අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත.
“ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න ගත්තේ..”
අමන්දී ඒ ඇමතුම බලාපොරොත්තු වූයේ නැත.නමුත් ඇය ස්තූති කළා ය.ඉඳුවර සුසුමක් හෙළන හඬ ඇයට ඇසිණ.
“ඔය ඔයාට ඕන වෙච්ච දේනෙ.දැන් ඉන්නෙත් දුෂ්කර පළාතක හින්දා හීනෙට ලේසි..”
දුෂ්කර පළාතක වුවත් තමන් හිඳින්නේ සන්තෝසයෙන් බව කියන්නට අමන්දීට උවමනා විය.නමුත් ඈ කිසිත් නොකියා හිඳින්නට සිතුවා ය.
“ඔයා සිල්ලර කඩේක කැෂියර් කිව්වමනම් මට හරියට දුක හිතුණා.ඒත් ඔහොම හරි තීරණයක් අන්තිමට හරි ගත්තු එක හොඳයි..”
ඉඳුවර කියයි.අමන්දී එවර හිනැහුණා ය.
“මං බලා හිටියේ ටීචිං කෝල් කරනකං.ඒ නැතුව මම සිල්ලර කඩේ මුදලාලි වෙනව කියල හිටියේ නෑ ඉඳුවර කොහොමත්..”
ඔහු කිසිත් නොපැවසී ය.මේ දිනවල හදවත පෙළන සිදුවීම් ගැන ඇය හා කියන්නට ඉඳුවරට සැබෑ උවමනාවක් විය.එහෙත් අමන්දීගේ හඬේ වෙනදා තිබූ සුහදත්වය නොමැත.ඇය තමන්ව අමතක කර දමා අහවර බව ඉඳුවර තේරුම් ගත්තේ ය.තවත් වාරයක් අමන්දීට සුබ පැතූ ඉඳුවර දුරකථනය විසන්ධි කර දමා ඔබ මොබ ඇවිද්දේ ය.
වචනයෙන් නොකියා ඇය බොහෝ පෙම් කළ වග ඉඳුවර දැන හුන්නා ය.අන්තිමේදී ඇය ඒ ආදරය අමතක කර දමා ඇත.ඉඳුවර සිතුවේ ශෝකයෙනි.
නමුත් අමන්දී හුන්නේ හැඟීම් සඟවාගෙන ය.ඔහු කෙරෙහි ඇති ආදරය මිය යනතුරුම අවසන් නොවන බව අමන්දී දැන සිටියා ය.නමුත් එය ඉඳුවර පිළි නොගත්තේ ය.විවාහ වී එනතුරු ම ඈ සිතා හුන්නේ ඔහු කෙදිනක හෝ ආදරය කරන්නේ නම් ඔහු වෙතට යන්නට ය.අවිශ්ක ආදරය නොහඳුනන මිනිසෙකු බව සිතෙන වාරයක් පාසාම ඈ ඒ යෝජනාව අලුත් කර ගත්තා ය.නමුත් අවිශ්ක ආදරය ක්‍රියාවෙන් ඔප්පු කරන මිනිසෙකු බව දැන් ඇයට වැටහී අවසන් ය.
ඉතින් අමන්දී දැන් මේ කුලගෙය බිඳ දමා පලා යන්නට සිහිනයෙනුදු නොසිතන්නී ය.
එකම වහලක් යට ජීවත් වන ගැහැනුන් තිදෙනෙකු තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් තීරණවලට එළඹෙමින් සිටිය හ.
සඳුනි, පෙට්ටගම්වලට දමා ඉවත් කළ සෑම පොතක්ම යළිත් පිටතට ගත්තා ය. කෙසේ හෝ විශ්ව විද්‍යාලයට යන බව තමාටම පිළිණ දුන්නා ය.ඇය ඒ බැව් ප්‍රකාශ කළ මොහොතේ සිට ඇගෙන් පොල් බෑයක් ගාගන්නා තරමේ වැඩක් නොගෙන හිඳින්නට ශාන්ති වග බලා ගත්තා ය.
“මේ කෑකෝ සද්ද එක්ක තමා මොකුත්ම බැරි..”
තිස්සෙම බෑගිරි තලන දරුවන් ගැන පැමිණිලි කරමින් සඳුනි පැවසුවා ය.
“උඹ ඒ ළමයින්ගෙ පුංචි අම්මා.කාමරේට වෙලා දොර වහගත්තම උන්ට දුකයි. සහෝදරියක් අමාරුවෙ වැටුණම උදව් කරනව නෙවෙයි.ලොකුකම පෙන්නනව.උඹලට හරියයිද ඉතිං..”
නයනි කෑමොර ගැසුවා ය.ඇය සිටියේ දික්කසාද නඩු වාරයකට ගොස් පැමිණ පෑරුණු හදවතිනි.
“අර මිනිහට තාම තිස් පහයි.ඔය මිනිහට කොහොමත් හොර ගෑනු හිටිය.දැන් ඉන් එකියක්ව බැඳ ගනියි..”
නයනි වේදනාවෙන් කියෙව්වා ය.
“එහෙමයි කියල මොකද කරන්නෙ? ආයෙ ගිහිං ගුටි කකා ඉන්නවද? එහෙම ඉන්න හරි උන් උඹව බාර ගනීද?”
අම්මා දියණියගෙන් ඇසුවේ කෝපයත් ශෝකයත් මිශ්‍ර ස්වරයකිනි.
“අම්මල මෙතන වඳ ගෑනුන්ව හුරතල් කරාට අපි දීග ගිය තැන්වල උන්ට පුත්තු නොවැදුවත් වැරදි..”
නයනි අම්මාට කඩා පැන්නා ය.
දරුවෙකු දරන සිහිනයක් හිත කොනක සඟවා හුන් අමන්දී ඒ අසා සිටියේ සිනාවකිනි.ඇයට අම්මා කෙනෙකු වන්නට ආසා නැතිවා නොවේ.නමුත් දැන් ඇය දරුවන් ගණනාවකගේ ටීච අම්මා වී අහවර ය.ඔවුන්ට සංගීතය පමණක් නොව තවත් බොහෝ විෂයන් උගන්වන්නට සිදු වන බව අමන්දීට තේරුම් ගියා ය.පාසලේ මහ ගසක් යට හිඳ ගෙන දරුවන් පිරිවරා ගී ගයන සිහිනයක් ඇයට නොතිබුණා නොවේ.
නමුත් ඒ සිහිනය ඉඳහිට ඉටු කරගනිමින් මේ දරුවන්ට වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දිය යුතු බව අමන්දී අවබෝධ කර ගනිමින් සිටියා ය.
නයනී සමඟ ගැටෙනවාට වඩා ඒ සිහිනයේ ගිලී හිඳින්නට ඇය ප්‍රිය කළා ය.සඳුනිට උගන්වන්නට ඇය කාලය ඉතිරි කර ගත්තා ය.
වෛරය වෙනුවෙන් නැවතී දුක් වන්නට කාලයක් නැති බව අමන්දී තරයේ විශ්වාස කළා ය.