මා උඩුමහලට ආවේ මවාගත් කෝපයකිනි.ඒ කෝපයට පොහොර දමමින් චමත්කාත් කේතකීත් හිනැහෙන්නට ගත්තේ එක පොකුරට ය.ඔවුන්ට රිසිසේ හිනැහෙන්නට ඉඩ දී මම ඉඟටියට දෑත් ගසාගෙන බොහෝ වෙලාවක් සිටියෙමි.
“වෙනදටත් කන්න මට අඬගහනවද? “
මා කඩා පනිද්දී අපේ කුඩා සාලයේ බිම හිඳගත් චමත්කා දෑසින් කඳුළු එනතුරුම හිනැහෙන්නට ගත්තා ය.
“ඒකනම් මට මාලකයියා හින්දා හදිසියෙ ආව අයිඩියා එකක්…”
අපේ සාලයට පුටු නැත.මේ ගැහැනු ළමයින් තිදෙනෙකුට විශ්ව ව්ද්‍යාලයට යන්නට නැවතී හිඳින්නට ගත් කුඩා නවාතැනකි.උඩු මහලක කුඩා නිවසක් වුවද අපට සාලයකින් ප්‍රයෝජනයක් නැති නිසා මෙහි ඇත්තේ පාඩම් මේසයකි. එයට පුටු තුනක් ඇත.මම ඉන් එකක් ඇද වාඩි වූයේ තවදුරටත් රඟපාන්නට නොහැකි නිසා ය.චරිත වැනි මෝඩ කොල්ලන් සමඟ මාස ගණනක් රඟපෑමේ යෙදෙන්නට හැකි වුව ද මගේ ප්‍රාණසම මිතුරියන්ගෙන් මගේ සැබෑ හැඟීම් සඟවන්නට අසීරු ය.චරිත සම්බන්ධයෙන් මා කරන්නේ රඟපෑමක් බව නොතේරෙන තරමට මා කෙරෙහි අමනාප වූ චමත්කා මෙතැනදී නම් මා මනාව වටහා ගෙන ඇති හැඩකි.
“නෑ ඉතිං කේතා..මාලකයියා අර බෝයිට හයියෙන් අඬ ගැහුවෙත් කන්න එන්නනෙ.මෙයා එයාගෙ නම දැනගත්තා.එයාට මෙයාගෙ නම දැන ගන්න නම් අපිත් ඒකම කළාම ඉවරනෙ..”
චමත්කා සිනාව අතරින් කීවා ය.මුළුතැන්ගෙයි කුඩා මේසය මත සැකසූ උදෑසන ආහාරය තබමින් කේතකී කතා කරන්නේ ද සිනා ඉහිරවන අතර ය.
“එයා ධීර.මෙයා සාරදී..ඔයාට ඒ නම් දෙකත් හරි සමාන නැද්ද සුදූ..”
චමත්කා හිනැහෙමින් ම ටෝස්ට් කළ පාන් පෙත්තක ජෑම් තවරන්නට ගත්තා ය. බටර් තිබුණානම් අපූරු ය.එහෙත් අපට ශීතකරණයක් නැත.
“උඹලට පිස්සුද බං..කොහෙටවත් නැති කොල්ලෙක් මට ජෝඩු කරන්නෙ?”
මම චමත්කා ජෑම් තැවරූ පාන් පෙත්තක් අතට ගතිමි.කේතකී කුඩා ඕට්ස් බඳුනක් රැගෙන විත් මා අසලින් හිඳ ගත්තා ය. ඊයේ රාත්‍රියේ පීසා ගිල දැමූ බැවින් සිරුරේ හැඩය ගැන සිතන ඈ දැන් දින ගණනාවක් කන්නේ ඕට්ස් බව සිහි වී මට සිනා නැගිණි.චමත්කා ඒ සිනාව ද වැරදියට තේරුම් ගත්තා ය.
“අපේ කැම්පස් එකේ කිසි එකෙක් මෙයාට හරියන් නැතුව ඉඳල අර බූරු චරිතය එක්ක මේකි යාලු උනාම මං හිතුවෙම ඒ පසන්ගෙන් පලි ගන්න කියල. ඒකත් ගේමක් කියල දැන ගත්තම මං හිතුව අර මෝඩ ඔලමොට්ටල පසන්ව අමතක වෙන්න මෙයා ගාවට කවුරුත් එන එකක් නෑමද කියලා.මගේ හිතුවිලිවල බලේ කොහොමද..පැය හතක්වත් ගියේ නෑ..”
කේතකී මදෙස සිනාවකින් බලා සිටියා ය.
“ඒ කොල්ලගෙ මොකක්ද අමුතු දිස්නයක් තියනව.ආදරේ වැක්කෙරෙන කොල්ලෙක්.පොඩ්ඩක් පොලිෂ් කරල ගත්තම හරි..”
මම දෑස් හකුළා ඈ දෙස බැලීමි.කේතකි වගක් නැතුව ඉවත බැලුවා ය.මා මෙහි හිඳිමින් පාන් රොඩු ගිල දමද්දී ඔහු ඇන්ටී පිසින ලද රස අහරක් අනුභව කරනවා විය හැක.ජීවිතය එපා වූ හැඩයකින් හිඳින්නට ඔහුට වන්නට ඇත්තේ කුමක්දැයි මම සිතිමී.ඇතැම්විට මා පසන් නිසා ජීවිතය අතැර ඇවිදින මළ කඳක් වූවා වැනි කතාවක් ඔහුට ද තිබෙන්නට ඉඩ ඇත.නමුත් ඔහුගේ කතාවලින් මට ඇති ඵලය කිම!
“අර ඔලමොට්ටල බූරුවට රිදෙන්න මෙයාට හොඳම කොල්ලෙක් සෙට් වෙන්න ඕන අප්පා..”
චමත්කා පවසද්දී මම පුපුරා හැලුණෙමි.
“මේ චමා..ඔයා ඕනතරමක් චරිතට අපහාස කරගන්න.ඒත් පසන් අයියට වචනයක් කියන්න එපා.මං ඒකට පොඩ්ඩක්වත් ආස නෑ.අනික මට කොල්ලො එපානම් එපා..ඔයාලා ඒ ගැන වද වෙන්න ඕන නෑනෙ..”
කෑම අහවර විණි.මම ඇඳට වැටුණෙමි.කඳුලක් නෙත් අගින් රූරා කොට්ටයට වැටෙද්දී මා හුන්නේ අතීතයේ අතරමං වී ය.
“නිකං වැරදිලාවත් කේන්ති යන් නැත්තෙ ඇයි?”
එදවස ඔහු මගෙන් ඇසුවේ එහෙම ය.අද කේන්තිය මගේ ළඟම මිතුරා ය. ෆේස්බුක් අවකාශයට රිංගා ඔහු පිරික්සා හිත රිදවා ගන්නට මට ඕනෑ විණි. පසන් සිටියේ සරනිව වැලඳගත් ඡායාරූපයකිනි.එදෙස මොනාතරම් වෙලාවක් බලා සිටියා ද මොනතරම් හැඬුවා ද මට මතකයේ නැත.පීරන්නට අමතක වූ කෙස් අතරින් චමත්කාගේ ඇඟිලි යද්දී මම ඇස් පියන් හැරියෙමි.
“මේ ෆොටෝ එක මහ ෆේක් පාටයි..”
ඇය මගේ ළමැද මත වැටී තිබූ දුරකථනය අසුලා ඒ දෙස බලා හිඳ කීවා ය. මම හිස් බැල්මක් හෙළීමි.
“පසන් ඔයාව මෙඩිසින් සිලෙක්ට් නොවුණට අතෑරියට, අතෑරල ෆැකල්ටියෙ කෙල්ලක් හොයා ගත්තට ඌ ඉන්නෙ සතුටින් නෙවේ..මේ ෆොටෝ හරි ෆේක්..ඇත්තටම උගෙ හිතේ තාම ඔයා හොල්මං කරනව කියල හිතෙන්නෙ මේ සරනි දිහා බලනකොට..”
චමත්කාගේ තේරවිලි තෝරන්නට සිතමින් මම නැගිට හිඳ ගතිමි.ඇය මට තේ කෝප්පයක් දුන්නා ය.අනතුරුව හරිබරි ගැසී කියවන්නට ගත්තා ය.
“මේ කෙල්ලගෙ නම සරනි නේද..ඔයා සාරදී.ඌට ඉතින් මෙයාටත් සාරාම කීවැකිනෙ.අනික උඹල දෙන්න සෑහෙන්න ෆීචස් වලින් සමානයි.”
ඒ මා පිළිගන්නට අකමැති එහෙත් නිතරම මට පෙනෙන සත්‍යයකි.මම ඒ ගැන නොසිතා චමත්කාගෙන් වෙනයමක් ඇසූවෙමි.ඈ දේශනයක් දෙන තරමේ උනන්දුවෙන් කියවන්නට ගත්තා ය
“ඇත්තටම ආදරෙන් ඉන්න මිනිස්සුන්ගෙ ෆොටෝස් හරි ලස්සනයි සාරා.අමුතු ග්ලෝ එකක් තියේ.අපේ කේතායි අර උවිඳු අයියයි බලහං..හම්බෙන්නේ මාස කීයකට වතාවක්ද..ඒත් ආදරේ උතුරනවා..ආදරේ එහෙම ලස්සන දෙයක් කියල මටත් හිතුණෙ බං ෆස්ට් ලව් එකම මහ රැවටිල්ලක් උනාම..මං නම් ඒක ඉගෙන ගත්තා. උඹ තාම අතීතෙ හිර වෙලා..”
චමත්කා එසේ කියා යන්නට ගියා ය.මම යහනින් බැස කවුළුවක් හැර දැමුවෙමි.ඔහු කුඩා ස්කූටි මෝටර් සයිකලයට නැගී පිටවන්නට සැරසේ.මාලක අයියා සමඟ මොනවාදෝ කියමින් හිනැහෙන ධීරගේ සැනසිලිදායක මන්දහාසය එකම එක වරක් දකින්නට මට ඕනෑ විණි.එහෙත් ඔහු ගේට්ටුවෙන් පිට වී මාවත දිගේ යන්නට ගියේ ය.
ධීර! කලබල විඩාබර දෑසක් හිමි අපිළිවෙල පෙනුමක් ඇති කොලුවෙකුට ඒ නම කිසිසේත් ගැලපෙන්නේ නැත.
මගේ මානසිකත්වය යහපත් නොවූ නිසා ම මිතුරියන් රූපලාවණ්‍යගාරයට යන්නට සූදානම් නොවිණ.අප සරසවියට යන්නට බසයක් එනතුරු හිඳිද්දී චමත්කාට යමක් සිහි විණ.
“චරිත එක්ක අෆෙයා එකට මොකද වුණේ කියල කට්ටිය ඔයාගෙන් අහයිනෙ..”
මම දෑස් උස්සා ඇය දෙස බැලීමි.
“ඇයි එයා හරි පූච්චානමෙන් කැම්පස් එක වටේ ගියේ, ඔයාව සෙට් නෑ බ්‍රේකප් උනා ගගා..මාත් කියනවා ළඟට එනකොට ඊයේ රෑ බීපුවගෙ ගඳ එන මිනිහෙක් මටත් සෙට් නෑ.මං ඌ අතෑරිය කියල…”
මම එවැනි පිළිතුරක් දෙන්නට බලාපොරොත්තු ඇතිවම විශ්ව විද්‍යාලයට පා තැබීමි.නමුත් චරිත සම්බන්ධයෙන් එහි ඇති වූයේ වෙනත් ගැටළුවකි.