අවතක්සේරුව

රංගන කෑම මේසෙට ඇවිත් වාඩි උනේ කෑම මේසෙ පුරාම ඇස් යවන ගමන්.එකිනෙකට ගැලපෙන ව්‍යංජන වර්ග හතර පහකුත් එක්ක කහ බතකින් දවල් කෑම සමන්විත වෙලා තිබුනා. සතිඅන්තයේ තමන්ව බලන්න ආපු අම්මයි තාත්තයි ඒ වෙනකොටත් කෑම කන්න පටන් අරගෙන ඉවරයි.ජනනි වතුර වීදුරු කිහිපයක් ට්‍රේ එකක තියාගෙන ඇවිත් කෑම මේසේ කෙළවරකින් තිබ්බා.

” කෝ ජනනි කට්ලට් හැදුවේ නැද්ද ? “

” නෑ රංගන ඇයි ? “

” ඉතින් කහ බත් වලට කට්ලට් ගැලපෙනවා නේ මං ඒකයි බැලුවේ “

මේසේ පිරෙන්නම කෑම ජාති තියෙද්දි හදපු නැති දෙයක් ගැනම රංගන අහන්නෙ ඇයි කියලා ජනනි හිතුවා.

” වම්බොටු මෝජුවේ තෙල් ටිකක් වැඩියි නේද ජනනි ? “

රංගනගේ අම්මා විමලා ඇහුවේ කෑම කන අතරේ

” ඔය තෙල් වැඩි කෑම කාලා ම තමයි මෙයා මෙච්චර මහතට ඉන්නේ අම්මේ”

ජනනි ගෙන් විමලා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ රංගන.විවාහ වෙච්ච අලුත තමන්ගේ අත් ගුණේ ගැන කියමින් රංගන තමන්ව වර්ණනා කරපු හැටි ජනනිට මතක් උනා

” ඔය කොයි මනුස්සයත් කාලයක් යනකොට වෙනස් වෙනවා ජනනි “

හිතට ඇති වුණ හිත් රිදීම ගැන ජනනි කිව්වේ ඇගේ හොඳම යාලුවාවුන ඉරේශාටයි.පෙර පාසල් ගුරුවරියක් වුන ජනනී දරුවන්ගෙ වගේම ගුරුවරුන්ගේත් දිනාගෙන හිටියා

” හැබැයි ඉතින් රංගනට තිබුණා අගය කරන්න බැරි නම් අඩුම තරමේ විවේචනය නොකර ඉන්න වත් “

ඉරේශා කිව්ව කතාව ඇත්ත කියල ජනනිට දහස් වාරයක් හිතුනා.විවාහ වෙලා අවුරුදු කිහිපයක් ගතවෙලා තිබුණත් රංගන ගැන තියෙන ආදරයයි ගෞරවයයි ජනනිගේ හිතෙන් පොඩ්ඩක්වත් අඩු වෙලා ගිහිල්ලා තිබුනේ නැහැ.

” ජනනි හරි ලස්සනට මිදුල තියාගෙන ඉන්නව නේද ? මටත් ආසයි මල් වවන්න .ඒත් වෙලාවක් නැහැනේ “

හවස් වරුවක රංගනගේ හොඳම මිතුරෙක් වුණ අමිලයි එයාගෙ බිරිඳයි ගෙදරට ආවේ කාර්යාලයේ කටයුත්තකට අවශ්‍ය ලිපිගොනුවක් රංගනගෙන් ඉල්ලගෙන යන්න

” මෙයා ඉතින් ගෙදර ඉන්න නිසා ඕවා කරන්න වෙලා තියෙනවා පූජා “

” ඇයි ජනනි ජොබ් එකක් කරනවා නේද ?

පූජා ජනනි දිහා බැලුවේ පුදුමයෙන් වගේ

” ඔව්.කරනවා “

ජනනි බිම බලාගෙන උත්තර දුන්නා

” එයා මොන්ටිසෝරි එකක උගන්නනවා .ඒ උනාට ඉතින් දවල් එක වෙද්දි ගෙදර එනවා නේ .ඊට පස්සේ නිකන් ඉන්නේ “

රංගන කතාකලේ ඇඟට පතට නොදැනී.පිලිවෙළට තියෙන මිදුලයි , ගෙදරයි දැක්කම ජනනි මොනතරම් තරම් වැඩ කොටසක් කරනවා ද කියලා තේරුම් ගන්න පූජාට පුළුවන් වුණා

” මොන්ටිසෝරි එකක උගන්නනවා කියන්නේ හරිම හොඳ දෙයක් රංගන.ලොකු ඉස්කෝලෙක උගන්වන එකට වඩා අමාරුයි මොන්ටිසෝරි එකක උගන්වන එක. “

පූජා කිව්වේ ජනනි පිළිගන්වපු තේ කෝප්පය අතට ගන්න ගමන්

” මොන පිස්සුද අනේ.මොකෝ ඒකෙන් ලක්ෂ ගානක් හම්බ වෙනව කියලයැ. මේ ගෙදර එක මාසෙක කුලිය වැඩියි ඊට වැඩිය ? “

ජනනි ගේ මූණ එක පාරටම අඳුරු වෙන හැටිත් , ඇය හෙමින් සීරුවෙ කුස්සියට යන හැටිත් පූජා දැක්කා.තේ එක ඉක්මනින් බීල ඉවර කරපු පූජා තේ කෝප්පයත් අරගෙන කුස්සියට ආවා.කඳුල පිහදාමින් කුස්සියේ පුටුවක් උඩ වාඩිවෙලා ඉන්න ජනනිව , පූජා දැක්කෙ ඒ වෙලාවෙ.

” ඔයාගේ වටිනා කමක් නැහැ කියලා කවුරු ඔයාට කියන්න හැදුවත් , ඔයා හරිම වටින කෙනෙක් කියලා ඔයා හිතන්න “

පූජා කරුණාවෙන් එහෙම කිව්වේ ජනනිගේ උරහිසට අත තියෙන ගමන්.

” ඔයා මොන තරම් පිළිවෙලට වැඩ කරන කෙනෙක් ද කියලා මේ වත්තෙන් ඇතුල් වෙනකොටම මට දැනුන ජනනි.ඇත්තටම කිව්වොත් මටවත් බෑ මේ තරම් පිළිවෙලට ඉන්න “

පූජාගෙ කාරුණික වචන ජනනි ගේ කඳුළු වියලන්න සමත් වුණා.ජනනි ලගින් වාඩි උන පූජා ඇගේ අතකින් අල්ලගත්තා

” කොච්චර හිත රිදුනත් අල්ලගෙන ඉන්න.ඔයා වටින කෙනෙක් කියලා එයාටම දැනෙන්න දෙන්න.ඒකම එයාට දවසක පසුතැවෙන්න හේතුවක් වෙයි “

එහෙම කියපු පූජා මොහොතක් නිහඬව හිටියා.

” මට ගෙදර ගෙනියන්න මල් අතු ටිකක් දෙනවද ?”

ආයෙමත් පූජා ඇහුවේ කිසි දෙයක් නොවුන ගානට.ඊට පස්සේ ජනනි ගේ අතින් අල්ලගෙන ඇයව මිදුලට එක්ක ආපු පූජා ආගිය තොරතුරු කතා කරමින් මල් අතු කීපයකුත් අරගෙනයි අමිල එක්ක ආපහු ගෙදර ගියේ.

ගේ ඇතුළට ආව ජනනි නිදන කාමරයට ගියා.අල්මාරිය ඇරලා කාලෙකින් ඇඳපු නැති සාරි කීපයක්ම එළියට අරගෙන ජනනි ඒවා පිළිවෙළට නවන්න පටන් ගත්තා.ඊළඟ සතියටම අඳින්න සාරි සූදානම් කරපු ඇය ඊළඟට ගියේ කුස්සියට.ගබඩා කරලා තිබුන බඩු එලියට ගත්ත ජනනි කුස්සියේ හැම කබඩ් එකක්ම සුද්ද කරලා ආපහු හැමදේම පිලිවෙලට ගබඩා කළා.රෑ වෙනකම් මුලු කුස්සියම පිරිසුදු කරපු ජනනිට අලුත් පෙනුමක් ගත්ත කුස්සිය දැක්කම ඇති වුණේ සතුටක්.

” මොකද ජනනි වෙලා තියෙන්නේ ? “

රංගන කුස්සියට ආවේ පුදුමයෙන්.

” මේ කුස්සිය පොඩ්ඩක් අස් කලා රංගන “

ජනනි උත්තර දුන්නේ කිසිම වෙනසක් නොපෙන්වා.ඊළඟ දවසේ ඉඳලා කෑම පාලනය කරන්න පටන් ගත්ත ජනනි රංගන ගෙදර නැති හවස් වරු වල ව්‍යායාම කරන්නත් පටන් ගත්තා.ගෙදර වැඩ හැම එකක් ම නොපිරිහෙලා ඉටු කරපු ජනනිගේ වෙනස ඇගේ මුහුනෙන්ම පෙනෙන්න පටන් ගත්තා.

” ඔයා කෙට්ටු වෙලා ජනනි , හරියට කන්නේ නැද්ද ?”

සති දෙකකට විතර පස්සේ රංගන එකපාරටම ජනනි ගෙන් ඇහුවා

” මං කනවා “

” මේ ඒක නෙමෙයි.මට ගිය මාස දෙකේ ගෙවල් කුලී ගෙවන්න බැරි වෙලා නේ.ලයනල් අංකල් සල්ලි ඉල්ලුවා මේ මාසේ කොහොමහරි. අතේ සල්ලි ටිකක් තියෙනවා ඒත් පොඩි ගානක් මදි “

” මම දෙන්නම්.මං ගාව සල්ලි තියෙනවා. ඔයා හම්බ කරනවා වගේ ලොකු ගානක් නම් නැහැ.හැබැයි පොඩි ගානක් තියෙනවා “

සතියකට දෙකකට කලින් තමන් ජනනිගේ වැටුප ගැන හෑල්ලුවට ලක් කරපු හැටි රංගනට මතක් උනේ ඒ වෙලාවේ.ජනනි ගේ වචන අකුණු සැරයක් වගේ රංගනට දැනුනේ ඒ නිසා

” තමන් සියයට සියයක් සර්ව සම්පූර්ණයි කියලා හිතාගෙන අනිත් මිනිසුන් අවතක්සේරු කරන්න එපා.මොකද ඒ අයගේ උදව් ඕන වෙන දවසක් කවදහරි තමන්ට එනවා “

ජනනි කතා කළේ බොහොම සන්සුන්ව.එකම එක දවසක් මුණගැහුණ පූජා තමන්ට දීපු හිතේ හයියට ජනනි ඒ මොහොතේත් මුලු හිතින්ම ඇයට ස්තූතිවන්ත වුණා.රංගන වෙනදාට වඩා උනන්දුවෙන් ජනනි දිහා බැලුවා.ඇත්තටම සතියක් දෙකක් වගේ කාලයක් ඇතුලත ජනනි මොන තරම් වෙනස් වෙලාද කියලා රංගනට දැනුනා.

” ඔයා පිට මිනිස්සු ඉස්සරහා මට මොනතරම් දේවල් කිව්වද ? ඔයාට නිකමටවත් හිතුන ද ඒවයින් මගේ හිත රිදෙනවා කියලා ? ගෙවල් කුලී ගෙවා ගන්නවත් ඔයාට සල්ලි නැහැ කියලා මම පිට මනුස්සෙක් ඉස්සරහ කිව්වනං ඔයාට මොනව හිතයිද රංගන ? “

ජනනි එක එල්ලේම රංගන දිහා බලාගෙන හිටියා.ඒ බැල්ම රංගනට දරා ගන්න පහසු වුණේ නැහැ.

” තව මනුස්සයෙක්ව අවතක්සේරු කරනවා කියන්නේ හරිම නරක දෙයක්.ඒක හරියටම දැනෙන්නේ තව කෙනෙක් තමන්ටත් ඒ විදිහටම කරපු දවසට “

එහෙම කියපු ජනනී අත්බෑගයෙන් එළියට ගත්ත දාහේ කොළ කීපයක් රංගන අතේ තියලා කාමරෙන් එළියට ආවා

More Stories

Don't Miss


Latest Articles