නිලැසි -07

ආකාස පියස්ස මතට සඳ එළිය ඇද හැලෙමින් තිබිණ.නිලැසි ඒ මත හිඳගෙන සඳ එළිය උරා බොමින් සිටියා ය.අම්මාගේ පොකුණේ කුමුදු මල් සඳ එළියේ නැහැවෙමිනි.ඒ ප්‍රේමණීය සුයාමයන් ඇයට එරන්දගේ කෙළවරක් නැති හාදු සුහි කරන තරම් ය.එරන්දට අමතන්නට මෙතැන හොඳම තැන බව ඈ සිතුවා ය.විදෙස් සංගීත ප්‍රසංගයකට සහභාගී වන්නට ගිය තාත්තා නැති ගෙදර සංගීත නාද නෑසෙන තරම් ය.නිම්න ඔහුගේ සෑම සංගීත කටයුත්තක්ම ශබ්දාගාරයේ කරන්නට වග බලා ගත්තේ ය.හදිසි දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන මොහොතක් හැරෙන්නට ඔහුගේ සෑම මොහොතකම අ‍යිතිය රශ්මිට හිමිව තිබිණ.ඈ හට ආදරය සුවිසල් ලෙස හිමි විය යුතු මේ කාලයේ නිම්න තම බිරිඳට ඇලෙමින් සිටින ආකාරය නිලැසිට හිනා උපදවන්නට සමත් ය.

නිලැසි දුරකථන ඇමතුමක් ගත්තේ එරන්ද සමඟ පෙම්බස් දොඩන්නට සිතමිනි.ඔහු ඇතැම් මොහොතක ඇමතුමට පිළිතුරු දෙන්නේම ගී ගයමිනි

“ඔයා දන්නවද ඉසබෙල් අයියන්දේ ලියලා තියන දෙයක්..”

එරන්දගේ ගී අසා හිඳින අතර නිලැසි විමසන්නේ අනුරාගී හඬකිනි.

“වචන තමයි ගැහැනියක් කාමයෙන් මත් කරන්න පුලුවන් හොඳම උත්තේජකය.දෙසවන් තමයි ඇගේ කාමෝද්දීපක ප්‍රදේශය.කවුරුහරි මිනිහෙක් ඒක ඒ ගෑනු කෙනාගේ ඉනට පහළින් හොයනවා නම් ඒ මනුස්සයා කරන්නේ කාලේ නාස්ති කිරිල්ලක්..”

නිලැසි ඇයට මතක අන්දමට අයියන්දේ ලියූ වචන ගැන මුමුණන්නී ය.එතැන් පටන් අවකාශය අනුරාගයට ය.ලෝකයේ ඇති හොඳම දෑ නිලැසි වෙනුවෙන් ගෙන එන්නට දත කන තිසරුට මෙවැනි කතාබහ මැජික් බව ඇය දන්නී ය.

අද එරන්දගෙන් දුරකථනයට ප්‍රතිචාර නැත.

“කොහෙහරි බීලා වැටිලා ඇති පිස්සා..”

නිලැසි ඔහු ගැන සිතන්නේ එහෙම ය.තිසරු සාදයකදී මත් වඩි දෙකතුනකින් එහා යද්දී ඔහු කොනිති ගසන්නිය එරන්ද සෑම මත්ද්‍රව්‍යයක් පාහේම අත්හදා බලද්දී ඔහුගේ ඒ ක්‍රියා දෙස බලන්නේ සහ සිතන්නේම ප්‍රේමයෙනි.

“ඔබ යම් කිසි මලකට ඇත්තටම ආදරය කරනවා නම් ඒ මල කඩන්නට උත්සාහ කරන්න එපා. ඔබ ඒ මල කඩන විට ඒ මලේ ලස්සන නැති වෙනවා. ඒ මල මිය යනවා.ඔබ මලකට ඇත්තටම ආදරය කරනවානම් එයට නිදහසේ සුවද විහිදවන්නට ඉඩ දෙන්න. නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙන්න”

හෝරාවකටත් වඩා මඟ බලද්දී හදිසි වට්ස් ඇප් පණිවිඩයක් පැමිණියේ එහෙම ය.

“මං නෙවෙයි ඕෂෝ කියන්නේ..ඔයා දන්නවනෙ මං අදහන්නේ ඒ මනුස්සයව.”

ඊළඟ පණිවිඩය පැමිණියේ ද නිලැසි පිළිතුරු දෙන්නට ප්‍රථමයෙනි.

“මං හිතුවේ ඔයා කිව්වා කියලා.ඔයාටත් හරි බර දේවල් හිතෙනවනෙ..”

නිලැසි එසේ ලියා යවා සඳට නෙත් අලවා ගත්තා ය.සඳ වළාකුළු අතර සැඟවෙමින් දුර ගමනක ය.තාරකා පන්ති අතර ආදරය ගැන ලියා තබන තරමට නිලැසිගේ හදවත බරව තිබේ.

“ආදරෙයි ගෑනුයි පිරිමින්ව දාර්ශනිකයෝ කරනවා තමා බබී.ඒ වුණාට ඕක නම් ඕෂෝ කියපු එකක්.හැබැයි මං එහෙම කීවේ ඇයි කියලා මගෙ නිල් ඇස් දෙක දන්නවද?”

තිසරු තමන්ව අමතන්නේ බොහෝ සාම්ප්‍රදායික ප්‍රේම නාමයන්ගෙන් බව නිලැසි සිහි කළා ය.අම්මා ලොකූ යැයි අමතන නිලැසිට චූටි කියන්නට තිසරු හුරුව සිටියා ය.නිම්න පවා ආදරය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික බව නිලැසිට සිතේ.ඔහු බිරිඳට මැණික හෝ බබා යැයි අමතයි.ඒ වචන කිසිම නැවුම් බවක් නැති වචන බව නිලැසිට සිතෙන්නේ එරන්දගේ අමුතු කතාන්දර හන්දා ය.

“ඔයා මේ වෙලාවේ තිසරුට ඩිනර් හද හද ඉන්නව කියල මං දන්නව.ඊටපස්සෙ ඒ මිනිහා කිසිම ආරක්ෂක උපක්‍රමයක් නැතුව ඔයාව බදා ගන්නවා.ඊටත් පස්සෙ හෙට අනිද්දට මෑන්ස් තාත්තෙක් වෙනවා..”

ඒ වචන නිලැසිට උහුලා ගන්නට අපහසු ය.ඈ නැවත එරන්දට ඇමතුමක් ගත්තා ය.මේවා පණිවිඩ හුවමාරු කරගනිමින් පැවසිය හැකි කාරණා නොවේ.

“එරන්ද! විකාර කියවන්න එපා.මං ඉන්නේ මහ ගෙදර.මං තිසරු ගාවට යන් නෑ..විකාරද?”

එරන්ද නිස්කලංකව හිනැහුණේ ය.

“ඔයා යන්න ඕන..”

“ඇයි..”

“ඒකත් කිව්වේ ඕෂෝ..”

“මොකක්ද?”

“විවාහය යනු ආදරයට ආදේශකයක් නෙවෙයි.කවදාවත් ඔබ ආදරය කරන කෙනා විවාහ කර ගන්න එපා..”

එරන්ද එසේ කියන්නේ හිනැහෙන අතර ය.

“ඒ හින්දා ඔයාට තියෙන්නේ ඔය මිනිහගේ බාරියාව වෙන්න.මගේ ප්‍රේමවන්ති වෙන්න.ජීවිතේ හරි සරලයි මගේ රෝස මලේ..”

එරන්ද කාමරයට එබී බැලුවේ එසේ කියන අතර ය.මත් බවින් එතුළ නිදන තරුණියගේ අඩ නිරුවත් සිරුර ඔහුව කැළඹී ය.මේ බොහෝ උමතු රාත්‍රියකි.ඔහුගේ නවාතැන තුළ ගිනි ගත් සිරුරකින් සහ මත් වූ දෙතොලකින් යුතු තරුණියක ඉන්නා බව නිලැසි දන්නවා නම් යැයි එරන්දට මොහොතකට සිතිණ.

“නීතියෙන් වෙන මිනිහෙකුට අයිති ඔයා කොහෙද බබී මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලට නීති දාන්නේ..”

ඕෂෝ ද අයියන්දේ ද කොයියෝ ද අමතක කළ එරන්ද ඇමතුම විසන්ධි කර දමමින් හිස් අවකාශයට උස් හඬින් හිනැහුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles