ළපෙති මල් -25

හිමාලි පසුදා අවදි වූයේ තද හිසේ කැක්කුමකිනි.වෙලාව උදෑසන දහය ද පසුව ගොස් හමාර ය.රවී නිවසේ නැති බව ඇයට විශ්වාස ය.ඔහුට අවශ්‍ය වූයේ ආදරය සහ යුතුකම් දන්නා බිරිඳක නොවේ.රූමත් භාර්යාවකි.

“ඒ මනුස්සයා කුස රජ්ජුරුවො වගේනෙ අප්ප..”

මිලමුදල් උතුරා යන ජීවිතයක් දෑස් මායිමේ පෙනෙද්දී පවා ඔහුගේ මංගල යෝජනා සෑම එකක්ම යුවතියන් ප්‍රතික්ෂේප කළේ එසේ ය.අහඹුවකින් හමු වූ නිළිය ඔහු පිළි ගත්තා ය.

“ඔයා ආයේ රඟපාන්න නම් බෑ..”

අධ්‍යක්ෂකවරුන්ගේ උමතු ආශා සන්තර්පණය කරමින් බොහෝ වෙහෙසී රංගනයේ නිරත වීම වෙනුවට මුදල් මත පිහිනිය හැකි ජීවිතයක් ප්‍රතික්ෂේප කරන්නට හිමාලිට උවමනා වූයේ නැත.ඇය යෝජනාව පිළි ගත්තා ය.ඇගේ කොන්දේසිය ද ඉදිරිපත් කළා ය.

“මං ළමයි හදන්න කැමති නෑ..”

තමන්ගේ රුව රැගෙන දියණියක ඉපදුණ ද පුතෙකු ඉපදුණ ද රූපය ඒ දරුවාට බාධාවක් වන බව විශ්වාස කළ රවී ඒ යෝජනාව පිළි ගත්තේ ය.හිමාලි ඕපපාතික ජීවිතයක් ගෙවන්නේ ඇයිදැයි නොඅසාම ඔහු ඇය මනාලිය කරගෙන නිවසට ගෙන ආවේ ය.

“මං අතීතෙ ගැන කතා කරන්න කැමති නෑ..”

හිමාලි පවසන්නේ එහෙම ය.නමුත් ඒ අතීතය ඇයව රිදවන පාරවන මොහොතක් නැති තරම් ය.

“මට මේ ළමයව නැති කරන්න ඕන..”

ඇය එසේ පුපුරා හැලුණේ වසර විසි පහකට එහා දවසකදී ය.එහෙත් අහම්බයකින් කුසට ආ දරුවා මරා දමන මානසිකත්වයක පිය පදවිය උසුලන්නා සිටියේ නැත.

“අපි මැරි කරමු..මං ඔයාලගෙ ගෙදර ඇවිත් කතා කරන්නං?”

ඔහු ඉල්ලා සිටියේ ය.පෙම්වතිය ගැබ් ගත් බව දැන ගත් විට පලා යන,ප්‍රතික්ෂේප කරන මිනිසුන් අතර ඔහු නොසිටියේ ය.ඔහුට උවමනා වූයේ පියෙකු වීමේ ප්‍රහර්ෂය විඳ ගන්නට ය.

හිමාලි නවක නළුවෙකු වූ පෙම්වතා දෙස බලා සිටියේ සමච්චලයෙනි.මොහු තාත්තෙකු වීම ප්‍රිය කළ නමුත් තමන්ට ඔහුගේ බිරිඳ වීම සතුටක් ලෙස දැනෙන්නට ඉඩක් නැති බව ඈ සිතුවා ය.ප්‍රවේසම් සහගත සම්බන්ධතා රැගෙන යන අධ්‍යක්ෂකවරයෙකු මේ නූපන් කළලයේ හිමිකරු වීමට ඉඩක් නොවේ. දරුවාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් හඬ තලන බොළඳ තරුණයා මේ කළලයේ සැබෑ අයිතිකරුවා ය.

“මට මේ ළමයා එපා.මොන විකාරයක්ද මේ..”

නිළියක වන්නට ආ ගමන අතැර ගමට ගිය හිමාලි දන්නා සියළුම අත් බෙහෙත් පාවිච්චි කළා ය.එහෙත් කළලය මව් කුස බදා හුන්නේ ජීවිතය අතැර දමන්නට නොහැකි බව කියමිනි.

“මොකක්ද උඹ ඔය කරන පව්කාර වැඩේ..”

අම්මා රළු මුහුණකින් හොරය අල්ලා ගත් දා හැඬීම වෙනුවට රණ්ඩු කිරීම හිමාලි තෝරා ගත්තා ය.

“මාස තුනක් පැනල කියන්නෙ දැන් මොකුත් කරන්න බෑ හරකියෙ..”

අම්මා තමන්ට පහර දෙමින් හඬද්දී පවා හිමාලි සිටියේ ගහක් ගලක් වාගේ ය. තාත්තා කවුදැයි අම්මා ද අයියලාද අසද්දී “මං දන්නෙ කොහොමද?” යැයි ඇය ඇසුවේ කිසිදු ලැජ්ජාවක් හෝ වේදනාවක් නැතිව ය.දරුවා තාත්තාට දෙන්නට උවමනා බව කියමින් අම්මා පහර දෙද්දී පවා ඇය සිතුවේ වියරු අදහස් ය.

“තාත්තා කියන මිනිහට මේ කරදරේ දුන්නොත් ඌ මලක් වගේ ළමයව හදා ගන්නව.මාව විනාස කරන්න ආපු එකාව එහෙම සැපට හැදෙන්න අරින්න ඕන නෑ..”

නූපන් කළලයක් හා වෛර බැඳගත් ඇය ඒ කළලය නීරෝගි නොවන්නට ආහාර ගැනීම පවා මඟ හැරියා ය.අතැර දමා තිබූ කැලෑබද ගම්මානයේ මාස කිහිපයක්ම යළි ජීවත් වන්නට ඉඩ තැබූ කළලයට ඇය දන්නා සියළු අසභ්‍ය වචන කියමින් දෙස් තැබුවා ය.

“දුවෙක්.”

හෙදිය ඇයට ළං කළ දැරියගේ මුහුණ බලන්නට හෝ සිප ගන්නට හිමාලිට උවමනා වූයේ නැත.ඉතා ආදරයෙන් තම දරු පැටවුන් සිප සනසමින් ආදර බස් දොඩන අම්මාවරුන් පිරුණු මාතෘ වාට්ටුවක ඇඳක් මතට වී ඇය තමන්ගේ දියණියට ඇමතුවා ය.

“මගෙ ජීවිතේ විනාස කරන්නනෙ උඹ එන්න ඇත්තෙ.උඹේ ජීවිතේම කාලකන්නි වෙන්න ඕන..”

පෙකණි වැල කපන්නටත් පෙර බැඳීම අත්හළ අම්මා දියණිය රෝහලේ ඇඳ මත දමා යන්නට ගියා ය.බිළිඳාත් මවත් දකින්නට ආ ඥාතීන්ට රෝහලේ කාර්ය මණ්ඩලය ඒ පණිවිඩය ලබා දුන්නේ හිමාලිගේ ඉල්ලීමක් ද සමඟ ය.

“දරුවට හිමංගි කියල නම තියන්න කියලා ලියල ගිහිං තිබ්බ..මේ අම්මා අර නිළිය නේද? අපි පොලිස් පැමිණිල්ලක් දැම්ම.”

එවැනි සුන්දර නමක් අතැර දැමූ බිළිඳියට තබන්නට හිමාලිට අවශ්‍ය වූ කාරණාව ගැන ඇගේ අම්මාටත් සහෝදරයන්ටත් වූයේ පුදුමයකි.

“මෙයා දුවෙක් වෙයි.මං ආසයි එයාට හිමංගි කියන්න..”

ජීවිතයේ අන් සියළු සිහින හැර දා තාත්තා කෙනෙකු වන්නට බලා සිටි තරුණයාගේ එක් ආසාවකට ඉඩ තැබූ හිමාලි දැරිය අතැර දැම්මා ය.මව්කිරි නැතිකමින් ඇය මිය නොගිය බව දැන ගනිද්දී පවා හිමාලිට ඇති වූයේ කෝපයකි.රවිගේ බිරිඳ වූ පසු සමාජ සේවයට සම්බන්ධ වී ඈත ගමක හිඟන දැරියකට ආධාර යැවීම ඇයට උමතු සතුටක් ඇති කළ සිදුවීමකි.”ඒ දුෂ්කර ගමක දැරියකට දෙන ආධාරයක්” කරගෙන හිමාලි සතුටු වූවා ය.තමන්ගේ ජීවිතය විනාශ කරන්නට නොදන්වා ආ කෙල්ලට කන්නට අඳින්නට දෙන්නේ අනාථාධාර වෙනුවෙන් වෙන් කළ මුදල් ය.

එවැනි තෘප්තියකින් ජීවත් වූ කාලය අවසන් ය.තමන්ගේ හොඳම මිතුරියගේ ජීවිතය මතට මහා සුළි කුණාටුවක වේගයෙන් ආ යුවතිය සම්බන්ධයෙන් හිමාලිට සියුම් සැකයක් විය.තමන්ගේ රුව දරන තරුණිය තමන්ගේ කවුරුන්දැයි දැන් ඇය නොදන්නවා නොවේ.

විසි පස් වසරකට පෙර අසාර්ථක වූ දෙයක් ඇති බවත් එය ක්‍රියාත්මක කරන්නට තමන් තවමත් ප්‍රමාද නොමැති බවත් හිමාලි සිතුවා ය.ඕනෑ නම් එහි පාපය තමන්ගේ ළබැඳි මිතුරියට බාර ගන්නට සිදුවනු ඇත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content