මතක දිගහැරුම 113- අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දහතුන්වන දිගහැරුම ,

වෛද්‍යවරයා පැවසූ ආකාරයට තාත්තාගේ උදරයේ ඇති ගෙඩිය ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදු කිරීම පිළිබඳව ඔහුගේ අදහස විමසිය යුතුව තිබුණි.

” තාත්ති doctor කිව්වා පොඩි ගෙඩියක් තියනවා කියලා තාත්තිගේ බඩේ.ඕක තියන් හිටියොත් දිගටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බඩවැල වැහිලා ගිය සැරේ වගේ.ඉතින් අපි ඔපරේෂන් එකක් කරනවද ? තාත්ති මොකද කියන්නේ ? “

” නෑ නෑ මට මොකුත් වෙන්නේ නෑ .ඔයා බුදුන් වඳින කොට මට ඒ කරන ආශිර්වාදය ම ඇති “

තාත්තා එසේ පැවසුවේ දැඩි විශ්වාසයකිනි.මා බුදුන් වඳින විට තාත්තා මා අසලට පැමිණ හිස පහත් කරගෙන සිටින්නේ මා බුදු පහනේ තෙල් රැගෙන තාත්තා ගේ හිස ගල්වන තුරුය .පුරුද්දක් වශයෙන් මා තාත්තාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එසේ තෙල් ගැල්වීම සිදු කළෙමි .එවිට තමන්ගේ සියලු ලෙඩ දුක් සුව වන බව තාත්තා විශ්වාස කළේය.තාත්තාට එය තරම් විශ්වාසයක් වෙන කිසිදු දෙයක් පිළිබඳ වත් තිබුනේ නැත.

සෙනසුරාදා දිනයන් වලදී මා විසින් නිවසේ විශේෂ පූජාවක් සිදු කරමි.ඒ සඳහා පවුලේ සැම දෙනාගෙන්ම මා හට ලැබෙන්නේ විශාල සහයෝගයකි.එයට අවශ්‍ය නෙළුම් මල් සහ පිච්ච වැල් සකස් කිරීම තාත්තා විසින් සිදුකරන අතර මගේ වැඩිමහල් පුතුන් දෙදෙනා සහ හෂාන් එකතු වී මුරුතැන් බත් සකස් කිරීම සිදු කරයි.

කෙසේ හෝ තාත්තා අවසන් හුස්ම හෙළූ බව දැනගත් මොහොතේ දී මා හට සිහියට නැගුණේ සල් ගසේ අතු කැපීම පිළිබඳව සිදුවූ සිදුවීම සහ අපගේ වැඩිමහල් පුතු විදෙස්ගත වන අවස්ථාවේදී තාත්තා හැඬූ විට මා හට දැනුනු අමුතුම ආකාරයේ හැඟීමත් ය.සල් ගසේ අතු කපා තිබුණු ආකාරයෙන් යම් නරක සිදුවීමක් ඉදිරියේදී සිදු වෙතැයි මා හට පෙන්නුම් කළ බව මට සිතුනි.එදින සවස, වයස අවුරුදු දහනවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලියක් සඳහා හෂාන් ප්‍රථම වතාවට ප්‍රධාන පුහුණුකරු ලෙස හිල්ටන් හෝටලයට පැමිණීම වාර්තා කිරීමට නියමිතව තිබුණි.එය ජාතික වගකීමක් නිසා එය ඉටු කරන අතරතුරදීම තාත්තාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීමටත් හෂාන් හට පැවරුනි.කොළඹ හෝටලයේ සිට පිලියන්දල අප නිවසට යාම සහ ඒම දුෂ්කර නිසාත් , හෂාන්ගේ සහයෝගය නොමැතිව නිවසේ අවමංගල්‍ය කටයුතු කර ගැනීම අපහසු නිසාත් මල් ශාලාවක තාත්තගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කිරීමට අප සැලසුම් කළෙමු.

අම්මාගේ අවමංගල්‍ය කටයුතු අප නිවසේ සිදුකළ අවස්ථාවේදී පැමිණි විශාල සෙනගත් , අප දැරූ මහන්සියත් දුටු තාත්තා නංගි සමග දිනක් පවසා තිබුනේ කෙදිනක හෝ ඔහුගේ අවසන් කටයුතු ඉක්මනින් සිදු කරන ලෙසත් , අවමංගල්‍ය කටයුතු නිවසේ සිදු නොකර එය මල් ශාලාවක සිදු කරන ලෙසත්ය.ඒ බව නංගි විසින් මා හට පැවසුවේ නැති අතර තාත්තා මිය ගිය අවස්ථාවේදීද ඇය ඒ පිළිබඳව පැවසුවේ නැත.නමුත් ඒ මොහොතේ පැවැති අපහසුතාවය මත තාත්තාගේ අවමංගල්‍ය කටයුතු ජයරත්න මල් ශාලාවේ සිදු කිරීමට අප තීරණය කළෙමු.චමරී ජයරත්න මගේ ඉතාම හොඳ මිතුරියක වන බැවින් ඇය ඇමතූ විගස ඇය අපට අවශ්‍ය සියලුම කටයුතු කිසිදු අඩුපාඩුවකින් තොරව සුදානම් කර දුන්නාය.

ජයරත්න මල් ශාලාවේ තාත්තගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කිරීම හෂාන් හට විශාල පහසුවක් විය.තරගාවලියට සහභාගි වන ඔහු තාත්තාගේ අවමංගල්‍යයටද සහභාගි වෙමින් ඔහුගේ යුතුකම ඉටු කළේය. තාත්තාට අවසන් ගෞරව දැක්වීම පිණිස ඔහුගේ දේහය මල්ශාලාවේ තබා තිබුණේ ඔහුගේ කැමැත්ත පරිදි එක රැයක් පමණි.ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණි අතර තාත්තා ඔහුගේ අවමංගල්‍ය කටයුතු මල් ශාලාවක පැවැත්වීමට සිදු කරන ලෙස ඉල්ලා සිටි බව නංගි මට පැවසුවේ එවිටය.

” තාත්ති කැමති වුණේ නෑ ඔයාලා කරදර වෙනවාට. එයාට ඕන වුණේ එයාගේ අවසන් කටයුතු මල් ශාලාවක කරන්න. අම්මිගෙ මලගෙදර වෙනුවෙන් ඔයාලා වෙච්ච මහන්සිය එයා දැක්කනෙ “

තාත්තාට අවසන් ගෞරව දැක්වීමට පවුලේ නෑදෑයන් , හිතවතුන් , අපගේ මිතුරන් සහ ක්‍රිකට් වලට සම්බන්ධ බොහෝ පිරිසක් ද සහභාගී විය.තාත්තාගේ අවසන් කටයුතු සිදු කෙරුණු දින උදෑසන වෛද්‍ය ලලිත් ඒකනායක මහතා තාත්තා ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියේය.

” අප්සාරි ට මතකද මම කිව්වා cancer එකට කලින් තාත්තිගේ ජීවිතය නැති වෙයි කියලා ? “

වෛද්‍යවරයාට එම සිදුවීම මතක තිබුණි.

” ඔව්. doctor ඒ වෙලාවේ කිවුවනේ තාත්තිව කපන්න කොටන්න එපා කියලා. ඇත්ත තමයි ඒක “

මා පිළිතුරු දුන්නෙමි

තාත්තාගේ අවසන් කටයුතු සිදුකර ආපසු නිවසට පැමිණි විට වෛද්‍යවරයා පැවසූ දේවල් සිහිපත් වී මා තාත්තගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බැලුවෙමි.කෙසේ හෝ තාත්තා මිය යන විට එම වෛද්‍ය පරීක්ෂණය සිදු කර අවුරුදු හතර හමාරක් ගත වී තිබුණි.නමුත් වෛද්‍යවරයා එදින පැවසුවේ අවුරුදු දෙකක් හෝ දෙක හමාරක් වැනි කාලයක් තුළ තාත්තගේ උදරයේ පැවති එම ගෙඩිය විශාල වී බඩවැල් අවහිර විය හැකි බවයි.වෛද්‍යවරයා පැවසූ කාලයටත් වඩා කාලයක් ජීවත්ව සිටි තාත්තා මිය ගියේ ද එම පිළිකාව නිසා නොව හෘදයාබාධයක් හේතුවෙනි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles