දුමාල් වෙතින් එහෙව් ප්‍රකාශයක් යනු ආමන්තා කිසි සේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඈ හිතා උන්නේ දුමාල් ඇය ගැන උනන්දුවෙන් පසු වෙතැයි කියා ය. ඔටිසම් රෝගී දරුවෙකු සිටින, විවාහක, පති කුලයෙන් ද පිටමං නොවූ ගැහැනියක කෙරේ දුමාල් ගේ සිතේ ප්‍රේමයක් ඇති වීමේ සම්භාවිතාවක් ගැන ආමන්තා ට නම් කොහෙත් ම සිතා ගත නො හැකි ය. නමුත් වෙනකෙකු නොව ඒ බව කියන්නේ ඔහු ම වන නිසාවෙන් එය නො පිළිගෙන සිටින්නේ වුව කෙසේ ද?
ආමන්තා ගේ අභ්‍යන්තරයේ විසල් කැළඹීමක් ඇති ව තිබුණේ ය. දුමාල් ගැන කෙටි කලකට වුව ඈ මැවූ සිහින මන්දිරය ඇගේ පය පා මුල ම කඩා වැටී තියේ. නමුත් මේ වූ කලී එක කම්පන තරංගයකුදු පිටතට පෙන්විය නො හැකි බරපතල කම්පන දාමයකි.
“නංගි ඔයා අක්කට තේරුං කරල දෙන්න. මං මේ එයයි දරුවයි එක්ක සෙල්ලමක් කරන්න හදනව නෙවෙයි. හෙට වුණත් ඒ දෙන්නව බාර ගන්න මං නැමතියි. ඒත් ඔක්කෝටම කලින් එයා මාව විශ්වාස කරන්න ඕනනෙ”
“අයි…යෙ…”
ගොළුවෙකු සේ සිටීම තව දුරටත් නොගැලපෙතැයි ආමන්තා ට සිතිණි. ඒ ඇගේ එක ම සොයුරිය ය. ඔවුන් දෙදෙනා අතරේ කුඩා කල පටන් ම වන්නේ වෙන් කළ නො හැකි බැඳීමකි. ඒ සහෝදරත්වයේ නාමයෙන් අත් හරින්නට බැරි දෙයක් ඇය ට නැත. අමතක කරන්න ට බැරි දෙයක් ද නැත.
“මට තේරෙනව. අක්ක ඉන්න තත්වෙත් එක්ක…ඔයා එයාට අනුකම්පා කරනව ඇති”
“නෑ”
දුමාල් වහා ඇය නිවැරදි කරන්නට ඉදිරිපත් වූයේ ය.
“අනුකම්පාව හින්දා කෙනෙක්ව මැරි කරන්න තරං මං හිතනව මං මෝඩ නෑ කියල”
“ඔයා කියන්නෙ…අක්ක ඔයාට අනුබල දුන්නයි කියලද…”
දුමාල් ගේ දෙතොල් මත සිනහවක් ඇඳුණේ ය. ආමන්තා ගේ හදවත දැවී පිච්චී යනවා ඇය ට දැනිණ.
“නංගි. මං හිතනව මං බලං හිටිය කෙනා ආදි කියල. ඕන පිරිමියෙක්ගෙ හිතේ එහෙම ඇඳිච්ච රූපයක් තියෙනව. ඒක ඉමේජ් එකක්. ප්‍රතිරූපයක්. ආදිත්‍යා ගෙ ෆැමිලි ලයිෆ් එක එයා සතුටෙන් ගත කළා නං…මට මේ හිතිවිල්ල මගෙ හිතට සීමා කර ගන්න වෙයි. ඒත් මට දැනෙන විදිහට…ඉරණමට ඕන වෙන දෙයක්”
“ඔයා මාර කතාවක්නෙ අයියෙ කියන්නෙ. අනුන්ට අයිති ගෑනියෙක්වයි දරුවෙක්වයි ඔයා එහෙම ඉල්ලන්නෙ කොහොමද…”
“ඔයා මට උදව් කරන්න කැමති නැත්තං ඒකත් මං කොහොම හරි කර ගන්නං”
“අනේ මන්දා අප්ප. මගෙනං ඔළුවත් අවුල් වෙනව මේවට. මට පුදුම අක්ක ගැන. ඒ ගෑනිට උහුලගන්න වෙලා තියෙන්නෙ කන්දක් තරං බර ප්‍රශ්න ගොඩක්නෙ”
එ් දවස ඔවුන් හමු වූ වෙන දවස් සේ වූයේ නැත. ආදිත්‍යා හා ආමන්තා උද්‍යානය අසලින් ම කුළී රියකට නැග ගත්හ. කෑම සඳහා අවන්හලක් වෙත යන්නට දුමාල් ඇරයුම් කළේ ත් නැත.
කෙසේ වෙතත් ඔහු මේ වෙනස ගැන කලබල වූයේ නැත. ඕනෑ ම කෙනෙකුට එක වර වෙනස් වීමකට මුහුණ දිය නො හැකි බව දුමාල් දැන සිටියේ ය. වෙනස්කම් වලට අනුගත විය හැක්කේ ටිකෙන් ටික ය.
“අද මෙහෙ ඉන්නවද…”
ආදිත්‍යා නංගී ව ඇය සමගින් නවතා ගන්නට උත්සාහ කළා ය. අක්කා කිසි දා ක එහෙව් ඉල්ලා සිටීමක් කර නැති බව සිහිපත් කළ ආමන්තා විකුම් පායෙහි නතර වූවා ය.
“විකුම් අයිය ඇයි රූම් එකට එන්නැත්තෙ…”
බිරිඳක ගෙන් නො ඇසිය යුතු ප්‍රශ්නයක් වී ද ආමන්තා ට ඒ ප්‍රශ්නය තව දුරටත් හිතේ තියා ගෙන සිටිය නො හැකි වූයේ ය. මීට තෙමසකට පෙර නිවාඩුවේ දී ද ඈ විකුම් පායෙහි නතර වූ රැයක විකුම් කාමරයට නො පැමිණි බව ආමන්තා ට මතක ය. ආදිත්‍යා එදා පොඩි බොරුවක් ද කියමින් ඒ ප්‍රශ්නය යටපත් කළ බව ඇය ට මතක ය. නමුත් මේ වතාවේ ආමන්තා ට පෙනෙන විදිහට විකුම් ආදිත්‍යා ගේ යහන හැර ගොස් තිබේ.
“පුතා ගෙ ප්‍රශ්නෙ නිසා තමයි”
ආදිත්‍යා බිම බලා ගෙන කීවා ය.
“ඒ කිව්වෙ…”
“පුතාව ඕෆනේජ් එකකට දාන්නැත්තං එයාට මාත් එක්කත් කිසි සම්බන්ධයක් නෑ කියලයි එයා මට දන්නන්න හදන්නෙ”
“මේ ප්‍රශ්න කෙළවර වෙන්නෙ කොතනින්ද අක්කෙ…”
“මං පුතාව ටිකක් හරි සනීප කර ගන්න එකෙං නංගි”
ආදිත්‍යා ගේ දෙතොල් පෙති මත වූයේ අධිෂ්ඨානශීලී මඳහසකි. නමුත් ඒ ඇස් පත්ලේ වන්නේ කාටවත් නොකියනා දුකකැයි මුල් ම වතාවට ආමන්තා දුටුවා ය. ඇතැම් විට දුමාල් ද ඒ දුක දකින්නට ඇත. ඔහු ගේ ආදර හැඟීම යටපත් කර නො ගෙන, එය යතාර්ථයක් කර ගන්නට තරම් ඔහු ගේ හිතට දිරිය දෙන්නට ඇත්තේ ඒ දුක් හැඟීම යයි හිතන්නට ඇයට ඕනා විය.
“මං අහන්නෙ…ඕගොල්ලොංගෙ ෆැමිලි ලයිෆ් එකට මොකද වෙන්නෙ කියල…”
ආමන්තා ගේ ඉලක්කගත ප්‍රශ්නය මගහැර යන්නට වෙනදා සේ ආදිත්‍යා වෙහෙස වූයේ නැත. නැති දෙයක් ඇති බව පෙන්වන්නට දරනා වෙහෙස, දවසක එපා වීමක් බවට පත් වන්නේ ය.
“පුතා අසනීප දරුවෙක් නොවුණනං…ටික කාලෙකට හරි…නමට හරි ඒක තියෙන්න තිබුණා. විකුම් ගැන මං ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නංගි. රටේ ලෝකෙ මිනිස්සු දන්න දේවල් ඕගොල්ලො නොදන්නව වෙන්න බෑනෙ”
ආදිත්‍යා ගේ ටීක් බෝල වන් කොළ පාට ඇස් වල කඳුළු බින්දුවක් එල්ලී ගත්තේ ය. ආමන්තා ට දැනුණේ සිය පපුව පිච්චී ගියා සේ ය. ඇය අක්කා ගේ අතක් තද කොට අල්ලා ගත්තා ය.
ආමන්තා විකුම් සමගින් විවාහයට එකඟ වූයේ කැමැත්තකින් නොවන බව ආමන්තා දනී.
“පොඩි එවුන් දෙන්නගෙ අනාගතේ ගැනවත් හිතල මේ යෝජනාවට කැමති වෙන්න ලොකූ”
අම්මා අවසාන වශයෙන් එසේ කී පසු ආදිත්‍යා හිත හදා ගෙන කැමැත්තක් කරන්නයි කීවා ය. එදා ඒ ගැන ඒ හැටි අවබෝධයක් නොවුණත්, ඒ සිදු ව තිබෙන්නේ මොන තරම් අසාධාරණයක් දැයි අද ඇය ට සිතේ. සිය සොයුරා ගේත් සොයුරිය ගේත් අනාගත සුරක්ෂිත කර දෙනු වස්, ඔවුන් ට රැකියා අවස්ථා උදා කර දෙනු වස් ආදිත්‍යා ගින්දරට පැන තිබේ. අක්කා ගැන මින් පෙර කිසි දා ක නො දැනුණ විදිහේ සන්තාපයකින් ආමන්තා ගල් ගැසී සිටියා ය.
ගෙදර ගිහිනුත් ආමන්තා කල්පනා කළේ දුමාල් ගේ යෝජනාව ගැන ය. ඔහු අක්කා ව සතුටින් තබනු ඇතැයි හැඟීමක් කොහේ සිට ද මන්දා ඇගේ හිතට රිංගා ගෙන තිබිණ. තමන් වෙනුවෙන් මුළු ජීවිතය ම අත් හළ අක්කා වෙනුවෙන්, තරුණයෙකු ගැන හිතේ ඇති වූ කැමැත්තක් අමතක කළ නො හැකි දැයි ඇය සිතුවා ය.
එදා හැන්දෑවේ විකුම් ආදිත්‍යා සොයා කාමරයට ආවේ ය. ඇය ට ක්ෂණික සතුටක් දැනිණ.
“විකුම්…ඔයා හුඟක් දවසකින් අපේ රූම් එකට හරි ආවෙ”
ඔහු ව්‍යාජ සිනහවක් නගා ගත්තේ ය.
“ආදි. අපි දෙන්නට යන්න ගමනක් තියෙනව”
සතුටක් ද කුතුහලයක් ද එක වර ඇගේ සිතේ නැගිණි.
“ගමනක්…”
“හ්ම්”
මින්දුල බිම දිගා වී කුඩා කාර් ටිකක් එක පෙළට තබා ගෙන එදෙස බලාගෙන සිටියේ ය. විකුම් ඔහු දෙසට එක බැල්මක් පමණක් හෙළා ඉවත බැලුවේ ය. ආදිත්‍යා ගේ පපුව පත්තු විය. විකුම් ඔහු ගේ ම පුතු ට මේ විදිහට සලකන්නේ මින්දුල කවදා හෝ සසරේ කළ අකුසල කර්මයක් නිසා නො විය හැකි දැයි ආදිත්‍යා ට සිතිණි.
“වෙඩින් එකක්. ඉලෙක්ෂන් එකේදි මට වියදං කරන්න ඉන්න බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක්ගෙ. හැබැයි ආදි මේකට ළමයි බමයි උස්සගෙන යන්න බෑ”
ආදිත්‍යා ඔහු දෙස ම බලා හිඳ පසු ව බිම බැලුවා ය. හිත් රිදවා ගැනීම් හෝ ප්‍රශ්න දුර දිග ගෙන යාම් අවශ්‍ය ම නැති නිසා ඕ සන්සුන් තීන්දුවක් ද දුන්නා ය.
“මං ඕන නෑ විකුම්. ඔයා යන්න. අනික පුතාව දාල යන්න විදිහකුත් නෑනෙ. එයා කලබල වුණොත් එහෙම අම්මටත් ලේසි නෑ නලවගන්න”
“ආදිත්‍යා මේ. මගෙ යකා අවුස්සන්නැතුව ඉන්නවද”
විකුම් ඒ විදිහට නොසන්සුන් වෙන්නට හේතුවක් ආදිත්‍යා ට සිතා ගන්නට වුව අසීරු වූයේ ය.
“මේක මේ සෙල්ලමක් නෙවෙයි. මේව වෙන පිළිවෙලක් තියෙනව. මට තනියම යන්න බැරි කමක්වත් වෙන ගෑනියෙක් ගෙනියන්න බැරි කමක්වත් නෑ. තමුං මගෙ කසාද ගෑනි නිසයි එක්කගෙන යන්න වෙන්නෙ. ලෝකෙට පෙන්නන්න එපැයි…කසාද ගෑනිත් එක්ක මෙහෙම තැන් වලට යනවයි කියල. ඒකයි තමුන්ට යන්න ලෑස්ති වෙන්න කියන්නෙ”
විකුම් එපමණක් කියා යහන මතින් නැගිට නික්ම ගියේ ය. ආදිත්‍යා යටි තොල් පට සපා ගත්තා ය. ඔහු ගේ අරමුණ දැන් ඇය ට වඩාත් පැහැදිලි ය. ඔහු ඇය ව මේ විදිහට මේ වහල යට තියා ගෙන ඉන්නේ රටට ලෝකයට නීත්‍යානුකූල බිරිඳ වශයෙන් පෙන්වන්නට අවශ්‍ය නිසා පමණකි!
දැඩි ආත්ම අසරණ කමකින් ඇය දිය වන්නට වූවා ය.
“යන්නෙපා. මොන මගුලකටද එහෙම යන්නෙ…”
මේ ගැන දැන ගත් විට ආමන්තා පුපුරා හැළුණා ය.
“ඒක මාර වැඩක්නෙ. එයාට ඔයාව එපානං ඩිවෝස් එක දෙන්න කියන්න”
“නංගි”
“ගෑනියෙක් කියන්නෙ රොබෝ කෙනෙක් නෙවෙයිනෙ දෙයියනේ. ඔයා කොහොමද මේ දේවල් ඉවසගන්නෙ…”
ආමන්තා ට හැඬිණි. ඇය සිය සොයුරිය වැළඳ ගෙන හැඬුවා ය.
“ඔයා දුමාල් අයියට කැමති වෙන්න. එයා ඇත්තටම ඔයාට ආදරෙයි”
ආදිත්‍යා වහා නැගණිය වෙතින් මිදුණා ය. ඇගේ ඇස් විසල් ව තිබිණ. නංගී දුමාල් ගැන කතාව දන්නේ යයි ඇය සිහිනයෙන් හෝ සිතුවේ නැත.
“දුමාල් අයිය මට කිව්ව”
එවර ආමන්තා ඉතා මොළොක් හඬකින් මිමිණුවා ය.
“පිස්සු”
“මේ විදිහෙ තත්වයක්නං තියෙන්නෙ…ඔයා මේ ගෙදරට වෙලා විකුම් ගෙ ලීගල් වයිෆ් විදිහට රඟපපා ඉන්න එක මහ විහිළුවක්. විකාරයක්. ඒකයි මං කියන්නෙ”
ආමන්තා ගේ පපුවට සැහැල්ලුවක් දැනිණ. සිය සොයුරිය වෙනුවෙන් කළයුතු වූ යුතුකම ඇගෙන් ඉටු වූ බවට සැනසුම් සහගත හැඟීමකින් ඇය හුස්ම ගත්තා ය. මින් මනතට, මීට පෙර දුමාල් ගැන හිතුවා සේ නො හිතනා බවට විශ්වාසයක් ද ඈ තුළ ඇති විය.
“හෙට අක්කගෙ බර්ත් ඩේ එක”
ඇය දුමාල් ට ඒ පණිවිඩය යැව්වේ ආදිත්‍යා ට වුව ඒ බවක් අමතක වී තිබි අතරේ ය. පණිවිඩය කියැවූ යෞවනයා ගේ මුව මත හිතුවක්කාර සිනහවක් කළියෑවේ ය.