මුතු බෙලි හදවත 31 වන කොටස

“ආදිත්‍යායි මේ ගේ අත්ඇරල ගියේ. එයා ගියානං එයාට ඒ ගැන බලා ගන්න කියන්න. අම්ම යන්න ඕන නෑ එයාගෙ තනිකං ගැන බලන්න”

විකුම් සඳසීලී ට කෙලින් ම සිය විරෝධය පළ කළේ ය. සඳසීලී පුත්‍රයා දෙස බැලුවේ රැවුම් දෑසකිනි.

“එයා ගියේ ඔයා එයා ගැන නොබලපු නිසා. ගෑන්යෙක් පිරිමියෙක්ව කසාද බැඳල එන්නෙ නිකං නෙවෙයි පුතා. ඒ පිරිමියා ගැන විශ්වාසයක් ඇතුව. කන්න අඳින්නනං ගෑනියෙක්ට තමුං ජොබ් එකක් කරල වුණත් හොයා ගන්න පුළුවන්නෙ. පිරිමියෙක්ගෙං ඊට වැඩිය හුඟක් දේවල් බලාපොරොත්තුවෙනුයි එන්නෙ. අඩු ගානෙ ඔයාට පුළුවන් වුණාද ඒ ළමයට ආදරෙයි ආරක්ෂාවයිවත් දෙන්න…ඔයා ඔයාගෙ දරුවවත් පිළිගත්තද ආදරෙං…නෑ විකුම්. එතකොට මොකටද ඒ කෙල්ල තව දුරටත් ඔයා වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ…ඔයා වෙන ගෑනුත් එක්ක නටන නාඩගං ගැන ගේ ඇතුළට වෙලා ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් කම තියෙද්දි..රටේ ලෝකෙ මිනිස්සු ඔයා ගැන කියන ඕපදූප දැනගද්දිත් ඒ කෙල්ල මේ ගේ අත්ඇරල ගියෙ නෑ. ඒ අර ළමය නිසා. හැබැයි ඒක නිවට කමක්වත් අසරණ කමක් වත් නෙවෙයි විකුම්. ඉවසීම. හැබැයි ඕන කෙනෙක්ගෙ ඉවසීමට සීමාවක් තියෙනව. සීමාව පනිද්දිත් ඉවස ඉවස ඉන්නවනං ඒක අර කිව්ව විදිහෙ දුර්වල කමක්. ආදිත්‍යා හරිම වෙලාවෙයි මේ ගෙදරිං දොට්ට බැස්සෙ. එයා ඔප්පු කරල පෙන්නුවෙ එයාගෙ ශක්තිය. මං හැම වෙලේම ගෑනුංගෙ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන කෙනෙක් විකුම්. ඒ පිරිමි ඕන තරං වැරදි කරල සුද්දවන්තයො වගේ ගෑනුන්ට අත දික් කරන හැටි ඕන තරං දැකල තියෙන නිසා. ආදිත්‍යා තනියම ඉන්නකං මං එයාගෙ පැත්තෙ හිට ගන්න එක නතර කරන්න ඔයාටවත් ඔයාගෙ තාත්තටවත් බෑ”

ඒ ලොකු දේශනයකි. විකුම් ට වචනයක් කතා කර ගත හැකි වූයේ නැත. සේනක පවා ගොළු බෙහෙත් බීවා සේ සක්මන් භාවනාවේ යෙදුණේ ය.

“හිතන්නෙපා ඒ ළමයට කරදරයක් කරන්නනං…මං ඉන්නව සාක්කි දෙන්න. ඒ ළමයට වෙච්ච හැම අසාධාරණයක් වෙනුවෙන්ම මං පෙනී ඉන්නව”

“අම්ම..මොකද අනේ මේ…හොඳිං හරි නරකිං හරි මං ඒකිව මේ ගෙදරට ඇදං එනව. අම්ම විකාර කරන්න හදන්නෙපා”

“ඇයි ඔයා දැංවත් ඒ කෙල්ලට පාඩුවෙ ඉන්න නොදෙන්නෙ…”

“ඒකට වැරදි කාරය වෙන කවුරුවත් නෙවෙයි. ඔයා අම්මෙ. ඔයා මට පාඩුවෙ ඉන්න දුන්නනං මේ කිසි දෙයක් නෑ”

“මං කියලයි තියෙන්නෙ විකුම්. ආදිත්‍යා ට එයා ගැන බලාගෙන පාඩුවෙ ඉන්න දෙන්න. ඔයාට එයාව ඕනෙනං මනුස්සයෙක් විදිහට ගිහිං කතා කරල එයාගෙ හිත හදන්න”

විකුම් හඬ නගා හිනැහුණේ ය. සඳසීලී නො රිස්සුමෙන් නෙතු හකුළුවා ගෙන ඉවත බලා ගත්තා ය.

“මට එයාව ඕනනං….විහිළු කරන්න එපා අම්ම. මට එයාගෙං ඇති වැඩක් නෑ. හැබැයි එයා මේ ගෙදර ඉන්න ඕන මේ ඉලෙක්ශන් එක ඉවර වෙනකල්”

“අන්න ඒකයි මාත් කියන්නෙ”

පසෙක සිටි සේනක වහා මැද්දෙන් පැන්නේ ය. සඳසීලී ඔහු දෙස රවා බැලුවේ ය. ඇය ට ඔහු ගැන දෙනෙනා අප්‍රසන්න හැඟීම පහදා කියන්නට ඇය ට වචන නැත. බිරිඳ ගේ රැවීම නොදුටුවා සේ සේනක ඉවත බැලුවේ ය.

“මේ වෙලාවෙ ඔය කුණ්ඩවාලෙ දික්කසාද කරලම දැම්මනං මං නිදහස්. ඒ විරුද්ද පක්ෂෙ එවුං ඕක අල්ලගෙන මට ගහන්න පුළුවන්. ඒක මගෙ ඡන්ද අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්”

ඔවුන් හැම දේ ම තීරණය කරන්නේ මැතිවරණ මත ය. සඳසීලී එල්ලී ගෙන සිටි ජීවිතය මත්තේ ආදිත්‍යා නම් එල්ලී නො සිටින බව සඳසීලී ට විශ්වාස ය. ආදිත්‍යා නො හිතන තරම් තර්ජනයක් ඇගේ ජීවිතය කෙරේ එල්ල වී තිබෙන බව ද සඳසීලී ට පෙනී යන්නට විය.

එදා ආදිත්‍යා මහ ගෙදර නොගොස් සඳසීලී සමග පෙර පාසල සඳහා යොදා ගත් නිවසේ ම නතර වූවා ය. මේ බව ආමන්තා ගෙන් දැන ගත් ලලිතා කඳුළු සලන්නට වූවා ය.

“මං එයාට කිව්වද මේ ගෙදර ඉන්න එපා කියල…ආ…මං කිව්වෙ එයා කසාදෙ අත්ඇරල ඔහොම එන එක අනිත් දෙන්නගෙ අනාගතේට වුණත් බලපාන්න පුළුවන් කියලයි”

“අම්ම එහෙම කිව්වට පස්සෙ කාටද අම්මෙ ආයෙ මෙහෙ එන්න හිතෙන්නෙ. අක්ක ඔය විදිහට කළා. මං එහෙමනං යන්නෙ ඒ වෙලාවෙමයි”

“උඹල ඔක්කොම නොපිටටම හිතන ඈයොනෙ. අනිත් එක මං වැඩියත් එහෙම කිව්වෙ එතකොට එයා විකුම් එක්ක සමාදාන වෙන්න හිතයි කියල. මේ ළමයින්ට දැං දෙයක් කියන්න බෑනෙ”

“ලොකූට නරකක් නපුරක් වුණොත් තමුං ඒකට වග කියන්න ඕන ලලිතා”

මේ ප්‍රශ්නයේ දී නිහඬ ව ම සිටි ජයලත් ලලිතා දෙසට දබරැඟිල්ල දිගු කොට කීවේ හිතේ අමාරුව වැඩි කමට ය. ගෙදර හිටිය අහිංසක ම එකිය ආදිත්‍යා බව ජයලත් දනී. ඈ සිය අකමැත්ත මත ම විකුම් ගේ පතිනිය වී නික්ම ගියේ පවුල ගැන සිතා බව ද ඔහු දැන සිටියේ ය. එහෙව් කෙල්ලට වැරදුණොත් විජයවික්‍රම ලා මරාගෙන මැරෙන්නට තරම් කේන්තියක් ජයලත් වෙත වේ. නමුත් පෙර පැවති කාය ශක්තිය දැන් ඔහු ට නැත්තේ ය. මාස් පතා රජයේ රෝහලේ හෘදය රෝග සායනයෙන් බෙහෙත් ගන්නා ඔහු ට විජයවික්‍රමලා සමග හැප්පෙන්නට තරම් හයියක් නැත. ලලිතා වැඩියත් බය ඒ ගැන ය. ජයලත් නැතත් අවන්ත මේවාට පැටලී නපුරක් කර ගනී කියා ය.

“පොඩී අක්කට කියන්න ගෙදර එන්න කියල. ඒකි ඔහේ ඉස්සල්ලම දරුවෙක්ට කියල මූණ දැකපු එකී ලලිතා. කවුරු නැතත් ඒකිට මේ තාත්ත ඉන්නව”

“හරියට මට දරු දුකක් නෑ වගේනෙ දෙයියනේ”

ලලිතා පහත් වී ගවුම් සායෙන් නහය පිස දා ගත්තා ය.  

විකුම් පායෙන් දොට්ට බැස්සා කියා ආදිත්‍යා ගේ හිත මුළුමනින් සැහැල්ලු වූවා නොවේ. සියල්ල එතෙකින් සමාප්ත නොවන බව ඇය දැන සිටියා ය. විශේෂයෙන් ම දුමාල් සමගින් ඇගේ වන ඇසුර ගැන ඉව වැටුණ හොත් මේ සියලු සිදුවීම් වලට එක ම හේතුව එය ලෙස ඉදිරිපත් කොට විජයවික්‍රම ලා ආදිත්‍යා ව ලෝකය ඉදිරියේ හංවඩු ගසන්නට පුළුවන.

“ඒ මිනිස්සු ඔයාට වුණත් කරදර කරන්න පුළුවන්”

දිවා ආහාර විවේකයේ දී ආදිත්‍යා හා මින්දුල සමගින් පිටතට ගොස් කෑම ගනිමින් සිටි දුමාල් විතානාච්චි දෙසට සිය දෑස් යොමු කරමින් ආදිත්‍යා අහිංසක සරින් කීවා ය.

“එහෙම වුණොත් අනිත් කොයි දේටත් වඩා මට ඒක ඉවසගන්න බැරි වෙයි”

“විකුම් ඔයාට කතා කළාද..”

“නෑ”

“එයාගෙං ඩිවෝස් එක ඉල්ලන්න”

ආදිත්‍යා ගේ ගෙල පාමුල හිස කේ අතරින් අතැඟිලි යවමින් දුමාල් කෙලින් ම ඇගේ මූණ දෙස බලා කීවේ ය.

“එයා කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල බලමු. ඊට පස්සෙ බලමු ඊළඟට මොකද්ද කරන්න ඕන කියල”

“ඔයාව මේකට පටලගන්න මට බෑ. අන්තිමට ඔයා වැරදිකාරය වෙනව බලං ඉන්නත් මට බෑ”

දුමාල් ගේ දෙතොල් මත්තට සාවඥ සිනහවක් පැමිණියේ ය. ඔහු මින්දුල ට බත් කටක් කැව්වේ ය.

“අන්තිමට කොහොමත් වැරදි නීතියෙං අවසර ලැබිල නැති සම්බන්දෙ තමයි ආදි. කසාද සහතිකයක් තියෙන සම්බන්දෙ ඇතුළෙ මොන දහ දුකක් තිබුණත්…කවදාවත් ලෝකෙ මිනිස්සු අනුමත කරන්නෑ ඒ සම්බන්දෙ ඇතුළෙ දුක් විඳින කෙනා එළියෙ වෙන සම්බන්දෙකට පැටලෙන එක. උං කියන්නෙ දුක් විඳගෙන හරි ඕක ඇතුළෙ හිටහං නැත්තං මැරියං කියල තමයි”

ආදිත්‍යා දුමාල් ගේ අත් ගොබයක් මුදු ලෙස පිරිමැද්දා ය. ආයේ නම් සසරේ කිසිදු භවයක ඔහු මගහැර ගත නො හැකිවා වාගේ ස්නේහ සිතිවිල්ලකින් ඇය වැසී යමින් සිටියා ය.

“මං ඔය බොරු සදාචාරෙට බය නෑ. මං ඔයාට ඒක ඇතුළෙ තව දුරටත් දුක් විඳින්න දෙන්නෙත් නෑ”

එය නිකං ම නිකං වාචික පොරොන්දුවක් නොවන බව ආදිත්‍යා ගේ ඇට, මස්, ලේ විනිවිද හදවතට ම දැනිණි. දුමාල් හැදුවේ ඔවුන් දෙදෙන යළි පෙර පාසල වෙත ගෙනවිත් ඇරලවා යන්නට ය. නමුත් කතා බහ අතරේ කෑමට නොසිතූ වෙලාවක් ගත වී තිබුණෙන් ඔහු බැංකුවට වාර්තා කළ යුතු වෙලාව පමා වෙමින් තිබිණි.

“මං කැබ් එකක් දා ගන්නං. ඔයා ඉක්මනට බෑන්ක් එකට යන්න”

ආදිත්‍යා මේ වෙලාවේ තරමක් හිතුවක්කාර වූවා ය. දුමාල් ට බැංකුවට යාමට සිදු වූයේ එනිසාවෙනි. නමුත් එසේ කළ එක කෙතරම් වාසනාවක් ද යන සිතිවිල්ලත් සමග ඇගේ උදරය රත් වී ගියේ, කැබ් රියෙන් බසිත්දී විකුම් ගේ සඅඛෝපභෝගී ජීප් රථය එහි නතර වී තිබෙනු දැකීමෙනි.

“කොහෙද ගියේ…”

විකුම් තරමක් තදින් ඇසුවේ ය. ආදිත්‍යා ඉවත බලා ගත්තේ ය.

“මං ඇහුවෙ කොහෙද ගියේ කියල”

ඇගේ නිශ්ශ්බ්දතාව ඔහු ගේ කෝපය අවුළුවාලූයේ ය.

“ඇයි මං ඒක කාටවත් කියන්නෙ..”

ආදිත්‍යා වචන වලින් ඔහු ගේ මූණට ම දමා ගැසුවා ය.

“කියන්නෙද…කියන්නෙ කාටවත් නෙවෙයි යකෝ. මං තමුංගෙ කසාද මිනිහ”

“මට අමතක වෙලානෙ තිබුණෙ”

ආදිත්‍යා සමච්චල් සිනහවක් නගා ගත්තා ය. සැබවින් මේ සිනා සෙන්නට හැකි වෙලාවක් නොවන බව ඇය දැන සිටියා ය. හරි නම් මේ ඉකි බිඳ බිඳ හැඬිය යුතු මොහොතකි. නමුත් කේන්තිය වැඩි කමට ඇස් වලට කඳුළු එන්නේ නැත.

“තමුසෙගෙ කට වැඩියි දැං”

විකුම් සිය දබර ඇඟිල්ල ඇගේ මුහුණ සමීපයට ම ගෙන විත් දිගු කළේ ය. ආදිත්‍යා ඔහු දවා ලන බැල්මකින් බලා සිටියා ය. මින්දුල හඬන්නට පටන් ගත්තේ ඔය අතරේ ය. ආදිත්‍යා ගේ කෝපයේ සීමා මායිම් පනිමින් තිබිණි.

“අනේ මේ විකුම්. කරුණාකරල යනවද මෙතනිං..මටයි මේ දරුවටයි පාඩුවෙ ඉන්න දීල..”

විකුම් සිනහවක් නගා ගත්තේ ය.

“මට මෙතනිං යන්න කියන්න ඔයා කවුද ආ…දන්නවද මේක කාගෙ කැනක්ද කියල…”

“දන්නව. මගෙ දරුවගෙ ආච්චිගෙ කැනක් කියල”

ආදිත්‍යා දැන් සිටින්නේ ඔහු ට කතා කොට ජය ගත හැකි තත්වයක නොවන බව  විකුම් ට දැනෙමින් තිබිණි. ඔහු සිය නළල අතැඟිලි වලින් පොඩි කරමින් මඳක් වෙලා හිඳ ආදිත්‍යා ගේ මුහුණට එබී බැලුවේ ය.

“යමු ගෙදර”

ඔහු ට කිව හැකි තරම් හොඳින් ද කීවේ ය.

“ඒක වෙන්නෑ”

ආදිත්‍යා ඉතා හෙමිහිට මුත් ස්ථාරසාර හඬකින් කීවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles