ඉඳුදුන්න – 41

ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට ඕනෑ වූයේ සංගීතයේ නව මාන සොයා යන්නට ය.සංගීත ගවේෂකයෙකු වන්නට ය.බාලක පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ පවා නගරයේ වූ බාලිකා පාසල්වල යුවතියන්ගේ “ක්‍රෂ් එක වන්නට” ඉඳුවරට හැකි වූයේ ඔහුගේ නෙත් අලවන රූපය නිසා ය.පාසලේ වාර්ෂික ප්‍රසංගයේ ඔහු ගී ගැයූ පසු ඒ වසර පුරාවට කෙල්ලන්ගේ තාරකාව වූයේ ද ඔහු ය.

අමන්දී ඇස ගැටුණු දා පටන් ඈ ඔහුට ආදරය කළ තරමටම ඔහු ඈට ආදරය කළේ ය.සමහර ආදර කතන්දර බොහෝ කාලයක් පිපී සුදිලෙමින් තිබී පරව යයි.තවත් ආදර කතා පිපී ටික දිනකින්ම මිලිනව යයි.එහෙමත් ආදර කතාවකට වසන්ත වෘක්ෂයක්ව පල දැරීමේ හැකියාව ලැබෙයි.නමුත් සමහර කතාවන්ට ඇත්තේ දුක්ඛිතම ඉරණමකි.ඒවා නොපිපීම පරව යයි.අප්‍රකාශිතව හදවත් දෙකක ඇවිලෙමින් තිබූ ආදර කතාවක් මිය යන්නට හේතුව මේ වේදිකාව නොවේදැයි ඉඳුවර සිතුවේ තරු වේදිකාව කොනක වාඩි වී ය.

මේ අවසාන මහා තරගය ආසන්නයට ආ දවස් ය.දවසින් දවස එකිනෙකා ගිලිහෙන ළමා තරු පොකුරේ එක් කණ්ඩායමක දරුවන් අට දෙනෙකු පමණක් ඉතිරිව තිබිණ.තම තමන්ගේ කණ්ඩායම් පුහුණු කරමින් විනිසුරුවරුන් සිටියේ කාර්යබහුලව ය.නමුත් ඉඳුවර සිටියේ එතරම් යහපත් මානසිකත්වයක නොවේ.

තමා අතින් කිහිපවතාවක් කුඩාවුන්ගේ හිත තැලෙන බව ඔහුට දැනිණ.

“පුතාලා..මට ටිකක් මහන්සි..ඔයාල රෙස්ට් එකක් ගන්න..”

ඔහු දරුවන්ට පැවසී ය.දරුවන් ඒ මේ අත විසිරෙන්නට නොයා අට දෙනා එක්ව පසෙකින් හිඳ ගන්නා අයුරු ඔහුට පෙනිණ.විවිධ වයස් වල යෞවනයන් වූ ඔවුහු එක් පවුලක් සේ එකට බැඳී හිඳිති.ඔවුන් තමන්ට සලකන්නේ ද වැඩිමහල් සහෝදරයෙකුට සේ ප්‍රේමයෙන් බව ඉඳුවර දනියි.

“දුලනි, මෙහෙ එන්න පුතා..”

කණ්ඩායමේ දරුවන්ට පුතේ යැයි ඇමතීම පුරුද්දක් කරගෙන සිටි ඉඳුවර දුලනි ඇමතී ය.

“සංගීත මිස් ආවද?”

දුලනි හිස දෙපසට වැනුවා ය.අමන්දී යළිත් තරු සිහිනය අතැර දමා අවසන් දැයි ඉඳුවර සිතී ය.

“ඇයි ඒ. “

“ටීචලා අලුත් ගෙයක් හදනවනෙ සර්.ඒකෙ වැඩක් කිව්වා.අවිශ්ක මාමා නම් ටීචට යන්න කිව්වා.ඒ උනාට ටීච නැවතුණා.අපිව ආලෝක සර් එක්කන් ආවේ.සර් බඳින්න ඉන්න අක්කලගෙ දිහා අපි මේ දවස්වල නැවතුණේ.”

දුලනිව උදෑසන හැරලවා ගියේ යෞවනියක බව ඉඳුවර සිහි කළේ ය.ඒ අමන්දීගේ නෑයෙකුදැයි ඔහු බොහෝ වෙලා සිතුවේ ය.

“ටීචලා ගෙයක් හදනවද..ටීච සල්ලිකාරියක්නෙ.”

දුලනි හිනැහෙයි.සල්ලි ඇත්තේ අවිශ්ක මාමාට බව කී ඇය ඔහුගේ වගා කටයුතු සහ කඩය ගැන ඉඳුවරට දිගු විස්තරයක් ඉදිරිපත් කළා ය.

“පුතා සෙමි ෆයිනල් සිලෙක්ට් වුණොත්..ඔයාලගෙ ගමට ගිහින් වීඩියෝ එකක් කරනවනෙ.මං එන්නංකො පුතාලගෙ ගම බලන්න..”

අමන්දී සැබෑවටම සුවෙන් සතුටින් වසනවාදැයි දැන ගැනීමේ හදිසි ආශාවක් ඔහුට හට ගත්තේ ය.

“ප්‍රඩක්ෂන් ටීම් එදාම ආවාවෙ හොඳේ.මං පුතාලගෙ ගමේ දවසක් නවතින්නං..”

දුලනි ඉඳුවරගේ මුහුණ දෙස බැලුවේ ශෝකයෙනි.

“අපේ ගෙදර සර්ට නවතින්න ඉඩ නෑ.අපිට ලයිටුත් නෑ සර්.නාන්නෙත් ලිඳෙන්..”

ඉඳුවර දැරිය නිවා සනාහල පිතෘ සිනාවක් හෙළුවේ ය.දුලනිට අලුත් කල්පනාවක් පහළ විණ.

“සර්ල අපේ ටීචලගෙ ගෙදර ඉන්න පුලුවං..ඒක නම් ලොකූයි.තට්ටු දෙකක්නෙ.ඒ වුණාට දැං ටීචලා අපේ ගෙවල් කිට්ටුවෙන් ගෙයක් හදනව ඒක චූටියි..”

එපමණකින් නොනැවතුණු ඇය නයනි නැන්දා ආපසු ගමට විත් ටීචට හිරිහැර කිරීම පවා ඉඳුවරට හෙළි කළා ය.මේවා ඇය අම්මාගෙන් අහුලා ගත් ඕපාදූප ය.
අමන්දී කිසිම දිනයක හෙළි නොකරන ඇගේ විස්තර ඉඳුවර දුලනිගෙන් දැන ගත්තේ උවමනාවෙනි.

“මිනිස්සු තමන්ට අවශ්‍ය ප්‍රමාණෙට වඩා ගෙවල් හදලා තඩි ගෙවල් ඇතුළෙ හිර වෙන්නෙ ඇයි..මම ආස පොඩී ගේකට.දවසක මං හදන්නෙ එහෙම පුංචිත්තන් ගෙයක්.”

මිත්‍ර සංවාදයකදී අමන්දී හෙළි කළ කතාවක් ඉඳුවරට සිහි වූයේ හදිසියේ ය.

“ඒ උඹට අතුගාන්නයි අස් කරන්නයි තියන කම්මැලිකම..”

අධීෂ එසේ කියද්දී කොල්ලන් පිරිස හඬ තලමින් හිනැහුණු අන්දම ඉඳුවරට මේ දැනුදු සිහි වේ.අමන්දී මුදු සිනාවක් දුන්නේ ඉඳුවරට පමණි.ඒ සිනාවේ ලියැවුණු කතාව ද ඔහු නොදැන හුන්නා නොවේ.

“ෂමාලිත් එළියට ගියානෙ.ජෙනීත් ටීම් එක අරන්ම අවුට් ගියා..මටත් කම්මැලි වගේ බං..”

රනුක පැමිණ ඉඳුවර අසලින් අසුන් ගත්තේ ඒ මොහොතේ ය.දුලනි පිටත් කළ ඉඳුවර තම ජේෂ්ඨ සගයා සමඟ හිනැහිණ.

“උඹ තරිඳි එක්ක අවුලකද..ප්‍රඩක්ෂන් ටීම් එකේ කෙල්ලො යන්න හදද්දිත් ඒකි ෂමී ඇදගෙන හොස්පිටල් ගියේ ඇයි දන් නෑ..”

අද උදෑසන ඉඳුවර හා තදබල ගැටුමක් ඇති කරගත් පසු තරිඳි ඔහු සමඟ කතාවට ආවේම නැත.ඉඳුවර දවස පුරා කම්පනයෙන් හිඳින්නට හේතු වූයේ ද ඈ ඇති කරන මානසික පීඩා ය.ඔහු අතීත සක්මනක නිරත වූයේ ද එනිසා ය.

“අසනීපයි…හොඳට හිටියනෙ..”

ඉඳුවර පැවසුවේ පුදුමයෙනි.තරිඳිට අසනීපයක් නොතිබූ බව ඔහුට සහතික ය.ෂමාලි එතැනට ආවේ ඒ මොහොතේ ය.ඇය බැරෑරුම් මුහුණකින් ඉඳුවර අසලින් හිඳ ගත්තා ය.ඈත ගමකින් ක්ෂේත්‍රයට ආ ෂමාලි කෙරෙන් තවමත් ගැමි සුන්දරත්වය පලා ගොස් නැත.ඇය සාම්ප්‍රදායික ගැහැනියක වුව ද ඇගේ කැදැල්ල සතුටින් උතුරා යන්නක් බව ඉඳුවර හොඳින් දැන සිටියේ ය.

“සාත්තු සේවෙ හරිද ෂමී..”

රනුක ඇසුවේ ඉඳුවර දෙසම බලා හිඳින ෂමාලිගෙනි.

“එයාට උදේ අසනීපයක් තිබ්බෙ නෑනෙ අක්කෙ..පහුගිය දවස්වල ෂූටින් නිසා ටයඩ්ද දන් නෑ..”

ඉඳුවර පැවසුවේ ෂමාලිගේ බැල්ම වෙනස් එකක් නිසා ය.

“ටයඩ් තමයි..මොනවද බං උඹල මේ කරගන්නෙ..”

ෂමාලි ඇසුවේ වැඩිමහල් සහෝදරියකට හුරු කටහඬකිනි.ඒ වචන පේළිය එක්වරම වටහා ගත් රනුක උස් හඬින් හිනාවක් නඟා ඉඳුවර වැලඳ ගත්තේ ය.

“පාටි සීසන් වගේ..”

රනුක පවසන දෑ යටි අරුත සහ තමන්ගේ ජීවන චර්යාව ගැන ගැටළුවකින් ඉඳුවර අවුල් වී ගියේ ය.

“ඒ අස්සෙ අර කෙල්ල නටනව ඉඳුවරට මොකුත්ම කියන්න එපා කියලා..”

ඉඳුවර ඒ වචන නැවත නැවත සිතා බැලී ය.ඔහු එතැනින් පිට වූයේ වේගයෙනි.ඒ ආවේගය වන්නට ඇතැයි ෂමාලි සිතද්දී තමන් එවැනිම ජවයකින් සහ ප්‍රීතියකින් හැසිරුණු දවසක් සිහි කළ රනුක ඉඳුවර ද ප්‍රීති ප්‍රමෝදයක ගිලී ඇතැයි වැරදි අවබෝධයක.එල්බ ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles