ඉඳුදුන්න -42

ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා වූවද ඔහු ඉවසුවේ ය.පළමුවැනි කාරණාව ඇය දැන් මවක් වන්නට සූදානමින් හිඳින්නියකි.අනිත් කාරණාව ඒ ඔහු පෙම් කළ තරුණිය ය. ආදරය කළ ගැහැනියකට අත උස්සා පහර දෙන්නට ඔහුට සිතුණේ නැත.නමුත් මේ තමා අත ඇති වරදක් හෝ තමාට සිදු වූ අතපසුවීමක් නොවන බවට ඔහුට ඉඳුරාම පැහැදිලි ය.ඉඳුවර බිත්තියකට පහරක් එල්ල කරේ කෝපය දරා ගත නොහැකි තැන ය.

“මල්ලි,ඉඳුවර..මේ අපි ඉන්නෙ ගෙදර නෙවෙයි.සෙලිබ්‍ර්ටිලා හැටියට ගෙදර බෙඩ් රූම් එකේ ඇරෙන්න අනිත් ඕනම තැනක අපි ඉන්න ඕන පරිස්සමින්.මොකද අපි අවුල් වෙන තැන්, අපිට හිනා වෙන්න පුලුවන් තැන් වීඩියෝ කරලා ෆේස්බුක්, යූටියුබ් දාන්න බලන් ඉන්න උන් තමයි වැඩි.”

රනුක ඔහු පාලනය කර ගත්තේ එසේ කියමිනි.

“අනික ඔයාගෙ අෆෙයා එක ෆේමස් වුණු එකක් නෙවේනෙ.ඔයාගෙන් ඕක ගැන අහන ඕනෑම වෙලාවක එහෙම ගොසිප් එකක් ගියාට මං ඩෝන්ට් කෙයා හිටියෙ තරිඳි කියන්නෙ යාලුවෙක් විතරයි හින්දා කියල බය නැතුව කියන්න.”

ෂමාලි උපදෙස් දුන්නේ කරුණාවෙනි.නමුත් ඉඳුවරට ලැජ්ජාවට වඩා ප්‍රබලව දැනුණේ තමන් රැවටුණු වේදනාව ය.

“ඉඳුවරත් තරිඳිත් අතර සම්බන්ධයක් තිබුණු කතාව මම දන්නව.තරිඳිට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු ටික කරන්නවත් ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්නවත් ගැටලුවක් වෙන්නේ නෑ මේ ඇති වෙලා තියෙන ප්‍රස්නෙ ඇති වුණේ ඔයාලගෙ සම්බන්ධෙ හින්දා නම්..නමුත් එහෙම නෙවෙයිනෙ.”

නාලිකා ප්‍රධානි වික්‍රමබාහු මහතා ඉඳුවර සමඟ පැවසී ය.ඉඳුවර කිසිත් නොකියා අසාගෙන සිටියේ ය.

“තරිඳිට ඔය ඇති වෙලා තියන තත්වෙම ඩ්‍රාමා එකට හරවන්න කියලා මට ස්ක්‍රිප්ට් රයිටර්ට උපදෙස් දෙන්න එහෙම තිබ්බ..”

වික්‍රමබාහු එසේ කියා මඳ සිනාවක් හෙළී ය.සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇති මේ මිනිසා දෙස ඉඳුවර බලා සිටියේ ය.

“ඒත් ඉඳුවරයි මට වටින්නෙ.ඉඳුවරගේ පාර තමයි පැහැදිලි.අවංක වෙලා ඇත්ත කියනවනම්, මට ඉඳුවරව තමයි මාකට් කරන්න පුලුවන්..”

වික්‍රමබාහු පැමිණ ඉඳුවරගේ උරහිසකට තට්ටු කළේ ය.ඉඳුවර ගල් ගැසී ඔහේ බලා සිටියේ ය.පුටුවෙහි කැරකෙමින් බොහෝ වෙලාවක් සිටි වික්‍රමබාහු දුරකථන ඇමතුමක් ගත්තේ ය.

“කොහොමද තේමිය..”

තේමිය, ප්‍රසිද්ධ අවකාශවල එතරම් නොරැඳෙන එහෙත් අතිමහත් ප්‍රේක්ෂක ජනාදරයක් ඇති තරුණ නළුවාගේ රුව ඉඳුවරට වහා සිහියට නැඟිණ.කේසරගේ චරිතය සහ ඔහු සසඳමින් සමාජ ජාලා වල පළවෙන විසිළු කතාන්දර ද ඔහුට සිහි විණ.ඒ අතර ඉක්මන් හමුවකට තේමිය කැඳවමින් වික්‍රමබාහු ඇමතුම නිමා කළේ ය.

“මේ අවුරුද්දේ පොපියුලර් ඇක්ටර් වෙන්නෙ කොහොමත් ඔයානෙ ඉඳුවර..”

අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සිහි වුවද ඉඳුවරට එය සිහිනයක් බඳු කතාවකි.

“මේ පාරත් බෙස්ට් ඇක්ටර් වෙන්නෙ තේමිය.කොල්ලා අර හාමුදුරුවන්ගෙ කැරැක්ටර් එක මරුවටම කරා.වෙන චැනල් එකක වුණත් හොඳ දේ ඉතින් හොඳයි..”

වික්‍රමබාහු පැමිණ ඉඳුවරගේ ළඟින් මේසය මත හිඳ ගත්තේ ය.අකම්පිතව වහවහා ගැටලුවලට විසඳුම් හොයන ඔහු ගැන ඉඳුවරට පුදුමයක් ද උපදී.

“කිඩ්ස් ස්ටාර් එකේ අලුත් ප්‍රසන්ටර් තේමිය කියලා අද රෑ ඉඳන්ම ප්‍රමෝෂන්ස් පටන් ගන්නව..තරිඳි ඒ වැඩෙන් එළියේ.ඒකට හේතු දෙකක් තියනව ඉඳුවර..”

ඉඳුවර ඒ හේතු දෙක අසා සිටියේ ය.

“එක,පොපියුලර් මනුස්සයා ජජ් බෝඩ් එකේ ඉන්නකොට බෙස්ට් ඇක්ටර් මෙතන ප්‍රසන්ටර්.දෙක, තේමියගෙයි රවීෂාගෙයි වෙඩින් එකට සද්ද බද්ද නැතුව හැමදේම ලෑස්ති වෙන ගමන් තියෙන්නෙ..”

රවීෂා යනු සහස්ගේ පළමු බිරිඳ ය.තරිඳි සහස්ට දාව දරුවෙකු පිළිසිඳගෙන ඇතැයි දන්වා පැයක් ගෙවෙන්නට මත්තෙන් ඇයට සියල්ල අහිමි වන්නට පටන් ගෙන ය.මේවා සිදුවන අන්දම ගැන ඉඳුවර බලා හුන්නේ පුදුමයෙනි.

“මලිත්,ඩ්‍රාමා එක ඉක්මනින් වෙනස් වෙන්න ඕන.තරිඳිගෙ කැරැක්ටර් එක මොකක්ද? මට නම මතක නෑ..අන්න හරි එයා.එයා කේසරට ලෙටර් එකක් ලියල ලංකාවෙන් යන්න යනව.අන්න එහෙම කතාව වෙනස් කරන්න.මොකද තරිඳි තවදුරටත් ඩ්‍රාමා එකේ නෑ..”

ඉඳුවර ප්‍රධානියාගේ කාර්යාල කාමරයෙන් පිට වූයේ හදවත හොඳටෝම අවුල් කරගෙන ය.

“ඉඳුවර,හිත හදා ගන්න කල් යයි.ඒත් ඇල්කොහොල් වටකරගෙන විකාර නටන්න එපා.ඔය පොඩි උන් ටිකම ඉඳුවරට බෙහෙතක්.උන්ව ප්‍රැක්ටිස් කරවන්න.නිතරම වැඩ කරන්න.”

වික්‍රමබාහු එසේ කීවේ ය.නමුත් හදවත පහසුවෙන් සැනසෙන්නේ නැති බව ඉඳුවර දැන සිටියේ ය.

“ඔක්කොම නැති වෙන බව දැනගෙන තමයි එයා මේව කරන්න ඇත්තෙ.මොකද ඉඳුවරයි එයයි අතරින් කෙනෙක් තෝරාගන්න වුණොත් අපේ බොසා තෝරා ගන්නෙ ඔයාව කියල තරූට හිතන්න තිබ්බ.සහස් සමහරවිට මෙයාව බඳී.මොකක් වුණත් තරිඳිගෙ ස්ටාර් ලයිෆ් එක මෙතනින් ඉවරයි.”

ඉඳුවරට එසේ කීවේ තරු තරගයේ නිෂ්පාදිකාව ය.තරිඳි ගැන ඇයට දැනුණේද නොපහන් හැඟීම ය.සහස්ගේ සෙල්ලක්කාර ජීවිතය දන්නා නිසාම තරිඳිගේ අනාගතය අතිශය අපහැදිලි බව නිෂ්පාදිකාව දැන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles