“එදා ඉඳල අවුරුදු විස්සක්…මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව…විඳවනව…”
ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ සිනහවකිනි. සිනහවෙන් දුකත් විඳ ගන්නා මිනිස්සු සිටිති!
“මට හිතා ගන්න පුළුවන්. අප්පච්චි නැති වෙච්ච එක්ක දරා ගන්න විදිහක් තේරෙන්නෙ නැතුව තමයි මං හැම දේම අත් ඇරල දාල මෙහෙට ආවෙ”
“පරිසරේ මාරු කරල හිත හදා ගන්න පුළුවන් ද…”
ඔහු මට අභියෝග කළා දැයි නො දනිමි. කෙසේ නමුත් මම සන්සුන් ව පිළිතුරු දුන්නෙමි.
“බෑ. ඒත් හිත ටිකක් සන්සුන් කර ගන්න පුළුවන්. අඩු ගානෙ…කිසිම වගකීමක් දරන්න වෙන්නෙ නැතුව.. අලුත් පරිසරේක නිවී සැනසිල්ලෙ ඉන්න පුළුවන් නිසා”
නීලා තේ හා කෙටි කෑම වර්ග කිහිපයක් බන්දේසියක තබා ගෙන ආවා ය. ඇය සංකල්ප ට මූණ දුන්නේ කිසියම් අපහසුවකින් සේ ය.
“අනේ මනදා…එදා මං කෑ ගහල ආවට මොකෝ මේ ළමය තමයි අන්තිමට උදව් කරන්නත් හිටියෙ”
ඈ සිය ගෙල කසමින් සංකල්ප ගෙන් සමාව ඉල්ලන විලාශයක් පෑවා ය. ඔහු ගේ මුහුණ මත ලස්සන සිනහවක් ඇඳෙනවා මම අඩැසට දුටිමි.
“ආ.. ඒකෙ අවුලක් නෑ නීලා ඇන්ටි. මීට පස්සෙ අපි නීලා ඇන්ටිගෙ සුදු බබා දොයිය බබා වෙන වෙලාවට ඩිස්ටර්බ් කරන්නෑ”
“අනේ මන්දා මේ ළමයිනං…”
නීලා සිනහ වෙවී යන්නට ගියා ය. මම ඉක්මනින් ම ඉරියව් වෙනස් කර ගතිමි.
“සංකල්ප මොනාහරි කමු…බුලී…එන්නකො ඉතිං…ඔයාටත් ආගන්තුක සත්කාර කරන්න එපැයි”
මම බුලී ටත් ලූනා ටත් පාන් ටෝස්ට් කන්නට දුනිමි.
“ඔයාට තියෙන්නෙ සින්දුවක් කරන්න. කවර් එකක් හරි කරල යූ ටියුබ් දාන්න පුළුවන්නෙ”
කතාව වෙන පැත්තකට හරවන්නට මට ඕනා වී තිබෙන්නට ඇත. සංකල්ප සුසුමක් හෙළුවේ ය.
“එහෙම දෙයක් කරන් මට කවදාවත් ඕන වෙලා නෑ”
“ඒක තමයි කියන්නෙ පවට පින් දෙන්න බෑ කියල”
මම තරමක් තදින් කීවෙමි.
“අවුරුදු විස්සකටත් එහා දි මොන්ටිසෝරි ගිය කාලෙ ගැනයි මොන්ටිසෝරියෙදි කරපු දේවල් ගැනයි මතක තියං ඉන්න පුළුවන්. තමංගෙ ටැලන්ට් එක මොකද්ද කියල තේරුං අරගෙන ඒක දියුණු කර ගන්න උවමනාවක් නෑ”
ඇස් දෙක වඩාත් කුඩා කොට ගෙන ඔහු මා කෑ ගසනු බලා සිටියේ ය.
“මොන එහෙකටද අප්ප”
ඊළඟට ඉතා හෙමිහිට කීවේ ය.
“මෝඩයෙක්”
මම පාන් ටෝස්ට් එකක් ගෙන හපා ගෙන හපා ගෙන ගියෙමි. සංකල්ප ඉතාමත් තෘප්තිමත් ව තේ කෝප්පය තොල ගෑවේ ය. එතනින් එහා ට අපට කතා කරන්නට දෙයක් නොතිබුණ තරමි. මම ලූනා හා බුලී ගේ සෙල්ලම් දෙස බලා සිටියෙමි. ලූනා ට අසනීපයක වගක් වත් මේ මොහොතේ නම් පේන්නට තිබුණේ නැත.
“අපි එහෙනං යමුද බුලී. ලූනාට කියන්න ගෙට් වෙල් සූන් කියල”
“බුලීටත් කියන්න ලූනා ආවට තෑන්ක්ස් කියල”
මම ලූනා ළඟ තණ පලසේ බිම හිඳ ඇය ව තුරුලු කොට ගතිමි. අසනීප ගතිය නිසා දෝ ඇය බුලී ගේ පස්සෙන් දිව යන උත්සාහයක් ගත්තේ නැත.
අප්පච්චි ගේ දානයට ඇත්තේ දින තුන හතරක කාලයක් නිසා හෙට උදේ ගෙදර එන්නයි අම්මා දුරකතන ඇමතුමක් දී කීවා ය. එ් අනුව මම උදේ පිටත් වන්නට අවශ්‍ය දෑ සූදානම් කළෙමි.
“දැං ඉතිං ගියාට පස්සෙ ලොකු නෝනා සුදු බබාට එන්න දෙන එකක් නෑ”
නීලා දුකෙන් වාගේ කීවා ය. මම සිනා සී කර බා ගතිමි. මා මෙහි නතර වී සිටි සති තුනක කාලය තුළ ඇය මා කෙරේ කෙතරම් බැඳීමක් ඇති කර ගෙන ඇත්දැයි මම දන්නෙමි. මා ආපසු යන එක ගැන ඇය දුක් වන්නේ ද එබැවිනි.
හැම හුස්මක් ගානේ ම අපි බැඳීම් ගොඩ ගසමු. හැම මොහොතක් ගානේ ම සසර ට ඇලෙමු. සසර තව දිගු කර ගන්නෙමු!
රාත්‍රියේ සීතලත් එක්ක සංකල්ප ගැයූ ගීය මා දවා ලන්නට සමත් වූ බව කිව යුතු ය.
“ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේ ම ආදරයක් තිබුණා
මගේ ම ආදරයක් තිබුණා”
රාත්‍රියේ පාළු අඳුරත් දැඩි ශීතලත් එක්ක ඔහු ගේ දුක්බර ගැඹුරු පිරිමි හඬ මහා ශෝකයක් ජනිත කළේ ය. මගේ හදවත මට දරා ගත නොහැකි පරාසයක කම්පනය වෙමින් තිබිණි.
“හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…”
මම කොට්ටයෙන් මගේ ම ළැම තද කොට ගතිමි. ඔය ගීතය මම ඕනෑ තරම් අසා ඇත්තෙමි. යළි යළිත් අසා ඇත්තෙමි. මගේ හද තත් සුසර කරන්නට එහැම වරෙක ම එය සමත් වී තිබේ. නමුත් මේ තරමට මා කම්පිත කරන්නට පෙර කිසි දාක මා වඩාත් රිසි වූ ඒ ගීයට හැකි වී තිබුණේ නැත.
“රිදුමක් වාගේ කිසි දා සුව නොවෙනා
සසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…”
මගේ ඇස් දෙකෙන් කඳුළු ඉහිර යමින් තිබිණි. මම කොට්ටයක මූණ ඔබා ගතිමි. මේ තරම් මගේ ඇතුළාන්තය දවන්නට සංකල්ප ගේ හඬට හැකි වූයේ කෙසේද කියා මා දන්නේ නැත. ඒ ඇයි ද කියා හිතන්නට හිත වෙහෙසන්නටත් මට ඕනා නොවිණ. නීලා ඇවිත් කෙතරම් පෙරැත්ත කළත් මම එදා රෑ කෑමට නො ගියෙමි. කෑම රුචියක් මා අසලකට හෝ ආවේ නැත.
මම උදෙන් ම කොළඹ යන්නට සූදානම් වුණෙමි. ලූනා බොහෝ දුරට සුව අතට හැරී සිටීම සහනයක් විය. අද යළිත් ඇය ව වෛද්‍යවරයා ට පෙන්වීමට නියමිත ය. නමුත් තව දුරටත් මෙහි රැඳී සිටිය නො හැකි සෙයක් මට දැනිණ. ලූනා ගේ පුරුදු වෛද්‍යවරිය වෙතට ඇය පෙන්වනවා යි මම සිතා ගතිමි.
“පරිස්සමෙන් සුදු බබා. හෙමිහිට කාර් එක එළවන්න ඕනෙ..”
නීලා මා වට වෙළෙමින් නොයෙකුත් උපදෙස් දුන්නා ය. ලූනා පාර පැත්තට යාමේ උනන්දුවක් පෙන්වූවත් මම ඉක්මනට ඇය ට රියට නංවා රිය පණ ගන්වා ගතිමි.
“ආයෙ ඉතිං සුදු බබාව කවද දකින්න වෙයිද දන්නෑ. මං මැරෙන්න කළිං ඇවිත් යන්න එන්න රත්තරනේ”
නීලා කයුළුවෙන් එබී කීවා ය. මම ඇය දෙස බලන්නේ හෝ නැතිව රිය පෙරට ගතිමි. හයිලන්ඩ් ගෙස්ට් හි බැම්ම මත සංකල්ප ද තවත් තරුණයින් කිහිප දෙනෙකු ද හිඳ සිටියහ. නතර වී ඔහු ගෙන් සමු ගත යුතු දැයි ක්ෂණික ප්‍රශ්නයක් හිත මගෙන් නැගුවේ ය. සංකල්ප මා දැක බැම්මෙන් බිමට පැන්නේ ය. මම රියෙහි වේගය වැඩි කළෙමි. ඔහු පාරට විත් හිස අත් බැඳ ගනු මා දුටුවේ රියේ පැති කණ්ණාඩියෙනි.
කිසිවක් නො සිතා සිටිය මනා යි මම සිතට කීවෙමි. එතකොට සැහැල්ලු ය. නො ඇලෙන, නො බැඳෙන, නො ගැටෙන සිත සන්සුන් ය. නිස්කලංක ය.
මගේ පැමිණීම අම්මා ට සතුටක් විය.
“මං ඒත් බයේ හිටියෙ උත්තරා දානෙටවත් එන්නැති වෙයිද කියල”
ඇය සැනසුම් සුසුමකින් කීවා ය. අම්මා හිත හයිය ගැහැනියක බව ඔප්පු කරමින් හිඳී. අප්පච්චි සිටියදී ඇය තනිව පාර මාරු වන්නට තරම් දිරියක් නොවූ තැනැත්තියකි. අප්පච්චි නැති ව කිසිත් කර ගන්නට ඈ දැන සිටියේ නැත. අප්පච්චි මරණය සමගින් නික්ම යත්දී මා වඩාත් බිය වූයේ අම්මා ගැන ය. නමුත් ඇය මට වඩා සවිමත් සිතැත්තියක් බව අද මට ප්‍රත්‍යක්ෂ ය.
“දැන් ඉතින් හිත හදා ගන්න කල් ගත්තා ඇතිනෙ පුතේ. මාස තුනකුත් ගෙවිල ගියා. මට තනියම මේ බිස්නස් බලා ගන්න බෑ. ඔයා මේව බාර ගන්න”
අම්මා යළිත් පුරුදු ඉල්ලීම කළා ය. නමුත් මා සිටියේ ව්‍යාපාර හෝ වෙනත් කිසිත් ගැන ඇල්මක් නොවන තැනක ය.
“අයියට ඕව කරගන්න කියන්න අම්ම. එයා අපිට ජීවත් වෙන්න මුදලක් දෙයිනෙ”
මම ඇල්මැරුණ සිත දැක අම්මා තැති ගන්නට ඇත.
“ඔයා ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කළොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද උත්තරා..මං කියන්නෙ මේ…”
“සයිකැට්‍රිස්ට් කෙනෙක්..”
අම්මා කියා ගත නො හැකි ව ළතැවුණ දේ මම ඌණ පූර්ණය කළෙමි. ඇගේ ඇස් මත වූයේ භීතියකි. මම මඳහසක් නගා ගතිමි.
“මට එහෙම දෙයක් ඕන නෑ අම්ම. ඕනනං එහෙම දේකට මං දෙපාරක් හිතන්නෙත් නෑ. මට තියෙන්නෙ මේ දේවල් ගැන මහ හිස් හැඟීමක් විතරයි. මරණය කියන දේ තියෙන්නෙ අපිට කොයි තරං ඈතින්ද කියල විතරයි අම්මා අපි දන්නෙ නැත්තෙ. දවසක දෙකක පැයක දෙකක දුරින් වෙන්නත් පුළුවන්. ඒ වෙනකල් සැනසීමෙං හිටියහම ඇති කියලමයි මට හිතෙන්නෙ අම්ම. මේ ජීවිතේ මත්තෙ නැහෙන්නෙ නැතුව… ජීවිතේ සරල වෙනකොට පහසුයි අම්ම”
ඒ දවස් කාර්යබහුල වූයේ ය. දානයට සූදානම් වෙමින් තිබූ බැවිනි. නමුත් මවෙත කිසිදු වගකීමක් පැවරී තිබුණේ නැත. අයියා සියල්ල සොයා බැලුවේ ය. එය මට සහනයක් විය. මා කළේ පා වෙමින් වාගේ දවස හරිනා එක ය.
පුරුදු පශු වෛද්‍යවරියට පෙන්වූවත් ලූනා සිටියේ කිසියම් සාංකා තත්වයකින් වාගේ ය. ඒ බුලී දකින්නට නැති පාළුව නිසා යි මම සිතුවෙමි.
සංකල්ප ගේ ගී හඬ ඉඳ හිට මා තුළ ප්‍රතිරාව නැංවිණ. මම කිහිප වතාවක් අමරසිරි පීරිස් සංගීතඥයාගේ මගේ නොවන ආදරයක් ඇසුවෙමි. යළි යළිත් ඇසුවෙමි.
රත්නපුරේ නොයා කොළඹ ම ඉන්නට මම සිතූයෙමි. හිත හදා ගන්නට කියා පරිසරයෙන් දුරස් වීම විහිළුවක් නොවන්නේ ද? හිත හදා ගත යුත්තේ එම පරිසරයේ ම රැඳෙන්නට ය!
නමුත් කොළඹ කලබලකාරී බවට සාපේක්ෂව රත්නපුරයේ ගෙදර හරි නිස්කලංක ය. ගහ කොළ සහිත පරිසරයක් තිබෙන නිසා කොහොමටත් හිත නිවනා සුළු ය. හරි නම් අම්මා ද දැන් එබඳු පරිසරයක විවේක ගත මනා ය. නමුත් මට අයිති දේවල් අයියා ට පවරන්නට තවමත් අම්මා හිත හදා ගෙන නොමැත!
සතියක් පමණ කොළඹ එකල මෙකල වෙමින් සිට අනතුරුව මම යළි රත්නපුරය බලා යන්නට සිතුවෙමි.
“කිව්වට අහන එකක්යැ ඉතිං”
අම්මා බලාපොරොත්තු සුන් කර ගත්තා ය.
“නංගිට රත්නපුරේ ගේ ඕනනං ඒක එයාගෙ නමටම ලියල දෙන්න අම්ම”
අයියා කීවේ ය.
“නම් නං කාගෙ වුණත් කමක් නෑ. මට ඇති කියල හිතෙනකල් එතන ඉන්න තිබුණොත් ඇති”
“මං මේ තුන් මාසෙ ඉවර වෙනකල් හිටියෙ. ඔයාට මං මනමාලයෙක් හොයනව උත්තරා”
අම්මා තරමක දැඩි බවකින් කීවා ය.
“අයියෝ අම්ම. මං කිව්වනෙ එපා කියල. මට මැරි කරන්න ඕන නෑ. පාඩුවෙ ඉන්න දෙන්නකො අප්ප”
මා රියට නැගුණේ තරමක නො මනාපයකිනි. අයියා රිය ළඟ පහත් වී මගේ උරහිසකට තට්ටු කළේ ය.
“පරිස්සමෙං යනව”
“අපි උත්තරාව බලල යන්න එන්නංකො එහෙනං”
අයියා ගේ බිරිඳ නදී අක්කා කීවා ය. මම හිතා මතා සිනහවක් නගා ගෙන රිය පණ ගැන්වීමි.
හිත වියවුල් ව තිබිණි. ඒ නිසා ම මා රිය පැදවූයේ ඉතා සෙමෙනි. රත්නපුරයට ළඟා වන විට අඳුර වැටී තිබිණි. අම්මා කතා කොට මා ගෙදර ගියා දැයි විමසිලිමත් වූවා ය.
“දැං ගේ ළඟ. මං හෙමින් ඩ්‍රයිව් කළේ”
මම ඇය සැනසීමි.
කොළඹ දී දැනුණ හිත් බර, මෙහි සමීප වෙත්දී තුනී වෙමින් තිබිණ. හයිලන්ඩ් ගෙස්ට් අසල දී මම රියෙහි වේගය වඩාත් බාල කළෙමි. එහි තැන් තැන් වල විදුලි පහන් දැල් වී තිබුණේ ය. මා කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස ඒ මොහොතේ සංකල්ප ගේ ගී හඬ පා ව එමින් තිබිණි.
“ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා…”
මම රියෙන් බැස සිටියෙමි. මා අනුව ලූනා ද කළු කැටයම් ගේට්ටුවෙන් ඇතුළු වීමු. අප දුටු සංකල්ප ගිටාරය පසෙකින් තබා කලබලයෙන් නැගිට්ටේ ය. අඳුරේ ම වුව ඒ ඇස් දිළිසෙනයුරු මට දකිත හැකි විය. ඔහු ට යළි ගයන්නයි සංඥා කරමින් ම මම බැම්ම මතින් හිඳ ගතිමි. සංකල්ප යළිත් ගිටාරය අතට ගත්තේ අදහා ගත නො හැකි යමක් සිදු වූ බවට හැඟීමකින් සේ ය.