සීත මාරුතේ -60

මගේ අඳුරු හුදෙකලා ලෝකය තුළ තනි වී ගෙන, මුණිවර කියන්නට යන අශුභ ආරංචියෙන් සැඟවී ගන්නට මට ඕනෑ විය. එය තත්පර කිහිපයක අද්භූත මොහොතකි. නරක හීනයක් දැක කෑ ගසා ගෙන අවදි වූවා බඳු මොහොතකි. එය හැබෑවක් ද හීනයක් ද කියා නිශ්චිත කර ගත නො හැකිවා බඳු මොහොතකි.

“සර්ව දැන් ඔපරේශන් එකට අරං තියෙන්නෙ. බයිපාස් එකක් එහෙම ලේසියෙන් කරන්නෑනෙ..ලිස්ට් එකේ ඉන්න ඕන..මේක ඉමර්ජන්සි නිසා සර්ව ගත්තෙ. එහෙම වුණ එක ලොකු දෙයක්”

මා ඇස් හැර ඉහළ බැලූයේ එතකොට ය. මහා රූස්ස ගස් කිහිපයක් දෙස එහි පාමුල සිට බලත්දී පෙනෙනාකාරයෙනි මුණිවර ඇතුළු පිරිස ව මට පෙනුණේ. ඒ කියන්නේ අප්පච්චි ට අනතුරක් සිදු වී නැති ද? මගේ යටි හිතේ හැංගී තිබුණ නරක ම බියක් හිතෙන් පිටතට විත් මා බියපත් කළ තරම් නරක යමක් සිදු වී නැති ද?

“හැබැයි ඉතිං කට්ටිය මෙතන පාරට වෙලා හිටිය කියල තේරුමක් නෑ. මොකද දැන් කාවවත් හොස්පිට්ල් එක ඇතුළට ගන්නෑ. ඒක නිසා දැන් ගෙදර ගිහින් පාන්දර විසිටින් අවර් එකට හොස්පිට්ල් එකට එමු නේද…”

“අනේ පුතේ…එයාව තනියම දාල යන්නෙ කොහොමද දෙයියනේ”

අම්මාට ඉකිබිඳිණි. ඇය අතකින් මුව වසා ගත්තා ය.

“එයා එහෙම තනියම ඉඳලම නෑ  අනිත් එක මේක පුරුදු තැනකුත් නෙවෙයිනෙ”

“අම්ම”

මම ඇගේ උර මඬල වටා අතක් දමා ගනිමින් අම්මාව මගේ සිරුර ට ලං කොට ගතිමි. 

“අපිට සමහර වෙලාවට කරන්න වෙන්නෙ කවදාවත් කරල නැති දේවල් තමයි අම්මෙ. අපි අප්පච්චි නැතුව එක රැයක්වත් තනියම ඉඳල නෑනෙ. ඒත්…අද අපිට ඉන්න වෙනව. කමක් නෑ අම්මෙ. අප්පච්චි උදේට සනීප වෙලා ඉන්නවනං…අපිට ඒ ඇතිනෙ…අපි මේ රැය කොහොමහරි ගෙවා ගමු”

නංගී විත් මා හා අම්මා ව දෑතින් වැළඳ ගත්තා ය. අප තිදෙනා ගේ ම කඳුළු එකට මුහු වෙන්නට ඇත. 

“බය වෙන්න එපා. මං දසුන් එක්ක එළි වෙනකල් මෙතන ඉන්නං. ඔය ඇටන්ඩන් කෙනෙක්ව ශේප් කරගෙන තොරතුරක් දැන ගන්න පුළුවන්නෙ. අම්.. මං එතකොට ඔයාට කෝල් කරන්නං මන්දාකිණී. අම්මයි නංගියි එක්ක ගෙදර යන්නකො. මං අපේ ඩ්‍රයිවර් කෙනෙක්ට කියන්නං මල්ලිවයි කසුනිලවයි ගුරුතලාවට එක්ක යන්න කියල. අදීශ් උඹට පුළුවන්ද මන්දාකිණීලව…”

“නෝ වොරීස් මචං. මං එක්කං යන්නං”

“මං පාන්දර එන්නං…මන්දාකිණීලව හොස්පිට්ල් එකට එක්ක එන්න”

“අනේ පින් සිද්ද වෙනව පුතේ…පුතාල ඇරෙන්න මේ වෙලාවෙ අපිට අපේ කියන්න කිසි කෙනෙක් නෑ”

අම්මා ගේ හඬ යළිදු බිඳී ගියේ ය. මුණිවර ඇගේ අතක් අල්ලා ගත්තේය.

“මට මගෙ තාත්තව බේරගන්න බැරි වුණා. ඒ කාලෙ මං පොඩි කොල්ලෙක්. හැබැයි මං සර් වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනව. අම්ම මාව විශ්වාස කරන්න”

මගේ උගුර තදින් රිදුණේ ය. මම අම්මාව වත්තන් කර ගෙන අදීශ් ගේ රිය දෙසට අඩියක් දෙකක් තැබුවෙමි. අදීශ් ද අප සමග පෙළට වැටෙන්නට ඇත. මුණිවර “අදීශ්” කියා කතා කළෙන් අපේ දෙපා නැවතිණ.

“ලොකු තාත්තත් ඉඳියි. මචං උඹට පුළුවන්නං අද රෑට පොඩ්ඩක් මන්දාකිණිලගෙ ගෙදර හිටපං. තව පැය කීපයයිනෙ”

අදීශ් හිස සැළුවේ ය. මුණිවර ගේ රැකවරණය මහ මෙරක් සේ මගේ පපුවට දැනෙන්නට විය. වැඩිහිටි සොයුරෙක් නැති අපේ ගෙදරට ඒ අඩුව නො දැනෙන සෙයින් මේ තීරණාක්මක මොහොතේ ඔහු ඉවසීමෙන් කටයුතු කරමින් සිටියේ ය.

අප හැම කෙනෙකු ගේ ම හදවත් වල මහ බරක් පැටවී තියෙන්නට ඇත. නමුත් ලොකු තාත්තා හා අදීශ් ඒ බර හැකි තාක් සැහැල්ලු කරවන ආකාරයට කතා කළහ.  බොහෝ හදවත් රෝගීන් සුව වීමෙන් පසු ඉතා හොඳින් ඔවුන් ගේ දෛනික කටයුතු කරගෙන ඉන්නා සිදුවීම් ගැන කියමින් අපේ හිත් දිරිමත් කළහ. අප කිසිවෙකු ට නින්දක අවශ්‍යතාවයක් වූයේ නැත. මේ හෝරා කිහිපය ඉක්මනින් ගෙවී ගොස් අප්පච්චි දැක ගැනීම ය අපේ පැතුම වී තිබුණේ. අම්මා බුදු පහන ඉදිරියේ පඬුරක් ගැට ගැසුවා ය. ඉන් ඇගේ හිතට අප්පච්චි ගේ සුවපත් වීම ගැන විශ්වාසයක් ඇති වන්නට ඇත. කසුනි හා හංසිකා තේ සෑදූහ. පවුලේ විපත්තියකදී හිතවතුන් සිටීමෙන් සිතට දැනිය හැකි සැනසීම ශක්තිය ඒ යයි මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි. එහෙව් මොහොතක ගෙදර අයගේ හදවත් වල වන්නේ ගින්දර ම පමණකි. දයාවේ සිසිල් පැන් ඉසිමින් ඒ ගිනි නිවාලිය හැකි අය හැබෑ හිතවතුන් ය.  ඒ රාත්‍රියෙහි ඔවුන් සියලු දෙනා අප සමග නොවී නම් අප කෙබඳු මානසික අනාථ භාවයකට පත් විය හැකි ව තිබුණේ දැයි මා අමුතුවෙන් කිව යුතු නැත. 

“ඔපරේශන් එක ඉවර වෙලා. සර් හොඳින් ඉන්නවලු”

ඒ ඇමතුම පැමිණියේ අළුයම් යාමයෙහි ය. ඒ වගේ සැනසිල්ලක් ඉන් පෙර කිසිදු හේතුවක් මත අපට දැනී නැති බව ඉඳුරා කිව හැක. අම්මා අප තිදෙන තුරුලු කර ගෙන කඳුළක් පිස ගත්තා ය. ඇගේ දෙතොල් අතරේ පෙනෙන නො පෙනෙන තරම් මඳහසක් විය. ඇයට දැනෙන සැනසීම ගිනුම් කළ නො හැකි බව මට තේරුම් යමින් තිබිණ. ගෙවී ගිය රාත්‍රිය පුරා මගේ සිත්හි සැරිසැරූ අප්පච්චි ට නපුරක් වේද යන බිය නො වෙනස් ව අම්මා ව ද පෙළන්නට ඇත. වැඩි විය පත්, නමුත් දීග නොදුන් ගෑනු ළමයින් දෙදෙනෙකු ගේ ද තවමත් පාසල් අධ්‍යාපනය නිම නො කළ පුතෙකු ගේ ද බර තනිව හිසින් දරන්නට වේද යන නිශ්චිත බිය නිසැකව ම ඈ හිත මත පැටවී තිබෙන්නට ඇත. සැබවින් එවන් අනපේක්ෂිත තත්වයකට මුහුණ දෙන ස්ත්‍රියක ගේ ආත්මය කෙබඳු විය හැකි දැයි අන්වීක්ෂයකින් හෝ හරස්කඩ නිරීක්ෂණයක් කළ නො හැකි ය. මුණිවර ගේ අම්මා ඒ අවදානමට මුහුණ දුන් ගැහැනියකි. ඔවුන් ගේ මුදු මොළොක් හදවත් යකඩ බවට පත් කොට ගෙන දරුවන් වෙනුවෙන් තව දුරටත් ජීවත් වන්නට හිත් හදා ගන්නවා විය යුතු ය.

අප්පච්චි අප දැක මඳ සිනහවකින් මුව සරසා ගත්තේ ය. ඔහු ගේ මුහුණ මත වූයේ මරණය සමග සටන් කොට අසීරුවෙන් පිම්මක් පැන ගත්තා වන් විඩාපත් බවකි. 

“මට මතක් වුණේ ම ඕගොල්ලො. මං තාමත් යුතුකම් ඉෂ්ට කරල ඉවර නැති මිනිහෙක් නේද කියල. බැරි වෙලාවත් මට යන්න වුණොත් දූලයි අම්ම කොහොමද මේ දරුවො තුන් දෙනාගෙ කටයුතු එකලාසයක් කර ගන්නෙ කියල…අනිත් අතට ලොකු ළමය…මං දන්නවනෙ ලොකු ළමය දිය සුළියක් මැද්දෙ රැල්ලත් එක්ක පොර බද බදා ඉන්නෙ කියල…ඒ දරුව එතනිං එතෙර වෙනකල් මට ඉන්නම ඕන වුණා. මැරෙන්නෙ නෑ කියලම මං තදින් හිතුව. මට ඒක කර ගන්න පුළුවන් වුණා”

මම මාත් එක්ක ම සටන් වදිමින් කඳුළු වලට ඉස්සර වන්නට නොදී සිටියෙමි.

“පුතාලගෙ අප්පච්චි මොනා කියනවද මන්දා. එහෙම නරකක් වෙන්නෑ ඔයා වගේ හොඳ කෙනෙකුට”

අම්මා නෝක්කාඩු ස්වරයකින් කීවා ය. අප්පච්චි යළිත් මඳහසක් නගා ගත්තේ ය.

“යන්න තියන වෙලාවට ඉතිං හොඳ නරක බල බල ඉන්නෙ නෑ දූලයි අම්මෙ. එක්ක යනවම තමයි. හැබැයි දොස්තරල කියන්නෙ දෙවිවරු කියල මං තේරුං ගත්තා. ඒ ලොකු දොස්තර මහත්තය මොන තරං කරුණාවකින්ද කතා කළේ…හරියට පොඩි ළමයෙක්ට වගේ. බය වෙන්න එපා ඔයාට රිදෙන්නෑ මේක කරනකොට…මේ බ්ලොක් වෙලා තියන වෑල්ව් සුද්ද කරල…දාන්න ඕන එකක් දැම්මට පස්සෙ ඔයා නිරෝගී කෙනෙක්…එහෙම කිය කිය…බලාපොරොත්තුවකින් හිත පුරෝන ගමන් තමයි ඒ වැඩේ කළේ. අතක පුංචි සිදුරක් ඇති කරල හදවතක සැත්කමක් කරන්න…මේව තමයි ප්‍රාතිහාර්ය කියන්නෙ දරුවනේ..”

“අප්පච්චි වැඩිය කතා කරන්න එපා. රෙස්ට් කරන්න”

“අනේ අර මුණිවර ළමය සැරෙන් සැරේ හොයල බලල තියෙනව. මට කට්ටිය කිව්ව. මං ගුරුතලාවෙ උප විදුහල්පති කියල දැනගත්තහම හැමෝම හුඟක් සැලකුව”

අප්පච්චිට තවත් දින කිහිපයක් ම රෝහල් ගත ව ප්‍රතිකාර ලබන්නට සිදු විය. ඒ දින කිහිපය තුළ ඔහු වියපත් වූවා සේ ය මට දැනුණේ. ඒ දින කිහිපය වසර ගණනාවක ජීවන අත්දැකීම් සමූහයක් අප වෙත තිලිණ කළා කියා සිතමි. විශේෂයෙන් ම ජීවිතයෙහි වන අනිත්‍ය බව තදින් මා හද පසාරු කොට තිබිණ. අප්පච්චි අප අතැර මරණයත් එක්ක යාවියි පළමු රාත්‍රියෙහි හිත පෑරූ අදහස, ශේෂ කොට තිබුණේ බරපතල තුවාල ය. මම විටින් විට ඒ තුවාල වල රිදුමින් අසහනයට පත් වීමි. පවුලක් වශයෙන් ඉතා තද බැඳීමකින් යුතුව එකට සිටීම නිසා අපේ තුවාල පිරිමැද ගැනීමේ අවස්ථාව ඕනෑ තරම් තිබීම විශාල සහනයක් විය. 

අනිත් අතට මුණිවර ගේ මෙහෙවර මා සසල කොට තිබිණ. ඒ වෙලාවේ ඔහු ක්‍රියා කළේ දේව දූතයෙකු සේ ය. අප්පච්චි ගැන පමණකුදු නොව අම්මා ගැන ද මල්ලී ගැන ද ඔහු ගේ විශේෂ අවධානය යොමු විය. ඇතැම් විට සිය වේදනාබර කටුක ජීවන අත්දැකීම් නිසා උගත් පාඩම්, ඔහු ගේ ම මව හා ඔහු විඳි ඛේදවාචකයේ සෙවනැලි මල්ලී හා අම්මා මත ආදේශ කිරීම නිසා ඔහු ගෙන් එවන් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඇත. අම්මා ද මල්ලී ද මෙසමය තුළ අතිශයින් ඔහු ට සමීප ව සිටියහ. ඒ නිසා ඔවුන් ගැන මගේ හදෙහි පැටවී තිබි බර මඳක් ලිහිල් කර ගන්නට මට හැකි විය. ගෙදර ගැන සේ ම අප්පච්චි ගේ සියලු අවශ්‍යතා ගැන ද මුණිවර විසින් සොයා බලන ලද්දේ අපේ පවුලේ ම වැඩිහිටි සොයුරෙකු සේ ය. එය මුළු හදින් යුතුකම් ඉටු කිරීමකි. එහෙම බැඳීමක වන වත්කම් ගැන මට ඉතා තදින් දැනෙන්නට විය. ඒ වගේ ගමන් සගයෙකු නිසා නිසැකව ම ජීවිතය පහසු වන්නේ ය. 

අනිත් අතට අදීශ් මගේ හිත ළඟ හිඳිමින් මා සුවපත් කිරීමේ මෙහෙයුමක නිරත වූයේ ය. අප්පච්චි බයිපාස් සැත්කමක් මගින් යළි ජීවිතය වෙත එළඹ සිටිය ද මෙයින් මනතට ඔහු හදවත් රෝගියෙකිය යන කම්පනය දිගට ම මා වෙත බලපෑම් කරනා ලදී. ජීවත් වන තුරාවට ගන්නට ඖෂධ විශාල ප්‍රමාණයක් ඔහු වෙනුවෙන් නිර්දේශ වී තිබුණේ ය. මේ සියලු කාරණා මගේ පුංචි හදවතෙහි ක්ෂුද්‍ර වූ බිඳීම් සමූහයක් නිර්මාණය කොට තිබුණේ මටත් රහසේ ය. අදීශ් සියුම් ලෙස ඒවා නිරීක්ෂණ කරමින් සිය මිත්‍රත්වයේ හා කරුණාවේ මහිමයෙන් ඒවා ට ඔසු ගැල්වූයේ ය.

තමන් ගේ කෙනෙකු විපතකට කරදරයකට හෝ බරපතල  රෝගයකට ගොදුරු වීම අප ව කෙතරම් සියුම් ලෙස විනාශ කොට දමන්නේ ද? මම එසේ විනාශ වෙමින් ද මා වටා උන් අයගේ දයාවේ අනුහසින් යළි ගොඩනැගෙමින් ද සිටියෙමි.

මේ වකවානුවේ දී මම එක් කේන්ද්‍රයක සිට මුණිවර හා අදීශ් යන දෙදෙනා දෙස ම බලා සිටින්නට වීමි. වඩා හොඳින් මට ඔවුන් ව නිරීක්ෂණය වන්නට වූයේ ය. අදීශ් ට වඩා වැදගත් වූයේ මා ය. මගේ සිත මා වෙනුවෙන් ප්‍රවේසම් කොට දීමට ඔහු සිය උපරිමය යෙදවූයේ ය. විටෙක මට කරදරයක් සේ දැනෙන පරිදි ම මා ගැන වද වූයේ ය. නමුත් මුණිවර මා කේන්ද්‍ර කොට ගත් මගේ ලෝකය ම සුරකින්නට සිය ශක්තිය යෙදවූයේ ය. 

කෙනෙකු අප ගැන වද වෙනවාට වඩා අපේ අය ගැන වෙහෙසෙත්දී එය අපට වඩාත් ළෙංගතුව දැනෙනවා යන්න මා අවබෝධ කර ගත් දේ විය. මුණිවර හා අදීශ් තරාදියක දෙපැත්තකට දමා කිරුවෝතින් මුණිවර ගේ පැත්ත වඩා බර වන්නේ ය. ඒ එහි මගේ මුළු පවුල ම සිටිනා නිසා ය. 

ජීවිතය වූ කලී සරල සුගම මාවතක් නොවන බව අසා තිබුණ ද කඳුකරයට පැමිණෙන තුරුත් එය එසේ බව මා ප්‍රායෝගික ව දැන සිටියේ නැත. මුණිවර කෙරේ ප්‍රේමයෙන් බැඳීම හා ඒ ප්‍රේමය දිනා ගැනීම වෙනුවෙන් ජයග්‍රාහී සටනක් මෙහෙයවීම, මා වෙනුවෙන් මට කරන්නට සිදු වූ ප්‍රථම මෙහෙයුමයි. මුණිවර ට මුහුණ දෙන්නට වූ රිය අනතුර ද ඉන් ඔහු ගේ මතකයේ මා උන් කොටස අමතක වී යාම ද ඉන් පසු අප්පච්චි හදිසියේ ම හදවත් රෝගියෙකු වීම ද යන කාරණා ත්‍රිත්වය ම තදින් මා සසල කරවී ය. නමුත් ඒ සියලු තැන් වලදී සිදු වූයේ මා තව තවත් ශක්තිමත් වීමයි. ශක්තිමත් හදක් යනු තුවාල කැළැල් පිරුණ හදකි. බිඳුම් පිරියම් කළ හදකි. ඉරුම් වලට මැහුම් දැමූ හදකි. ඉදිමුණු, ලේ ගැලූ, දැවුණු හදකි. ජීවිතය මා පදම් කොට තිබුණේ ය!

දින කිහිපයකට පසු අප්පච්චි ව රෝහලෙන් නිදහස් කෙරිණ. යළි පැමිණියේ වසර කිහිපයකින් වියපත් වූ අප්පච්චි කෙනෙකු කියා ය මට සිතුණේ. නමුත් ඒ අප්පච්චිව වැළඳ ගන්නටත් දරා ගන්නටත් තරමට මම ද මෝරා වැඩී සිටියෙමි.

හදිසියේ ම මා අප්පච්චි ගේ අම්මා වූවා සේ විය. මා පැනවූ අන පනත් මත ඔහු ට වැඩ කරන්නට සිදු විය. අප්පච්චි කියන දේ නාසා හිතුවක්කාර වෙන්නට හැදුවොත් අම්මා ‘දුවාට කියනව මං හොඳේ’ කියා තරවටු කරනු මගේ කනට ම ඇසී තිබේ. එතකොට අප්පච්චි සිනා සී ‘එතකොට දැන් ලොකු ළමයද අපේ අම්ම’ කියා අසයි.

“අම්ම කෙනෙක් වගේ තමයි මටත්. දුවා නොහිටියනං ඒ දවස් ටිකේ මටත් එහෙම හිත හයිය කර ගන්න බැරි වෙන්න තිබුණා. මං මොන ගෑනියෙක්ද එයා එක්ක බලනකොට…මටත් හිතා ගන්න බෑ. ඔයා මලක් වගේ හදපු කෙල්ලට එහෙම හයියක් තිබුණා කියල”

“කරදර මිනිස්සුංව හයිය කරනව දූලයි අම්මෙ”

“මතකෙ අමතක වුණත් මුණිවර පුතාට යුතුකම් අමතක වෙලා තිබුණෙ නෑ. ඒ දෙන්න තරං ගැලපෙන ජෝඩුවක් මං වෙන දැකල නෑ පුතාලගෙ අප්පච්චි”

මා ඉක්මනින් ඒ කතා ඇසෙනා මානයෙන් ඉවත් වූයේ අසා ඉන්නට බැරි තරමට පපුව පීඩනයෙන් යුතු වූ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles