නවාතැනට එනතෙක් ම මා හුන්නේ බරව ගිය හදිනි.බඩගින්නක් නොදැනුණත් හද ගින්නක් දැනෙමින් තිබිණ.මම දැන් දෙවසරකටත් වැඩි කාලයක් පසන්ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන ළතැවෙන්නියක් මි.නමුත් ධීර ප්‍රතික්ෂේප වන්නේ තමන්ගේ ම නිවස තුළ බව තේරුම් යාම මට මහත් වේදනාවක් විය.නොදන්නා තරුණයෙකු ගැන එසේ දැනීම ගැන මට ඇති වූයේ අපහැදිලිකමකි.ඒ මගේ මනුස්සකම බව සිතන්නැයි හදවත මට තරවටු කළේ ය. මම එය පිළි ගතිමි.
“ඇඹුල්තියල් කියන්නේ ලොකු හොටෙල් එකක්නෙ ඒයි..ඒකේ ඕනර්ගෙ ළමයෙක් මොකටද ඔය ෆුඩ් ඩිලිවරි යන්නේ..”
මා හවස් යාමයේ කේතකීටත් චමත්කාටත් කතාන්දරය පැවසූ විට චමත්කා පැවසුවේ පුදුමයෙනි.
“ඊට වඩා ලොකු කම්පැනි ඕනර්ස්ලගෙ ළමයි ඉන්නෙ අනේ අපේ බැච් එකේ.උනුත් ඔය එක එක ඔන්ලයින් බිස්නසුයි අනංමනං කරන්නෙ. අම්මලා තාත්තලට කොච්චර සල්ලි තිබ්බත් කොල්ලො ආස උන් හම්බ කරගන්නනෙ..”
කේතකී පරිගණකයට එබී හිඳිමින්ම එසේ කීවා ය.ඉන්පසු ඈ උපැස් යුවල ගලවා තබා අප දෙස බැලුවේ තව යමක් කියන්නට ය.
“ඒ වුණාට උං සේරම ගෙදරින් කාලා ඇඳල ඉන්නවනෙ.නැද්ද? ධීරගෙ තියෙන්නෙ හරි අවුල් පෙනුමක්.ඇත්තටම ගෙදරිං සතයක්වත් නොගන්න පාටක් තමා තියෙන්නෙ”
ඇය කියද්දී චමත්කා මුළුතැන්ගෙයට ගොස් පේස්ට්‍රි කිහිපයක් කුඩා බඳුනක රැගෙන ආවා ය.හවස තේ බොන්නට දේ ඔවුන් පිටතින් රැගෙන විත් ය.බඩගින්න තදින් දැනෙන නිසා ඉන් එකක් වහා අතට ගත් මට එක්වරම දුකක් දැනිණ.අද චූංපාං අල්ලා ගන්නට හෝ පහතට බසින්නට හේතුවක් නැත.ඉතින් මාලක අයියා හෝ විමසීම උගහට ය.
“එයා සාරාට බොරුවක් කියන්න ඇති.කොල්ලා කන්න යන්න ඇති.ඕනර් ගෑනි බනින්න ඇති.ඌ ලැජ්ජාවට මේ අම්මය කියල සේප් වෙන්න ඇති..”
චමත්කා එසේ කියන්නේ මුළුතැන්ගෙයට වී උස් හඬිනි.මට ඒ නිගමනය ගැන අනියත කෝපයක් හට ගත් නමුත් ඈ හා වාද කරන්නට ද සිත නැත.
“විකාර නොකිය හිටිං..මෙතනට යන එන කොල්ලෙක් එහෙම බොරු කියනවයැ. මාලකයියගෙන් අපි ඇහුවම..ඔතන මොකක් හරි වෙන අවුලක් තියෙන්නේ .”
කේතකී එසේ කියමින් බෝඩිමේ ඇන්ටීගේ කුඩා පිංකි පූස් පැටියාට පේස්ට්‍රි කෑල්ලක් දුන්නා ය.චමත්කා කිරි කෝපි තුනක් රැගෙන ආවේ මුව පුරා හිනැහෙන අතර ය.ඇයට කියන්නට දෙයක් ඇති වූ විට නඟන සිනාව ගැන තේරුම් ගිය මම ඇය දෙස විමසුම් ඇසකින් බැලීමි.
“එක අතකට ඇඹුල්තියල් එක ධීරගෙ උනා නොඋනා අපේ මොකෝ.අපි තුන්දෙනා ඌව කසාද බඳිනවයැ..”
කසාද බඳින අදහසක් නැති වුව ද මට ඔහු යළි දැක ගන්නට තදබල ආශාවක් හට ගත්තේ ය.හදිසියේ උපන් සිතුවිල්ලක් නිසා මම මාලක අයියාගේ ෆේස්බුක් ගිණුම පිරික්සන්නට ගතිමි.ගිය වෙසක් පොහෝ දා සහයෝගයෙන් සෑදූ වෙසක් කූඩු පෝස්ට් එකට අප ටැග් කරන්නට මාලක අයියා අප තිදෙනා ඔහුගේ ගිණුමට එකතු කරගෙන මාස කිහිපයක් ගෙවී ඇත.ඔහු අපේ නිල නොලත් ලොකු අයියා වීම නිසා පුරුද්දට හදවත් ලකුණු දැම්මාට මා මෙතුවකට ඒවා විමසිල්ලෙන් නරඹා නැත.ඔහුගේ ඡායාරූප හැම එකකම පාහේ ධීර ද හිඳියි
“ධීර වීරක්කොඩි” ඔහු සිනාවක් නැති මුවකින් මදෙස බලා සිටියි.මම ඔහුගේ ෆේස්බුක් ගිණුම පුරා සක්මන් කළෙමි.පෙම්වතියකගේ සලකුණකුදු නැත. එක් අතකට එතරම් අපිළිවෙල කොල්ලෙකුට ආදරය කරන්නට කෙල්ලෙකුට හේතු තිබේදැයි ඉන් අනතුරුව මට සිතිණ.
“සාරදී මොණරවිල” කිසිදා නොකළ යමක් ඉනික්බිතිව සිදු කළා ය.
මම ධීරට මිතුරු ඇරයුමක් යැවීමි.ඔහු එය අනුමත කරන්නට ඉඩ නැති බව දැන දැනම එය ඔහු වෙත යවන්නට මට සිත් විණි.එකට ඉගෙන ගන්නා සහෝදර සිසුන් පවා මට මිතුරු ඇරයුමක් එවන තුරු බලා සිටි මා මේ නොදන්නා කොල්ලාට ෆේස්බුක් රික්වෙස්ට් එකක් යැවීම ගැන මට බිඳුවකුදු දෙගිඩියාවක් තිබුණේ නැත.
සතියකටත් වඩා ගෙවී ගියේ ය.ඔහු මාලක අයියාගේ නිවසට ආවේ ද නැත.මගේ මිතුරු ඇරයුම ද පල් වෙමින් ඔහේ පැවතිණ.එක්තරා ගිනි රස්නය පිරුණු හවසක චමත්කාට පළතුරු වට්ටියේ වූ දිවුල් ගෙඩියකින් බීම හදන්නට ඕනෑ විණි.
“ඊට සනීපයි අර හංදියෙ ජූස් බාර් එකට ගියානම්..”
කේතකී කුසීතව පැවසුවා ය.කොහොමත් මා සහ චමත්කා ගැම්මෙන් අරඹන ඉවීමේ කර්තව්‍යයන් අවසන් කරන්නට වෙන්නේම ඇයට ය.
“කූල් කරන් නැතුව ඕක රසත් නෑ..”
ඇය එසේ කෙඳිරිලි නගද්දී මට මෝටර් සයිකලයක හඬ යාන්තමට ඇසිණ
“මං ඇන්ටිගෙන් අයිස්කැට ඉල්ලන් එන්නං ඉතිං..ඕනනම් අර කිඹුල්ලු ජෝඩුවටත් ටිකක් දෙන්න වෙයි..”
නිසල් සහ විසල් අයියා මලෝ දහයේ පන්තියේ ගණන් අසා ගැනීමේ සිට “බිස්කට් එකක් නැද්ද හලෝ” අසන්නට පවා අපේ දොරකඩ පෙනී හිඳින්නන් ය.මම ඔවුන් සිහි කර එසේ පවසා කුඩා භාජනයක් ද රැගෙන පහත මාලයට ආවෙමි. ඇන්ටී පෙනෙන්නට නැත. ඇය අලුත්ම මල් පැල සොයන්නට හෝ පොළ ලඟ මල් පෝච්චි කඩයට යන්නට ඇතැයි මට සිතිණ.
“ඇන්ටී…අයිස් කැට ටිකාක්”
මගේ ඇමතුමට පිළිතුරු දුන්නේ මාලක අයියා ය.
“ආ සාරා නංගි..කිචන් එකට එන්ඩෝ..”
මම මුළුතැන්ගෙයට ගියේ මොකක්දෝ කුළු ගතියකිනි.මාලක අයියා හැරී හිනැහුණේ ය.පිරිමි දරුවන් සිටින නිවස තුළට යන්නට නුවුමනා බව අම්මලා අපට මුල් කාලයේ උපදෙස් දුන්න ද දැන් එසේ නැත.අප ඔවුන්ගේ අර්ධ පවුල වී හමාර ය.
“ෆ්‍රිජ් එකෙන් ගන්න නංගි.අම්ම මල් පැල හන්ටින් ගිහිං..තව ඕන දෙයක් තියනම් අරන් යන්න..”
මාලක අයියා එසේ කියමින් බැදගත් බිත්තරය රැගෙන කෑම මේසයට ආවේ ය.මට එදෙස බලන්නට සවි ආවේ ඒ මොහොතේ ය.ඔහු මිතුරා බිත්තරය බඳින තුරුවත් නොසිට වේගයෙන් බත් අනමින් සිටියේ ය.
“උඹ මේ නංගි දන්නව නේද..අපේ ඇනෙක්ස් නංගියෙක්.සාරදී.අයිටී ඩිග්‍රියක් කරන්නේ..”
ඔහු මදෙස බලා වතුර වීදුරුවෙන් බාගයක් හිස් කළේ ය.ධීරට පෙර කතා කරන්නට මට ඕනෑ විය.
“මට මේ අයියව ලාස්ට් ටියුස්ඩේ හම්බුණා අයියෙ..ටවුන් එකෙන් අර ඇඹුල් තියල් එක හරියෙදි..”
ඔහු මදෙස බැලුවේ අර මන්දහාසයෙනි.එහි ගිලී දියව යන්නට හදිසි ආශාවක් මට හට ගත්තේ ය.මාලක අයියා උස් හඬින් හිනැහෙමින් බත් කටක් ඇනුවේ ය.
“බත් එකක් නිකං ගන්න එපැයි නංගි.ඒකෙ හිමිකරු තමා මේ මං ලවා බුල්සයි දාගෙන කන්නෙ..”
එසේනම් ඔහු පැවසුවේ අසත්‍යය නොවේ.විනාඩි ගණනකට හෝ චමත්කා හා එක්වී ඔහු සැක කිරීම මොනතරම් නරකදැයි මම සිතීමි.
“ආර්යාව එදත් පවර්ස් පෙන්නුව බං..මේ නංගිත් හිටිය..”
ඔහු එසේ කියා බත් අනන්නට ගත්තේ වේගයෙනි.මෙතැනට මා වැඩි බවක් හැඟෙද්දී මම වහා ඔවුන්ගෙන් සමු ගතිමි.