“ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං”
කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට හදන්නේ මට උදව්වකි. මගේ තත්වය ගැන ඔවුන් ට හංගන්නට දෙයක් වන්නේ නැත. එහෙම එකේ උදව් කරන්නට එන මිනිසා ට ආඩම්බර පෑ නො හැකි ය.
“ඔයා ටේබල් එකට ගිහිං වැඩ කරන්න ජූජා. අයිය වොෂ් දාගෙන එයි”
නෙරංජලා ගුරුගේ මගේ අතකින් අල්ලමින් කීවා ය.
“ආන්ටි”
මම යන්තම් කොඳුරා ගතිමි. මා තුළවන තිගැස්ම ඇය හඳුනා ගන්නට ඇත.
“මට ඔයාව තේරෙනව පූජා. මොනා වුණත් ඔයා මොළයක් තියන ළමයෙක්නෙ. ඉතිං හිතනව ඇති ඇයි අපි මෙහෙම ඔයාට උදව් කරන්න හදන්නෙ කියල…”
ඇය සාස්තර කාරියක සේ මගේ හිත කියවමින් සිටියා ය.
“ඉඳගන්නකො”
අප දෙදෙනා ඒ ආසන්නයේ වූ නවීන සෝෆා කට්ටලයක වාඩි වුණෙමු.
“පිං කරනවනං පන්සල් වලට සල්ලි වියදං කරල ගමේ රටේ ජනප්‍රිය වෙන්න පුළුවන්නෙ. ඒ නැතත් ටීවී එකේ එහෙම මූණ පෙන්නගෙන කොච්චර දන් පින් කරන්න පුළුවන් ද…අද කාලෙ පාරක් හදන දේශපාලකයෙක් වුණත් පාරෙ නම දාල බෝඩ් එක ගහන්නෙ එයාගෙ මූණෙ ෆොටෝ එකකුත් දාලනෙ. ඒ නැතත් ඔය හාල් සිල්ලර මල්ලක් කාට හරි දුන්නත් දැන් ස්ටයිල් එක ෆොටෝ ගහල ෆේස් බුක් දාන එකනෙ. ප්‍රසිද්දිය තකා දන් දෙන්නවත් පිං කරන්නවත් මට උවමනාවක් නෑ පූජා. මං පන්සලකට අල්ලපු ගෙදරක ජීවත් වෙච්ච කෙනෙක්. දාන ශාලාවෙ පිටිපස්සෙ විසි කරල තියෙන කෑම ගොඩවල් මං මගෙ ඇස් දෙකෙං ඕන තරං දැකල තියෙනව. මිනිස්සු දානෙ හදා ගෙන එන්නෙ සමහර විට ණය තුරුස් වෙලා. බත් එළවළු පිණි විතරක් නෙවෙයි.හුඟක් ගණං පළතුරු ජාති පවා පන්සලේ කුණු ගොඩවල් වල කුණු වෙනව. මට නං ඒ තැන් වලට දාන දෙන්න කිසිම හැඟීමක් නැත්තෙ ඒ නිසයි. කෑම වේලක් හරි දෙන්න ඕන ලැබිය යුතු තැනකට පූජා. මේ රටේ බඩගින්නෙ කොච්චර මිනිස්සු ඉන්නවද….හැබැයි පන්සල් වල කෑම කඳු ගණං අපතේ යනව. චෛත්‍ය හදල නම් දාගන්න කැමති සල්ලිකාරයො ඕන තරං මේ රටේ ඉන්නවනෙ. මන්නං කැමතියි උදව්වක් ඕන කෙනෙක්ට යමක් කරල සතුටු වෙන්න. මං මගෙ පුතාව හදල තියෙන්නෙත් එහෙම…”
දිග කතාවක් කියා ගෙන ගිය ඕ මඳක් නතර වී මදෙස බලා සිනහ වූවා ය. මම නො තේරුම් බැල්මෙන් දිගට ම ඇදෙස බලා සිටියෙමි.
“මාත් අන්තිම පත්ලෙ ඉඳල මෙතනට ආපු කෙනෙක් පූජා. අද අපි මේ තත්වෙට ඇවිත් ඉන්නෙ මගෙ මහත්තයයි මායි දෙන්නම කරපු කැප කිරීම් වලයි වෙච්ච මහන්සියෙයි ප්‍රතිපල විදිහට. ලස්සන රූපයක් තිබුණට තරමක් දුරට ඉගෙන ගෙනත් හිටියට මං ආදරේ කරපු කෙනාගෙ ගෙදරිං මට කැමති වුණෙ නෑ. ඒ වේදනාව අමතක කරන්න මගෙ ජීවිතෙං අවුරුදු ගාණක් අපතේ යවන්න වුණා. යන්තං ඔළුව උස්සද්දි මං හිතා ගත්ත දෙයක් තමයි සල්ලි මත මිනිස්සුංව මනින්නෙ නෑ කියන එක. ඔයාව දකිද්දි මට මගෙ අතීතෙ මතක් වෙනව. ඔයා වගේ එක ගෑනු ළමයෙකුට හරි උදව්වක් කරන්න ලැබෙන එක මට සතුටක්. මැරෙන්න කලිං…අපේ ශක්ති ප්‍රමාණයෙන් …අපි මහ ලොකු පෝසත්තු නෙවෙයි පූජා…හැබැයි අපිට පුළුවන් විදිහට උදව් ඕන කරන කෙනෙක්ට මං උදව් කරනව. පන්සලට දන් දෙනවට වඩා ඒක මට සතුටක්. ඔයා මං උදව් කරන්න හදන එක ගැන වැරදියට හිතන්න එපා පුතේ”
මම හිස වඩාත් බිමට හරවා ගතිමි. ඇය ගැන යන්තමින් හෝ සැක සංකා උපදවා ගැනීම පිළිබඳව මා ගැන ම මා තුළ උපන්නේ ලැජ්ජාවකි.
“හැම කෙනෙක් ගැන ම එහෙම ආදරයක් කරුණාවක් ඇති වෙන්නෙත් නෑ. ඇත්තමයි කියන්නෙ…ඔයාගෙ නංගි ගැන වුණත් මට එහෙම පැහැදීමක් නෑ. මට දුවෙක් නෑනෙ. පුතාල දෙන්නෙක් විතරයි. ලොකු පුතා මැරි කරල වෙනම ඉන්නෙ. ඔයා වගේ දුවෙක් හිටියනං කියල පූජාව දකිනකොට මට හිතෙනව. ඒක නිසා මං ඔයාට පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට තැනක් හදල දෙන එක ගැන අහිතක් හිතන්න එපා. හොඳේ…”
ඇය සිනහ වී මගේ හිස මත අත තැබුවා ය. සිනහ වෙන්නට මට අමතක වී තිබිණ.
“යන්න උඩට. මං තේ හදං එන්නං. දැං අයිය එයි”
ඇය නැගිට මුළුතැන්ගෙට ගියා ය. බරැති දෙපා අද්ද අද්දා මම පිය ගැට පෙළ නැග්ගෙමි. මා මේසය ළඟට යනකොට ම, දිය නා සිහිලැල් වූ ආකාශ් මේසය කරා පැමිණ පුටුවක් ඇද හිඳ ගත්තේ ය.
“සිලබස්නං දැං වෙනස් වෙලා නේ…බලමු…”
මගේ පොත් කිහිපයක් ගෙන ඔහු පෙරලා බලන්නට වූයේ ය. ඒ අතරේ මම ඒ මූණ දෙස බැලුවෙමි. නිකට හා කොපුල් තලා වල රැවුල් කොට වැවී ගෙන එන්නේ තද කොළ පැහැයකට ය. දිළිසෙන කළු කොණ්ඩයක් ඔහු ට තිබිණ.
“පූජාට සාමාන්‍යයෙන් තේරෙන්නැති ලෙසන්ස් මොනා හරි තියනවද…”
ඔහු වහා හිස ඔසවත්දී මට ඉවත බලන්නට කාලයක් තිබුණේ නැත.
“ම්…කෙමිස්ට්‍රි වල ඕගනික් පාට් එකනං ටිකක්…”
“ඕගනික්ද…මගෙ ෆේවරිට්නෙ…හොඳ වෙලාවට…නැත්තං පල් වෙන්න තමයි වෙන්නෙ”
පොඩි ළමයෙක් සේ ඔහු හිනහුණේ ය. ඒ සිනහව තුළ අතරමං වන්නට පෙර මම පොත පෙරළා ගතිමි.
මා තුළ අවුල් සහගත බවක් වූ තැන් කිහිපයක් ම ඔහු සරල ලෙස විසඳා දුන්නේ ය. ආකාශ් ගෙන් පාඩම් ඉගෙනීම ගැන හිතට දැනෙමින් තිබුණා වූ චකිතය මඳ වශයෙන් තුනී ව යමින් තිබිණ.
මා යළි ගෙදර ගියේ තවත් දෙහෝරාවකට පමණ පසු ය.
පසු දා ගෙපල කපන නැකතට සහභාගී වනු පිණිස ආච්චම්මා පැමිණ සිටියා ය. ඒ වෙලාවට සහභාගි වන අයට කනු පිණිස කිරිබතක් සූදානම් කළ යුතු යයි මතක් කළේ ඇයයි.
“අපරාදෙනෙ ඔය වැඩේ බාස්ලට දීල තියෙන්නෙ. මට සල්ලි ටික දුන්නනං මං ඔය කොල්ලො ටිකක් අල්ලගෙන වැඩේ කරල දානව. බාගෙට බාගයක් අඩුවෙං වැඩේ කර ගන්න තිබුණා”
තාත්තා පාරම් බෑවේ ය. ආච්චම්මා කට කොනකින් සිනහ වූවා ය.
“මොකට කියනවද ඒ ගැන…උඹට සල්ලි දෙනව කියන්නෙ ඉතිං වක්කඩේ හකුරු හංගනව වගේ වැඩක් තමයි”
තාත්තා කිසිත් නො කියා මගහැර ගියේ ය. කෙසේ වෙතත් ගෙපල් කපන නැකතට පැමිණෙන ලෙස ඔහු සිය මිතුරන් රැසකට දැනුම් දී තිබුණේ ය.
“රංජි කියනව කොල්ලො ටිකට කිව්වනං බෝතලයක් විතරලු යන්නෙ ගෙපල කපා ගන්න”
අම්මා එවර තාත්තා වෙනුවෙන් පෙනී සිටියේ ඇයි කියා මට වැටහුණේ නැත.
“අනේ සුමිත්‍රො…උඹ තාමත් උඹගෙ මිනිහගෙ තරම තේරුං අරං නැති හැටි ඇත්තට…එයා ලෑස්ති කර ගෙන ඇති මෙතන නාඩගමක්. බලහංකො හෙට මෙතන බෝතල් මූඩි කීයක් ගැලවෙයිද කියල. පිස්සු මූට…”
හෙට ගෙපල් කැපිල්ල සඳහා ගෙදර නවතින්නට නො හැකි වීම ගැන මම සතුටු වීමි. මාසික පරීක්ෂණයන් පැවැත්වෙන නිසා පාසල් නො ගොස් බැරි ය. හවසට භෞතික විද්‍යාව උපකාරක පන්තිය නිසාවෙන්, පාසල් ඇරී එන ගමන් නුගේගොඩින් බැසිය යුතු වෙයි.
අඳුර වැටී ගෙන එත්දී මා ගෙදර එන විට, අපේ ගෙදර ට ම අල්ලා කාමරයේත් නාන කාමරයේත් ගෙපල් කපා අත්තිවාරම ද දමා නිමවා තිබිණ. තාත්තා ගේ මිත්‍ර සමාගමය මිදුලේ තැන් තැන් වල වාඩි වී කාඩ් ගසමින් ද මත් පැන් බෝතයක පත්ල දෙස බලමින් ද සිනහ නගමින් ද සිටියහ. මා ගෙමිදුල ට එත්දී ම එක් මොහොතකට ඒ සිනා කතා නැවතිණ. හැමදාමත් එහෙම ය. මා දකින මොහොතේ දී, මගේ නොරිස්සුම දැනෙන නිසා ද මන්දා ඔවුහු මඳකට නිහඬ වෙති.
ඒ පැත්තෙන් සැර දුම් ගඳක් පා ව ආවේ ය. මට මහත් අපුලක් දැනිණ.
“මොකද අප්ප අදත් මූණ එල්ලගෙන…අත්තිවාරම දාල තියෙනව දැක්කහමවත් හිනා වෙන්න හිතෙන්නෙ නැද්ද…”
අම්මා පිළිවිසියා ය.
“හිනා නෙවෙයි. වත්තට ඇතුල් වෙනකොට ම මට අඬන්නයි හිතෙන්නෙ”
මම තාත්තා කෙරේ කේන්තිය අම්මා පිටින් යැව්වෙමි.
“අපෝ ඇති ඇති. දැං තාත්තට ඇහුණොත් එහෙම මෙතන තව කතාවක්”
තාත්තා හා මා අතරේ නිතර බහින් බස් විම් ඇති වන්නේ ය. මැදට පැන ඒවා සන්සිඳුවන්නට වෙන්නේ අම්මා ට නිසා ඇය ඒ රණ්ඩු වලට බය ය. සාමාන්‍යයෙන් නිහඬ කෙල්ලක වන මට, තාත්තා ගේ චර්යාවන් සම්බන්ධව කේන්ති ගිය විට යක්ෂණියක ආරූඩ වෙයි.
“අපෝ…තාත්තයි දුවයි නේද…හරියට නිකං නැන්දම්මයි ලේලියි වගේනෙ”
එතකොට අම්මා කියයි.
“දෙන්නත් එක්ක ගාණ්ටාර ගහන්න ගත්තහම අර තට්ටු ගෙදරටත් ඇහෙයි”
මා නිහඬ වූයේ ඒ නිසා දැයි මට ම නොතේර්. කොහොම වුණත් ආකාශ් වගේ වැදගත් හා විනීත තරුණයෙකු මා එහෙම කේනිති ගන්නවා දකිනවා ට මා කැමති නැත.
“අක්කෙ…ඒ කොල්ල මොනාද අනේ කරන්නෙ…”
නංගී මගේ මනෝ ලෝකයෙන් මා බිමට බැස්වූවා ය.
“මොන කොල්ලද…”
“අර තට්ටු ගෙදර කොල්ල අනේ”
“කතා කරන කැත! කොල්ල කොල්ල කිය කිය…ඇයි අයිය කියන්න බැරිද…”
නංගී සාවඥ සිනහවක් හෙළුවා ය. වැඩි විය පත් ව මාසයට දෙකට ඇය හොඳට ම නරක් වී තිබේ. මල්වරය පමා වූවාට ඇය මට වැඩිය බාල වන්නේ වසර හතරකට ය. කොහොමත් ඇය වයසට වඩා පැහී හිටියා ය. දැන් තත්වය වඩාත් නරක ය.
“හරි හරි. ඔයාගෙ අයිය මොනාද කරන්නෙ…”
“මන් දන්නෙ කොහොමද…”
මම තරමක් සැර වීමි. නැවතත් ඇය ගේ අර සාවඥ සිනහව මතු වූයේ ය.
“අයියෝ…ඒකවත් දන්නැද්ද…ඔයාගෙ අයියනෙ…මේ…ඒකා මාර ගති නේ…”
මම නංගී දෙස රවා බැලුවෙමි.
“පිස්සුද ඕයි…”
“ගෙපල් කපනකොට ඇවිත් හිටියනෙ. පිස්සු හැදෙනව අප්පා. නළුවෙක් වගේනෙ”
නංගී ගැන අපුලක් මා තුළ ඇති විය. ඇගේ වයසේ දී මගේ පාසල් මිතුරියන් ද කඩවසම් තරුණයන් ගැන ඔය විදිහේ කතා ඕනෑ තරම් කියනු මා අසා තිබේ. ඒ අවස්ථා වල සිනහ වෙවී බලා සිටි මට නංගී ගැන මෙහෙම තරහක් දැනෙන්නේ ඈ මගේ පුංචි නංගී හින්දා විය හැක.
උදේ පාන්දර සිට මා පාසල් නිල ඇඳුම ඇඳ ගත් ගමන් ය. උපකාරක පන්ති ද ගොස්, ලංගම බස් එකක් අල්ලා ගන්නට පාරේ ඔට්ටු වී එන මේ වගේ දින වල මට අතිශය තෙහෙට්ටුවක් දැනේ. ආ ගමන් සිය ටිකක් නා ගන්නට තිබෙනවා නම් විඩා නිවෙනු ඇත. නමුත් පිරිමි රොත්තක් මිදුලේ ගාල් වී සිටින නිසා මිදුලේ පයිප්පය ළඟ කොහොම දිය නාන්නද? උපකාරක පන්ති ගොස් අඳුරත් සමග ගෙදර එන බොහෝ දින වල මට වතුර පොදක් ඇඟට දමා ගන්නට වන්නේ රෑ බෝ වී තාත්තා ගේ ගජ මිතුරන් නික්ම ගිය පසු ය.
“අනේ මේ…එයා වලව්වෙ කුමාරිහාමිද…ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න කියනව ඇඟිල්ලෙ තරමට. එයාට වඩා ලස්සන කෙල්ලංව උන් දැකල තියෙනව කියනව”
මගේ චෝදනාව ගැන අම්මා තාත්තා ව දැනුවත් කළ එක දවසක, මා නාත්දී තාත්තා එහෙම කියනවා මට ඇසුණේ ය. හිස දිගේ බේරුණ වතුරත් එක්ක කඳුළු දිය වී ගියේ ය.
“තව වැඩි දවසක් ලොක්කිට ඔහොම බලං ඉන්න වෙන්නෙ නෑනෙ. නාන කාමරේ හැදුවහම ආපු ගමංම නාගන්න බැරියෑ”
අම්මා ඇගේ සිහින් හිනාව පාමින් කීවා ය. නමුත් මට නම් සිනහවක් නගා ගත හැකි වූයේ නැත.