පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය. එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි. පාසල් බස් රිය මග හැරුණොත් යන බියට ටිකක් වේලාසන හන්දියට යාම මගේ සිරිතයි. එසේ නො වුව හොත් සීසන් එකේ යන්නට ලංගම බසයක් ම අල්ලා ගත යුතු ය. පුද්ගලික බස් රථ වල නැගෙන්නට නම් මුදල් ගෙවිය යුතු ය. බොහෝ විට මා සන්තකයේ බස් වියදමට තරම් හෝ මුදලක් නොවේ.
ගෙදර සිට අතුරු පාර දිගේ මඳ දුරක් ඇවිද යත්දී මා ළඟින් ම රියක් නැවතිණ. ඒ ආකාශ් සඳයුරු ගුරුගේ බව මෝටර් රථයෙන් ම මට හැඳිනිය හැකි වූයේ ය.
මා යමක් සිතන්නටත් පෙර රියෙහි ඉදිරි දොර ඇරුණේ ය. ආකාශ් වම් බසට බර වී ගෙන මට කතා කළේ ය.
“නගින්න නංගි. මාත් එක්ක යන්න පුළුවන්”
“න්..නෑ…මෙතනිං බස් එක ගන්න පුළුවන් අයියෙ”
“කමක් නෑ ඉතිං. බස් එක එනකල් ඉන්න දෙයක් නෑනෙ. යමු. නගින්න…”
ඔහු ආරාධනා දෑසකින් බලා සිටියේ ය. ඒ වාගේ නිහතමානී මිනිසුන් ට කොහොම ආආඩම්බර පෙන්වන්නද? ඉතින් මම තව දුරටත් ප්‍රතික්ෂේප කිරීමකට නොයා රිය ට ගොඩ වීමි.
එතුල වූයේ සීතල සුවඳකි. යෞවනයෙකු ගේ මෝටර් රථයක් තුළ ඒ තරම් පිළිවෙලක් තිබෙන්නට පිළිවන් ද යන්න මා තුළ මුලින් ම නැගුණ සිතිවිල්ලයි.
සුක්කානම අල්ලා ගෙන සිටි ඔහු ගේ අතැඟිලි දිගටි ය. ඒ නියපොතු තුඩක් පවා පිරිසිඳු පාට ය. බලා සිටියා වැඩි යයි දැනුණ ගමන් මම වීදුරු කවුළුවෙන් ඉවත බලා ගතිමි.
බස් එකේ වීදුරු කවුළුවක් ළඟ අසුන් ගෙන යත්දී ලෝකය පෙනෙන විදිහ, මෝටර් රථයක කවුළුව අයිනේ හිඳ ගෙන යත්දී ලෝකය පෙනෙන විදිහට වඩා වෙනස් ය. දැනෙන හැඟීම ද වෙනස් ය. සුඛෝපභෝගී වාහන තිබෙන මිනිසුන්ට ඒවා නඩත්තු කිරීම වෙනුවෙන් විශාල මුදලක් දැරිය යුතු යයි තාත්තා කියයි. ත්‍රීරෝද රථය වුව නිසි වෙලාවට ලයිසන් කර රක්ෂණ ඔප්පුවට මුදල් ගෙවීමට ඔහු ට නො හැකි තරමි. ලයිසන් නිම වූ පසු ඇතැම් විට දින ගණන් සති ගණන් වාහනය ගෙදර මිදුලේ තබා ගෙන සිටී. ලයිසන් කිරීම සඳහා අනිවාර්යයෙන් ණය විය යුතු ය.
“ලයිසන් කරන්න තියෙන දවස් දන්න නිසා කිට්ටු වෙද්දි තාත්තට තියෙන්නෙ කීය කීය හරි වෙන් කරල තියා ගන්නනෙ”
පිස්සුවෙන් වාගේ ණයට සල්ලි හොයන වෙලාවට මම කියමි.
“වෙන් කරල තියන්න…දවස හොයා ගන්න සොච්චමෙං වෙන් කරන්න ගියොත් කයි උඹල”
ඔහු කතා කරන්නේ මට සමච්චලයට ය. දැන් ණය වුණත් එය ගෙවිය යුතු ය. නමුත් තාත්තා එක්ක තර්ක කරන්න ට යනවා ට වඩා පාඩුවේ නිහඬ වෙන එක හොඳ ය.
