සැරිසරන්නී -41

‘ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්’ ආරම්භ කරත්දී මවෙත වූයේ යමක් කිරීමේ අවශ්‍යතාවය පමණි. නමුත් අලුත් ම ආයතනයක් මගේ නමින් ඇරඹූ පසු ජීවත් වන්නට මට හේතුවක් ලැබුණේ ය. ඊළඟට මම ඒ වෙනුවෙන් ජීවත් වන්නට පටන් ගතිමි.

මිස්ට පීරිස් නිතර කී මගේ නිර්මාණශීලීත්වය ගැන කතාව ඇත්තක් දැයි උර ගා බැලීම මගේ අභියෝගය විය. ලාභ වුණත් පාඩු වුණත් ඒ මට ම වන නිසාවෙන් මම ඉකාමත් හිතුවක්කාර ලෙස ව්‍යාපාරය ට අවතීර්ණ වෙමින් සිටියෙමි. මට ඕනෑ වූයේ තරඟකාරී වෙනත් ආයතනයක නොකෙරෙනා මල් සැරසිලි ගැන අවධානය යොමු කරන්නට ය. 

“පරිස්සමෙං සනූ. අපිට ස්ටැබ්ලිශ් වෙනකල් ගමන යන්න වෙන්නෙ ට්‍රැඩිශන් එකත් එක්ක. එකපාරටම හිතුවක්කාර පෙරළි කරන්න ගිහිං කෙළවගන්න හදන්න එපා”

සුනෙත් කීවේ දිවයිනේ කීර්තිමත් ම මල් සැකසුම් ආයතනයක වසර ගණනාවක් සේවය නිරීමෙන් ලද පලපුරුද්ද මත ය. ඊටත් වඩා ඔහු මා ගැන බය වූයේ ය. වද වුයේ ය.

එවන් විටෙක මම මඳහසක් නගා ගනිමි.

“මට ඕන විදිහට මේකවත් කරන්න එපැයි”

“ඔයා හිතුවක්කාර වෙනවට මං කැමතියි. හැබැයි මේ බිස්නස් එක වට්ටගනී කියල බයයි”

“මං දැං වැටිලි වලට බය නැති ගෑනියෙක් සුනෙත්. වැටෙන්න පුළුවන් අන්තිම පතුලට වැටිලත් ජීවත් වෙන ගෑනියෙක්”

“කරන දෙයක් පරිස්සමෙන්”

මල් සැරසිල්ලක් යනු මට ජීවිතයක් සරි විය. එවැන්නක් වෙනුවෙන් මම බොහෝ වෙහෙසුණෙමි. ඒ වෙහෙස  එවැන්නක් වෙනුවෙන් නියම කළ හැකි වෙළෙඳපොල වටිනාකම ඉක්මවූ බව මා නො දැන හිටියා නොවේ. නමුත් ඒ මුදල ඉක්මවන ආත්ම තෘප්තියක් මට ඉන් ලද හැකි විය.

වඩා වැදගත් වූයේ කිසි දා ස්ථිර ලෙස එක දිගට රැකියාවක් නො කළ ලොකු අයියාව මට ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් තුළ රඳවා ගත හැකි වීමයි. මම ඔහු ට ඇරඹුමේ හැටියට මට දැරිය හැකි වැටුපක් ලබා දුන්නෙමි. නිර්මාණශීලී කටයුතු වලට ඔහු ගෙන් දායකතවයක් ලද නො හැකි ම වී ද, ලොකු අයියා සිය කාය ශක්තිය මත කළ හැකි කටයුතු නොපිරිහෙලා ඉටු කළේ ය. ඊටත් වඩා මට ඔහු මත සියලු විශ්වාසයන් තබත හැකි විය. ඒ නිසා මගේ පසෙකින් ලොකු අයියා හිඳීම මට මහත් ශක්තියක් විය.

දැන් මට රැය පහන් වන තුරු වුව සිටින්නට මගේ ම තැනක් වේ. ඒ නිසා මම බොහෝ වේලා කාර්යාලය තුළ රැඳී හිඳීම පුරුද්දක් කර ගතිමි. ලොකු අයියාට ඕනෑ වෙලාවක පිටත් වන නිදහස ලබා දී තිබුණ ද, ඔහු පිටතට ගොස් ආවේ විශේෂ වැඩක් ඇත්නම් පමණි. කොහේ ගියත් මා සමග ගෙදර යන්නට ඔහු ආවේ ය.

“මොකද්ද සනූ මේ ජීවිතේ…ඔයා ගෑනු ළමයෙක්නෙ. ඔහොම රෑ වෙනකල් ඔෆිස් එකට වෙලා ඉන්නෙ නැතුව ගෙදර එන්න”

අම්මා කිහිප වකාවක් එසේ කීවා ය. මම සිනහ වුණෙමි.

“ඒක තමයි දැං මගෙ ජීවිතේ”

මා එසේ කීවේත් පෙර නගා ගත් සිනහවෙන් ම ය. නමුත් ඒ සිනහවට යටින් මගේ තුන් සිත හඬා වැටෙනා හඬ මට නො ඇසුණා නොවේ. නෑසුණා සේ ඉන්නට සිදුව තිබුණා පමණකි.

“ගෑනු ළමයෙක් ඔෆිස් එක කසාද බැඳගෙන වගේ ජීවත් වෙලා හරි යන්නෙ නෑනෙ. දැන් ඔයා කසාදයක් ගැන හිතන්න ඕනෙ”

හිතේ සංවේදී ම තැනක් කොනිත්තා අත් හරිනවා මට දැනිණ. මගේ මුවග වූ සිනහව වියැකී යන්නට ඇත.

“කසාදයක් බඳින්නෙ නැති නිසා තමයි මං ෆර්ම් එකක් පටන් ගත්තෙ. ඒ මත්තෙ ජීවත් වෙන්න”

අම්මා තිගැස්සී ගියා ය. නමුත් මට ඒ ගැන කම්පා විය හැකි වූයේ නැත.

“අම්ම කියන එක හරි. සනූ දැන් තමුංගෙ පුද්ගලික ජීවිතේ ගැන හිතන්න ඕනෙ. මං හිතන්නෙ පරණ දේවල් වෙලා දැන් අවුරුදු දෙකක් ගෙවිල ගියා. අවුරුදු තිහට කලින් ගෑනු කෙනෙක්ට පළවෙනි ළමයත් හම්බවෙලා ඉවර වෙන්න ඕන කියල සොස්තර මහත්තයෙක් ටීවී එකේ කියනව මං අහගෙන. මට ඒ වෙලාවෙ එක පාරටම මතක් වුණේ සනූව. මෙහෙම ගියොත් සනූ තිහක් වෙනකොට කසාද බඳින්න හිතල තියෙන එකක්වත් නෑ”

ආච්චා ද කීවා ය. අම්මා ට වාගේ කටුක වදන් කිව නො හැකි නිසා මා කරන්නේ ආච්චා ගේ කතා මගහැර යනු පිණිස නිහඬ වන එක ය.

“මං මැරෙන්න ඉස්සර සනූගෙ දරුවෙක් නලවන්න මං ආසයි”

ආච්චා ගේ ඒ ආසාව කිසි දා ඉටු කරන්නට මට නො හැකි වනු ඇයි මම නො කියා ඉමි. අනිත් අතට ඒ ගැන දුක් වෙන්නට හේතුවක් මට නැත. ආච්චා දැනටමත් මුණුපුරු මිණිපිරියන් කිහිප දෙනෙකු ගේ ම දරුවන් දෝතින් නලවා ඇත්තී ය. ශෙහාරා ට දැන් පුතාලා ම දෙදෙනෙකි. පුංචා ගේ දුව ද අඩු වයසින් ම ව්‍යාපාරිකයෙකු සමග විවාහ වී දියණියක බිහි කළා ය. ඊට කලින් ය ඇය ලොකු අක්කා ගේ දරුවෙකු වැලවූයේ. 

ලොකු අක්කා දරුවා ව නයනා නැන්දා ළඟ දමා රැකියාවකට යන්නට පටන් ගත්තා ය. ඒ අතරේ වෙනත් සබඳකමක් ඇති කර ගෙන දෙවන වරට ද විවාහ වූවා ය. ඒ විවාහ වූයේ අවිවාහක තරුණයෙකු සමග ය. ඒ වෙලාවේ මා අලුතෙන් දැවුණා ය නියා පිළි ගත යුතු ය. අපේ අම්මා ඊට වඩා විවෘත මනසකින් මදෙස බැලුවා නම් මා මෙවන් රොබෝ ගැහැනියක නො වන්නට තිබිණි.

ජීවිතයෙන් වසර දෙක තුනක් ඉස්සරහාට ගිහින් තිබුණේ, ආයේ නොඑනා අතීතයක් ජීවිතයෙන් ඈතට ගෙන යමිනි. අපේ ඇස් වලට නො පෙනුණා ට අපේ ද වයස ගෙවී ගොස් තිබුණෙන්, අම්මලා ගේ පරපුරේ බොහොමයක් දෙනා ආච්චිලා සීයලා වී සිටියහ. නංගී ද නීති පීඨයේ තරුණයෙකු සමග සබඳකමක් ඇති කර ගෙන සිටි අතර ඊට ගෙදරින් විරෝධයක් මතු වන්නට හේතුවක් තිබුණේ නැත. මා ඉහිලූ දුක් ගින්දරෙහි රස්නයවත් ඇයට නොවැදුණ එක ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි.

ගෙයි මතු මහලේ වැඩ ටික කරන්නට පටන් ගන්නයි කියා මම තාත්තා අත මුදලක් තැබුවෙමි. ඔහු ද ඉතිරි වියදම් දරමින් තාත්තා ඉක්මනින් ම වැඩ කටයුතු නිම කරවූයේ ය. මම මතු මහලේ කාමරයක පදිංචියට ගියෙමි.

එතැන නිදහස් ය. ගෙදර අය කතා කරනා දේවල් ඇහෙන්නේ ද අඩුවෙනි. මට ගෙදර ඉන්නා පැය කිහිපය නිදහසේ එතැන සිටිය හැක. වැදගත් ම කාරණය එය නොවේ. ඒ කාමරයේ සඳැල්ලට ලොකු අයියලා ගේ ගෙදර මැනවින් පෙනේ. එතැන ඒ මිදුලේ රවීන් ඉන්නවා මේ දැනුත් මම දකිමි. මෙතැන මේ කාමරය නොතිබුණ කාලයේ කොංක්‍රීට් තලාව මත්තට වී ඔහු ට ඉඟි බිඟි පෑ සනුකි මා තුළ හිඳ නිරන්තර ඉකි බින්දා ය. කඳුළක සීතල නොවිඳ නින්දට  ගිය  දිනක් නැති බව මගේ කොට්ටය දනී!

“රවීන් මැරි කරලද දැන්…”

මම දෙවතාවක් ලොකු අයියා ගෙන් විමසුවෙමි. ඔහු කීවේ එක ම කතාවකි.

“වැඩක් නෑ දැන් ඕව”

නෑ නො කියා ඔහු එසේ කීවේ, මගේ හිත රිදුවන්නට බැරි කමට විය නො හැකි ද? පිරිමින්ට තනිව ජීවත් වීම අසීරු බව මම අසා ඇත්තෙමි. බිරිඳ මිය ගිය පසු බොහෝ ස්වාමි පුරුෂයන් ඉක්මන් මරණයකට ගොදුරු වෙන බවත් මම කොතෙකුත් අසා දැක ඇත්තෙමි. රවීන් සිය පළමු බිරිඳ ගේ සමු ගැනීමෙන් පසු වැඩි කල් නො ගොස් ම මගේ ප්‍රේමය ඉත සිතින් වැළඳ ගත්තේ ය. ඒ වගේ කෙටි කාලීන සබඳකමක් අමතක කොට ජීවි ඉස්සරහට යන එක කොහොමත් අසීරු නැත. දැන් ඔහු වෙනත් විවාහයක් කර ගෙන ඇතිවා වන්නට බැරි නැත!

සුනෙත් මට විවාහ යෝජනාවක් කළේ ඔය අතර කාලයේ ය. ඔහු ඒ වෙත්දී මල්සර ෆ්ලෝරා හි ඉහළ වැටුපක් සහිත නිලයක් හොබවමින් සිටියේ ය. ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් හි මගේ ගෙදර වන් කාර්යාල කාමරයේ දී “අපි බඳිමුද” කියා ඇසූ විට මුලින් ම මම මුව ද විවර කොට ගෙන ඔහු දෙස බලා සිටියෙමි. ඊළඟට හයියෙන් සිනහ වුණෙමි. ඒ සියල්ල දෙස සුනෙත් බලා සිටියේ ඇස් කුඩා කර ගෙන ය.

“පිස්සුද හලෝ…”

මා එසේ අසත්දීත් ඔහු ගේ මුහුණේ ඉරියව් වල කිසිදු වෙනසක් වූයේ නැත.

“මට කොල්ලෙක් නැති වුණා. ඒ ගමන මට යාළුවෙකුත් නැති කරන්නද හදන්නෙ…”

“සනූ…හැමදාම ඔහොම තනියම ඉන්න බෑ. අනිත් එක…රවීන් අතර මගකින් ආවෙ නැත්තං මං මීට හුඟක් කලින් මේක කියන්නත් තිබුණා”

ඒ කියන්නේ ඔහු ගේ හිතේ මා ගැන ප්‍රේමයක් හෝ ඊට සමීප හැඟීමක් තිබූ බව ද? නමුත් මා කිසි දාක සුනෙත් ගැන එහෙව් හැඟීමක් ඇති ව හිඳ නැත. කවදාවත් එවන් ඇසකින් ඔහු දෙස බලන්නට ද මට නුපුළුවන.

“ඔයා මගෙන් ඔය වගේ මෝඩ කතාවක් ඇහුවෙ නෑ හරිද..ආයෙ අහන්නෙත් නෑ”

මම අපේ පුරුදු බැඳීමෙන් ද ආදරණීය තරවටු හඬකින් ද කීවෙමි. සුනෙත් මගේ ඒ වචන ඉක්මවා නොයන බව මම හොඳාකාරව දනිමි. 

“මල්සර එකේ අර පූර්ණිමා ඔයා ගැන කැමැත්තෙන් ඉන්නෙ. තේරුන්නෑ වගේ ඉන්නෙ නැතුව එයාට කැමතියි කියන්න. සමහර ගෑනු ළමයි බලං ඉන්නවනෙ කවද හරි කොල්ලම අහනකල්..ඇහුවෙ නැති වුණාම අකමැත්තෙන් වුණත් ඉස්සර වෙන කොල්ලෙක්ට කැමැත්ත දෙනව.එහෙම වෙන්න දෙන්න එපා”

සුනෙත් මවෙත ගෙන ආ සිය යෝජනාව හකුලා ගන්නට ඇත. කවදාවත් මා ඒ අදහසට නම්මා ගත නො හැකි වනු ඇති බවත් ඔහු තේරුම් ගන්නට ඇත. ඉන්පසු වැඩි දිනක් ගත වීමට මත්තෙන් ඔහු පූර්ණිමා සමග ඇසුරක් ඇති කර ගත්තේ ය. ඒ සමග ම මගේ හොඳ ම මිතුරා ට මාත් සමග මිතුරුකම් පවත්වන්නට කාලය අඩු වී ගියේ ය. එහෙම වුණේ ඇයි කියා සොයා බලන්නට මම උත්සුක නොවුණෙමි. ඇතැම් විට ඔහු ගේ පෙම්වතිය මා හා සුනෙත් ගේ සමීප ඇසුර ට විරුද්ධ වූවා වන්නට පුළුවන. සුනෙත් නම් අප හමු වූ විට හැසිරුණේ කිසි සේත් එවැන්නක් නොවන බව මට ඒත්තු ගැන්වෙන සේ ය. ඒ මා කම්පා වෙතැයි සිතිවිල්ලෙන් විය යුතු ය. ඔහු තව දුරටත් හදවතින් මගේ මිතුරා වී සිටියේ ය.

කෙසේ වෙතත් මම ඒ කිසිත් ගැන කම්පා වන්නට හෝ තැවෙන්නට නො ගියෙමි. උපේක්ෂා සහගත ව ජීවිතය දෙස බැලීමේ පුරුද්දක් කාලය විසින් මා තුළ ගොඩ නංවා තිබුණේ ය.

“උඹ මෝඩ වැඩක් කළේ”

ලොකු අයියා කීවේ ය. 

“ඒ මොකද්ද…”

“සුනෙත් ට පූර්ණිමා එක්ක සෙට් වෙන්න ඇරල නිකං බලං ඉඳපු එක. සුනෙත් ඉස්සර ඉඳලම උඹට ලව්. ඌ උඹ ගැන හැම දේම දන්නව. එහෙම එකෙක් එක්ක ජීවත් වෙන එක උඹට ලේසි වෙන්න තිබුණා”

“ඒක කවදාවත් වෙන්න බැරි දෙයක් අයියෙ”

මා කීවේ එපමණකි. මට කියන්නට තිබුණේත් එපමණකි.

ජීවිතය දෙස ආපසු හැරී බලත්දී සතුටු විය යුතු ද නැත්නම් දුක් විය යුතු ද කියා මට වැටහෙන්නේ නැත. වෘත්තීමය වශයෙන් මම දැනටමත් මගේ ඉලක්ක පසු කොට ඉදිරියට ගොස් ඇත්තෙමි. ඒ ගැන සතුටු විය හැකි මුත් හැම මොහොතක ම මොකක්දෝ හිස් කමක් හදවතේ තිබෙනු මට දැනෙයි. කිසිවකින් ඒ අඩුව සපුරා ලිය නො හැකි බව ද දැන් මට අවබෝධ වී තිබේ. ජීවිතය එහෙම ය. මෙලොව කිසිවෙකු සෑම අතින් ම සර්ව සම්පූර්ණ වන්නේ නැතිවා විය යුතු ය. 

“සනූට පින් සිද්ද වෙන්න අපේ මලිත් පිළිවෙලකට ජීවත් වෙනව දැන්. මන්නං හිතුවෙ නෑ ඒ ළමය කවදාවත් රස්සාවක් කරං ඔහොම ඉඳියි කියල”

දවසක් අපේ ගෙදර විත් කතා කරමින් ඉන්නා ගමන් නයනා නැන්දා කීවා ය. ලොකු අයියා එහෙම ඉන්නේ ඇයි කියා මම දනිමි. ඒ මා වෙනුවෙනි. මා තනි කළ නො හැකි නිසාවෙනි. කවදාවත් වචන වලින් නොකීවත් මා ගැන මහත් ස්නේහයක් ඔහු හදවතින් දරා ගෙන හිඳී. එක කුසක නූපන්නත් ඒ සහෝදර කැක්කුම මහ විසල් එකකි. 

“වැඩේ කියන්නෙ සනූ…දැං ඉතිං ඇත්තටම මලිත් බඳින්න වයස පහු වේගෙනත් යනවනෙ. තිස් හතරක් ලබන මාර්තු වලට. ඒත් පිළිවෙලක් වෙන්න කිසිම අදහසක් නෑනෙ. මං ඇහුවහමත් මගඇරල යනව. කෙනෙක් ඉන්නවනං මෙච්චර කල් බඳින්නැතුව ඉන්නව වෙන්න බෑනෙ. සනූ පොඩ්ඩක් මේ ගැන කතා කරල බලන්නකො”

නයනා නැන්දා මගෙන් කළ ඉල්ලීම ඉටු කරන්නට මම පසු දා උදෙන් ම ලොකු අයියා සමග කතා කළෙමි. ඒ අප කාර්යාලය වෙත යන ගමන් රිය තුළදී ය. මේ වෙත්දී මා කුඩා මෝටර් රථයක් මිලදී ගෙන එය පැදීම සඳහා බලපත්‍ර ද ලබා ගෙන සිටි බව ඔබට කියන්නට අතපසු විය. නමුත් උදේ හවස රිය පදවා ගෙන ගියේ ලොකු අයියා ය. ඔහු ගේ පෞද්ගලික ගමන් බිමන් සඳහා ද තමන් ගේ එකක් සේ එය පාවිච්චි කළ හැකි විය.

“මං බඳින්නෙ උඹ බැන්දහම”

ලොකු අයියා ගේ පිළිතුරෙන් මා අහසින් පොළොවට වැටුණා සේ විය.

“විකාර කියන්න එපා. මං කවදාවත් බඳියි කියල මට හිතෙන්නෑ ලොකයියෙ”

“එහෙනං ඉතිං මටත් මෙහෙම ඉන්න වෙයි”

මම ඒ මුහුණ දෙස බැලුවෙමි. ලොකු අයියා ගේ දෙතොලතර මඳහසක් විය. පපුව රිදෙනවා මට දැනිණ. එදා රවීන් ගෙන් මා සමු ගත් දාට පස්සේ ලොකු අයියා කවදාවත් මට ටිකිරිමලී හෝ සිරියලතා හෝ තංගච්චි හෝ කියා ඇමතුවේ නැත. මගේ හදවතේ තිබූ සැහැල්ලුවත් එක්ක ම ලොකු අයියා ගේ සැහැල්ලුව ද අතුරුදන් වූයේ කොහේ කොතැනක ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles