හිමංගි විදුලි සෝපානයට ගොඩ වූයේ බර වූ සිතකිනි.තට්ටු එකොළහක් යන්නට ගත වන්නේ ඉතා කෙටි වෙලාවකි.ඇය ඒ කෙටි වෙලාව කල්පයක් සේ ගෙවා දැම්මා ය.
මහල් නිවාස සංකීර්ණයක එකොළොස්වැනි මහලක නිවසක් ස්ථිරව අයත් කරගත් ප්‍රීතිය ඇය හරියට විඳ ගත්තේ මීට මාස කිහිපයකට එහා දිනෙක මේ නිවසට ඇතුළු වූ මොහොතේ ය.අද උදෑසන මේ සාලයේ සිදු වූ විවාහ ගිවිස ගැනීම දෑස් මත මවා ගනිමින් ඇය මොහොතක් ගෙවා දැම්මා ය.ඉනික්බිති කෝපි කෝප්පයක් සාදා ගන්නට සිතුවා ය.
සිහින් හිරිපොදක් ඇද හැලෙයි.හිමංගි වීදුරු දොරකට කම්මුල තෙරපවාගෙන වැස්ස රස විඳිමින් බොහෝ වෙලාවක් ගෙවූවා ය.උස් මහලක පිහිටි මහල් නිවසකට අහස දුර නැත.අහස ඇත්තේ අල්ලන දුරකැයි ඇය සිතුවා ය.
වළාකුළු ඉකිලමින් ඇද වැටෙන මොහොතක සනීපදායක සිතුවිලි හට ගන්නට වූයේ මෑතක ය.කොරල පිපුණු දෙපා කසමින් ගෙපිලේ ඉඳගත් උකුණු හිසැති දැරියක ඇගේ දෑසේ ඇඳී මැකී ගියා ය.
ඒ කුඩා දැරිය වැස්ස රස වින්දේ නැත.
“වහිනකොට ප්ලේන් එකට එන්ඩ බැරිද කිරියම්මේ..”
ඈ අසන්නේ වැහි මන්දාරමෙන් වැසී ගිය අහසට ඇස අලවා ය.
“ප්ලේන් එකේ මොකා එන්ඩද?”
නිරතුරුව කෝප ගන්නා අපිරිසිදු මැහැල්ල අසන්නේ ලිපට පිඹින අතර ය.
“අම්මා එයි..”
මැහැල්ල නැගිට ගන්නේ පසෙක හිඳින පූසාට පයින් අනිමිනි.හිරිහැර ද ගැහැට ද දැරියට තරම්ම පුරුදු පූසා හඬකුදු නොනගා එතැනින් යන අන්දම හිමංගිට සිහිව එයි.නමුත් මැහැල්ල දැරියට රවන්නේ කෝපයෙනි.
“අම්මා නෙවෙයි ඕකි…….”
ඇගේ කටින් පිටවන්නේ අසභ්‍ය වචනයකි.මගේ අම්මාගේ නම යැයි පාසල් රචනාවකට ඒ වචනය යොදා ලියූ දිනය සිහි කරන හිමංගිගේ මුවට වියරු සිනාවක් නැගී එයි.ඇය අතීතයෙන් මෙපිටට වහා පැමිණියා ය.
ඒ රහල් බමුණුසිංහ නම් ප්‍රතාපවත් මිනිසාගේ රූමත් තරුණ බිරිඳට සිහි කරන්නට වටින අතීතයක් නොවේ.
උණු කෝපි කෝප්පයට කේක් කැබැල්ලක් සහිත පීරිසියක් අපූරුවට ගැලපෙන බව හිමංගි සිතුවා ය.ඇය ෆේස්බුක් අවකාශයේ ඉහළ පහළ යන්නට ගත්තේ ලෝකයේ මිනිසුන් තමන්ගේ ජීවිතය තුළ ඇති මිහිරියාව මුදා හරින ආකාරය දකින්නට ය.අද නැකැත් දවසකි.පාසල් මිතුරියන් බොහොමයක් කුල ගෙය කරා පිවිසෙන්නේ අප්‍රමාණ සංතෘෂ්ඨියක් දෑස් මත තවරා ය.ඇය ඒ සෑම ප්‍රීති ප්‍රමෝදයක්ම දෑසේ තවරා ගන්නට වෙහෙස ගත්තා ය.
නමුත් තමන්ට විවාහෝත්සවයක් හිමි නැත.ලංකාවේ ඉහළම තරු හෝටලයක මංගල උත්සවයක් ගන්නට වත්කමක් ඇති මිනිසා තම විවාහය ලියාපදිංචිය කිරීමෙන් සෑහීමකට පත් වූවේ ය.
“මේ හදිසියේ හොටෙල් වල ෆ්‍රී ඩේට්ස් බලන්නත් බෑනෙ හිමංගි..”
ඔහු එපමණක් පැවසී ය.
“ඔයාගෙ දුවගෙ වෙඩින් එක ලබන අවුරුද්දේ ගන්න එක නෙවෙයිද ඇත්ත හේතුව?”
එසේ අසන්නට සිතුණ ද හිමංගි වදනකුදු නොදොඩා හුන්නා ය.දැන් මන්දාරාට ඇගේ තාත්තාට ඇති අයිතිය ගැන සිත සිතා පෑරෙන්නට උවමනා නැත.මන්දාරාගේ තාත්තා තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ය.
දුරකථන ඇමතුමක් පැමිණියේ ඒ මොහොතේ ය.ඒ රහල්ගෙනි.හිමංගි වඩා ප්‍රේමණීය ස්වරයකින් ඔහු ඇමතුවා ය.
“රූම් එක ඔයාට ඕන විදියට හදා ගන්න.ජයන්ති උදව් කරයි..”
ඔහු එසේ කියයි.ඔහු සිතා සිටින්නේ තමන් ඔහුගේ නිවහනට ගොස් ඇති බවකි.නීත්‍යානුකූල බිරිඳ වූ හැටියේ මන්දාරාගේ සුන්දර නිවහනට ඉගිල යන්නට ආ ආශාව ඇය මැඩ ගත්තේ වෑයමිනි.දැන් රහල්ට ඇමතිය යුත්තේ ද තමන්ගේ ඒ ගතිගුණ ඔප් නංවා පෙන්නමිනි.
“මං මෙහෙ ඉන්නම් තාත්ති..”
ජීවිතයේ කිසිදා කියන්නට නොලැබුණු වදනක් මේ මිනිසාට ඇය කියන්නේ මන්දාරා තවතවත් රිදවීම පිණිස ය.
“ඊයා බං..ඔය තාත්ති කියන එක නවත්තපං.සර් උඹේ ෂුගර් ඩැඩී කියනෙක ඔප්පු කරන වචනයක්නෙ ඕක.සර්ම කියපං ඔයිට නම්බුයි..”
දුලාෂා දිනක් බැන වැදුණු අන්දම සිහි කරද්දී හිමංගිට මතු වන්නේ සිනාවකි.
“ඔයා තට්ට තනියම ඔය අපාට්මන්ට් එකේ ඉන්න ඕන නෑ දරුවෝ.ඔයාගෙ ගෙදරට යන්න..”
රහල්ගේ කාරුණික හඬ ඇසේ.ඒ කරුණා නදියට බැස පිනුම් ගසන ආශාවක් හිමංගිට පහළ විණ
“මන්දිට දුක හිතෙයි සර්..මං නොයා ඉන්නම්.අනික මෙවන් මල්ලිට වුණත් කේන්ති යන්න පුලුවන්.”
රහල් බමුණුසිංහගේ සංවේදී නහර වලට ඉසිහින් තට්ටුවක් දැමීම සෑහෙන බව හිමංගි අවබෝධ කරගෙන අවසන් ය.
“හිමංගි,මට ඔයා තේරෙනව.මම ඔයාගෙ වෙඩින් එකක් ගන්න අයිතිය මඟ ඇරියා.අඩුම තරමෙ හනිමුන් එකක් එක්ක යන්න තරම් මට ෆ්‍රී ටයිම් එකක් නෑ.ඒත් මට වැදගත් මනුස්සයෙක් වගේ ඔයාව ගෙදර එක්ක යන්න තිබ්බා.තව පැයකින් ලෑස්ති වෙන්න.මං ඔයාව ගන්නම්..”
හිමංගිට අවශ්‍ය වචන ගලා ආවේ එහෙම ය.
ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ඇත්තේ මොනතරම් අපූරු ඇසක්දැයි සිතෙනා මට්ටමේ සුන්දර නිවහනක අයිතිකාරිය වන්නට ඇත්තේ තව පැය කිහිපයකි.
ඉඳහිට හෝ එහි පැමිණ මන්දාරා සියල්ල අවුල් කර දමන්නට ඇති ඉඩ ගැන හිමංගි තවත් වතාවක් සිතා බැලුවා ය.
ලංකා මායාදුන්න! ඇය මේ වගවිස්තරය කෙසේ දරා ගත්තාදැයි හිමංගි තවම නොදන්නී ය.මන්දාරා හා මෙවන්ගේ අම්මාට තමන් සම්බන්ධයෙන් ඇත්තේ සුළුපටු කෝපයක් වන්නට නොහැකි ය.මන්දාරා සහ මෙවන්ට උපත දුන්නේ ඈ ය.තව පැය කිහිපයකින් තමන්ට අයත් වන නිවසේ කාලයක් ජීවත් වූ මැතිණිය ඇය ය.හිමංගා තව නොබෝ දිනකින් අත පොවන්නට සිතා සිටින ව්‍යාපාර බොහොමයක මුල් ගල තබන්නට වෙහෙසුණු ගැහැනිය ඇය ය.
මාස කිහිපයක සිට තමන් හා කෝපයෙන් පසු වූ ලංකා මායාදුන්න “මං උඹට ඇසිඩ් ගහනව දැනගං!” යැයි පවසා ගෙවී ගියේ මොනතරම් සුළු කාලයක් දැයි හිමංගි සිතුවා ය.ඒ තර්ජනය පටිගත කරන්නට තරම් නුවණක් නොවූවානම් බමුණුසිංහ මැතිණියගේ තත්ත්වයට උසස් වීම මෙතරම් පහසු නොවන බව ද හිමංගි සිතුවා ය.
මේ අසීරු මාවතක ආ ගමනකි.කාගේවත් පැටලිලි ලිහන්නට ඒ ගමන ගැන මතක ගොඩ දැමිය යුතු නැතැයි ඇය සිතට තරවටු කළා ය.