වසන්තය එළඹුණා

“අම්මා… ඉන්න..මම තේ ටිකක් හදන්නම්…”

“තේ….?? තේ නෙමෙයි…අපිට වහ ටිකක් පොවපං…”

“මට තේරෙන්නේ නැහැ…ඇයි මෙහෙම අම්මායි අක්කයි මට කතා කරන්නේ කියලා…”

“තේරෙන්නෙම නෑ…තොත්ත බබා…හොඳ වෙලාවට අපේ එකා මේ ගෙදරින් ගියේ. අපිට නොකිව්වට ඌටම මේ විගඩම් වැඩ තේරෙන්න ඇති. තමන්ගේ මිනිහගෙන් දික්කසාද වෙලා වෙන පිරිමි ගේ ඇතුලට දා ගන්න මේ වගේ ගෑණු….”

පියවතී මුතූගේ ගෙදරින් ගියේ මුතූගේ වැදූ මවටත් දෙස්දෙවොල් තබමින් සාප කරමින්. මුතූ ඇස්වල කදුළු පුරවගෙන අම්මාගේ ජායාරූපය දෙස බැලුවා. සුදු මල් මාලයක් දැමූ පින්තූර රාමුවේ සිටි අම්මා මුතූට “ඉවසන්න ” කිව්වා සේ මුතූට දැනුණා.

     දිමුතු මලිත්ව විවාහ කරගත්තේ මීට අවුරුදු තුනකට පෙරයි. විවාහ යෝජනාවකින් විවාහ වුණු දිමුතුගේ විවාහ ජීවිතය සතුටින් ගත වූයේ ඉතා කෙටි කාලයක් පමණී. ඉතා උගත් කෙනෙක් වූ දිමුතු කල රැකියාවෙන් “ඉවත් වන්න”ට යැයි මලිත් කීවේ විවාහ වී වසරක් පමණ ගත වූවායින් පසුවය. එයට හේතු කීපයක් බලපෑවා. ප්‍රධානම හේතුව වූයේ උසස් තනතුරක් දැරූ මුතූ නිතරම රාජකාරි රැස්වීම් වලට සහභාගී වීමෙන් මලිත් තුල හට ගත් සැකය නිසාවෙනි.

“ඔහේගේ ෆෝන් එක අදත් ඕෆ්.මම කී පාරක් කෝල් කලාද…?ඔෆිස් එකට කෝල් කලා. මලීෂා කිව්වා මීටින් කියලා. ඔය ඔෆිස් එකේ අනිත් උන්ට නැති මීටින් ඔහේට තියෙන්නේ කොහොමද..? “

“අනේ…තේරුම් ගන්න මලිත්. මලීෂා කියන්නේ රිසෙප්ෂන් එකේ ඉන්න ළමයා. එයාලා මීටින් වලට එන්නේ නෑ. මම ඔයාට උදේ යද්දීත් කිව්වනේ අද මීටින් එකක් තියෙනවා කියලා. ඒ මීටින් වලදී කවුරුවත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ…”

“මේක හරියන්නේ නෑ. එක්කෝ  මේ කසාදේ නවත්තමු නැත්තම් ඔය රස්සාව නවත්තනවා… “

“අනේ මලිත්…මෙච්චර වටිනා රස්සාවක්….”

වටිනා…??? පිරිමි එක්ක මුකුලු කර කර ඉන්න එක වටිනා රස්සාවක්ද ගෑණියේ…??”

එතනින් නොනැවතුණු මලිත් සුපුරුදු පරිදි අත පය වල හිරිය නැති කරගන්නට අහිංසක මුතූට පහරවල් කීපයක්ම ගැහුවා. හැමදාමත් වගේම එදත් මුතූ ඉවසුවා. නමුත් මේ ඉවසීමේ සීමාව නැතිවෙන කාලය වැඩි ඈතක නොවන බවත් මුතූ දැනගෙන හිටියා.

පසුවදා උදෑසන අවදි වූ මුතූ තඩිස්සි වූ මුහුණ කණ්ණාඩියෙන් බැලුවා. මලිත්ගේ අතේ ඇඟිලි පහරවල් වෙනදා මෙන් මුහුණේ සටහන්ව තිබුණා.

‘අදනම් නොගිහින් බෑ.ඉන්දියන් කම්පැනි එකේ අය එක්ක තියෙන මීටින් එකට යන්නම ඕනේ…’

මුතූ උදෑසන සහ දහවල් කෑම පිලියෙල කර මලිත්ට පාර්සල් දෙකක් සූදානම් කර ඔහුගේ කාර්යාල බෑගයේ දමා ඔහුගේ ඇඳුම් සහ රාජකාරියට යන සියල්ලද සූදානම් කලා. අඩුම තරමේ ඔහුගේ පසුම්බිය අසල රුපියල් දාහක නෝට්ටුවක්ද තබන්නටත් ඇය අමතක කලේ නෑ . ඒ වනවිටත් මලිත් හිටියේ තද නින්දේ. ෆිනෑන්ස් ආයතනයක සේවය කරන මලිත්ට ආයතනයෙන් මෝටර් සයිකලයක් ලබාදී තිබුණා.මුතූව රාජකාරියට රැගෙන යාමට ආයතනයෙන් මෝටර් රථයක් දිනපතා නිවසට ආවා. මුතූටම වෙන්වුණු එම රථය නිවසේම තබා ගන්නයැයි ආයතනයෙන් පැවසුවද මුතූ එයට කැමති වූයේ නැත. මලිත්ට වඩා වැඩි වැටුපක් මුතූ රැකියාවෙන් ලබා ගත්තා. කිසිම දෙයක පරිස්සමක් හෝ ඉතිරියක් මලිත්ට තිබුණේ නැහැ. මලිත් මත්පැනට හා සූදුවට ඇබ්බැහි වී තිබුණා. ඒ නිසාම තමන් ගන්නා වැටුපෙන් වැඩි කොටසක් මලිත් වැයකලේ සූදුවට හා මත්පැනටයි. මුතූගේ මව මුතූගේ විවාහවූදා මුතූට නිවසක්, රන්ආභරණ,  බඩු භාණ්ඩ හා විශාල මුදලක් තෑගි නොදෙන්නට මුතූට සිදුවන්නේ නිවැස් කුලියක් මාස්පතා ගෙවන්නටය.නමුත් මවට පිංසිදුවන්නට ඒ ගෙවීමෙන් නිදහස් වන්නට මුතූට හැකි වුණා.

මුතූ හැඳපැලඳ කණ්ණාඩි ඉදිරියේ  ඉන්නා තමන්ගේම මුහුණ අතගා බැලුවා. කොයිතරම් වත්සුණු තැවරුවද මුහුණේ තඩිස්සි වීම නොපෙන්වන්නට මුතූට පුලුවන් වුණේ නැහැ.

“නෝනා….අදත් මහත්තයා…?”

මුතූගේ වාහනය පදවන ගුණපාලට මේ වෙනස තේරුණා.

“ඔව්…ගුණපාල අංකල් මට තේරෙන්නේ නැහැ මේ ජීවිතේ මොකක්ද කියලා. කිසිම හේතුවක් නැතිව මෙහෙම ගුටි කන එක මට දැන් ඉවසන්න බැහැ…”

“තව ඉවසන්න නෝනා…”

“ඉවසනවා කියල ගෑණියෙක්ට මේ තරම් ඉවසන්න පුළුවන්ද ගුණපාල අංකල්. කිසිම වරදක් නොකර මම මෙහෙම ගුටි කනවා කියලා මගේ අම්මා  දන්නවනම් ඒ මනුස්සයාගේ පපුව පැලිල මැරෙයි. දන්න කාලෙක මගේ අම්මා මට පහරක් ගහලා නෑ…”

මුතූ තමන්ගේ හිතේ ඇතිවෙන දුක කිව්වේ ආයතනයේ තමන්ගේ රියදුරාට. තමන්ගේ පියාගේ වයසේ පසුවන ඔහු වෙලාවකට තමන්ගේ දරුවකු සේ තම දුක සැප සොයා බැලුවා. ගුණපාලගේ බිරිද වුණු සෝමාද මුතූට දරුවකුට සේ ආදරය කලා. නමුත් ඒ හැම මොහොතකම මුතු තමන්ගේ ‘බොස් ‘බව ඔවුන් අමතක කලේ නෑ. හැම මොහොතකම ඇයට ගෞරව කලා.

දවස් සති මාස අවුරුදු ගෙවුණා. ඒ කාලය තුලදී මුතූට සිදුවූයේ තම විවාහ ජීවිතයේ අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වීමයි. හිතට සැනසීමක් නැති තරම්.

” අද අර ගුණපාලයා එක්ක හිල්ටන් එකට ආවා කියලා මට යාලුවෙක් කිව්වා. මට ලැජ්ජාවේ බෑ.දැන් ඒ ගමන තමුසේ  ඩ්‍රයිවරයත් එක්කත් හෝටල් ගානේ යනවද….”

දවසක් මලිත් බයිසිකලයෙන් බැස නිවසට ආවේ දුම්මල වරම අතට අරගෙනමයි.  කෙස් වැටියෙන් අල්ලා ගත් මලිත් මුතූගේ කම්මුලට ගැසුවා. බීමතින් සිටි මලිත්ගේ ඇස් රත්පැහැ වී ඇති බව මුතූ දැක්කා.

“මලිත්…කියන දේ අහන්න.මම අද ගියේ ඔෆිස් එකේ වැඩකට. ගුණපාල අංකල් තමයි මගේ ඩ්‍රයිවර්. එහෙම නැතිව….”

මුතූට කියන්න ලැබුණේ එපමණයි. නැවතත් මලිත්ගෙන් යටි බඩට එල්ල වුණු පා පහරින් මුතූ මුළුතැන්ගෙයි දොර අසල ඇඳගෙන වැටුණා. තවත් පහරක් එල්ල කරන්නට මලිත් සූදානම් වනවාත් සමඟම මුතූ අමාරුවෙන් නැගිට මලිත්ව අල්ලා ගත්තා. වෙනදා නොතිබුණු ගැහැණු හයියක් මේ ගැහැණියට එකතු වුණා. කාලයක් තිස්සේ නොකල වරදට කොයිතරම් නම් අපහාස වින්දාද..? රටේ ඉන්නා කීයක් නම් පිරිමින්ව ආදා ගෙදර පිරිමියාම තමන්ට  කොයිතරම් නම් කතා ගොතන්න  ඇත්ද..? ජීවිතයටම එකම පිරිමියා ‘මලිත්’ යැයි සිතා සිටියදී වෙන පිරිමින් ජෝඩු කරද්දී ඉවසා සිටිය කාලය දැන් අවසාන් වන්නට ලඟයැයි මුතූට සිතුණා.

“මේක හරියන්නේ නෑ මලිත්. මෙච්චර කාලයක් මම ඉවසුවා. අද මම රස්සාවෙන් අයින් වුණා. ඒකට මම වෙනුවෙන් හිල්ටන් එකේ පොඩි උත්සවයක් තිබුණා. මට ඕන වුනේ රස්සාවෙන් අයින් වෙලා ගෙදර නැවතිලා ඔයා එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න.මේ රස්සාව නිසා පිරිමි කී දෙනෙක් ඔයා මට ජෝඩු කරලා ඇත්ද.මම දන්නෙවත් නැති පිරිමි මාත් එක්ක ඇඳේ නිදිය ගන්නවා කියලා ඔයා කොයිතරම් කතා හැදුවද…?මම ඒ කිසිම පිරිමියෙක් එක්ක නිදා ගත්තේ නැහැ. හැබැයි ඔයා ක්ලබ් ගිහින් ගෑණු එක්ක නටලා ඒ ගෑණු කීදෙනෙක් එක්ක හෝටල් වල නිදා ගත්තද කියලා මම දන්නවා. ඒවට සාක්ෂි මම ලඟ තියෙනවා. මගේ රත්තරන් බඩු විකුණලා ඔයා ඒ ගෑණුන්ට එපාට්මන්ට් අරන් දුන්න බවත් මම දන්නවා. හැබැයි අපේ විවාහ ජීවිතේ නිසා මම ඒ හැමදේම ඉවසුවා. දැන් මේ හොදටෝම ඇති. මම ඔයාගෙන් දික්කසාද වෙනවා. මට ඒක දෙන්න…”

මෙතෙක් කාලයක් හිතේ හිර වෙච්චි දුක වචනවලින් මුතූ පිටකලා. මලිත්ට කරකියා ගන්න දෙයක් නැති වුණා. මුතූ කිව්ව හැම දෙයක්ම ඇත්ත බව ඔහු දැන සිටියා. බීමත් කමට ලොල් වුණු මලිත් සමාජ ශාලා වල ගැහැණුන්ගේ පහසටද ලොල් වුණා. එයින් ඔහු පමණක් නොව ඔහුගේ විවාහ ජීවිතයද දෙදරා ගියා. මාස කීපයකට පසුව මුතූට ඇය බලාපොරොත්තු වුණු දික්කසාදය හිමිවුණා.

වැදගත් රස්සාවක් කල මුතූට නැවතත් එම රස්සාවටම ආරාධනා ලැබුණද ඇය එය නැවතත් බාර ගැනීමට අකමැති වුණා. ඒ නිසාම ටික දවසකින් හොඳ රැකියාවක් සොයා ගන්නා තුරු ඇය මාස කීපයක් වේදනාකාරී අතීතය අමතක කර නැවතත් අලුත් නිදහස් ජීවිතයක් පටන් ගන්නට හිත හදා ගත්තා.

“අක්කා…අපේ අම්මා කියන දේවල් ගණන් ගන්න එපා. අම්මයි අක්කයි හැම වෙලේම අයියගේ පැත්තේ කියලා ඔයා දන්නවනේ. මට ඒ අය ගැන ලැජ්ජායි….”

“මට ඇයි මේ අය දැන්වත් පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ නංගි. ..ඊයේ ඇවිත් අම්මලා මට කෑ ගහලා ගියා. ඇත්තම කිව්වොත් දැන් අපි දික්කසාද වෙලා මාස පහකටත් වැඩියි. ඇයි මේ අය මම ගැන දැනුත් හොයන්නේ නංගී…”

මලිත්ගේ නැගණිය ආ මොහොතේ නිවසේ සීනුව නාද වුණා. තරුණයන්   දෙදෙනෙකු සමඟ තරුණියක් මුතූ මුණගැසෙන්නට පැමිණ සිටියා. මෙයින් මලිත්ගේ නැගණියගේ හිතේද සැකයක් ඇතිවුණා.

“ඒකි ඔය ගේ ඇතුලට පිරිමින් ගෙන්වා ගන්නවා. සමහර කපල් වලට කාමර පවා දෙනවා… හිටපන්කෝ ඔය පිරිමි ආපු වෙලාවක මම බඩුත් එක්කම පොලිසියට ඔත්තුව දෙන්න “

අම්මා කියපු කතාවේත් යම් ඇත්තක් ඇති බව මලිත්ගේ නැගණියට තේරුණා. ටික වේලාවක් ආ පිරිස සමග ගේ දොරකඩදීම කතා කොට ඔවුන් පිටත් කළ මුතූ නැවතත් පැමිණ නැගණිය අසලින් අසුන් ගත්තා.

“මම යනවා…”

කේන්තියෙන් නැගිට ගත් නැගණිය බෑගයද කර දමා යාමට සූදානම් වුණා. ඒත් සමඟම මුතූ නැගණියගේ අතකින් අල්ලා ගත්තා.

“නංගී… මේක බලලා ඉවර වුණාට පස්සේ ඔයා ගියාට කමක් නෑ ….”

මුතූ ඇයව අසල තිබූ කාමරය වෙතට ගෙන ගියා. කාමරය දුටු දෙයින් නැගණියට සියල්ල පැහැදිලි වුණා. පන්ති කාමරයක් සේ සැකසුණු කාමරයේ බිත්තියේ එල්ලී තිබුණු බෝඩ් එකේ හින්දි අකුරු කීපයක් ලියා තිබුණා. මේසයේ හින්දි  , ඉංග්‍රීසි පොත් කීපයක්, ලැප්ටොප් පරිගණකයක්,  පෑන් කීපයක්; හතර දෙනෙකුට එකවර  සුවපහසුවෙන්  ඉගෙන ගත හැකි පන්ති කාමරය සියල්ල නැගණියට වටහා දුන්නා.

“මට  සමාවෙන්න අක්කා…”

මුතූ ඇයව අසුනක වාඩි කරවා ඇයද වාඩි වුණා.

“රස්සාවෙන් අයින් වුණාට පස්සේ ආයෙත් ඒ රස්සාවටම යන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඔයා දන්නවනේ මට හින්දි භාෂාව පුලුවන් කියලා. ඒ නිසා මම ගෙදරට ලමයි ගෙන්වලා හින්දි , ඉංග්‍රීසි උගන්වනවා. ලැබිච්ච සල්ලි වලට වඩා පෑරිච්ච මගේ හිතට ඒක ලොකු සහනයක් වුණා. දැන් ලමයි විස්සක් විතර සතියකට එනවා. ඔයාගේ අම්මගේ හිතේ මම ගෙදරට පිරිමි ගෙන්නලා මගේ ආසාවල් ඉෂ්ට කර ගන්නවා කියලා. මලිත්ගෙන් වෙච්ච පීඩනය මට හොදටම ඇති නංගී….”

මුතූට මේ ඇත්ත කාටවත්ම කියන්න ඕන වුණේ නෑ. තමන්ගේ නොවන මිනිසුන් ඉදිරියේ තමන්ගේ පිරිසිදුකම, නිවැරදිභාවය කියන්නට ඇයට ඕන වුණේම නැහැ. තමන් වරදක් නොකරන බව මුතූගේ හෘද සාක්ෂිය දැන සිටියා.  මිය ගිය අම්මා කොහේ හෝ තැනක හිඳ තමන් ගැන  බලා සිටින බව ඇයද දැන සිටියා.

ලබන සතියේ සිට නැවතත් ඇය වසර කීපයක් සේවය කල ආයතනයේම සේවය කරලන්නට යාමට නියමිතයි. තමන් කිසිවකුටවත් වරදක් නොකල කෙනෙකී.ඒ නිසා තමන්ටද වරදක් නොවන බව ඈ විශ්වාස කලා.ඉතින්  මේ එලඹෙන්නේ මුතූගේ ජීවිතේ වසන්ත කාලයයි.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content