චූටි බබාව ඩේ කෙයාර් දාන්න කලින් මේ  ගැනත් හිතන්න

හැම මවකට ම, පියෙකුට ම මේ ලෝකයේ වටිනාම සම්පත තමයි දරුවන්. දරුවා පිළිසිඳගත් දවසේ පටන් ම සිඟිත්තාගේ රැකවරණය ගැන මව්පියන් වෙහෙසෙන්නට පටන්ගන්නේ ඒ නිසයි. නිසි පෝෂණය, ආදරය, වගේ ම රැකවරණය හැම දරුවෙකුටම අත්‍යවශ්‍යයි. ඒත් දරුවා ඉපදී ටික දිනකට පසු රැකියාවට යන්නට සිදුවන මවුවරුන්ට තමන්ගේ දරුවන්ට අවශ්‍ය පෝෂණය, ආදරය වගේම රැකවරණය ලබාදෙන්නට වෙනත් පිරිසකගේ හෝ ආයතනයක සේවය ලබාගන්නට සිදුවෙනවාමයි.

ආච්චි අම්මලා ළඟ හෝ සමීප ඥාතීන් ළඟ හෝ දරුවන් බලාගන්නා සේවිකාවක් ළඟ හෝ තමන්ගේ දරුවන් තබායන්නට සමහර මවුවරුන් කටයුතු කරන නමුත් මේ වනවිට රට පුරා හැමතැනකම වගේ දකින්නට ලැබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන් රඳවා තබන්නටත් බොහෝ මවුපියන් පෙළඹෙන බව පෙනී යනවා.

කොහොම වුණත් මේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන හැම එකක් ම එක හා සමාන ගුණාත්මක ප්‍රමිතියකින් ක්‍රියාත්මක නොවීම අපේ රටේ තවමත් විසඳී නැති ගැටළුවක්. මේ නිසා තමන්ගේ දරුවා ආරක්ෂිත, වගකීම්සහගත ඒ වගේම පහසුකම් ඇත්තටම තියෙන මධ්‍යස්ථානයකට භාර දෙන එක දෙමව්පියන්ට ලොකු අභියෝගයක්. පිටින් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුවලින් මතු කරන තත්වයට වඩා බොහෝ මධ්‍යස්ථානවල ඇතුළත තත්වය වෙනස්. මේ නිසා ඉතා සැලකිලිමත් ව ඔබේ දරුවන්ට ගැළපෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයා දීම පැහැර නොහැරිය යුතු වගකීමක්. මේ නිසා පහත කරුණු කෙරෙහි ඔබ විශේෂයෙන් ම ‍අවධානය යොමු කළ යුතුයි.

ඔබ තෝරා ගත්තේ…… :

දරුවා රඳවා තබන්නට අවශ්‍ය පහසුකම් සහිත ප්‍රමිතියකින් ක්‍රියාත්මක වන තැනක් ද?

ඇතුළත පහසු වාතාශ්‍රය තිබෙනවා ද, බිම පිරිසිදු ද, යොදා ගන්නා සෙල්ලම් බඩු සහ ඔංචිල්ලා ඇතුළු ක්‍රීඩා උපකරණ පිරිසිදු ද? ආරක්ෂිත ද, ජලය සහ විදුලිය ආරක්ෂිතව ‍සපයා තිබේ ද? මේ හැම දෙයක් ම හොඳින් සොයා බලන්න.

ඔබේ රැකියා ස්ථානයට ආසන්න ස්ථානයක් ද

හදිසි අවශ්‍යතාවක දී ඔබට දරුවා ගැන සොයා බලන්නට පහසුවෙන් යාමට හැකි වීම ඉතා වැදගත්. අසනීපයක දී එහෙමත් නැත්නම් වෙනත් වුවමනාවක දී දරුවා බලන්නට යාමට පහසු වන්නේ රැකියා ස්ථානයට තරමක් හෝ ආසන්නයේ එය පිහිටා තිබීමෙනුයි. ඒ විතරක් නොවෙයි, ඔබට යම් කිසි හේතුවක් නිසා ප්‍රමාද වී රැකියාවට එන්නට සිදුවන දවසක දී වුවත් කාලය ඉතිරි කරගන්නට එය වාසියක් වේවි.

ඔබ තෝරාගත් ස්ථානයට වාර කිහිපයක් ගොස් එහි සැබෑ ක්‍රියාකාරීත්වය සොයා බැලුවා ද?

ඔබට මෙම ස්ථානය ගැන ආරංචිය ලැබුණේ දැන්වීම් මඟින්, හිතවතෙක් මඟින්, ඒ ආයතනයට මීට පෙර තමන්ගේ දරුවන් යොමු කර ඇති මවකගෙන්, හෝ වෙනත් ආකාරයකින් විය හැකියි. ඔබ ඒ හරහා සොයාගත් තොරතුරු සැබැවින් ම නිවැරදි ද බලන්න නම් ආයතනයට පූර්ව දැනුම් දීමක් නොකොට වාර කිහිපයක් තමාම ගොස් පරීක්ෂා කිරීම ඉතා වැදගත්. දරුවන් සමඟ ඔවුන් කටයුතු කරන ආකාරය සහ එම ස්ථානය ගැන පැහැදිලි අදහසක් ලබාගන්නට ඔබට එවිට හැකිවේවි.

දරුවා අලුත් පරිසරයකට අලුත් පිරිසකට හුරුවන්නට සූදානම් ද?

දෙමව්පියන්ගේ උපරිම අවධානයට සහ ආදරයට ලක් ව සිටින දරුවෙක් අලුත් ආයතනයක අලුත් පිරිසක් වෙත යොමු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. එය දරුවාට වගේ ම මවුපියන්ටත් දරාගන්න අපහසු තත්වයක්. මුල් කාලයේ දී විවිධ දුෂ්කරතාවන්ට මේ නිසා මුහුණ දෙන්නට සිදුවේවි. මව්පියන් හැටියට ඔබ ඉතා ඉවසිලිමත්ව සහ උපේක්ෂාවෙන් කටයුතු කරනවා වගේ ම දරුවා‍ගේ මානසික තත්වය ඉහළ නංවන්නට අදාළ ආයතනයේ සහයෝගයද ලබාගත යුතුමයි.

දරුවා ගැන තොරතුරු සෑම දිනක ම ඔවුන්ගෙන් විමසා බැලිය හැකි ද?

දරුවා අදහස් ප්‍රකාශ කිරීමේ දී මුල් කාලීනව තරමක පසුබෑමක් දකින්නට ලැබේවි. නමුත් මෙය ටික කාලයකින් විස‍ෙඳෙන ගැටළුවක්. අනුගතවීම දරුවන්ටත් අපහසු ම නැහැ. එහෙත් දරුවා ප්‍රමාණවත් තරම් ආහාර ගත්තා ද? දුකින් ද සතුටින් ද කාලය ගත කළේ, යහළුවන් සමඟ එකතු වී කටයුතු කරනවා ද? ආදී තොරතුරු ඔවුන්‍ගෙන් දැනගන්නට හැකිවිය යුතුයි. ඔවුන් ඒවා ගැන ඔබ සමඟ වැඩිපුර කතාකරන්නට අකමැති බවක් පෙන්වනවානම් ඒ ගැනත් ඔබ දෙවරක් හිතන්න.

කැමති වෙලාවක අස් කරගැනීම සුදුසු ද?

මධ්‍යස්ථානයට දරුවා යොමු කිරීමෙන් පසුව වුණත් එම ස්ථානය නුසුදුසු යැයි ඔබට හැ‍ඟෙනවා නම් එයින් දරුවා ඉවත් කරගන්න. හැබැයි තැනින් තැනට පලින් පල දරුවන් රඳවන එක දරුවාගේ වර්ධනයට කිසිසේත් සුබදායී නැහැ. ඒ නිසා ඔබ හැමවිටම නිවැරදිම තීරණයක් ගන්නට උත්සාහ කරන්න. එය මධ්‍යස්ථානයේ අයටත් ඔබටත් විශේෂයෙන් ඔබේ දරුවාටත් වෙහෙසකර සහ අපහසු අත්දැකීමක් ‍නොවීමට වගබලාගන්න.

දරුවාගේ සෞඛාරක්ෂිත බව එහි දී තහවුරු වන්නේ ද?

දරුවා සෝදා පිරිසිදුව තබාගැනීමට, නිසි වේලාවට ආහාර ගැනීමට , අවශ්‍යතා සොයා බැලීමට, මධ්‍යස්ථානයේ නිලධාරීන් වගකීමෙන් කටයුතු කරනවාද, යන්න ගැන නිරන්තර අවධානයෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ම අසනීප වී ඇති දරුවන් මධ්‍යස්ථානයේ සිටින විට ඒ දරුවන් වෙනුවෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගන්නවා ද, අඩුම තරමින් ඔවුන්ට නිවැරදිව හා සැලකිලිමත්ව බෙහෙත් ‍ඖෂධ ලබාදෙනවා ද ආදිය සොයා බැලීම වැදගත්.

මධ්‍යස්ථානයේ නිලධාරීන් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති අය ද?

දරුවන් බලාගැනීමට පුහුණුවක් ඇති සේවිකාවන් වෙනුවට තවත් එක් රැකියාවක් හැටියට ඒ කටයුතුවලට සම්බන්ධ වී සිටින සේවිකාවන් නිසා සමහරවිට දරුවන්ට හරි අවධානයක් ආදරයක් ආරක්ෂාවක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නැහැ. දරුවන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන අය ඒ ක්ෂේත්‍රයේ සිටිය යුතුයි. දරුවන් බොහෝ විට සමීප වන්නේත් දරුවන්ට ආදරය කරන අයටයි. පාලිකාව ඇතුළු අනෙකුත් සේවිකාවන් පළපුරුදු අයවීම ඔබේ දරුවාට අවශ්‍ය රැකවරණය සහ ආදරය ලබාදීමේ දී ඉතා වැදගත්.

ආයතනයේ අයකිරීම් සාධාරණ ද?

විවිධ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවන් බලාගන්නවාට අයකරන ගාස්තු විවිධයි. මධ්‍යස්ථානවල තත්වයට නිශ්චිත ප්‍රමිතියක් නැහැ වගේම ගාස්තුවලටත් නිශ්චිත මුදලක් නැහැ. පහසුකම් හොඳින් සපයා ඇති දක්ෂ රැකබලාගන්නියන් සිටින මධ්‍යස්ථාන මූලික ඇතුළත් කිරීමේ ගාස්තුවක් ද අයකරනවා. මේ සියලු අයකිරීම්වලට අමතරව මාසිකව නිල ඇඳුම් සහ සේවා වෙනුවෙන් යම් යම් මුදල් එකතු කිරීම් ද සිදුවෙනවා. ඔබේ ආර්ථික මට්ටමට සරිලන, ලබාදෙන සේවයට අයකරන ගාස්තුව සාධාරණ යැයි ඔබට හැ‍ඟෙන ඔබේ දරුවාට පහසුවෙන් රැඳී සිටිය හැකි තැනක් සොයාගැනීම මේ නිසා ඉතා වැදගත්.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles