විකුම් විජයවික්‍රම සිය අව් කණ්ණාඩි යුගල හිසෙහි රුවා ගත්තේ ය. ගෙදොරකඩ හිඳිනා ආදිත්‍යා දෙස ම බලා ගෙන ඔහු අඩියක් දෙකක් පෙරට තැබුවේ ය. ආදිත්‍යා ගේ හදෙහි ගැස්මක් ඇති ව තිබිණ. ඔවුන් නීතියෙන් ම වෙන් වී ඉවර ය. විකුම් ගේ ලේ අයිතියක් ආදිත්‍යා වෙත ඇති බව ඇත්ත ය. නමුත් විකුම් මින්දුල වෙනුවෙන් උසාවියෙන් කිසිදු ඉල්ලීමක් නො කළේ ය. අඩු තරමින් මාසයකට වතාවක් දරුවා බලන්නට අවශ්‍ය ය කියා හෝ ඉල්ලීමක් නො කළේ ය. ඉතින් මේ හදිස්සියේ ඔහු මෙහි පැමිණෙන්නේ ඇයි කියා සිතා ගන්නට ඇය ට නො හැකි වීම ගැන පුදුමයක් නැත.
ආදිත්‍යා මුව මඳක් අයා හුස්මක් ගත්තා ය. පපුවෙහි ඇති ව තිබෙන මේ රිදුම කුමක් දැයි ඇය ට තේරෙන්නේ නැත. ඈ ඉදිරියට මේ එමින් හිඳින්නේ වසර කිහ්පයක් ඇගේ යහන බෙදා ගත් මිනිසා ය. නමුත් ඔහු ට ඈ සමගින් ජීවිතය බෙදා ගන්නට හැකි වූයේ නැත.
“විකුම්…”
ඇයට අඩියක් ඉදිරියෙන් නතර වූ විකුම් දෙස බලා, වෙන කියන්නට අහන්නට දෙයක් නැති කමට ඔහු ගේ නම කීවා ය. නමුත් සැබවින් විකුම් සතුව වචන නොතිබිණි. ඔහු මේ ගමන ආවේ ඇයි කියා හෝ ඔහු දැන සිට්යේ නැත.
“ඇයි විකුම්…”
ආදිත්‍යා ඇසුවේ ඉතා සාමාන්‍ය ලෙස ය. නමුත් ඔහු, මේ මොහොතේ දැනෙමින් පැවති හීනමානය යටපත් කර ගනු වස් ඇගේ සර ට නො ගැලපෙන උච්ච ස්වරයකින් පිළිතුරක් වෙනුවට ප්‍රශ්නයක් ම ඇසුවේ ය.
“ඇයි…මට එන්න අයිතියක් නැද්ද…මං ආපු එක ප්‍රශ්නයක්ද..”
“නෑ නෑ එහෙම දෙයක් නෑ. මං ඇහුවෙ ඉතිං…”
“මගෙ ළමය මෙහෙනෙ ඉන්නෙ. මට පුළුවන් නෙ ඕන වෙලාවක එන්න…ළමයව බලන්න”
ආදිත්‍යා ආමන්තා ගේ මුහුණ බැලුවා ය. සොයුරිය ගේ මුහුණේ නොරිස්සුමක් වන බව හැඳින ගන්නට ආදිත්‍යා ට හැකි විය. ඇය ඉස්සර වුව හොත් මෙතැන කුමකින් කුමක් සිදු වේද කියා හෝ සිතා ගත නො හැකි ය.
“විකුම්…එහෙම උසාවි නියෝගයක් ඔයා අරගත්තෙ නෑ නේද…මං හිතුව ඉතිං…කොහොමත් ඔයාට මින්දුලව ඕන වුණේ නෑනෙ…එයාව ඕෆනේජ් එකකට දාන්නමනෙ ඔයා හැදුවෙ…ඒක නිසා…කවදාවත් ඔයාට එයාව බලන්න ඕන වෙන එකක් නෑ කියල මං හිතුව”
“දැං තමං වැඩ කරන්නෙ උසාවි නියෝග වල හැටියටමද ආ…”
“හරි හරි. පුතාව එක්කං එන්නං ඔයාට බලන්න”
ආදිත්‍යා හැරෙනකොට ම විකුම් ‘ආදි’ කියා කතා කළේ ය. ඇය මොහොතකට නතර වී යළිත් හැරී බැලුවා ය.
“පොඩ්ඩක් ඉන්න. මට ඔයා එක්කයි කතා කරන්න ඕනෙ”
ඇය එහෙම ම බිත්තියකට හේත්තු වූවා ය. ආමන්තා ගෙතුළට යන්න ගියා ය.
“ඉඳගන්න”
ආදිත්‍යා කතා කළේ ආගන්තුකයෙකු ට සේ ය. විකුම් අසුනකට බර ව ඇදෙස බැලුවේ ය.
“දැං සතුටු ඇති නේ…”
ඔහු ගේ මුවෙහි සමච්චල් සිනහවක් ඇඳිණි.
“ඇයි…”
“ඩිවෝස් එක ගත්තහම…”
“මේ ලෝකෙ කිසිම ගෑනියෙක් සතුටෙන් ඩිවෝස් වෙනවයි කියල මං හිතන්නෑ”
“දුමාල් අර බැල්කනියෙ ඉඳල බැල්ම හෙලන්න පටන් ගත්තහම තමයි තමුන්ට හරි හදිස්සි වුණේ ඕකට”
“පැත්තක ඉන්න අයව වැරදිකාරයො කර ගන්න හදන්න එපා විකුම්. දැං මේව කතා කරල ඇති වැඩකුත් නෑ. ඔයාට කලින් මේව ගැන මාත් එක්ක කතා කරන්න තිබුණෙ. ළමයටයි මටයි දෙන්නටම ආරක්ෂාව සලස්සන්න ඔයාට බැරි වුණා”
“මං සෙකියුරිටි ගාඩ් කෙනෙක් නෙවෙයිනෙ”
ආදිත්‍යා ගේ සිත්හි නො රිස්සුමක් ඇති විය. හැම පිරිමියෙක් ම සිය බිරිය හා දරුවන් වෙනුවෙන් ආරක්ෂක නිලධාරියෙකු විය යුතු බව කියන්නට කට නලියෑවත් ඕ නිහඬ ව සිටියා ය..දැන් විකුම් ව වෙනස් කරන්නට හෝ හදා ගන්නට ඈ වෙහෙසිය යුතු නැත.
“වෙච්ච දේවල් වුණා. දැං ඒවයිං වැඩක් නෑනෙ”
“හ්ම්”
ආදිත්‍යා ඉවත බලා ගත්තා ය. නමුත් විකුම් සිටියේ සිය හිටපු බිරිඳ දෙස බලා ගෙන ය. ඇය ඔහු ගේ තෝරා ගැනීමක් නොවුණත්, දැන උගත් ගැහැනියක වන ආදිත්‍යා ඕනෑ ම වෙලාවක සමාජය ඉදිරියට ගෙන යා හැකි විනීත පෞරුෂයකින් හෙබි අයෙකු බව පිළිගන්නට බැරි කමක් විකුම් ට නැත. ඔහු ඇය ට ඒ හැටි වටිනාකමක් නොදුන් බව ඇත්ත ය. ඊට ද හේතුවක් තිබිණි. ඒ ශිරෝෂි බව අමතක කළ නො හැකි ය.
“හරි අපි ආයෙ බඳිමු”
ඒ ඇහුණේ කුමක් දැයි ආදිත්‍යා ට සිතා ගන්නට වුව හැකි නොවිණි.
“මොකද්ද…”
ඇය වේගයෙන් ඇස් පිය සැලුවා ය.
“මං කිව්වෙ අපි ආයෙ බඳිමු කියල”
විකුම් ගේ දෙතොලතර සිනහවක් විය. ආදිත්‍යා ට ඒ සිනහව මතු නොව ඔහු ව වුව වටහා ගත හැකි වූයේ නැත.
“හරි හරි මින්දුල ව ඕෆනේජ් එකකට දාන්න ඕනෙත් නෑ”
ආදිත්‍යා බලා සිටියේ බිය වී ගෙන ය. ඇත්තටම මේ මිනිසා ට පිස්සුද යන පැනය, ඇගේ සිත කෑ ගසා ඇගෙන් විමසමින් තිබිණ.
“අපි ඩිවෝස් වුණා කියල දන්නෙ කී දෙනාද…ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..කෙනෙක් ඇහුවොත් හරි කියනවනෙ එහෙම එකක් වුන්නෑ බොරු කතා කියල”
විකුම් ඒ තරම් දෙයක් කීවේ මොන තරම් සැහැල්ලුවකින් ද? ඔවුන් ට ජීවිතය කියන්නේ එහෙව් සෙල්ලමකි. ආදිත්‍යා ගේ හිතේ නැගුණේ කේන්තියකි. ඔහු සිය ජීවිතයත් එක්ක මෙහෙම සෙල්ලමක් කරන්නට හිතුවේ කෙසේද කියා කෑ ගසා අසන්නට ඇය ට ඕන විය. නමුත් ගෙදර අය කලබල වෙතැයි ඇය ඉවසුවා ය.
“ඔයාට පිස්සු හැදී ගෙන එනවද විකුම්…”
දැඩි හඬකින් මුත් ඈ ඇසුවේ හෙමිනි. විකුම් ගේ මුහුණේ නැවතත් සෙල්ලක්කාර සිනහව ඇඳිණි.
“එහෙනං එහෙම කරමු”
“හිතාගෙන ඉන්නෙ මං සෙල්ලං බඩුවක් කියලද…”
ඇය දත්මිටි කමින් විමසුවා ය. මේ තරම් කේන්තියක් විකුම් අරබයා ඇයට මීට පෙර දැනී නැතිවා විය යුතු ය.
“කියන්න තියෙන දේ කියල ඉවරනං කරුණාකරල දැං යන්න. ඔයාට පුතාව බලන්න ඕනනං ඒකට උසාවි නියෝගයක් ගන්න. හිටි හිටි ගමං ඔයා මෙහෙම අපේ ගෙදරට කඩං පාත් වෙනවට මං කැමති නෑ”
විකුම් අසුනෙන් නැගිට ආදිත්‍යා සමීපයට ම ආවේ ය.
“මෝඩ වෙන්න එපා මනුස්සයො”
“මගෙ මෝඩකං මට හොඳයි විකුම්..ඔයා වගේ මනුස්සයෙක්ව මමං ඉපදෙන කිසිම ආත්මෙක පතන්නෙ නෑ. ඒ වගේ කතාවක් කිසිම ගෑනියෙක් කියන්නෙ නැතුව ඇති. ඒත් මං කියනව. මේ සසරෙ මට අයිති වෙන්න පිරිමියෙක් නැති ම වුණත් ඔයා වගේ කෙනෙක් මට එපා”
ඒ ටික කියා නිම වන විට ආදිත්‍යා හති දමමින් සිටියා ය. ඇගේ ඇස් වල කෝපය ගිනි ගත්තේ ය.
“එහෙමද…”
“එහෙම තමයි”
ඒ තරම් චිත්ත ශක්තියක් කොහොම මේ මොහොතේ උදා වූවා ද කියා ආදිත්‍යා දන්නේ නැත. විකුම් රියට නැගී දුහුවිලි අවුස්සාගෙන නික්ම ගියේ ය. ආදිත්‍යා දෙතොල් තද කර ගෙන බලා සිටියා ය.
“ශිරෝෂි බිස්නස්මන් කෙනෙක් මැරි කරන එක ඉවසගන්න බැරුවයි විකුම් ඔහොම යෝජනාවක් කරන්න ඇත්තෙ”
දුමාල් සිනහවකින් කීවේ ය. නමුත් ආදිත්‍යා ට නම් ඒ ගැන තවමත් සිනහ විය නො හැකි ය.
“දැං මිනිහට ඕනෙ ශිරෝෂි බඳින එක එයාට ඒ තරං දෙයක් නෙවෙයි කියල අඟවන්න”
“කාටද…”
“සමහර විට ඌ ගෙම හිතට”
මිනිස් හිතක ස්වභාවය ගැන දුමාල් සියුම් ලෙස සිතන්නේ ය. ඒ ඔහු කුඩා කල පටන් ලද අත්දැකීම් වල ප්‍රතිඵලයකි. සිත හඳුනා ගැනීම හා තමන් හඳුනා ගැනීම තුළින් බාහිර පුද්ගලයන් හඳුනා ගැනීම පහසු වන බව ද ඔහු විශ්වාස කරයි.
“මට කේන්ති එයා මාව එහෙම තැනකට දාන්න තරං බයක් සැකක් නැති වෙච්ච එක ගැන”
“විකුම් කියන්නෙ බයක් සැකක් ලැජ්ජාවක් මුකුත් ම නැති මිනිහෙක්. හරියට උගෙ තාත්තා වගේ ම”
ආදිත්‍යා නිහඬ වූයේ ඇය ඊළඟට කියනා යමකින් දුමාල් ගේ ද හිත රිදෙන්නට පුළුවන් නිසාවෙනි. නමුත් ඈ සිතූ දේ ම ඔහු කීවේ ය.
“මාත් ඉතිං උගෙ තාත්තගෙම පුතෙක් කියනවනෙ”
“දුමාල්”
“ම්..”
“ඔයා අපේ ගෙදර එන්න”
“මං ඒක පරක්කු කළේ තාම ඔයාගෙ අම්ම තාත්තගෙ හිත හැදිල නැතුව ඇතිනෙ කියල හිතපු නිසයි. මොනා වුණත් ඒගොල්ලොන්ට මාත් සේනක ගෙ පුතෙක්”
ආදිත්‍යා දෙතොල් සපා ගත්තා ය. මොනවා සිදු වෙන්නට නියමිත ද කියා නිශ්චිත නැත. නමුත් සිය ජීවිතය ගැන තීරණ ඉක්මනින් ගත යුතු යයි දැන් දැන් ඇය ට සිතෙයි. දික්කසාදය යනු විකුම් ගෙන් ඉවත් වන්නට හා සේනක ට ඇති නෑදෑ කම් වලින් ඉල්ලා අස් වෙන්නට බල පත්‍රයකැයි ඇය සිතා සිටියත්, එය එසේ නොවන බව විකුම් විසින් දැනටමත් ඔප්පු කොට හමාර ය.
“දික්කසාද වෙලත් දරුවො වෙනුවෙන් ආයෙ එකතු වුණ අය ඕන තරං ඉන්නව”
ලලිතා රෑ කෑම පිසින ගමන් අමුතු මාතෘකාවකට පිවිසියා ය. ආදිත්‍යා ආමන්තා ගේ මුහුණ දෙස බැලුවා ය.
“දෙමව්පියන්ට තියෙන වටිනම සම්පත දරුවො ළමයිනේ. දරුවො වෙනුවෙන් දෙමව්පියො මොනාද නොකරන්නෙ..ජීවිත කාලෙම එක වහල යට ඉන්න හැමෝම කිසි ප්‍රශ්නයක් නැතුව හරී සතුටෙන් ජීවත් වෙනවද…නෑ. ඕන තරං ප්‍රශ්න තියනව. ගහ මරාගෙන වුණත් හුඟක් ගෑනු මිනිස්සු එකට ඉන්නව. ඒ දරුවො නිසා. දරුවෙකුට අම්මයි තාත්තයි තරං දෙන්නෙක් නෑ ළමයිනේ”
ලලිතා ඔය කියන්නේ දකුණු ආසියානු කලාපයේ බොහෝ අඹු සැමියන්ගේ කතාව බව ආදිත්‍යා නො දන්නවා නොවේ. නමුත් ඇය ට පහදා ගත යුතු වූයේ අම්මා මේ වෙලාවේ මෙහෙම කතාවක් පෙරපර ගලපන්නට හේතුව කුමක් ද යන්න ය.