අමන්දී උදෑසන අවදි වූයේ නිදිමත දෑසින් පෙරෙද්දී ය.නිවාඩු දවසකටවත් කියා දහවල් වනතුරු නිදන්නට මෙහි ඉඩ නැත.එකම එක දවසක් ඈ හත පසුවන තෙක් නිදා ගත්තා ය.ඈ අවදි වන විට අවිශ්ක ගමනක් යන්නට ඇඳ පැලඳ බලා සිටියේ ය.
“ඔයා කොහෙහරි යන්න ලෑස්ති වෙලාද ඉන්නේ”
අමන්දී දෙනෙත් පිසිමින් අසද්දී අවිශ්ක පැමිණ ඇගේ නළලට පිටි අත්ල තබා උණ බැලුවේ ය.අමන්දී අන්දමන්ද වූවා ය.
“අම්මා කිව්ව ඔයා මෙච්චර වෙලා නිදි නිසා ලෙඩින් ඇති කියලා..යං බෙහෙත් ටිකක් අරන් එමු..”
මිනිසුන් විවිධාකාර බව අමන්දී වහා වටහා ගත්තා ය.පාන්දර හතරට දවස පටන් ගන්නා නිවසක හත පසුවන තුරු නිදා ගැනීම අරුම දෙයකි.මේ එවැන්නක් වූ පළමුවැනි දවස නිසා ඔවුන් තමන්ට රෝගයකැයි වටහා ගැනීම ගැන ඇයට සොම්නසක් දැනිණ.
“ඔලුව ටිකක් කකියනව අවිශ්ක..”
ඇය වහා පැවසුවා ය.අවිශ්ක ඇය බෙහෙත් ගන්නට කැටුව ගියේ පෙරැත්ත කරමිනි.තවමත් ඒ බෙහෙත් පෙති අමන්දීගේ අල්මාරිය මුල්ලක සැඟව හිඳියි.එය දකින මොහොතක් ගාණේ ඇයට මතු වන්නේ සිනාවකි.
අමන්දී අවදි වී පහළ මාලයට ගියා ය.ගේ පුරා සිහින් හඬින් පිරිත් හඬ පැතිර යයි.ඇය මුළුතැන්ගෙයට එබුණා ය.කාලයකට පෙර අවදි වී රෑ ඇඳුමෙන්ම මුළුතැන්ගෙයට ගිය දවස් අමන්දීට සිහි වේ.මෙහි පාන්දරම සේවකයෙකු හෝ යමෙකු හිඳියි.අමන්දී එනිසා ඇඳුමක් ඇඳ හිස පීරා මුළුතැන්ගෙයට යන්නට අමතක කරන්නේ නැත.
“කිරි ටික රත් කරෑකි දුවේ..”
ශාන්ති ලිපේ ගින්දර අදිමින් කියද්දී අමන්දී කිරි බෝතලය අතට ගත්තා ය.නැවුම් කිරි බොන්නට ලැබීම මෙහි පැමිණීමෙන් ලැබුණු එක් යහපත් දෙයක් බව ඇය සිතුවේ තනිව හිනැහෙමිනි.ලිපට පිඹින ශාන්ති ගැන අමන්දීට ඇති වන්නේ කණගාටුවකි.
“අම්මා..”
ඇය ඒ කණගාටුව සිත තබා ගනිමින් ම නැන්දම්මාට ඇමතුවා ය.දුම් රොටු නිසා රතුව ගිය දෑසින් ශාන්ති හැරී බැලුවා ය.
“අම්මේ ගෑස්ලිපක් තියනවනෙ.අපේ කඩේම ගෑස් සිලින්ඩරුත් තියෙන්නේ. අම්මා ඇයි මේ පාන්දරටත් ගින්දර කන්නේ.ඒක ලොකු වියදමකුත් නෙවෙයිනෙ..”
අමන්දී සැබෑ කණගාටුවෙන් ඇසුවා ය.ශාන්තිගෙන් මතු වූයේ වේදනාත්මක සිනාවකි.
“දුව උයන වෙලාවට එහෙම උයාගන්න.අප්පච්චි නම් කන එකකුත් නෑ හැබැයි..”
ශාන්ති කියද්දී අමන්දීට දැනුණේ පුදුමයකි.
“පුතාලගෙ අප්පච්චි කැමති නෑ දුවේ ගෑස් ලිපේ උයන ඒවා කන්න.දර ලිපේ රහට ඉව්වෙ නැත්තං එයා කන්නෙ නෑ.රහ හොඳට අඳුනනවා..”
ශාන්තිට කියන්නට තව බොහෝ දේ තිබිණ.නමුත් පිටුපස දොරෙන් ගෙට ගොඩ වූ සැමියා දෙස බලා ඇය වචන ගිල ගත්තා ය.අවිශ්කගේ අප්පච්චි රාත්‍රියට නිදන්නේ නිවසට අළලා ඇති සිල්ලර කඩය තුළ ය.හොර හතුරන් ගැන සෝදිසියෙන් හිඳින ඔහුගේ ඇඳ යට තිබූ යකඩ පොල්ල අමන්දී දුටුවේ දීග ආ අලුත ය.ඇයට එය පෙන්වූයේ සඳුනි ය.
“අප්පච්චි, කිරි උණු වෙලා..”
අමන්දී ඔහු ඇමතී ය.අප්පච්චි අමන්දීට සිහින් සිනාවක් පමණක් දී මුළුතැන්ගෙයි පුටුවකින් හිඳ ගත්තා ය.ඔහු ඊයේ ගොයමේ ලාබ පාඩු ගැන බිරිඳට කියන්නට ගත්තේ ඒ අතර ය.කාරුණික සිනාවක් පමණක් අමන්දීට දෙන්නට ප්‍රවේසම් ඔහු මේ සය මාසයටම ඈ හා වචන දහයක් කතා කර නැති බව අමන්දී සිහි කළා ය.එහි අමුත්තක් අමන්දීට දැන් නොදැනේ.සඳුනිගේ සහ ඔහුගේ සම්බන්ධය ද එබන්දකි.සඳුනි අප්පච්චිගෙන් ඉල්ලීම් ඉල්ලන්නේ පවා අම්මා හරහා ය.අමන්දීගේ තාත්තා ඇගේ අම්මාට ඕනෑ අන්දමට වැඩ කළ මිනිසෙකි.තේජස පිරුණු ආදරය දන්නා තාත්තා කෙනෙකු විවාහයෙන් පසුව හෝ ලබන්නට අමන්දී සිහින දැක්කා ය.සමහරවිට ඒ සිහිනය ඉටු වී ඇතිවා ද වන්නට පුළුවන.නමුත් අවිශ්කගේ අප්පච්චි දරුවන්ට කතාබහ කරන මිනිසෙකු නොවේ. එහෙත් අමන්දී ඒ ඉරණම ද පිළි ගත්තා ය.
“අක්කා..ඔයා හරි නරකයි..”
අමන්දී මිදුලට බැස්සේ අවිශ්කගේ කිරි වීදුරුව රැගෙන ය.ඔහු වී කාමරයේ කාර්යබහුලව ය.සඳුනිගේ හඬ මතු වූයේ ඒ අසලින්ම ය.පැමිණිල්ල කුමක්දැයි බලන්නට අමන්දී හිස හැරවූවා ය.මිදුල අතුගාමින් හුන් සඳුනි සිටියේ මුහුණ නරක් කරගෙන ය.අමන්දී සුදු වැලි මිදුලට ඇස් යැවූවා ය.එය ඉතා විශාල ය.එතරම් සුවිසල් මිදුලක් නිවසකට ඕනෑදැයි ඇය දහස්වර සිතා ඇත.ඇතැම්විට සඳුනිගේ අමනාපය මිදුල අතුගාන්නට උදව්වක් නොදීම නිසාදැයි අමන්දී සිතුවා ය.
“අක්කා ඇයි මට කීවේ ඉඳුවරව අඳුනන් නෑ කියලා..”
අමන්දී සසැලිණ.නමුත් අවිශ්කට ඇසෙන මානයේ හිඳිද්දී කලබල වන්නට ද නොහැක.
“මම එයා එක්ක හිතවත් නෑ සඳූ.මං කීවේ යාළුකමක් නෑ කියලනෙ..”
සඳුනි නිවස තුළට දිව ගියා ය.අමන්දී අවිශ්ක අත කිරි වීදුරුව තැබුවේ වහා සඳුනිගෙන් ගැළවෙන්නට සිතමිනි.
“මම ඊයේ ඉඳුවරගෙ සින්දු බැලුවා යූ ටියුබ්.මේ එයා කැම්පස් ඉන්න කාලේ කරපු කවර්ස් වගයක්.මේ අක්කත් ඉන්නෙ..”
අමන්දීගේ තොලකට වියැලිණ.ඒ හින්දි ගීතයක ප්‍රතිනිර්මාණයකි.ඒ කණ්ඩායමේ ඈ ද හුන්නා ය.ඒ සුන්දර අතීතයක මිහිරි මතකයන් ය. ඉඳුවරගේ ජනප්‍රියත්වය නිසා ඒ පැරණි මතක පවා රසිකයන් ගොඩ ගනිමින් හිඳින බව අමන්දීට වැටහිණ.
“නංගි, ඕවා කරන්න යාලුවොම වෙන්න ඕන නෑ.ඒ වැඩේට දක්ෂ කට්ටියක් එකතු වෙන්නෙ..ඕක තියෙන්නේ අදීෂගේ යූ ටියුබ් චැනල් එකේ නේද? අදීෂත් ඔය රියැලිටි එකේ හිටියනෙ.එයාලා ඒ කාලේ ඉඳන් ඔහොම ඒවා කරා ආසාවට.මට ඕකට කතා කළෙත් අදීෂ..”
අමන්දී කියවාගෙන ගියේ සඳුනි තව මොනවා හෝ සොයා ගනිතැයි බියෙනි.
“මං අදීෂට ආස නෑ.මහ පණ්ඩිත සිංදු කිව්වෙ.එයා හරි විශාරද කියලා පෙන්නන්න..”
සඳුනි නෑනා කියූ බස් පිළි ගනිමින් ගෙතුළට ගියා ය.
“සින්දු කියන්න පුලුවං උනාට මට ඇහෙන්න එකක්වත් කියලා නෑනෙ..ඒ වීඩියෝ එක මටත් බලන්ඩ ඕන ඈ”
අමන්දී සැමියා දෙස බැලී ය.කලාතුරකින් පිරෙන අන්දමේ ප්‍රේමයකින් ඔහුගේ මුහුණ පිරී තිබිණ.හින්දි යුග ගීයක් ගයන තමන්ගේ සහ ඉඳුවරගේ දෑසේ ඇඳි කතාව අවිශ්ක කියවා ගනීදැයි තිගැස්මක් ඇය වෙළා ගත්තා ය.