“සින්දුවක් කරන්න කලින් කන බොන ක්‍රමයක් හොයා ගන්න වෙනව..”
ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් සකසමින් මාධව එසේ කියද්දී එරන්ද සිගරට්ටුවක් අලු කරමින් අසා හුන්නේ ය.මාධව කියන්නේ කුමක්දැයි එරන්දට වැටහේ.ඔහු සිටියේ එය නෑසුණු ලීලාවකිනි.
“මේ ගෙදර රෙන්ට් එක එක මාසයක් ගෙවන්න උඹට බෑ නිලැසි නාවොත්..”
මාධවගේ හඬ අභියෝගාත්මක ය.එරන්ද එය නෑසූ කන්ව මොහොතක් සිටියේ ය.සැබෑවටම තමන් ගැන අධි තක්සේරුවක් ඇතිව ජීවත් වන එරන්ද රැකියාවක් කරන්නට නොකැමති ය.කුමක් හෝ රැකියාවක් කර තමන්ගේ ඉපයීම් සොයා ගැනීම වෙනුවට ඔහු විශාල සිහින දකින්නට ප්‍රිය කළේ ය.
“මං සල්ලි හොයනවනම් හොයන්නෙ මගෙ ටැලන්ට් එක විකුණල විතරයි.”
ඔහු කියන්නේ එහෙම ය.ඔහුගේ දක්ෂතාවය දැක එය මිලට ගන්නට අය පැමිණිය යුතු යැයි මාන්නයකින් ජීවත් වන එරන්ද තමන්ගේ හැකියාවන්ට මිලක් තනා ගන්නට ද උනන්දු නොවේ.එවැනි ජීවිතයක් ගෙවන ඔහුට ඉපයීම් මාර්ගය ලෙස ඉනික්බිති පෙනෙන්නට පටන් ගත්තේ නිලැසි වැනි ධනවත් ගැහැනුන් ය.
ඔහු අවසානයේ ආදරය අලෙවි කිරීම තෝරාගෙන් තිබිණ.එය එරන්ද වැනි මී පැණි තැවරූ වචන භාවිතා කරන මිනිසෙකුට අලෙවි කළ හැකි පහසුම දේ නිසා එරන්ද අසාර්ථක වූයේ ද නැත.
“ටියුෂන් එකක් කරල, එහෙම නැත්නම් මොකක් හරි රස්සාවක් කරල උඹට සල්ලි හොයන්න වෙනව එරා.නැත්නම් නිලැසිට ආයේ කතා කරපං.ඒ මාර්ග දෙක ඇරෙන්න උඹට ගොඩ යන්න බෑ..”
මාධවගේ වචන යළි යළිත් ඇසෙමින් තිබූ මොහොතක එරන්දගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ ය.
“තරහ වෙන්නෙපා ඔහොම..”
නිලැසි අනෙක් පස හිඳ පවසන්නේ කෙඳිරුම් ස්වරයකිනි.එරන්දගේ දෙතොල් මත සිනාවක් පිපී ආයේ ය.
“ඔයා මට වඩා අනිත් උන්ගෙ ටැලන්ට් විශ්වාස කරාට තරහක් මට ආවේ.අනිත් එක මට ඕන උනා ඔයා මට ඇත්තටම ආදරේද බලන්න…”
එරන්ද මුමුණන්නට වූයේ නිලැසිගේ හදවත යළිත් තම ග්‍රහණයට ගන්නට සිතමිනි.නමුත් ඔහු සිතන තරමටවත් එයට වෙහෙසෙන්නට නුවුමනා බව ඔහුට ඊළඟ තත්පරය ඉඟි කළේ ය.නිලැසි ඉකි ගසා හඬමින් හිටියේ පාසල් වයසේ ප්‍රේමවන්තියක ලෙසිනි.සිත් ගත් තරුණයා තමන් දෙස නොබලා යන්නට යාම පවා වේදනාවක් කරගන්නා දැරියක ලෙස මේ තිස් විය ද ඉක්මවූ ගැහැනිය ලාමක තරුණියක වෙමින් සිටියා ය.
“ඔයාට මං තරම් කවුරුත් ආදරේ නෑ.ඒත් ඔයා ඒක විශ්වාස කරන්නෙත් නෑ.මට කියන්න මං කොහොමද ඔයාට ආදරේ ඔප්පු කරන්න ඕන.”
නිලැසි එසේ අසද්දී එරන්දට සිනා නැඟිණ.මේ ගැහැනියගෙන් ගොඩ නැගී අනාගතයක් වෙත පියමං කිරීම කිසිසේත්ම මඟ හැර ගත යුතු නැතැයි ඔහු අනතුරුව සිතුවේ ය.
“ඔයාට ඩුවට් එකක් කරන්න මං සේරම දේවල් ලෑස්ති කරා.ඔයා දන්නවද කවුද ඔයාගේ පාට්නර් කියලා..”
නිලැසි අසන්නේ කුඩා දැරියක තම ප්‍රියතම සෙල්ලම් බෝනික්කා ගැන පවසන තරමේ සන්තෝසයකිනි.
“මානවී අක්කි ..”
ඇය නැවත පවසයි.මානවී නම් යොවුන් විය ඉක්මවමින් හිඳින ගායිකාව රාජේන්ද්‍රගේ අනියම් බිරිඳ බවට කොහෙන් හෝ අසා තිබූ කතාන්දරය එරන්දට සිහිව ආවේ ඒ මොහොතේ ය.එය එසේ නම් නිලැසි ඈ සමඟ හිතෛෂී විය හැකිදැයි ඔහු ඊළඟ මොහොතේ සිතී ය.
“මට මේ ලෝකේ විශ්වාස කරන්නම පුලුවන් කෙනා මානවී අක්කා.මං එයාට හරි ආදරෙයි.”
නිලැසි එසේ පවසා මොහොතක් නිහඬ වූවා ය.තම ප්‍රේමය දුර හිඳ සැනහෙන ප්‍රේමයක් වුව ද නිලැසිට ඇගේ ප්‍රේමය දිනන්නට තවමත් ඕනෑ තරම් කාලය ඇති බව මානවී පැවසූ අයුරු ඇගේ හද බිත තුළ නින්නාද දෙමින් තිබිණ.වැඩුණු දරුවන් සහ රසාදරී අතැර මානවී වෙත එන්නට රාජේන්ද්‍ර සිහිනයකින්වත් නොසිතූ නමුත් මානවී එයට කම්පා නොවූවා ය.නමුත් තිසරු අතැර එරන්ද වෙත යන්නට ඇය නිලැසිට ශක්තියක් වීමට පටන් ගෙන තිබිණ.
“ආදරේ කරන මනුස්සයා ගාව ඇස් පියා ගන්න ලැබෙන මිනිස්සු වාසනාවන්තයි ලොකු බබා.මාව දිගැසිවත් නිම්නවත් තේරුම් නොගත්තට ඔයා තේරුම් ගත්තා.ඒකයි මං ආදරේ.රසාදරී මිස් ගලක් වගේ හිටියට අපි තිසරුව දිය කරමු.තමන් ආදරේ කරන කෙනාගේ සැනසීම වෙන ගෑනියෙක් ළඟ තියන එක රසාදරී මිස් ඉවසන්නේ ඔයාලා නිසා.තිසරුට එහෙම ඉවසන්න හේතු නෑනෙ..”
වියවුලට පත් නිලැසි තවත් පටලවන්නට ඒ වචන ඕනෑවටත් වැඩි විණ.ඇය එරන්දගේ ජීවිතය වෙනුවෙන් ඇපකැප වෙන්නට සිතා ගත්තා ය.
“එරන්දට පාරක් හදලා දීලා ඔයා එයා ගාවට යන්න..”
මානවී එසේ කියද්දී නිලැසි ඇගේ විශාලම සැකයත් භීතියත් මානවීට පැවසුවා ය.
“එයා මාව බාර ගනීද කියල සැකයි.මට තිසරු යන්න නොදුන්නොත්..”
මානවී හිනැහුණේ සැහැල්ලුවෙනි
“තමන් අයිති කරගෙන ඉන්න මනුස්සයා ආදරේ කරන්නේ වෙන කෙනෙකුට කියන එක මහ මරණීය වේදනාවක් ලොකු බබා.තිසරුට ඕන ඒක විඳින්න නම්..අපි ඇයි එයාට බාධා කරන්නේ?”
තිසරු තමන් රිදවන්නට සිතන්නේ නම් ඔහුට වේදනා අයත් කරන්නට දෙවතාවක් සිතිය යුතු නැති බවට නිලැසි සිතුවේ මානවීගෙන් ලැබෙන පිටුබලය නිසාවෙන් ය.