විහඟ පියාපත් 11

ශයිනි ජංගම දුරකතනය විසන්ධි කර දමා දෑස් පියාගෙන අසුනට හේත්තු වූවාය.  ඔහු පවසන්නට සූදානම් නැත. එසේනම් මෙය මෙතැනින් අවසන් කල යුතුය. 

නිවෙසට පැමිණි වහාම ඕ කලේ අමයුරු ගේ ගිණුම තම ව්‍යාජ ගිණුමෙන්ද අවහිර කර දැමීමය. 

යමක් අවැසි වග දැනෙද්දී, එය අනවශ්‍ය වග සිතට දැනෙන්නට හැර මඟැර යාම කෙතරම් අපහසුදැයි ශයිනි දනී. එහෙත්, මෙවරද එය එලෙසම සිදු කර දැමීමට ඇය තීරණය කලේය. ඔහු හා දොඬමළු වීමේ කිතිය උපන්ගෙයිම මරා දමන්නට තීරණය කලාය. ඔහු පැවසූ උඩඟු බස් හා දිගින් දිගටම එල්ලෙම්න් යන්නට ඇයට සිතුනේ නැත. 

ශයිනි තිළිණිට ඇමතුමක් ගත්තේ අරමුණක් නැතිවමය. එහෙත් පසුව ඕ සිදුවූ සියල්ල ඇය හා බෙදාගත්තාය. තිළිණි කීවේ එය එතැනින් නැවතීම වඩා යහපතකට සිදු වූ දෙයක් බව තමාට විශ්වාස බවය. 

ඒ නිසාම ඒ සිදුවීම එතැනින් නවතා දමන ලෙස තිලිණි කලේ යෝජනාවක් නොවේ . ශයිනිද එයට එකඟ වූවාය.  දැන් ඔහු පැවසූ යම් වැදගත් කරුණක් වේ නම් එය පිළිබඳව පමණක් සොයා බැලීම කල යුතු වග සිතුවාය.

නැවත චරිත් හා  එක් වී අපද්‍රව්‍ය බැහැර කිරිම පිළිබඳව සොයා බැලීමට දිනයක් ද වෙන් කරගත්තාය.

ඒ දින වැඩකටයුතු සියල්ල මඟ හැරෙන පණිවිඩය පැමිණියේ ඒ අතරය.  ශයිනිගේ පියාගේ මිතුරෙකු නිශ්පාදන කරන ටෙලි නාට්‍යක   ප්‍රධාන දර්ශන  පසුතලය  ලෙස මොණරවිල හොටෙල්ස් යොදා ගන්නට ශයිනිගේ පියා එකඟ වී තිබුණි.

 නිශ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම හෝටලයට පැමිණියේ ශයිනිගේ පියාද සමඟින්ය. පිරිස බලාපොරොත්තු වන ආකාරයට සකසා ගත හැකි දර්ශන තල එහි වූ නිසා ටෙලි නාට්‍යයේ මුල් කොටස් විසි පහක දර්ශන එහි රූගත කිරීමට තීරණය කෙරුණි.

ටෙලි නාට්‍ය කණ්ඩායම සඳහා  නවාතැන් සැපයීම වෙනුවෙන් හෝටල් පරිශ්‍රයේම කාමර කිහිපයක් වෙන් කරන්නටද සාකච්ඡා කෙරුණි. ඒ අතර වාරයේ හෝටලයේ කටයුතු වලට බාධා නොවී, හෝටල් කාර්‍යමණ්ඩලය ද ටෙලි නාට්‍ය තුල කටයුතු සඳහා යොදාගන්නට ඉඩ ඉල්ලුවේ ශයිනිය. අධ්‍යක්ෂවරයා ඒ සඳහා ද එකඟ වූයේ කාර්‍යමණ්ඩලය තුළද නැවුම් පිබිදීමක් ඇති කරමිනි.

ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අකලංක බව ශයිනි දැනගත්තේ  මූලික කටයුතු  සියල්ල  අවසානයේය. සියලු දෙනා උන්නේ නැවුම් හැඟීම් සමඟිනි. අලුත් අත්දැකීම පිළිගැනීමට සියල්ලෝම සූදානම් වෙමින් උන් හ. එනිසාම පසුගිය දිනවල මුහුණ දෙමින් උන් අඳුරු කතන්දර යටපත් විය. 

සහාය අධ්‍යක්ෂවරයා විසින් දර්ශන තල පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව , අකලංක පත්වූයේ වියවුලකටය.කොටස් සීයකට සැලසුම් කර තිබූ ටෙලියේ  මුල් කොටස් පනහකම රූගත කිරීම් සැලසුම් කර ඇත්තේ මොණරවිල හොටෙල්ස් හී වග දැන ගත් පසු  ටෙලි නාට්‍යයේ කටයුතු වෙනුවෙන් තිබූ උද්‍යෝගී හැඟීමද ක්ශයව ගිය වග ඔහුට දැනෙන්නට ගෙන තිබුණි.

අකලංක නිවෙසට පැමිණියේ තෝන්තු හැඟීමෙනි . අකලංක ගේ වේශයෙන්  ශයිනි යලි මුණ ගැසෙන්නට සිදුවීම මානසික වදයක් වන්නේ ඇයිදැයි ඔහුට වැටහුණේ නැත. නොසන්සුන්කමක් පමනක් දැනේ. 

අකලංක විස්තරය පවසද්දී ප්‍රබාත් එය අසා උන්නේ විශ්වාස කිරිමට අපහසුව මෙනි.

“මොකද්ද බං ඒ වෙන්නේ?…”

ප්‍රබාත් අවසානයේ විමසුවේය.

“මං දන්නේ නෑ බං… ඒඩී  කතා කරලා ලොකේශන් විස්තර කිව්වම මට දෝදුවගේ වුණා බං…

ඔක්කොමත් හරි, ඒ මාස එක හමාර එහේම නැවතිලා ඉන්නලු ඇරේන්ජ් කරලා තියෙන්නෙත්…”

ප්‍රබාත් නළල රැලි කරගෙන, අකලංක ගේ සවන් දුන්නේය. 

“මොකද්ද බං කරන්නේ මම ?”

“මොනා කරන්නද බං… උඹ ගිහින් වැඩ ටික කරගෙන වරෙන්…. ආයේ එතන අවුලක් වෙන්න හේතුවක් නැහැනේ…”

” මං කොහොමද බං ආයේ එහෙට යන්නේ ….”

“ඇයි යන්න බැරි …. ?”

“උඹ මුකුත් නොදන්නවා වගේ කතා කරන්නෙපා බං.. මාස එක හමාරක් ඒකිගේ මූණ බල බලා ඉන්නේ කොහොමද …? “

“මූණ දිහා බලන් ඉන්නෝන් නෑනේ… අහක බලාගෙන හිටපං…..”

අකලංක මවන්නට උත්සාහ කෙරූ තත්වය ප්‍රබාත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරියේය.  අකලංක ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මඟ හැර, ප්‍රශ්නයක් ඇති කර ගැනීමට මේ සිදුවීම හේතු කරගත හැකි බවට වන සාධාරණ බිය ප්‍රබාත් ට දැනුනේ ඔහුගේ අතීතයේ සිදුවීම් සියල්ල දැන උන් නිසාය. 

“එහෙම නෙවෙයි බං… කොච්චරක් වුණත්  ඒ සීන් එක මට ගිල්ටි…”

“අනේ බං… උඹ ඒ ගත්ත එක සතයක් වත් ගත්තේ නෑනේ… අනෙක ඒ සිද්දිය ඒකිම ඉවර කරානේ….”

“ඒක හරි බං…..”

අකලංක නොසන්සුන් බවින් මිදෙන්නට එදින රැය මත් වූයේය.   ශයිනිගේ රුව සෑහෙන්නම කැළඹීමක් වන වග දැනෙද්දී අකලංක තවත් නොසන්සුන් වූයේය. සැබැවින්ම, ශයිනි ඔහුගේ සිත තුළ යටපත් කර දමා තිබු හැඟීමක්වග පිළිගන්නට අකලංකට සිදුවෙමින් තිබුණි.  සැබැවින්ම අකලංක පැටලෙමින් උන්නේය.

ශයිනි පෞද්ගලිකවවම මැදිහත් වෙමින් ටෙලි නාට්‍යයේ කටයුතු සොයා බැලුවේය. ශයිනිලාගේ වයසට සමාන වයසක සිටි සහය අධ්‍යක්ෂකවරයා ඉතා ඉක්මන් ශයිනි සහ තිළිණි සමඟින් හිතවත් වූයේය. ඔහුගේ පෙම්වතිය වූ එම ටෙලි නාට්‍යයේම වේෂ නිරූපණ ශිල්පිණියක ලෙසින් කටයුතු කල තරුණියද ශයිනි සහ තිළිණිගේ සමීප හිතවතියක ලෙසින් එක් විය. 

කණ්ඩායමේ නවතැන් වෙනුවෙන් හෝටලයේ ගඟ දෙසට වූ ගොඩනැගිල්ලක කාමර දහයක් වෙන් කෙරුණි. ඒ වෙනුවෙන් ගෙවීම් සාකච්ඡා කෙරුණේ ටෙලියේ නිශ්පාදකවරයා සහ ශයිනිගේ පියා අතර වූ නිසා, ශයිනි ඒ පිළිබඳව නැවත සොයා බැලුවේ නැත. දර්ශන පසුතල සැපයීම සම්පූර්ණයෙන්ම කෙරුණේ හිතවත්කමට නිසා කාමර සහ ආහාර පාන  ගාස්තු ගෙවන්නට සැලසුම් කෙරී තිබුණි. 

අකලංක අවසානයේ තීරණය කලේය. ශයිනි සහ තමා අතර වූයේ ගණුදෙනුවක් ය. ඇයට අවශ්‍ය වූයේ ඇයගේ නාමය උලුප්පවා ලන ලිපියක් තමා ලවා ලියවාගන්නටය. ඇය ඒ වෙනුවෙන් තමාට ගෙව්වාය.  ඒ තම ඉල්ලීමකින් තොරවය. ඇයගේ කැමැත්තෙනි.

 ගිණුම් අංක ඇයට දුන්නේ තමාය.  එහෙත් තමා මුදලට විකුණෙන අයෙකු නොවේය. තම ලිපියකට අදාල වන්නේ සත්‍ය පමණි. තමා ඒ සත්‍යය සොයාගෙන ලිපිය සම්පාදන කරා පමණි. එය පුවත්පතෙහි පල වීම පිළිබඳව සියලු  වගකීම් දැරුවේ සංස්කාරකවරයා සහ අදාල පිරිසය. 

ඉන් නොනැවතී, තමා ඇයගේ මුදල් පාසැල් නඟා සිටුවීම සඳහා වන අරමුදලටද බැර කරන්නට කටයුතු කලේය. ඉන් නොනැවතී ඇයට අන්ධ නොවී සිහියෙන් කටයුතු කරන ඉඟියද දුන්නේය. නොවැටහෙන යම් කාරණාවක් නිසා, ඇය හා සම්බන්ධ සිදුවීම  නවතා දැමීමටද තමා තීරණය කලේ ඉන් එහා සොයා බලා අනාවරණය කර දැක්විය හැකි කාරණා පිළිබඳව සැක තිබියදියම. 

එපමණක් නොව, තමා ඇමතූ ගම්වාසීන් සහ පරිසරවේදීන් කෙරෙන්ද යම් තොරතුරු වසන් කර තැබුවේය. කෙරූ අනාවරණයන් මත පමණක් කල ගත යුතු දෙයක් කරගන්නට ඉඩ තැබුවේය.

දැන් ඇය සහ තමා අතර ගණුදෙනු වල පෙරලා පියවෙන්නට තරමේ වන කාරණා නැත. ණය නැත. එනිසා ඇය මඟ හරින්නට තරම් තමා හදිසි විය යුතු  නැත. 

අනෙක් අතට ඇය හා ගණුදෙනු වූයේ අකලංක ට නොවේ. අමයුරු දිසානායක ටය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles