ළපෙති මල් -6

ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ මේ පස්මහල තුළ බව ලංකා දැන සිටියා ය.

“සෙනුල්‍යාගේ එපොයිමන්ට් එක තියනව මැඩම්..”

ඇය රූපලාවණ්‍යගාරයට පිවිසෙද්දීම පිළිගැනීමේ කවුළුවේ හිඳින යුවතිය ලංකාට සිහි කළා ය.

“සෙනුල්‍යා ආවද?”

ලංකා ඇසුවේ පිළිතුරු අපේක්ෂාවෙන්ම නොවේ.

සෙනුල්‍යා මේ වන විට වඩා කතාබහකට ලක් වෙමින් හිඳින තරුණ පරම්පරාවේ නිළියකි.ඇය තමන්ගේ සෑම රූප සත්කාරයක් සම්බන්ධයෙන් ම ලංකා කෙරෙහි විශ්වාසය තබන්නට පටන් ගෙන දැන් වසරකට වැඩි නැත.
සෙනුල්‍යාගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල ඒ සම්බන්ධ ඡායාරූප අඩු නැතිව පළ වීම නිසා ලංකාගේ රූපලාවණ්‍යගාරයට දැඩි අවධානයක් ලැබෙමින් පැවතිණ.

“අක්කිගෙ ට්‍රීට්මන්ට්ස් ගැන ගොඩක් අය මගෙන් පර්සනල් මැසේජ් කරලත් අහනව..”

සෙනුල්‍යා පැමිණියේ එසේ පවසන අතර ය.ඇගේ සත්කාරයට සැරසෙමින් හුන් ලංකා හිනැහුණා ය.

“මං අද එච්චරම සනීපෙකින් නෙවේ ඉන්නෙ.සෙනුල්‍යා නිසාම ආවා..”

පුහුණු කළ කාර්ය මණ්ඩලයේ යුවතියන් ලවා රූපලාවණ්‍ය කටයුතු කරවන ලංකා තම සේවය ලබා දෙන්නේ එහෙමත් කෙනෙකුට පමණි.සෙනුල්‍යා සමාජ මාධ්‍ය හරහා ලබා දෙන පන්නරය නොවූවානම් ඇය වැනි කුඩා කෙල්ලෙකු කෙරෙහි ද ලංකාගේ අවධානය යොමු වන්නේ නැත.

“අර සුදු කෙට්ටු ගර්ල් කෝ බබා..”

සෙනුල්‍යා හදිසියේ සිහිපත් වූ යමක් ඇගේ හිස සෝදමින් සිටි රූපලාවණ්‍ය ශිල්පිනියගෙන් විමසුවා ය.ඈ අසන්නේ කා ගැනදැයි වටහා ගත් ලංකා තම සේවිකාව දෙස බැලුවේ තියුණු බැල්මකිනි.

“එයා අස් වුණා මැඩම්..”

තරුණ සේවිකාව එසේ පවසා නිළියගේ හිස පිරිසිදු කරන්නී ය.එහෙත් ඇයට ඇතුළාන්තයෙන් තමන්ගේ ස්වාමි දුව ගැන ශෝකයක් සේම සිනාවක් උපදී.
ලංකාගේ හොඳම සේවිකාව අද ඇගේ ප්‍රතිවාදිනිය වී අවසන් ය.සෙනුල්‍යා දැන හෝ නොදැන ඇසූ කතාවට ඇද වී ගිය ලංකාගේ මුහුණ මේකප් තට්ටු හතක් ආලේප කර හෝ පැහැපත් කරන්නට නොහැකි බව සිතෙන තරුණියට පහළ වන්නේ සිනාවකි.

සමහර චරිත අපේ ලෝකයට ඇතුළු වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක හිඳිමින් ජීවිතය ආරක්ෂා කර ගන්නට ඉල්ලමිනි.නමුත් ඔවුන් පිටව යන්නේ අපට අයත් වටිනාම දේ රැගෙන ය.”සුදු කෙට්ටු කෙල්ල” ද මෙතැනින් පිටව ගියේ එහෙම ය. ලංකා ඈ ගැන සිහි කළේ කෝපයෙනි.සෙනුල්‍යා ද ඇය ගැන අද දවසේම විමසීම දෛවය කරන සරදමක් වාගේ ය.

“මැඩම්..මන්දාරා මිස් එනවා.”

පිළිගැනීමේ නිලධාරිනිය ලංකාට පැවසුවා ය.සෙනුල්‍යාගේ කටයුතු කරන්නට කාර්ය මණ්ඩලයේ තරුණියන්ට උපදෙස් දුන් ලංකා තමන්ගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ කුණාටුවක් සේ එතුළට එන මන්දාරා දෙස බලමිනි.මන්දාරා අම්මාගේ ඉදිරිපස අසුනකට වැටුණේ මුහුණ නාළු කරගෙන ය.තේජන කිසිත් නොකියා හිඳ ගත්තේ ය.

“අපි ආච්චම්මාගෙ ගෙදර ගියා ආන්ටි..”

තේජන ලංකා ඇමතුවේ ය.ලංකා තද රත් පැහැයෙන් වර්ණ ගැන්වූ තොල් මතට අපහාසාත්මක සිනාවක් ඇඳ ගත්තා ය.

“එයා ඉතිං පුතා සුද්ද කරන්න ඇති..මම නොදන්නවයැ එයා ගැන..”

ලංකා එසේ කියද්දී මන්දාරා රළු බැල්මකින් අම්මා දෙස බැලුවා ය.

“එයා ලේලිලාව වුණත් සුද්ධ නොකරා නෙවෙයිනෙ.මට දැන් ටුවෙන්ටි ෆෝ තමයි.ඒත් මට මගෙ පොඩි කාලෙත් මතකයි.”

ලංකා තම දෑස් මත ඇදෙන තද බැල්ම මැකෙන්නට නොදී ඉවත බලා ගත්තා ය.තේජන ඉදිරියේ සසැලෙන්නට නොහැකි ය.ඔහු දියණියගේ පෙම්වතා ය.

“මන්දිට මං කියන්නෙ මේ ප්‍රශ්නෙ ඕනවට වඩා හිතන්න එපා කියල ආන්ට්.ඇත්තටම අංකල්ගෙ පෞද්ගලික තීරණයක් ගැන අපි ඕනවට වඩා වද වෙලා වැඩක් නෑනෙ..”

තේජන පුරුදු ලෙස ගිනි නිවන්නට තැත් කළේ ය.ඔහුට උවමනා මන්දාරාට නොරිද්දාගන්නට උදව් කරන්නට ය.අනිත් අයගේ තීරණ අපට ඕනෑ හැටියට වෙනස් කරන්නට බැරිබව ඔහු හොඳින් දැන සිටියේ ය.

“හිමංගි කියන්නෙ සම්පූර්ණයෙන්ම ඔයා දාගත්තු කරදරයක් මන්දාරා..එයා උස්සගන උඩ දැම්මේ ඔයා.දැන් මෙතන නටන්න එපා.මේ හැමදේටම වග කියන්න ඕන ඔයා..”

ලංකා තද හඬකින් මන්දාරාට පැවසුවා ය.ඇය මන්දාරා සමඟ අරගල කරන්නට නොකැමති ය.එයට තදබල හේතුවක් ඇති බව දන්නේ මව සහ දියණිය පමණි.මන්දාරා ඒ කතාව තේජනට කියා ඇත්දැයි ලංකාට සැක සංකා තිබුණද ඇය මේ මොහොතේ පවා මන්දාරා සමඟ කතාවේ යෙදුණේ ප්‍රවේසමෙන් ය.

“මේ කරදර වලට හේතුව මං වත් හිමංගිවත් නෙවෙයි.පොඩි ගිනි පුපුරු තමයි දවසක ලොකු ගින්නක් වෙන්නෙ..”

මන්දාරා යළිත් අම්මාට පැවසුවේ ගිනි ගත් දෑසකිනි.

“මං ආච්චම්මා ගාව නතර වෙන්න යනව කියන්නයි ආවෙ..”

ඇය අනතුරුව පැවසුවා ය.ලංකා මේ කතාව මහ කන්දක් සේ නිසොල්මන්ව අසා හුන්නා ය.

“මන්දි,ඔයාට ආච්චම්මා ගාවට යන්න අම්ම අතින් වරදක් උනාද? මේ වෙලාවෙ ඔයා අම්මා එක්ක ඉන්න..”

තේජන වහ වහා එරෙහි වූයේ ය.මන්දාරා ඔහුට දුන්නේ උපහාසයට බර සිනාවකි.

“ඔයා දන්න දෙයක් නෑ තේජ..මට මේවා අප්පිරියයි.මං ආච්චම්මා ගාවට යනව.”

ඇය එපමණක් කියා නැගිට ගත්තා ය.විදුලි සෝපානය වෙත ගිය මන්දාරා හිතේ කෝපය සිඳී යන්නට සිතා පඩිපෙළ බසින්නට ගත්තේ වේගයෙනි.

“ආන්ටි,මන්දි ඉන්නෙ කලබලෙන්..මං එයාව ඉක්මනින් ආපහු එක්කන් එනව.”

පිටතට යන්නට පෙර තේජන තම නැන්දණියට පිළිණ දුන්නේ ය.ලංකා එය එතරම් නොතකා මඳ සිනාවකින් ඔහුට සමු දුන්නා ය.

වේගයෙන් පියගැටපෙළ බැස යන මන්දාරා අල්ලාගෙන ඇයව විදුලි සෝපානය වෙත ගෙන යන්නට තේජනට හැකි විණ.ඔහු ඈ අතකින් අල්ලා ගත්තේ මන්දාරාව සන්සුන් කරන්නට ය.

“මාව ආච්චම්මගෙ ගෙදරට ඩ්‍රොප් කරන්න එනවද?”

ඈ අසන්නේ බැගෑබරව ය.

“අපි කූල් වෙමු..ඔයා දැන් ගෙදර යන්නකො..”

තේජන ඇය සන්සුන් කරන්නට උපරිම උත්සාහය ගත්තේ ය.සෝපානයෙන් පිටත ආ වහා මන්දාරා ඔහුගේ අතකින් තදින් අල්වා ගත්තා ය.

“තේජන,එහෙනං මාව මැරි කරන්න..”

මේ කලබලකාරී යුවතිය සන්සුන් කරන්නට මඟක් සොයමින් තේජන ඇයට වඩා කලබල වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles