fbpx

හේමන්ත සන්ධ්‍යා -3

එදා රාත්‍රියේ ජගත් ඔබේසේකර ගෙදර පැමිණියේ ය. ඔහු එන්නේ හිම පතනයක් සේ කලාතුරකිනි. ඒ ආවත් වැඩි කතා බහක් ඇත්තේ නැත. දූවරු දෙදෙන ගේ විවාහයෙන් පස්සේ ජගත් ගේ තටු තවත් සවිමත් විනැයි කියමින් පාලිකා ඉඳ හිට සුමනා එක්ක අඩව් අල්ලන්නී ය.

“මං මංජුලට කතා කළා. නිකිනි හැමදාම මෙහෙම ඉඳල බෑනෙ”

කෑම මේසයේ දී මේ වගේ කතාවක් ඇද ගන්නා එක හොඳ නැති බව දනිතත්, යන්තම් කෑම ටිකක් කා ජගත් යළි ඉගිල යා හැකි බව දන්නා නිසා ම සුමනා මාතෘකාව ට පිවිසියා ය.

“හ්ම්”

ජගත් ගේ ප්‍රතිචාරය එපමණකි.

“ජගත් දන්නවනෙ දැං තාත්තගෙ සිටුවේෂන් එක. මාත් මේ හිතේ හයියට ඔළුව උස්සගෙන ඉන්නව මිසක් පුළුවන් කමකට මේව කරනව නෙවෙයි. ජගත් මේ ළමයි ගැන මීට වැඩිය හොයල බලන්න ඕනෙ”

තමන් ගේ හුස්ම ගැන දැන් ලොකු විශ්වාසයක් නැතැයි හිතෙන නිසා ම, සිය වගකීම් ගැන ලොකු පුතා ට සිහිපත් කොට තබන එක හොඳ යයි සුමනා සිතුවා ය.

“හරි දැං නිකිනි මොකද්ද මේ ගැන කියන්නෙ…”

ජගත් සන්සුන් බැරෑරුම් හඬකින් පිළිවිසියේ ය. සුමනා නිකිනි දෙසත් නිකිනි සුමනා දෙසත් බලා, සිව් නෙත් උනුන් ගෙන් ඉවතට හැරිණි.

“මේ වගේ දේවල් ගැන ළමයි කියන දේවල් වලින් වැඩක් නෑ අයිය. ඒ ගොල්ලො මොනාද දන්නෙ…ඉස්සරහ ගැන හිතල නෙවෙයිනෙ ඔය තීරණ අරන් තියෙන්නෙ”

කෑම මේසයට හිඳ නො සිටියත්, මොකක්දෝ වැඩකට එහෙ මෙහෙ වෙන ගමන් පාලිකා කට දැම්මා ය. නිකිනි ගේ වත රතු වනු දුටු සහස්, අම්මා ට රැව්වේ ය.

“අම්ම කරපු දේම කරන්න හදන්න එපා නිකිනි. අම්මා කළෙත් මිනිහව අත් ඇරල ගිය එක. ඔයා ඔය කරන්න හදන්නෙත් ඒකමයි. අනේ මන්දා ඕවා ආරෙට යන ගති ද කියල”

දරුණු කම්මුල් පහරක් සේ ඒ වචන ටික නිකිනි ව රිදවී ය.  සුමනා දත් මිටි කමින් නිහඬ වූයේ මේ වෙලාවේ පාලිකා එක්ක පැටලීම ඇගේ අදහස නො වනා බැවිනි.

“මට කවුරුවත් කරපු දෙයක් කරන්න ඕන කමක් නෑ නැන්දා. මං ඒ ගෙදරින් දොට්ට බැහැල ආවෙ මට තවත්…”

නිකිනි ගේ හඬ බිඳී ගියේ ය. ඇස් වලින් කඳුළක් වැටුණේ හඬන්නට සිතමින් උන් නිසා ත් නො වේ. ඕ වත වඩාත් බිමට හරවා අන්‍යයන් වෙතින් ඇස් සඟවා ගත්තා ය.

“මොනාද අම්ම…ඕන නැති කතානෙ ඇදල ගන්නෙ”

තවත් මුණිවත රකින්නට තරම් පාලනයක් සහස් ට වූයේ නැත. නිකිනි කියන්නේ ලෙහෙසියෙන් නෙතට කඳුළු නගා ගන්නා ගැහැනියක නො වන බව සහස් මැනවින් දනී. පාලිකා ගේ වදන් ඈ වඩාත් අසරණ කරවූයේ ය. අනාථ කරවූයේ ය.

“අනේ මේ ඔයා කට වහ ගන්න සහස්. මේක ලොකු අයගෙ කතාවක්. අනික මං කිව්වෙ බොරුවක් නෙවෙයිනෙ. ඇත්තනෙ…”

“පාලිකා…ඔය ඇති”

සුමනා නො රිස්සුම් වූවා ය. 

“අම්ම තමයි ඔය ළමයව කෑවෙ”

කියා ගෙන පාලිකා මුළුතැන්ගේ පැත්තට ගියා ය. 

“අක්ක කන්න”

තව මොහොතකින් නිකිනි අත සෝදා ගෙන කෑම මේසයෙන් නැගිටින්නට නියමිත බව ඉවෙන් වාගේ සහස් ට දැනිණ. ඔහු දෙස බැලූ නිකිනි ගේ ඇස් වලට අලුත් කඳුළක් පුරා ආවේ ය. ඇය තදින් යටි තොල් පට සපා ගත්තා ය.

“නිකිනි මංජුලත් එක්ක ජීවත් වෙන්න අකමැතියි නං එහෙම කරන්න කියල එයාට බල කරන්න බෑ නේද අම්ම…”

ජගත් ගේ ස්වරයෙහි වූයේ උපේක්ෂාව ය. සිය බිරිඳ ඔහු ගේ ම මිතුරෙකු සමග රහසේ පැන ගිය අවස්ථාවේ දීත් ඔහු හැසිරුණේ ඔය උපේක්ෂාවෙන් ම ය. එදාටත් වඩා පරිනත පුරුෂයෙකු වී සිටින ජගත් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නො හැකි බව සුමනා ට වහා වැටහිණ.

“හරි ෂෝක්නෙ ඔයාගෙ කතාව. තාත්ත කෙනෙක් විදිහට ඔයිට වැඩිය වගකීමකින් වැඩ කරන්න අයිය. ඔයා ගෑනිව නැති කර ගත්තෙත් ඔය විකාර රැඩිකල් මත හින්දා තමයි”

පාලිකා යළි කොහේ සිට පැමිණියා ද කියා සිතා ගත නො හැකි විණි.

“මේ..තමුසෙ කට පියා ගෙන ඉන්නවද…හරි මගුලක්නෙ යකෝ මේක…දැං මං වැඩ කරන්න ඕනෙ තමුසෙට ඕන හැටියටද…”

ජගත් ගේ ඉවසීම සීමා මායිම් පැන්නේ ඇය අනවශ්‍ය අතීත කතාවක් මේ මොහොතට ඈඳා ගැනීම නිසා ය. ඊටත් වඩා ඇය නිතර ම ඔහු සමගින් පැටලෙන්නට බලා හිඳින බවක් ටික දවසක සිට ජගත් ට දැනී තිබේ.

“අපෝ…මට ඕන හැටියට තියා අපේ පවුලට ගැලපෙන හැටියටවත් වැඩ කරපු මනුස්සයෙක්නෙ මෙයා”

පිඟන් තසින් හෙල්ලී යන සෙයින් ජගත් මේසයට අත මිට මොලවා පහරක් ගැසුවේ ය. හැම හදවතක් ම මොහොතකට සසැලී නිසල විය. පාලිකා වේගවත් අඩි තබා සිය කාමරය තෙක් ම ගියා ය. ජගත් අත සෝදා ගනිමින් මේසයෙන් නැගිට ගත්තේ ය.

“නිකිනි කැමති තීරණයක් ගන්න”

සුමනා ගේ හදවත හෝස් ගා දැවී ගියේ ය. ජගත් ගෙදර එන්නේ හාවා හඳ දකින්නා සේ ය. එද කෑම වෙලාවක එන්නේ බොහොමත් ම කලාතුරකිනි. කොල්ලාට බත් කටක් කන එක නැති වුණා නේ යි ඕ පසු තැවුණා ය. ඒත් එක්ක ම ගෙදර ඕනෑ ම දේකට කට දමන පාලිකා ගැන ඉසියුම් තරහවක් ඇගේ සිත්හි ජනිත විය.

නිකිනි ගේ සිත් හි පියා ගැන වචන වලට පෙරලිය නො හැකි ගෞරවයක් ඇති විය. කෙනෙකු ගේ පෞද්ගලික නිදහස ගැන ගෞරවයෙන් සිතිය හැකි මිනිසෙකු වූ කලී හැබෑ මිනිසෙකි.

ජගත් ට සිය තුරුණු වියෙහි සිට ම වූයේ වෙනස් සිතුම් පැතුම් ය. කොහොමටත් ඔබේසේකර මැදුරේ ළමයින් තුන් දෙනා තුන් ආකාර වී ය. ජගත් වූ කලී කුඩා කල සිට ම නිහඬ චරිතයක් වූයේ ය. ඔහු හිතුවේ අනිත් අයට වඩා තරමක් වෙනස් ආකාරයකට ය. ඔහු ගේ අදහස් නිවහල් වූයේ ය. තමන්ගේ පමණක් නොව අන්‍යයන් ගේත් නිදහස ඔහු ට විශේෂයෙන් වැදගත් වූ අතර, කුඩා කල නිකිනි හා බිනුරි කැටිව සාප්පු සවාරියේ ගිය විට ඔවුන් ට තෝරා ගන්නට කීවේ ඔවුන් රිසි ඇඳුම් ආයිත්තම් ය. සිය බිරිය මිතුරෙකු සමග සැඟවී ගිය වෙලාවේත් ජගත් කලබල නො වූයේ සිය ප්‍රතිපත්ති මත පිහිටා ය.

“ගෑනියෙකුට අයිතිය තියෙන්න ඕනෙ ඒ ගෑනි ජීවත් වෙන්නෙ මොන මිනිහත් එක්කද කියල තීරණේ කරන්න. කසාද බැන්දයි කියල ඒකිගෙ කැමැත්ත නැතුව ලිංගිකව හූරං කන්න කිසිම පිරිමියෙකුට අයිතියක් නෑ. දියුණු සමාජෙක අනිත් හැම දේ ම වගේ ම ලිංගික නිදහස කියන දේත් තියෙන්න ඕනෙ”

ඒ කාලේ ඔහු එක්ක බිරිඳ ගේ පලා යාම ගැන කතා කළ මිතුරන් ට ජගත් කීවේ එවැනි කතා ය. එවක් පටන් යළි විවාහයක් ගැන නො සිතු ජගත්, සිය ජීවිතය ඉතාමත් නිදහස් සහ සැහැල්ලු ලෙස ගෙවා දමමින් හිඳින්නේ ය. ස්ත්‍රී ඇසුරෙහි ආගන්තුකයෙකු නො වන හෙතෙම, ඇසුරු කරන කිසිදු ගැහැනියක සමග දිගු කාලීන ඇසුරක් තබා ගත්තේ නැත. එසේ ම ඇගේ පෞද්ගලිකත්වයට හානි විය හැකි වචනයක් හෝ, ඇගෙන් සමු ගත්තාට පසුවත් භාවිතා කළේ නැත.

නිකිනි ගේ හිත එදා අලුතෙන් පෑරී තිබිණි. විශේෂයෙන් ම අම්මා සමග සසඳා පාලිකා විසින් කී කතාව මත ඇය රිදුම් ලැබුවා ය. අම්මා කෙනෙකු නිවුන් දැරියන් දෙදෙනෙකු දමා පෙම්වතා සමග පැන යාමත්, සැමියා ගේ වෙනත් පෙම් සබඳකමක් හේතුවෙන් ඇය ඔහු ගෙන් මිදී පැමිණීමත් සසැඳිය හැකි දැයි නිකිනි ට සිතා ගත හැකි වූයේ නැත. කොහොමටත් පාලිකා නිවුන් ලේලිවරුන් දෙදෙනා කෙරේ සියුම් ඊර්ෂ්‍යාවකින් පෙළුණා ය. ඔවුන් දෙදෙනා ට සිය දියණිය ට වඩා මුත්තනුවන් ගේ හා මිත්තනිය ගේ විශේෂ සෙනෙහසක් හිමි වීම ඊට හේතුවයි.

“අම්මට ඉතිං කොහොමටත් මගෙ කෙල්ලට වඩා ලොකු ඒ දෙන්නනෙ”

ළමයින් පොඩි කාලේ දී ත් පොඩි දේ ටත් ඇය සුමනා එක්ක එසේ ආඩපාලි කීවා ය.

“අනේ පාලිකා මට ඒ කොයි දරුවත් එකයි. අර දරුවො දෙන්නට අම්මත් නැති නිසා මං උං ගැන වැඩියෙන් බලනව තමයි. ඒ වුණාට මගෙ ග්‍රෑන්ඩ් ඩෝටර්ස්ල තුන් දෙනයි සහසුයි කියන්නෙ අපේ අනාගතේ”

ඒ කාලේ සුමනා එහෙම කීවේ ඇත්තට ම ය. නමුත් ළමයින් ලොකු වෙත්දී ඔවුන් ගේ ගති ස්වභාවයන් වෙනස් වෙයි. සදිසා උස් මහත් වූයේ ගෙදර අනිත් ගෑනු ළමයින් දෙදෙනා ට වඩා ඇය හැම අතින් ම උසස් ය යන මානසිකත්වයක් එක්ක ය. ඒ මනස නිර්මාණය කිරීමේ ලා මුළුමනින් ම ඉවහල් වූයේ ඇගේ මවු වන පාලිකා ගේ සිතිවිලි බව සුමනා සක් සුදක් සේ දැන උන්නා ය. සදිසා ව වෙනස් කිරීමේ ලා සුමනා කෙතෙක් උත්සාහ කළ ද එය කළ නො හැකි වූ තැන ඕ තොමෝ ඒ වෙනුවෙන් වෙහෙසීම අත් හැර දැමුවා ය.

“සදිසා ඔය හැදෙන විදිහටනං මං පොඩ්ඩක්වත් කැමති නෑ”

සුමනා සිය දියණිය ගේ මූනට ම එසේ පවසා තිබේ. එහි දී පාලිකා වෛර බැන්දේ මවු නැති දැරියන් කෙරේ ය. ඉනිදු නිකිනි විශේෂිත විය. මන්ද යත් නිවුන් දැරියන් වූවා ට නිකිනි හා බිනුරි සමාන රූප ලක්ෂණ දැරුවේ නැත. ඔවුන් ද්වී ඩිම්බක නිවුන් දැරියන් වන නිසා එක සමාන පෙනුමක් පිහිටා නැති බව වෛද්‍ය අදහස විය. නිකිනි බෝනික්කියක  සරි වූවා ය. බිනුරි ටත් සදිසා ටත් වූයේ සාමාන්‍ය රූපකායකි. සුමනා නිකිනි ව කුඩා කල සිට ම සම කරන ලද්දේ රෝස මලකට ය. සුමනා ගේ අවධානය වැඩියෙන් දිනා ගත් දැරිය පාලිකා ගේ ද්වේශයට ලක් වූවා ය.

මේ සියලු සන්තාප කඳුළු අතරේ විදත් ගේ බොර පාට ඇස් දෙක දිළිසෙනවා සේ නිකිනි ට දැනිණි. ඔහු ගේ පෞරුෂයෙන් අනූන උස් සිනහ හඬ ඔබේසේකර මැදුර පුරා දෝංකාර නැංවෙන්නා සේ ඇය ට ඇසිණි. ප්‍රේමය යනු කුමක් ද කියා හෝ නො දන්නා දැරියක සන්දියේ දී වීරත්වයක් සිත් හි ජනිත කළ පිරිමි රුව හදිසියේ දකින්නට ලැබීමේ තිගැස්ම විඳ ගන්නටවත් ඇය වෙත නිදහස් සිතක් වූයේ නැත. මේ තරම් කාලයකට පස්සේ ඔහු විත් ඇය ව මංජුල ගේ ගෙදරට යවන්නට සුමනා ට උපදෙස් දුන් අයුරු සිහි වෙත්දී ඇගේ හද දැදිරි වී ගියේ ය.

“අක්කා. සොරි අක්කා”

ගෙ උයන ඇය උන් බංකුව වෙත සහස් පැමිණ සිටියේ ය. නිකිනි හැරී බලා සිනහවක් පෑවා ය.

“ඇයි අනේ සොරි කියන්නෙ…”

“අපේ අම්ම කියපු ජරා කතාවට. ඒගොල්ලංගෙ කටවල්වත් ඔළු ගෙඩිවත් වෙනස් කරන්න බෑ අප්ප”

“මං ගණං ගන්නෑ මල්ලා”

නිකිනි එසේ කීවේ යෞවනයා ගේ හිත රිදවන්නට බැරි කමට ය. නමුත් ඇය හෙළු සුසුමේ පැටලී තිබූ සන්තාපය හොඳින් කිරා මැන ගන්නට සහස් ට හැකි වූයේ ය.

“හැබැයි මෙහෙම දේකුත් තියනව. ඔයා දැං චූටි කෙල්ලෙක් නෙවෙයි. වැඩිහිටියෙක් වගේ මේ ප්‍රශ්නෙ දිහා බලන්න අක්ක. ඔයාට වගකීමක් තියෙනව ඔයාගෙ පවුල ගැන. හරිද…”

විභාගයකට පාඩම් කිරීමට ඇති නිසා සහස් ගෙතුළට ගියේ ය. රාත්‍රියේ ගුප්ත සුන්දරත්වය තුළ ගිලී ගෙන නිකිනි තවත් ටික වෙලාවක් මිදුලට වී සිටියා ය. මේ මිදුලේ දුව පැන සෙල්ලම් කළ ළමා විය යළි ඔවුන් ගේ ජීවිත වෙත එළඹෙන්නේ නැත. ඇය ගෙතුළට යන්නට බංකුව මතින් නැගී සිටියේ නිදි මත දැනුණ නිසා ම නොව ගෙදර රැහැන් දුරකතනය හැඬවෙනු ඇසුණ නිසා ය. මේ වෙත්දී කාමර වෙත ගිය කිසිවෙකු යළි ඊට පිළිතුරු දෙන්නට පිටතට නො එන බව නිකිනි නො දන්නවා නොවේ. එක්කෝ දුරකතනය හැඬවී නිසල වන්නට ඕනෑ ය. නැත්නම් සුමනා යහනෙන් නැගිට එන්නට ඕනෑ ය.

“හෙලෝ”

“නිකිනිද…”

ඇය මුළුමනින් ම තිගැස්සී ගියා ය. ඒ හඬ මතකයේ නො තිබුණත් ඒ විදත් බව හැඳින ගන්නට ඈ අසමත් වූයේ නැත.

“අනේ කෙල්ලෙ මිත්‍ර ට ෆෝන් එක දෙන්න. රෑ දහය වෙනකොට මූගෙ මොබයිල් එක ඕෆ් කර ගෙනනෙ කෙල්ල වගේ”

ඔහු කිසිදු වෙනසකින් තොර ව සිය විසුළු ස්වරයෙන් කියවා ගෙන ගියේ ය.

“බාප්ප තාම ගෙදර ඇවිත් නෑනෙ”

එහා අන්තයත් මොහොතකට නිසල වූයේ ය. සත්තකට ඇගේ හඬ ඒ මොහොතේ ඇයවත් ඉසියුම් ව කම්පනය කළ හැකි ස්වරයකින් සුසර විණි. 

“අ…එහෙමද…හරි කමක් නෑ එහෙනං. ගුඩ් නයිට්”

“අනේ ලයින් එක කට් කරන්නෙපා. චුට්ටක් ඉන්නවද…”

නිකිනි සිය ළමැද මත සුරත තියා ගත්තා ය. ඇගේ හදවත ගැහෙන වේගය ඇගේ ම අත්ලට මැනවින් දැනිණි. කරන්නට යන්නේ කුමක් දැයි නිකිනි දැන සිටියේ නැත. ඇය මෙවැන්නක් මීට පෙර සැලසුම් කර තිබුණේ ද නැත. නමුත් කවර බලවේගයක් මත ද මන්දා ඇය එසේ කියා තිබිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
2
0
Would love your thoughts, please comment.x
()
x