විදත් තරමක් වික්ෂිප්ත වූයේ ය. මේ විදිහට නිකිනි ඔහු ට දුරකතන සම්බන්ධ බිඳ දමන්නට එපා කියා බැගෑපත් වෙන්නට හේතුවක් ඔහු ට අඩමාන වශයෙන් හෝ සිතා ගත හැකි වූයේ නැත. ඊටත් වඩා දුරකතනය ඔස්සේ ඇහුණ ඇගේ ඉලෙක්ට්‍රොනික හඬ තුළ විදත් ගේ පිරිමි ආත්මයෙහි මඳ සසල වීමක් ඇති වූයේ ය. තරුණියක ඒ විදිහේ බැගෑපත් වීමක් වෙත්දී හැඩි දැඩි පිරිමි හිතක වුව මොළොක් වීමක් සිදු වීම අතිශය සාමාන්‍ය ලෝක ස්වභාවයකි.
දුරකතන සම්බන්ධය බිඳ දමන්නට එපා කියා විදත් ව තව දුරටත් එහි රඳවා ගත්තා ට, ඉන් අනතුරුව කුමක් කියන්න ද කියා සිතා ගන්නට නිකිනි අපොහොසත් වූවා ය. මුළු සිරුර පුරා සංසරණය වූ රුධිර ධාතුව එක නිමේෂයක දී මුහුණ ට රොක් වූවා සේ ඈ රතු වී ගොස් සිටියා ය. මෙහෙව් හිතුවක්කාර කමක් සිය දශක තුනකට ආසන්න වෙමින් පවතින ජීවිත කාලය තුළ දී මින් පෙර කිසි දා කර නැති වූවා ට, දැන් ඉතින් අඩිය පසු පසට නො තැබිය යුතු බව ඇගේ ගැහැනු හිත ඇය ට කොඳුරා කියමින් තිබිණි.
“ප්ලීස්…මට උදව්වක් කරන්න”
නිකිනි ඉක්මන් කෙටි හුස්ම ගත්තා ය.
“ඔව් කියන්න නිකිනි. මොකද්ද වෙන්න ඕනෙ…”
මේ නො පැහැදිලි සිදුවීමේ දී පූර්ව නිගමන වලට නො එළඹ සිටින එක වඩාත් හොඳ බව විදත් ගේ අත්දැකීම් විසින් ඔහු ට ඉඟි කොට සිටින්නට ඇත.
“අර…ග්‍රැනීට කිව්ව නිසා මංජුලගෙ ගෙදරට ආයෙ මාව යවන්න කියල…ග්‍රැනී මාව එහෙ යවන්නයි හදන්නෙ. අනේ මට ආයෙ එයා ළඟට යන්න හිත හදා ගන්න බෑ. ප්ලීස්….ග්‍රැනීගෙ හිත ආයෙ වෙනස් වෙන්න එයාට කතා කරන්න. මං වැඳල කියන්නං”
“ද…රුවො”
කවරක් පවසන්න දැයි සිතා ගන්නට විදත් අපොහොසත් වූවේ ය. මේ වාගේ සිදුවීමකට මීට පෙර මුහුණ දී ඇති බවට මතකයක් හෝ ඔහු වෙත නැත්තේ ය. යමක් කියන්නට පෙර හෙතෙම තත්පර කිහිපයක ඉසිඹුවක් ලබා ගත්තේ එනිසාවෙනි.
“ඕකේ. අපි නිවී සැනසිල්ලේ මේ ගැන කතා කරමුකො. මං කියන්නද…මට නිකිනි ගෙ මොබයිල් නම්බර් එක දෙන්නකො. මං ඔයාට මේකෙ තියෙන බරපතල කම ගැන තව තේරුං කරල දෙන්නං වෙලාවක”
නිකිනි සිය ජංගම දුරකතන අංකය ඔහු වෙත ලබා දුන්නා ය. ඉනික්බිති ඇගේ සිත් හි ශේෂ වූයේ සැහැල්ලුවක් ද නැත්නම් අලුත් බරක් ද කියා වෙන් කොට හඳුනා ගන්නට නිකිනි ම නො දැන සිටියා ය.
ඈ වෙනුවෙන් කිසියම් සහකම්පනයක් විදත් ට සංවේදනය වෙමින් තිබිණ. පිට මත තියා ගෙන අස්සයා පැද්ද වූ, උරයේ එල්ලා ගෙන ලුණු ඔප්පු ගෙන ගිය දැරියක කෙරේ උන් හිටි ගමන් මේ වගේ විපර්යාසයක් අත් දකින්නට වීම අමුතු ය. දැන් ඉන්නේ ඔහු අන්තිමට දුටු දැරිය නොවේ. කාලයා ගේ ඇවෑමෙන් ඔහු දකින්නේ අලුත් තරුණියකි. ඒ දැරිය හා තරුණිය අතරේ සිදු වූ රූපාන්තරණය ඔහු නො දුටුවේ ය. දළඹුවාට පස්සේ සමනලයෙකු දුටුවාට, ඒ එක ම ජීවියෙකු ගේ රූපාන්තරණය බව විශ්වාස කරන්නට කිසිවෙකු ට ඕනෑ නැත. පිලා අවධි හා කෝශ ගත වීම් වලින් අනතුරුව සමනලයෙකු බවට පත් වන්නේ කැත දළඹුවා බව කොහොම විශ්වාස කරන්න ද?
විදත් ට නිකිනි ත් එසේ ය. එදා ඇයත් අද ඇයත් අතරේ වන්නේ ඔහු නො දුටු හිස් අවකාශය කි. දළඹුවා ගැන හිතූ හිතින් සමනලයෙකු ගැන හිතන්නට කිසිවෙකු හට පිළිවන් ද?
විදත් ඉක්මනින් ඒ මනෝ භාවයෙන් මිදෙන්නට දෑස් වසා හිස ද සැලුවේ ය. නමුත් නිකිනි ගේ හඬෙහි වූ ඔහු ට තේරුම් ගත නො හැකි මොකක්දෝ භාවයක්, වරින් වර ඔහු ගේ පිරිමි සිත් හි සුසර කිරීමක් සිදු කරවන ලදී.
“අපි යමුද නිකිනි මංජුලගෙ ගෙදරට…මං ඔයාව ගිහිං බස්සන්නං”
පසු දා සුමනා ඔබේසේකර ඒ යෝජනාව ගෙන එන බව ඉවෙන් වාගේ නිකිනි දැන සිටියා ය. නමුත් ඒ තරම් පාන්දරින් යෝජනාව ඉදිරි පත් වනු ඇතැයි ඇය ට සිතුණේ නැත.
“ග්‍රැනී ට මං වදයක් වෙලා නේද දැං…”
නිකිනි උවමනාවෙන් ම සිය හඬ ට අවිහිංසක තානයක් එක් කළා ය. ඒ සුමනා ගේ දැඩි වූ හිත යළි මොළොක් කොට තව ටික කලකට හෝ මෙහි රැඳී සිටින කාලය දිගු කර ගනු පිණිස ය.
“අනේ බේබි…මොනාද මේ කියන කතා…මං කැමතියි හැමදාම වුණත් ඔයා මෙහෙ ඉන්නවනං. මං විතරද…මටත් වඩා පපා කැමතියි ඒකට. කොහොමත් පපාට දැං මංජුලව පේන්න බෑ. ඒ වුණත් දරුවො…ඕනම දෙයක් කෙරෙන්න ඕන විදිහක් තියෙනවනෙ. ඇත්තටම අපි මේ කරන්නෙ වරදක්. මහත්තයත් එක්ක අමනාප වෙලා මහ ගෙදර එන්න කිසි ම ගෑනු දරුවෙකුට අනුබල දෙන්න හොඳ නෑ”
“ග්‍රැනී ප්ලීස්…මට ආදරෙයිනං ග්‍රැනී මට එක උදව්වක් කරන්න”
නිකිනි ඇසිල්ලකින් සුමනා ගේ ගෙල වැළඳ ගත්තා ය. සුමනා ට දැනුණේ ඉස්සර ඈ ළඟ දැනුණ ළදරු සබන් සුවඳ ම ය. ඇගේ වියපත් හද දැවී යන්නට විය.
“කියන්න නිකී. ඔයාට මං නොකරන දෙයක් නෑ කියල ඔයා දන්නවනෙ”
මිත්තනිය මිනිපිරිය ගේ හිස කේ පිරිමදින්නට වූවා ය. මැනවින් නඩත්තු කරන ලද ඒ හිස කේ ඉතාමත් සිනිඳු වූයේ ය.
“ග්‍රැනී මට තව දවස් දෙක තුනක් දෙන්න. ඊට පස්සෙ අපි යමු”
කාලයට හුඟක් දේවල් කළ හැකි බව නිකිනි දැන උන්නා ය. දවස් දෙක තුනකින් හෝ කාලය දිගු කර ගැනීම තුළ මේ ගන්නට යන තීරණයේ විශාල වෙනසක් වන්නට පුළුවන. විදත් මෙහි විත් යළිත් සුමනා එක්ක කතා බහ කොට නිකිනි ව මංජුල ගේ ගෙදර නො යැවිය යුතු ය කියා කියන්නට ඒ කාලය ප්‍රමාණවත් වනු ඇත.
“හරි. එහෙනං අපි සන්ඩේ යන්න තියා ගමු. මංජුලත් නිවාඩුනෙ ඉරිදට”
සුමනා තීන්දුව දුන්නා ය. නිකිනි ගේ මුහුණේ සිනහවක් ඇඳිණි.
“අපෝ…මේකනං රෝස මලක්ම තමයි”
මිනිපිරිය ගේ නිකටින් අල්ලා සෙලවූ සුමනා, තරුණිය වෙතින් නික්ම ගියේ මඳ හිත් හෑල්ලුවකිනි. හිත හදා ගනු වස් නිකිනි දින කිහිපයක් ගත්තා ට කම් නැතැයි ඇය සිතුවා ය.
දින හතරක් යනු විශාල කාලයකි. ඒ කාලයේ දී මොන තරම් දේවල් සිදු විය හැකි දැයි නිකිනි ට සිතිණි. මේ වෙලාවේ ඇගේ සිත, අයාලේ යන්නට හැරි ගවයෙකු සේ ඉබාගාතේ ගියේ ය. ඇය තමන් ගේ ම සිහින සිතිවිලි ලෝකයක් මවා ගෙන ඒ තුළ ජීවත් වන්නට ද වූවා ය. විදත් ඇය ව මුළුමනින් වටහා ගත්තා යි ඇය සිතුවා ය. පෙර දා කෑම මේසයේ දී ඔහු ගේ බොර පැහැ ඇස් යුග අතරේ හිර වී සිටි මොහොත කල්පයක් තරම් දිගු වී ඇයට දැනෙන්නට ගති. ඒ වෙලාවේ දී ඇස් ආත්මය ඇතුලේ වසර ගණනාවක් තිස්සේ ෆොසිලීකරණය වී තිබි ඉපැරණි ආදරය විදත් විසින් හඳුනා ගනු ලැබුවා යි ඇය සිතුවා ය. ගෙදර දුරකතනය ට ඔහු විසින් ඇමතුමක් දෙන්නට යෙදුණේ ම බොරුවට කියා ද ඇය සිතුවා ය. මිත්‍ර ට කතා කරන මුවාවෙන් ඇය හා කතා කරන්නට අවස්ථාව සලසා ගැනීම ඔහු ගේ අරමුණ වන්නට ඇති බව ඇය විශ්වාස කළා ය. ඇගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගැනීම, ඔහු ගේ මෙහෙයුමේ මුඛ්‍ය අරමුණ වූ බවත් අදහන්නට නිකිනි ට ඕනෑ විය.
ඒ සියල්ල ඇය ඇය ට ඕනෑ හැටියට සිතුවා ය. සිදු වෙනවා ට ඈ කැමති ආකාරයෙන් සිතුවා ය.
කවර මොහොතක හෝ සිය ජංගම දුරකතනය නාඳුනන අංකයකින් හැඬවෙනු ඇති බවට බලාපොරොත්තුවෙන්, ඇය ඇස ගසා ගෙන සිටියා ය. කන යොමා ගෙන සිටියා ය.
ඒ දුරකතනය අතිශයින් ගොළු ය. මුණිවත බිඳ දමා හඬන්නේ ඉතා කලාතුරකිනි. මංජුල නම් මහ ගෙදර ආ තෙක් ඇය ට කතා කළේ නැත. නිකිනි ට කොහොමටත් ලොකු මිතුරු සමාගමයක් නො විණි. මිතුරු කමටත් එක්ක ම ඈ ළඟින් ඇසුරු කළේ බිනුරි ව හා සහස් ව පමණකි.
ඈ බලාපොරොත්තුවෙන් සිටි පරිදි උදේ කෑමෙන් පසු දුරකතනය නද දෙන්නට විය. හදවත ගැස්ම වූ කලී එපමණකින් තීව්‍ර විය හැකි දෙයක් බව නිකිනි මීට පෙර දැන සිටියේ නැත. එය හැඬ වී නතර වේ යයි බියෙන්, දුරකතනය තබා තිබූ තැනට ඇය ගියේ දිවගෙන ය.
“වැටෙනව දැං. ෆෝන් එකට ඔහොම දුවන්න ඕනද…”
නිකිනි ගේ කකුලක් පැටලී ඇය වැටෙන්න යනු දුටු සුමනා කෑ ගැහුවා ය. අවාසනාවකට තිරය මත සනිටුහන් ව තිබුණේ බිනුරි ගේ නම ය.
“කියන්න බීනු”
නිකිනි හති දැම්මා ය.
“මොකද අනේ හති දාන්නෙ..”
බිනුරි ටත් ඒ බව දැනී තිබිණි.
“නෑ. ෆෝන් එකට දුවං ආව නිසා. කෝ පැටිය…”
“බබා නිදි කරලයි මං ඔයාට ගත්තෙ නිකී…නැත්තං කතා කරන්න දෙන්නෑනෙ නිදහසේ”
නිකිනි ගේ සිත් හි ඉච්ඡා භංගත්වයක් ඇති විය. ඒ, බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම, විදත් නො වීම නිසා ය. නමුත් කවර මොහොතක හෝ ඔහු කතා කරනු ඇත යන බලාපොරොත්තු සහගත ප්‍රීතිය, මේ මොහොතේ ඉච්ඡාභංගත්වයට වඩා උච්ච වූයේ ය.
“ඇයි බිනූ කතා කළේ…හදිසිසියක් ද…”
බිනුරිත් එක්ක මේ කතා කරන මොහොතේ දී විදත් ඇගේ දුරකතනය ට අමතනු ඇත කියා ත්, මේ මොහොත අපතේ හැර ගත නො හැකි ය කියා ත් ඇගේ සිත මොර ගා කීවේ ය.
“හදිස්සියක්නං නෙවෙයි. ග්‍රැනී මට ඊයෙ රෑ කතා කළා. ග්‍රැනී මාර ගිල්ටි ෆීලින් එකක ඉන්නෙ ඔයාව ගෙදර නවත්තගෙන එයා කරන්නෙ වැරැද්දක් කියල. ඔයාගෙයි මංජුලගෙයි ප්‍රශ්නෙ ඔය දෙන්නට විසඳ ගන්න බැරිනං අපි මැදිහත් වෙන්නද නිකී…අකලංකත් කිව්ව එහෙම කරමු කියල”
“එපා එපා”
නිකිනි විගස කීවා ය. ඇයට ඔහු හා යළි සමගි සමාදාන වීමේ උවමනාවක් නැති එකේ මුළු ලෝකය ට ම එසේ කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඇයි දැයි නිකිනි ට තේරුම් ගත නො හැකි ය.
“අපි පස්සෙ කතා කරමු ඔය ගැන. කොහොමත් මං ග්‍රැනීට කිව්ව මට ටිකක් හිතන්න ඕනෙ කියල. සන්ඩේ වෙනකල් ග්‍රැනී මට කල් දීල තියෙන්නෙ”
“බොරුවට කාලෙ පස්සට යවන එකෙං වෙන හොඳක් තියෙනවද අනේ…”
“මේ…මං තියන්නද එහෙනං…”
“මොකද අප්පා ඔච්චර හදිස්සි…”
“බබා නැගිට්ටහම මං ගන්නං හොඳේ කතා කරන්න”
බිනුරි විසින් සමු දෙනු ලබන්නට ද පෙර නිකිනි මේ අන්තයෙන් සම්බන්ධය බිඳ දැමුවා ය.
ඇය දුරකතනය මේසය මතින් තබා ටික වෙලාවක් එදෙස බලා උන්නා ය. ඇගේ මුව මතට පිවිසියේ දඟකාර සිනහවකි. මේ මෙතැන සිටින්නේ විවාහක පතිණියක් නොව අවුරුදු දහ අටක කෙල්ලක් වාගේ ය ඇය ට දැනෙනුයේ. එපමණට ම මේ තිගැස්ම ප්‍රේමණිය ය. සිත පෙම්වත් ය.
හදිසියේ ම නිකිනි තැති ගත්තා ය. මේ සිදු වන්නේ බරපතල වරදක් නේ දැයි සිත ඇගෙන් ම ප්‍රශ්න කරන්න ට වී ය. ඇය විවාහක ගැහැනියකි. එසේ තිබියදී මේ විදිහට වෙනත් පිරිමියෙකු ගැන නො ඉවසිලිමත් පෙම් සිතකින් පෙර මග බැලීම හොඳ ගැහැනියක ගේ ලක්ෂණයක් ද? සම්මත සමාජය නියෝජනය කරන කෙනෙකු ගේ පිළිතුර නිසැක ව ම නැත යන්න ය. නමුත් ඒ ගැන අබ මල් රේණුවක් තරමින් හෝ නො සිතා සිටිය යුතු යයි නිකිනි තීරණයකට ආවා ය.
“ඇයි මට විතරක් බැරි මං ආස ජීවිතේ ජීවත් කරවන්න…”
ඇය හිතුවක්කාර දැරියක සේ සිතුවා ය.
විදත් නින්දෙන් පිබිදෙමින් සිටියේ ඒ වෙලාවේ ය. පෙර දා රාත්‍රියේ මැදියමක් වන තුරු ඔහු සිටියේ ඉපැරණි මිත්‍ර සමාගමක ය. පරණ කතා ත් මිතුරු සිනහත් මී විත ඉතිරි කළ මඳ මත් බවත් අතරින් ඔහු ගේ සිතට ආවේ නිකිනි ය. විදුලියක් වැනි යමක් සිරුර දිග දිව ගියත් ඒ ගැන වෙසෙසින් යමක් හිතන්නට ඔහු නො පෙළඹිණි. නිකිනි ගේ ජංගම දුරකතන අංකය ඔහු ගේ දුරකතනයේ අංක ගබඩාවේ සුරක්ෂිත ය. යළි කතා කරන්නට ඔහු ඇයට පොරොන්දු වූයේ ය. නමුත් අමුතුවෙන් කියන්නට දෙයක් වේද කියා යළිත් ඔහු සිතුවේ ය. ටික වෙලාවක් ඇස් දෙක පියා ගෙන යළිත් නිදි බර වී ගෙන සිටි හෙතෙම, ඊළඟට තීරණය වෙනස් නො වනු වස් ඉක්මනට දුරකතන ඇමතුම ගත්තේ ය.