිමි කරගන්නට ද සිතක් නොවේ.දිනාරා සිහින් ඉකියක් නඟමින් ඇඳ මත හිඳ ගත්තා ය.

“පුතේ,මල්මි ආන්ටි ඔයාට චූටි නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්නනෙ ඉන්නෙ.ආන්ටි ඒ නිසා අසනීප වෙනවා.එතකොට ඔයාගේ තාත්තා ආන්ටි ළඟ ඉන්න ඕන.”

තේරුම් කරන්නට අපහසු තරමේ ගැඹුරක් ඇති කතාවක් හිමාෂා සරල වචනවලින් තේරුම් කර දෙන්නට උත්සාහ ගත්තා ය.සමහර කතා විස්තර කරන්නට වචන සොයා ගන්නට අසීරු බව ඇය දනියි.තමන්ගේ තාත්තා තවත් පවුලක් සමඟ බෙදා ගැනීමේ පාඩම දියණියට පහසුවෙන් ඉගැන්විය නොහැකි බව දන්නා නිසාම ඇය අසරණව ගියා ය.නමුත් අසරණව බලා හිඳීම ද ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.

“ඔයාට තාත්තා ගිෆ්ට් එවලා මේ..”

සහන්ගෙන් ලැබෙන ටොෆියක තරමේ දෙයක්වත් දියණියට දෙන්නට අකමැති වුව ද අමායා ඔහු එවා තිබූ ත්‍යාග පාර්සල වෙත දිනාරා රැගෙන ගියා ය.ඒවා එකින් එක විවර කර බලා දිනාරා පුංචි දෙස බැලුවේ නොපහන් බැල්මකිනි.

“ඩෝල් කෙනෙක් නෑනෙ”

විශාල ප්‍රමාණයේ ටෙඩි බෙයා එහෙමම බිමට අත් හැර දැමූ දැරියගේ කටහඬ පැමිණිලි කරවන සුළු ය.ඇය උපන්දිනයට රෙදි බෝනික්කෙකු ඉල්ලා සහන්ට ඇමතුම් විශාල ප්‍රමාණයක් දුන් බව අමායාට සිහි විණ.නමුත් ඒ තාත්තා මිලට ගෙන ඇත්තේ මිලාධික ත්‍යාග මිස දියණියට අවශ්‍ය දේ නොවේ.

“මමත් ගත්තේ ඒ ජාතියේ බෝනික්කෙක් නෙවෙයි අක්කා.සහන් අයියා ගෙනෙයි කියලනෙ හිතුවේ”

අමායා එසේ පැවසුවේ වේදනාවෙනි.ඒ වේදනාත්මක කතාබහ පසෙකට වී අසුන්ගෙන හුන් රවිඳුට ඇසුණේ අහම්බයකිනි.ඔහු වහා දැරිය වෙත ආවේ ය.

“මේ පාර්සල් එකේ තියෙන්නේ බෝනික්කෙක්.”

කුඩා දිනාරාගේ මුහුණ සඳ එළිය තරමට පැහැපත් විය.ඇය වහවහා පාර්සලය විවර කරන්නට වූවා ය.

“තාම කේක් කපලත් නෑ.අංකල් දැන්මම තෑගි දෙනවා.”

පාරමී වහා එතැනට ආවා ය.ඇයට හිමාෂා ගැන ගැටළුවක් නොවේ.එහෙත් සිහින් අත් පටි දෙකක් යෙදී සුන්දර ගවොමක් ඇඳ සිටින අමායා ගැන බියක් දැනේ.අමායා තරුණයෙකු හදවත පැහැර ගන්නට සමත් රුවකින් යුතු යෞවනියකි.ඇයට ප්‍රේමවන්තයෙකු සිටින කතාවක් හිමාෂා කියා තිබුණ ද ඒ ගැන විශ්වාසයක් නැතිකම හන්දාම එතැනට වහා එන්නට පාරමී තීරණය කළා ය.

“බබාගේ බෝනික්කා.”

දිනාරා බෝනික්කා වැළඳ ගත්තේ මල් දහසක් පිපි මුහුණකිනි.අමායා අක්කා දෙස සැනසුම පිරි බැල්මක් හෙළද්දී හිමාෂා කෘතඥපූර්වක දෑසකින් රවිඳු දෙස බලා සිටියා ය.රවිඳුගේ දෑස් යොමුව තිබුණේ දියණියට ය.ඇගේ බලාපොරොත්තු කඩවන්නට නොදී සිටීමට හැකිවීම ගැන ඔහුට තදබල සහනයක් දැනිණ.බලාපොරොත්තු අහිමිව යාම වැඩුණු මිනිසෙකු වී දරා ගන්නට තමන්ට පවා අපහසුව තිබියදී කුඩාවෙකුට එය කොහොමටවත් අපහසු බව ඔහු සිතී ය.

“තෑන්කූ අංකල්.”

දිනාරා රවිඳුව වැළඳ ගත්තේ හදිසියේ ය.බොහෝ කාලයක් බලා සිටි බලාපොරොත්තුවක් ඉටුවීමේ සතුටින් දිදුලන ඇගේ දෑස් දෙස බැලූ රවිඳු කුඩා දැරියගේ හිස් මුදුන සිප ගත්තේ ය.අයියාගේ කුඩා පුතු වෙතින් වහනය වන මුදු සුවඳට සමාන සුවඳක් ඇති දැරිය වෙනුවෙන් හදවතෙහි ආදරය පිටාර ගලන අන්දම ඔහු දරා සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles