ස්මාට් ජීවන රටාවකට ඔබේ ජීවිතය මෙහෙම කළමනාකරණය කරමු.

කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට සමහර වෙලාවට ඔබේ ජීවන රටාවේ යම් දේවල් මග ඇරෙන්න පුළුවන්.රැකියා කටයුතු නිසා ඔබේ නිවෙස පිළිවෙළට තබා ගැනීම , නිවසේ කටයුතු නිසා දරුවන්ගේ කටයුතු මග හැරීම වැනි දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දීලා ඇති. ඔබ ඔබේ කටයුතු හොඳින් සංවිධානය කර නොගැනීම එයට හේතුවයි.ඒ නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු , ඔබේ නිවස සහ ඔබේ පුරුදු වෙනස් කරගන්න ඔබටත් හිතෙන අවස්ථා තිබෙන්නට ඇති . Smart කාන්තාවක් හැටියට ඔබේ ජීවිතය වඩාත් සංවිධානය කර ගන්නේ කොහොමද ? එහෙමත් නැත්නම් සංවිධානාත්මක ජීවන රටාවකට හුරු වෙන්නෙ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු

ඔබටම ආවේණික දින චර්යාවක් ගොඩනගාගන්න

ඔබේ පවුල තුළ එකිනෙකාගේ දින චර්යාවන් එකිනෙකාට වෙනස් බව ඔබ දන්නවා. විශේෂයෙන්ම නිවසේ ගෘහනියගේ, මවගේ දින චර්යාව අනිත් අයගේ දින චර්යාවන්ට වඩා ඉතාම කාර්යබහුලයි. ඒ නිසාමයි ඔබ ඔබටම ආවේණික වූ චර්යා රටාවන් ගොඩනගා ගත යුතු වන්නේ.

ඔබ නිවසේ වැඩ කරන කාලය අතරතුර බොහෝ වේලාවක් ජංගම දුරකතනය සමග ගත කරනවා නම් නිවසේ වැඩ කටයුතු වලට බාධා පැමිණෙන්නට පුළුවන්.ඒ නිසා නිවසේ වැඩ කටයුතු අවසන් කර ඔබ ලබාගන්නා කෙටි විවේක කාලයක් ඇතුළත සමාජ මාධ්‍ය භාවිතා කිරීම , දුරකථන සංවාද වල යෙදීම වැනි දේවල් ඔබට කළ හැකියි.

ඒ වගේම නිවසේ විශේෂ පිරිසිදු කිරීම් සඳහා සති අන්තයේ පැය කිහිපයක් වෙන් කිරීම , ව්‍යායාම කිරීම සඳහා දිනපතාම පැයක කාලයක් වෙන් කිරීම , පසුදිනට සකස් කළ යුතු ආහාර පිළිබඳව සැලසුම් කිරීම , පොත් කියවීම, චිත්‍රපට නැරඹීම , සාප්පු සවාරි වල යෙදීම වැනි විනෝදාංශ වලට කාලය වෙන් කිරීමත් ඔබේ දින චර්යාව ට ඇතුළත් කරගන්න ඔබට පුළුවන්. මේ සියල්ල සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කිරිමෙන් ඔබේ දින චර්යාව වඩාත් ඵලදායි එකක් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා

අත්‍යවශ්‍යම දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න

ඔබ මොනවගේ දින චර්යාවක් ගත කළත් අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල් මග හරින්න ඔබට බැහැ. ඒ නිසාවෙන්ම එදිනෙදා ඔබ කළ යුතු වැඩ ලයිස්තුවේ අත්‍යවශ්‍යම කාරණා වලට ඔබ ප්‍රමුඛත්වය දිය යුතුයි. උදාහරණයක් ලෙස ගතහොත් හදිසි අවස්ථාවක හැරුණුකොට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කිරීම මගහරින්නට ඔබට කිසිසේත් ම බැහැ. ඒ වගේම දරුවන්ගේ කටයුතු සහ සැමියාගේ කටයුතු කල් දමන්නටත් ඔබට බැහැ. එවැනි කාරණා වලට ඔබ ප්‍රමුඛත්වය දෙන අතරතුර අනෙක් වැඩ කටයුතුත් කරගන්නා ආකාරය ඔබ ඔබේ දින සැලසුමට ඇතුලත් කරන්න ඕනෑ

සෑම දෙයක් සඳහාම නියමිත ස්ථානයක් ඇත

ගෘහණියක් සහ මවක් හැටියට ඔබ ඔබේ නිවෙස පිළිවෙළට තබා ගැනීම පිළිබඳව බොහෝමයක් දුරට සිතනවා ඇති. එහෙනම් ඔබ මතක තියාගන්නට අවශ්‍ය මූලික කරුණක් තමයි ඔබේ නිවසේ ඇති සෑම ද්‍රව්‍යයකටම සහ සෑම භාණ්ඩයකටම එයට නියමිත ස්ථානයක් තිබෙන බව. එය ඔබ නිසි පරිදි පිළිපදිනවා නම් ඔබේ නිවස අවුල් වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

උදාහරණයක් ලෙස ඔබේ නිවසේ යතුරු සහ වාහනයේ යතුරු එල්ලා තැබීමට යතුරු රැඳවීමක් තිබෙනවානම් එම යතුරු ලාච්චුවල හෝ වෙනත් ස්ථානයක තබන්නට හෝ අවශ්‍ය අවස්ථාවලදී නිවස පීරමින් ඒවා සොයන්නට ඔබට අවශ්‍ය වන්නේ නැහැ. මුලුතැන්ගෙය සංවිධානය කිරීමේදී පවා නිතර භාවිතා නොකරන උපකරණ ඉහළ කබඩ් වලත් , නිතරම භාවිතා කරන උපකරණ සහ අමුද්‍රව්‍ය ලඟම ඇති කබඩ් වල ගබඩා කරන්නත් ඔබට පුළුවන්. එවැනි පුංචි උපක්‍රම ඔබේ ජීවිතය වඩාත් සංවිධානාත්මක සහ පහසු එකක් කරනවා.

One in , One out ක්‍රමය

මෙය බොහෝ දෙනෙක් අනුගමනය නොකරන නමුත් අනුගමනය කළ යුතු කරුණක්. ඔබ ඔබේ නිවසට කුමක් හෝ දෙයක් මිලදී ගන්නා විට , එසේත් නැත්නම් ඔබ වෙනුවෙන් ඇඳුමක් මිලදී ගන්නා විට ඔබ සතුව දැනටමත් ඇති නමුත් නිතර භාවිතා නොකරන ඇඳුමක් තවත් කෙනෙකුට පරිත්‍යාග කරන්නට ඔබට පුළුවන්. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් භාවිතා නොකරන බඩු භාණ්ඩ වලින් ඔබේ නිවස පිරී යාම වළකිනවා

Minimalist කෙනෙක් වෙන්න

අවමවාදය යන සංකල්පය පිළිබඳව බොහෝ දෙනාට හරි හැටි දැනුවත් භාවයක් නෑ. එහි මූලිකම පදනම ලෙස සැලකෙන්නේ ඔබට අත්‍යවශ්‍යම දේවල් සමග පමණක් ඔබ ජීවත් වීමයි.ඔබ සතු දේවල් අඩු වන තරමටම ඒවා පිළිවෙළට තබාගැනීම ඔබට පහසු වනවා. එකවරම මෙයට හුරුවීම පහසු දෙයක් නොවන නිසා ඔබේ චර්යාවන් වෙනස් කර ගැනීම සහ මිලදී ගැනීම් අත්‍යවශ්‍යම දේවල් වලට පමණක් සීමා කිරීමට ටික හුරු කර ගන්නට ඔබට පුළුවන්

මුදල් කළමනාකරණය කරගන්න

මෙයත් ඔබේ ජීවන රටාවට එකතු කරගත යුතු අනිවාර්ය කාරණාවක්. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම නිසා අරපිරිමැස්මට හුරුවීම නුවණට හුරු බව ඔබටත් හිතෙනවා ඇති. ඔබ ලබන ආදායමට අනුව ඔබගේ වියදම් සැලසුම් කර ගැනීමට ඔබ කටයුතු කරන්න ඕන කොහොමද ? එදිනෙදා ඔබේ වියදම් ලැයිස්තුගත කිරීම , සාප්පු සවාරි යාමට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ වල ලැයිස්තුවක් රැගෙන යාම , බිල්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා මුදල් වෙන් කිරීම , වාහනය අලුත් වැඩියා කිරීම හෝ රෝහල් ගතවීමක් වැනි හදිසි කාරණාවක් සඳහා මුදල් කොටසක් වෙන් කිරීම වැනි උපක්‍රම භාවිතා කරමින් මුදල් කළමනාකරණය කරගන්න ඔබට පුළුවන්

ජීවිතය වඩාත් සංවිධානාත්මක කර ගැනීම මගින් ගෘහණියක් සහ මවක් වන ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයි. සියල්ල සැලසුම් කරමින් මනා ලෙස කළමනාකරණය කර ගන්නා ඕනෑම කාන්තාවක් අනෙක් අයට ප්‍රිය මනාප කාන්තාවක් බවත් ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආව පුංචි උපක්‍රම මඟින් ඔබේ ජීවිතය තවත් සැලසුම් කරගන්න ඔබට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles