එදා ඒ අත්සනට පමණක් සීමා වූ විවාහය ගැන තිසරු බිඳක්වත් කම්පා වූයේ නැත.නිලැසි මීට පෙර විවාහපත් වී දරුවෙකු හිඳින ගැහැනියක වුව ද ඇයට ආදරය කරන්නට එය බාධාවක් නැතැයි තිසරු සිතී ය.ආදරය කියන්නේ ආදරයට ය.එයට විවිධ බාධාවන් හෝ නීති තිබිය යුතු නොවේ.
“සුමාල් මාව හරි කැත විදියට රැවැට්ටුවා..”
එදා තමන් ඉකිලන්නට හැදූ අන්දම නිලැසිට මතක ය.
“අපිට දැන් ඒක වැඩක් නෑනෙ.”
තිසරු ඒ කතාවට ඉඩ නොදුන්නේ ය.එනිසාම නිලැසි ලෝකයට ගොතා පවසන කතාව ඔහුට නොකියා සිටියා ය.
“තිසරුට හැමදාම ඕවා හංගන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා ඔයා.ඇත්ත එළි වුණු දාකට..”
තිසරු හා විවාහය වනතුරු දේව කන්නලව් කරමින් හුන් රසාදරී නිලැසිට තරවටු කළා ය.නමුත් නිලැසි ඒවායින් සසැලෙන්නියක නොවේ.
“සුමාල් කට අරින්න එන්නේ නෑ..”
ඇය එසේ පැවසුවා ය.සුමාල් දැන් ජීවත් වන්නේ විදේශයක වීමද ඔහුට දරුපවුලක් තිබීම ද නිලැසිට ඇති කළේ සැනසීමකි.සුමාල් වැදගත් රැකියාවක් කරන වැදගත් මිනිසෙකු වීම පමණක් විවාහයට හේතුවක් කරගත් නිලැසිට ආදරය දැනවීමට සුමාල් කෙදිනකවත් සමත් නොවී ය.නමුත් ඒවා අතීත කතා ය.
“මං මගේ සින්දුවට ෆීමේල් වොයිස් එකක් හොයා ගත්තා.දිගැසිට නටන්න කියන්න..”
එරන්දගේ හඬින් නිලැසි පියවි ලෝකයට ආවා ය.ඔහු ඇගේ මෝටර් රථයට ගොඩ වී දැන් සුළු මොහොතකි.කොහේ හෝ නිස්කලංක අවන්හලකට යන්නට නිලැසිට ඕනෑ විය.
“කවුද ඔය ගායිකාව..”
නිලැසි එසේ අසද්දී එරන්ද හිනැහුණේ දුරකථනයට ය.අනතුරුව ඔහු එහි ගබඩා කර තිබූ ගැහැනු රුවක් දෙස බලමින් මොහොතක් ගෙවූවා ය.
“මේ ළමයා සයන්ස් ඩිග්‍රි එකක් කරන ළමයෙක්.එෆ් බී දානව නිතරම සින්දු කිය කියා.රුහුණේ ඉගෙන ගන්නේ..මාර ලස්සන කෙල්ලක්..”
නිලැසි එරන්ද දෙස බැලූයේ ඔහු වාදනය කරන ගී හඬ ගැන අවධානය යොමු නොකරම ය.
“ඒ ළමයගෙ ලස්සන ඇයි ඉතිං ඕකට..”
තිස් වියද ඉක්ම වූ විවාහක ගැහැනියගේ මුහුණේ ඇඳෙන රෝෂය එරන්දට රැගෙන එන්නේ ආනන්දයකි.ඇය හිඳින්නේ අනන්ත අපරිමාණ ලෙස තමන් කෙරෙහි බැඳීමෙනි.ඇය තමන්ට බැඳුණ ද තමන්ට මේ ගනුදෙනුවක් පමණක් බව කියන්නට ඔහුට නොසිතේ.ඊයේ රැය ඔහු හා පහන් කළ තරුණියට නම් ඔහු ඒ බව පැවසී ය.
“හෙටක් ගැන නොහිතා හැකි උපරිමෙන් ,මෙන්න මොහොත විඳින්න.බරපතල නීතිමය ලියවිලියි කසාදයි අහකට දාලා නිදහසේ ආදරෙයි කියන්න කියලනෙ ඕෂෝ කිව්වේ.මේ මං ආදරේ විඳින මොහොත, එච්චරයි.”
එරන්දගේ තොල් මත වූ සිගරට්ටුව උදුරා ගන්නා ගමන් ඇය,නටාෂා පැවසුවා ය.ඇයට අවශ්‍ය ආදරයෙන් උමතු වන්නටත් අනතුරුව සරාගයෙන් ඉතිරී යන්නටත් පමණි.නිලැසි දැන් හිඳින්නේ එරන්ද අයත් කර ගන්නා උමතුවක ය.ඒ ගැටයට හසු වන්නට ඔහුට උවමනා නොවේ.
“මං හරි ආසයි ඔයාට.ඔයාගේ තියෙන්නේ අමුතුම ඇස් දෙකක්.සන්‍යා මල්හෝත්‍රා වගේ චිත්‍රයක් ඔයත්.ඒ වුණාට මං ආසම ඔයාගේ ඔය ඇස් දෙකට.මං වෙනුවෙන් මගේ නීල නෙතු සඟලින් සින්ග් කරන්නකෝ..”
ළාබාල පෙනුමැති සරසවි සිසුවිය වූ තරින්ද්‍යාට ඔහු ලියා යැව්වේ ය.නිලැසි ඈ ගැන අසද්දී ඒ මතකය අලුත් වූ හන්දා ඔහුට තරින්ද්‍යාට කතා කරන්නට හදිසි ආශාවක් හට ගත්තේ ය.
“මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන්නෙනම් මං උමාලි තිලකරත්න වගේ කියලා.”
තරින්ද්‍යා එසේ ලියා එවූයේ එරන්ද වැන්නෙකු සමඟ කිරිභොදි බෝල්ට් ඇණ මට්ටමේ කතාබහක් තබා ගන්නට ඇයට උවමනා වූ නිසා ය.ඇගේ පෙම්වතා ඇගේ රූපයට කිසිදා ආදේශක ඉදිරිපත් කර නැත.නමුත් මෙවැනි සීනිබෝල කතන්දර ඔහුට පෙන්වා ඕනෑතරම් සිනාසෙන්නට හැකි ය.
“මගේ ලැවැන්ඩර් මල..මං ආස නෑ ඔයා ඔය නරපණුවා ගැන කියනවට.ආදරේ ගැන වචනයක් ඇහුණු ගමන් කසාදෙට නියම වෙච්ච මිනිහා ගැන හෑලි කියන සම්ප්‍රදායික කෙල්ලක් වෙන්න එපා.ජීවිතේ සුන්දරයි.මේ මොහොත විඳින්න..”
එරන්ද එසේ ලියා එවූයේ ඇයිදැයි තරින්ද්‍යා සිතුවා ය.ලැවැන්ඩර් මලක කතාව එන්නට හේතුව ඇගේ ෆේස්බුක් ගිණුමේ කවරයේ ඇති රුව බව තරින්ද්‍යා වටහා ගත්තා ය.එහි හිඳින්නේ දම් පැහැ ගවොමකින් සැරසුණු ඈ ය.තරින්ද්‍යා සියල්ලටම පෙර එය ඉවත් කර වෙනත් පැහැයක ඇඳුමකින් සැරසී සනුකගේ අතේ එල්ලීගත් සේයාරුවක් එක් කළා ය.
“එරන්ද..ඔයාට මල්ලා ඔය සෝන්ග් එකට ගෑනු ළමයෙක් හොයල දෙයි..ඔයා ඔය පූසෙක් කෑගහනව වගේ සින්දු කියන කෙල්ලද ගන්න හදන්නෙ?”
නිලැසි එසේ අසන්නේ අවන්හලක් අසල රිය නවතන අතර ය.එරන්ද නිදහසේ හිනැහුණේ ය.