“හෙලෝ අක්කා..කොහොමද?”
රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා ය.නෙත් විසල් වූයේ ඒ ආසන්නයේ හිඳිමින් ඕපාදූප ඇහිද ගන්නට වෙර දැරූ ගෘහ සේවිකා ජයන්තිගේ ය.හිමංගි ගැන සම්පූර්ණ වාර්තාවක් සකසා ලංකාටත් මන්දාරාටත් ලබා දීම තමන්ගේ එකම යුතුකම බව ජයන්ති සිතා හුන්නා ය.
“අද ඔයාට ප්‍රැක්ටිස් නැද්ද මෙවන්..”
හිමංගි මෙවන්ගෙන් ඇසුවේ සුහදව ය.ඔහු උසස්පෙළට මුහුණ දීමෙන් පසු ජනප්‍රිය තරුණ ගායකයෙකුගේ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කරන බව හිමංගි දැන සිටියා ය.රහල් ඇතැම් රාත්‍රී සාද සඳහා මෙවන් ද කැටුව ආ දවස් තිබේ.ඒ සෑම මොහොතකම ඔහු තාත්තාගේ පෙම්වතිය පිළිගත්තේ උණුසුම්ව ය.
“අද නෑ අක්කා.ඔයාල කොහෙවත් ට්‍රිප් එකක් යන් නැද්ද? හයියෝ..හනිමුන් ට්‍රිප් එකක් ඕන කියලා පොඩි වලියක් අල්ලන්න..”
කසාද නොබැඳ ගෘහ සේවිකාවක ලෙස නිවෙස් වල මුළුතැන්ගෙවල් තුළ වයසට ගිය ජයන්තීට ඒ කතාව අසා අපුලක් උපන්නා ය.ඇය මවා ගත්තේ අපුල උපදින දර්ශන ය.
“අප්පෙක්ට පුතෙක් කියන කතාද ඒ..”
ඇය සිතන්නේ එහෙම ය.
“සර්ට මේ දවස්වල වැඩ වැඩීනෙ මෙවන්..”
හිමංගි එසේ කියා ආලින්දයේ ඔබමොබ ඇවිද්දා ය.ගෘහ භාණ්ඩ පිරික්සුවා ය.
“ඕව අක්කගෙ ටේස්ට් එකට හදා ගන්න.මට නම් හෝම් ඩෙකෝස් ගැන මෙලෝම අයිඩියාවක් කවදාවත් නෑ.ජයන්ති දන්න බම්බුවකුත් නෑ..”
මෙවන් කියන්නේ හොරගල් අහුලන ජයන්ති දෙස නෙත් කොනකින් බලන අතර ය.හිමංගි උස් හඬින් හිනැහුණා ය.මේ වනචර ගැහැනියට තමන්ගේ නිවස පවරා දෙන තරුණයා ගැන ජයන්තිගේ සිතට ආවේ කියන්නට බැරි තරමේ අසභ්‍ය සිතුවිලි ගොන්නකි.ඇය කෝපය දොඩම් බෑයකට පවරමින් දොඩම් යුෂ සැකසුවා ය.
“මෙයාගෙ කෑමත් එච්චර තමයි.ලොකු රහක් නෑ.අක්කට උයන්න පුලුවන්ද?”
දොඩම් වීදුරු රැගෙන ආ ජයන්ති පෙන්වමින් මෙවන් පවසන්නේ සරදමට ය.ජයන්ති දෑත් ගවොම් සායේ පිසදා ගන්නා අතර තරුණයාත් තරුණියටත් සරදම් බැල්මක් එල්ල කළා ය.
“පුංචි මහත්තයා,මේ අපේ ලොකු මහත්තයගෙ නෝනා.පුංචි මහත්තයා මෙයාට අක්කා අක්කා ගාන්න එපා.කට ඇරලා පුංචි අම්මා කියන්ට.නැත්තං කුඩම්මා කියන්ට..”
ගෘහ සේවිකාවගේ වදන් අසා මෙවන් උස් හඬින් හිනැහුණා ය.මේ ගැහැනිය පළමු බෝම්බය අතහැරිය බව හිමංගිට එක්වරම වැටහිණ.
“මං මිනිස්සුන්ට කතා කරන විදිය ජයන්තිට තීරණය කරන්න බෑනෙ.මට පහසු විදියට තමයි මං මිනිස්සුන්ට කතා කරන්නේ..”
මෙවන් කියන්නේ සැහැල්ලුවෙනි.
“මේ නෝනට බබාල ලැබුණම ඒ පුංචි මහත්තයගෙ නංගිලා මල්ලිලා.අම්මා අක්කා වෙලා ළමයි නංගිලා මල්ලිලා වෙන් නෑ..”
ජයන්ති පරාජය පිළිගන්නට සතුටු නැත.මෙවන් ඇය දෙස බලා හිනැහෙමින් දොඩම් වීදුරුව හිස් කළේ ය.
“අනිත් අයගෙ ළමයි හැදීම වගේ පෞද්ගලික කාරණා එළිපිට කතා කරන්න උවමනා නෑ ජයන්ති.අපි ඒ නෑකම් එතකොට බලමු..අද රෑට උයන්න එපා හොඳේ..”
ජයන්ති නෙත් කුඩා කළේ මෙවන් පැවසූ අවසාන කාරණාවට ය.
“මං ඩිනර් ඕඩර් කරන්නං..අපි අක්කලගෙ රෙජිස්ට්‍රේෂන් එක සෙලිබ්‍රේට් කරමු..”
මෙවන් සැබෑවටම හොඳ හිතක් ඇත්තෙකු බව හිමංගි සිතුවා ය.ඇය යටපත් කරගන්නට තැත් කරන එහෙත් ඇතැම්විටක ඇයට හොරා එළියට එන ගුණයහපත් හිමංගි පිටතට ආවේ ඒ නිසා ය.
“අද මං උයන්නං?”
ඇය ඇසුවේ මෙවන්ගෙනි.ගස්සාගෙන යන්නට ගියේ ජයන්ති ය.මන්දාරා අමතා මේ සියල්ල කනේ තැබිය යුතු බව ජයන්ති සිතුවා ය.ඒරොප්පේ සිදු වන විකාර තමන් වාසය කරන වහල යට ද සිදු වීම ගැන ඇයට වූයේ තදබල අප්පිරියාවකි.
කාමරයට ගිය ජයන්ති මන්දාරාට ඇමතුමක් ගත්තා ය.අනෙක් පස සිටියේ තේජන ය.
“මන්දි නිදිනෙ ජයන්ති.ආච්චම්මට දෙන්නද?”
ඔහු දුරකථනය සිරිමා මහත්මියට ලබා දුන්නේ ය.
“ජයන්ති, ඔයා නිකං ලංකාවෙ ටීවී චැනල් වගේනෙ.පැය බාගෙන් බාගෙට බ්‍රේකින් නිව්ස් දෙනව..”
සිරිමා දුරකථනය ගත්තේම එසේ කියන ගමන් ය.ජයන්තිගේ හදවත පිම්බුණු බැලුනයක් සේ හැකිලී ගියේ ය.නමුත් ඇය පරාජය බාර ගන්නට අකමැති ය.
“අපේ පුංචි මහත්තය කුඩම්මට අක්කා අක්කා ගානව ලොකු නෝනෙ.අප්පේ ඒක එච්චර හරියන වැඩක් නෙවෙයිනෙ.මං මේ ඒකයි සුදු බේබිට කතා කරේ..”
ජයන්තිගේ හඬට සිරිමාට කෝපයක් ආවේ නැත.ඇය සිනාවක් නගා ගත්තා ය.
“කුඩම්මා කියන්න මේක දහ අට වෙනි සියවසයැ ජයන්ති.ඒ ළමයි අලුත් පරම්පරාවෙ ළමයි.ඕන එකක් කියා ගත්තාවෙ..”
ජයන්ති අඩියක් පසුපසට තබා තවත් පන්දුවක් දමන්නට සූදානම් වුවා ය.
“ලොකු සර්ට මෙහෙම වැඩක් කරන්න කලින් තව පාරක් හිතන්න තිබ්බ.ඒ ගෑනු දැරිවියි අපේ පුංචි මහත්තයයි සමෝසම වයසෙ.ගින්දරයි පුලුනුයි එකලඟ තිබිලා ගිනිගන්න හැටි මගෙ දෑහින් දකින්න වෙයිද කියලයි බය තියෙන්නෙ මට.”
සිරිමා ඒ කතාවට මොහොතක් නිහඬව සිටියා ය.
“රහල් එයාගේ ජීවිතේ ඉස්සරහට යන්න කෙනෙක් තෝරා ගෙන තියෙන්නේ එයාගෙ කැමැත්තෙන් ජයන්ති.මෙවන්ට සිහි කල්පනාව තියනව ඒ තමන්ගෙ තාත්තගෙ වයිෆ් කියල.ඒ ළමයා සතෙක් නෙවෙයිනෙ.ගෙදර සර්වන්ට් වුණු පලියට ජයන්තිට අයිතියක් නෑ මෙවනුයි හිමංගියි කතා බහ කරන දේවල්වලට කන ඇහැ දාන් ඉන්න.එයාලා කියන කරන දේවල් මන්දාරාට වාර්තා කිරිල්ලත් නවත්තා ගන්නව නම් හොඳයි.ලංකා එක්ක ඕන දෙයක් කියාගන්න.ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයිනෙ..”
සිරිමා එසේ කියා තේජන අත දුරකථනය තැබුවා ය.
“පුතා,ඔය ෆෝන්වල නම්බර්ස් බ්ලොක් කරන්න පුලුවන් නේද? ඔන්න ඔය ජයන්තිගෙ නම්බර් එක බ්ලොක් කරන්න..”
තේජන එය ඉටු කළේ සිනාවකිනි.
“මන්දි හුඟාක් අවුල් වෙන්නෙ ජයන්තිගෙ ගොසිප් වලට ආච්චම්මා.එයා ඔය ගොසිප් බෙදිල්ල නිතරම කරනවා..”
සිරිමා සිනාවක් නැගුවා ය.
“කසාදයක් ඕනමයි කියල හිතන් හිටියට කවදාවත් ඒක ඉෂ්ට කරගන්න බැරි වෙන ගෑනු අය වයසට යනකොට ඔහොමයි පුතා.ඇත්තටම බලනකොට ඒක ලොකුවට කතා කරන්න ඕන සමාජ විද්‍යාත්මක කාරණාවක්..”
නමුත් ඒ සමාජ විද්‍යාත්මක කාරණාව වැඩිදුර කතා කරන්නට නොලැබුණේ එතැනට ආ සිරිමාගේ ගෘහ සේවිකාව ලීලා නිසා ය.
“ඔය ජයන්ති ජෝඩුවලට මොනතරම් ඉරිසියයිද කියනවනං පුංචි මහත්තයෝ,මෙහෙ ආව වෙලාවට අපේ සේසේයි අර එහා ගෙදර ටීනා පූසියි වෙළෙනකොට වතුර බාල්දි ගහලා පන්නනවා..”
තේජන තේ කෝප්පය අතට ගත්තේ පුපුරා යන්නට ආ සිනාව සිරිමා ඉදිරියේ දිග නොහැර ය.
විවිධාකාර ගතිගුණ ඇති මිනිසුන්ගෙන් හෙබි පවුලකට මැදිවන තමන්ගේ අනාගතය කෙසේ වේදැයි ඔහුට සිතා ගත නොහැකි විය.