වාහන නඩත්තු කරනවාට වඩා බස් එකේ යන එක හොඳයි යන්න තාත්තා ගේ අදහසයි. නැත්නම් හොඳ ම දේ ත්‍රීරෝද රියකි. නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වන බව ඇත්ත ය. නමුත් තමන්ගේ ම ය කියා වාහනයක යත්දී දැනෙන අභිමානය කුමක් දැයි අද මේ මොහොතේ මම අවබෝධ කර ගත්තෙමි. බස් වල යාම ලාභ දායක ය. නඩත්තු කිරීමක් අවශ්‍ය වන්නේ නැත. නමුත් නඩත්තුව සඳහා වැය කරන මුදලින් ඒ අභිමානය මිල දී ගත නො හැකි ය.
“මාව ඉස්සරහ බස් හෝල්ට් එකෙන් දාන්න අයියෙ”
හයිලෙවල් පාරට රිය හැරවෙත් දී මම කලබල වී, උකුල මත වූ පොත් බෑගයත් අතට ගතිමි. ආකාශ් මදෙස බලන්නේ හෝ නැතිව නිසංසලේ කතා කළේ ය.
“මං යන්නෙ ඕගොල්ලංගෙ ඉස්කෝලෙ පහු කරං. එතනිං බහින්න”
“නෑ. මට ස්කූල් බස් එකේ යන්න පුළුවන් අයියෙ”
“ඉතිං මේ කා එකෙත් යන්න පුළුවන්නෙ”
ඔහු ව නම්මා ගත නො හැකි බව දැනෙත්දී මම නැවත බෑග් එක උකුල මතින් තබා අසුනෙහි හේත්තු වුණෙමි.
“එතකොට ඔයාට ඉක්මනට ඉස්කෝලෙට යන්නත් පුළුවන් වෙයි”
මම ඔහු දෙස බලා බිම බලා ගතිමි. ටික දුරක් යන තෙක් රිය තුළ වූයේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි නාලිකාවක හඬ පමණකි.
“නංගි ටියුෂන් යනව නේද…”
ඔහු ගේ ඒ ප්‍රශ්නය සිහිනයකින් ඇහැරුණා සේ මට දැනවූයේ, එතෙක් අපතර පැවති නිහඬතාවය නිසා ම ය.
“ඔව්…”
“කොහොමද ඉතිං වැඩ ටික අල්ලගෙන යනවද…”
“කරනව ඉතිං…”
මම ලැජ්ජාශීලී මඳහසක් පෑවෙමි.
“තේරෙන්නැති දෙයක් තිබුණොත් අහන්න බලන්න. මටත් දැං ඕව මතකද නං දන්නෑ”
ඔහු එසේ කියා හිනැහුණේ ඇස් කුඩා කර ගෙන ය. මම ඒ වත දෙස ම බලා සිටියෙමි. ඔහු කෙතරම් අව්‍යාජ ද?
මගේ හිතේ මේ මොහොතේත් එදා අර වැසිකිළියේ දොර අරිත්දී වූ සිද්ධිය ක්‍රියා කරයි. නමුත් ඔහු නම් හැසිරෙන්නේ ඒ ගැන කිසිදු මතකයක් නැතිවා මෙනි.
“මං අද ටිකක් වේලාසන එන්නං. ඔයත් එක්ක පේපර් එකක්වත් ඩිස්කස් කරන්න පුළුවන් ද බලන්න”
වජිර පාරේ මැද හරියේ ඉඩක් වූ තැනෙක නැවතුන රියෙන් මා බසිත්දී ආකාශ් කීවේ ය. මම යන්තම් හිස වනා ගෙන මඳහසකින් රිය දොර වැසීමි.
“කවුද අප්ප ඒ…”
මා පසු පස වූයේ මගේ පන්තියේ යෙහෙළියක වන ඉසුරි ය.
“ගෙවල් ළඟ අයිය කෙනෙක්”
මම ගාණකට නැති ව කීවෙමි. මා නො කියන යමක් සොයා ගන්නට මෙන් ඇය මගේ ඇස් වලින් මුහුණ ට එබී ගෙන සිටියා ය.
“උපාසක බළල්ලුන්ගෙ කතාව හරි එහෙනං නේ…”
අනතුරුව ඕ මහ මග ම හඬ නගා සිනා සුණා ය.
“පිස්සුද…දොඩවන්නෙපා”
“මීට කලිං ඔය වගේ අයිය කෙනෙක් ගැන කියල නෑනෙ…”
“මොකටද ඉතිං කියන්නෙ…අපේ ලේන් එකේ ඉන්න ඔක්කොම බෝයිස්ල ගැන වාර්තාවක් දෙන්න ඕනද දැං මං…”
ඒ කතාව ඒ විදිහේ විහිළුවකින් යටපත් කළ හැකි වීම ගැන මට සැනසීමක් දැනිණි. නො එසේ විණි නම් ඔහු ව බලන්නට කෙල්ලන් ට අපේ ගෙදර එන්නට ඕනෑ වන්න වුව පුළුවන.
එදා අපේ ගෙදර සරු කෑම වේලක් පිස තිබිණි. මා කෑම කන්නට වළං ඇර බලත්දී කරවල බැදුමක් ද අල හොද්දක් ද ගොටුකොළ සම්බලයක් හා පපඩම් ද වූයේ ය.
“අද මෙච්චර දේවල්…”
මම නිකමට අම්මා පිළිවිසීමි.
“තාත්ත බඩු ටිකක් ගෙනත් තිබුණා”
තාත්තා ට ඉඳහිට වාසි වන්නේ ය. ඒ බව දැන ගත හැක්කේ ඔහු බඩු මල්ලක් ගෙදරට ගෙනෙත්දී ය. නමුත් ඒ ගෙනෙන දෙයක් පිරිමසා ගන්නට නො දන්නා පුරුද්දක් අම්මා ට විය. කරවල දෙසිය පණහක් තාත්තා විසින් ගෙනෙනු ලැබ තිබුණොත් අම්මා ඒ දෙසිය පණහම කෑලි කපා තෙල් දමන්නී ය. නැත්නම් උයන්නී ය. කන්න හැකි හෝ නො හැකි තරමට බෙදා ගෙන, ඉතිරි වෙන ඒවා විසි කර දැමීම ඇගේ විදිහයි.
“ඔච්චර වැඩියි අම්මෙ. තව සැරේකට ගන්න ටිකක් තියන්නකො”
කියා මා කීවොත් ඈ කරන්නේ මට සැර දැමීමයි.
“ලෙව කන්නද….තියන වෙලාවට හරි ඇති වෙන්න කන එකයි තියෙන්නෙ”
තියන වෙලාවේදී තියන සියල්ල කපා හොද්දට දමා, කන්නට බැරි නම් විසි කරන එක ගැන අම්මා ට කිසිදු හැඟීමක් නැත. ටිකක් ඉතිරි කර ගෙන තවත් වේලකට පිරිමසා ගන්නා එක ගැන ඇය ට කිසිදු අදහසක් ද නැත.
“අනේ මන්දා…කවදහරි මෙයානං කන එකකුත් නෑ ඉතුරු කරයි”
අවසාන වශයෙන් ඈ එළඹෙන්නේ එවැනි නිගමනයකට ය.
අද ද කරවල හට්ටිය සිව් දෙනෙකු ට නොව දස දෙනෙකු ට පමණ සෑහෙන්නට තනා තිබුණ ද මම ඒ ගැන කිසිත් කියන්නට නො ගියෙමි.
“නෙරංජලා මැඩම් උදේ ඇවිත් කිව්ව ඒගොල්ලො දන්න බාස් කෙනෙක්ව එවනව කියල කාමරේ හදන වැඩේට. හෙට ඉඳං වැඩේ පටං ගන්නවලු”
අම්මා මා ළඟට විත් කීවා ය. ඇගේ මුහුණේ සතුටු සිනහවකි. මට ඇය පව් කියා සිතිණි. ගැහැනියක වශයෙන් තාත්තා හා පැමිණි දා සිට ම ඈ විඳ ඇත්තේ දුක් ය. නමුත් අම්මා ගේ මුහුණේ නිතර වන සිනහවකි. තාත්තා සමග වුව නැති වාදම් කියා ගෙන ඇය රණ්ඩු කරනු මා දැක නැත. අද උයන්නට දෙයක් නොමැති බව ඈ කියන්නේ ද සිනහ වෙමිනි.
“ඒ වුණාට අමමෙ…ඒකට කොච්චර ලොකු වියදමක් යනවද…මටනං හිතට හරි නෑ වගේ”
“ඒගොල්ලො ඉතිං කැමැත්තෙන්නෙ කරන්නෙ”
මම ටික වෙලාවක් අම්මා දෙස බලා සිටියෙමි. ඇය රූමත් ගැහැනියකි. අම්මා වගේ ඇහැට කනට පෙනෙනා ගැහැනියක ඉන්නා ගෙදරකට තාත්තා බය නැතිව පිරිමින් ගෙන එන්නේ මන්දැයි තමන්ට සිතා ගත නො හැකි බව ආච්චම්මා කිහිප වතාවක් ම පවසනු මම අසා ඇත්තෙමි. ඇය කී කාරණයෙහි වන සත්‍යය මට ද පසක් වන්නේ දැන් ය.
මම නෙරංජලා ගුරුගේ ට පොරොන්දුවක් වී ආවෙමි. ඒ අද හැන්දෑවට පාඩම් කරන්න ට ඇගේ නිවසට පැමිණෙනා ලෙස ය. නමුත් ආකාශ් ගේ කතාව මගේ මනසේ තවමත් හොල්මන් කරයි. ඔහු පාඩම් කියා දෙන්නට වේලාසන ගෙදර එනවා කීවේ ය. ඇයි දෝ මන්දා එවැනි අවස්ථාවක් මගහැරිය යුතු බවට මගේ හිත මට අනතුරු අඟවයි.
ආකාශ් එන්නට කලින් ගෙදර එන අදහසින් මම පොත් ටික ද ගෙන එහි ගියෙමි. ගුරුගේ මැතිණිය මා පිළි ගත්තේ සිනහ කටකිනි.
“එහෙනං කෙල්ල පොරොන්දු කඩන්නෑ නේ…බත් කාල ඉමු”
“අනේ මං මේ කාපු ගමං ආන්ටි ආවෙ. ආ…අද උදේ මං ඉස්කෝලෙ යනකොට අයියව හම්බ වුණානෙ”
ඒ රහසක් ව තබා නොගෙන ඇයට හෙළි දරව් කළ යුතු යයි මම උදේ ම සිතා ගෙන සිටියෙමි.
“ආ…අද එයා පාන්දරම ගියානෙ. පූජා ඒ වෙලාවටද ඉස්කෝලෙ යන්නෙ…”
“ඔව්. ස්කූල් බස් එකේ යන්න ටවුන් එකෙන් බස්සන්න කිව්වට අයියා මාව ඉස්කෝලෙ ළඟට ම එක්කං ගියා”
“පුතා හැමදාම ඒ වෙලාවට ගියානං ඔයාට එයා එක්කම යන්න තිබුණා”
මට පුදුම නො සිතුණා ම නොවේ. ඒ වාගේ තරුණයෙකු, මා වගේ පවුල් පසුබිමක් ඇති කෙල්ලක ව තනිව රියෙහි දමා ගෙන යාම ගැන ඇය ට බියක් චකිතයක් නො දැනෙන්නේ ද?
“ආන්ටි අපිට බාත් රූම් එකක් එක්ක කාමරයක් හදල දෙනව කියල අම්ම කිව්ව. අනේ… කරදර වෙන්න එපා ආන්ටි”
මට ඒ මාතෘකාවට එළඹෙන්නට ඕන වී තිබුණේ ය. නමුත් නෙරංජලා ගුරුගේ මගෙන් ඉවතට මූණ හරවා ගත්තා ය.
“පූජාගෙ බර්ත් ඩේ එක කවදද…”
“ලබන මාසෙ…විසි තුන…”
“ආ…එහෙනං ඒක මගෙං ඔයාට ලැබෙන බර්ත් ඩේ ප්‍රසන්ට් එක කියල හිතා ගන්න”
කියමින් ඇය නික්ම ගියා ය. ඇතතට ම මම දෙහෝරාවක් පමණ නිදහස් සිතින් පාඩම් කොට පොත් ටිකත් ගෙන පහළ මාලයට ආවෙමි.
“ආ…ඔය යන්නත් හදනවද…”
ආකාශ් ගේ රිය ගෙමිදුල නතර වූයේ ඒ වෙලාවේ ම ය. මා සැලසුම් කොට තිබූ පරිදි, ගුරුගේ මැතිණිය ගේ සිත ද නොරිදවා, ඔහු මග හැර යා නො හැකි වූයේ ය.
“ආ..මොකද මේ යන්නෙ…මං කිව්වනෙ මං ඉක්මනට එනව පාඩමක් කියල දෙන්න කියල…”
මා යටි තොල් පට සපා ගෙන බිම බලන ගමන් නෙරංජලා ගුරුගේ ගේ ඇස් හමු විය. ඇය මඳහසක් නගා ගත්තේ ‘එහෙනං ඒක තමයි ඉක්මනට පැන ගන්න හැදුවෙ’ වැනි බැල්මකිනි.