නම නොදන්නා කදුපන්ති අවසන් කොටස

වචනයක්වත් කතා කරපු නැති අසාද්  මාවත් දාගෙන ලාකෝ එකට යනකොට මගේ ඇස් දෙක රතු වෙනකන් මම අඬලා තිබුනා.

ටූ ලැටේ කොෆී මික්ස් විත් බ්‍රැන්ඩි ඇන්ඩ් ස්ක්‍රැම්බල් ත්‍රී එග්ස් විත් යොර්ගට් …

කියලා අසාද් කියනකොට දැන් දවල් දෙකත් පහුවෙන්න එනවා නේද කියලා මට මතක් වුණා.

පැය පහක් තිස්සේ මගෙන් ප්‍රශ්න කරපු දේවලුයි මම දැනගත්තු දේවලුයි එකක් නෑර අසාද්ට එක දිගටම කියාගෙන කියාගෙන යනකොට හිතේ හිරවෙලා තිබිච්ච මහා වේදනාවක් ටිකෙන් ටික නිදහස් වෙනවා වගේ කියලා මට දැනුනා.

මට හිතාගන්න බැහැ අසාද් .. ඇයි දෙවැනි පාරටත් කේසර මාව මේ විදිහට අමාරුවේ දැම්මේ..

සමහර විට වානි කේසරවත් අමාරුවේ දාලා පැනලා ගිහිල්ලා වෙන්න පුළුවන් ඉන්නේ.හුඟක් වෙලාවට මේ සල්ලි ගත්තු සිද්ධිය කේසර දන්නෙත් නැතුව ඇති.හැබැයි හොඳම දේ ඔයා මේ පත්තරෙන් අදම අයින් වෙන්න.කරන්න තියෙන්නෙ එච්චරයි. ඔයා රස්සාව දිගටම කරන්න කැමතියි නම් වෙන පත්තරේක වැඩට යන්න.
මේක ඔයාගේ කීර්ති නාමයට කැළලක් කරන්න කරපු වැඩක්.
එහෙම තැනක එක විනාඩියක්වත් වැඩ කරන්න එපා.

ප්ලීස් අසාද් .. අනේ මට කේසර ව හම්බවෙන්න යන්න ඕනේ.. ජස්ට් නව්… ප්ලීස් ඒත් මට තනියම යන්න බයයි. අනේ ඔයාට පුළුවන් ද මාව එක්කං යන්න ..

ඉස්සෙල්ලා කාලා ඉන්න . අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා . ලෝයර් කෙනෙක් හම්බවෙන්න වෙයි. ලේසි වෙන්නේ නෑ.. හොඳ වෙලාවට  මේ සිද්ධිය පොලීසිය සී අයි ඩී එක ප්‍රසිද්ධ කරන්න අකමැති … නැත්නම් මාර වැඩේ වෙන්නේ.. නඩුව අහන්න කලින් නැත්තං අපේ මිනිස්සු තීන්දුව දීලත් ඉවරයි…

ඔව්.. එතනදි සී අයි ඩී ඔෆිසර්ලා කිව්වා ..මේක මාධ්‍යයට දෙන්නේ නැත්තේ තවත් කට්ටිය මේ වැඩේ පටන් ගනියි කියන සැකයට කියල.හිතාගන්න බෑනේ ඇත්තටම මිනිස්සු මේ වගේ කට්ටයි කියලා.පත්තරේ ගිය ලිපිය පෙන්නලා තමයි හිරේ ඉන්න ජූඩ් මිනිස්සු බය කරලා තියෙන්නේ.

වානි  මාර ගෑනියෙක් … ෂුවර් එකටම මම නම් කියන්නේ කේසර මේ ගැන දන්නේ නැහැ.මිනිහා ඉන්නේ ඔයාට මුණ දීගන්න බැරුව.ගෑනි සල්ලිත් අරන් රටින් පනින්න ඇති…

මං කොච්චර උත්සහ කලත් කේසරගේ ජංගම දුරකථනයට කතා කරන්න බැරුව ගියා.ක්‍රියා විරහිත කරලා තියෙනවා කියන එක තමයි හැමතිස්සෙම කිව්වේ.

සමහරවිට මිනිහා සී අයි ඩී එකට වෙන ටෙලිෆෝන් නම්බර් එකක් දීලා ඇති.නැත්නම් මිනිහව කන්ටෑක් කරගන්න විදිහක් ඒගොල්ලන්ට නෑනෙ..

කේසර හිටියේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ පස්වෙනි ගෙදර . මම අසාද්  එක්ක ඒ ගෙදරට ගියේ කේසර හම්බවෙයිද නැද්ද කියන සැකය හිතේ පුරවගෙන.කේසර ගෙදර හිටියා.

බද්‍රා.. මට සමාවෙන්න..ඔයා පිළිගත්තත් නැතත් ඇත්ත කතාව මේකයි.වාණි මෙහෙම දෙයක් කරපු බව මම දන්නේ නැහැ.මම හිතුවා ඇත්තටම පත්තරේ යහපත වෙනුවෙන් එයා මේ වගේ දෙයක් කරන්න කියනවා කියලා.මේ ගෑණි මටත් කෙලවෙලා යනකන් මෙච්චර පත්තර රස්සාවක් කරන මාව ගොනාට අන්දනකම් මට මේ කිසි දෙයක් නොතේරිච්ච එකයි පුදුමේ..දැන් ඒ ගෑණිව හොයාගන්නවත් නෑ..මට කිසි කෙනෙකුට මූණ දී ගන්නත් බැරි වුණා.පත්තරේ වැඩ ටික කාලයකට නවත්තන්න වෙනවා..

කේසරගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කහම මට දැනුනේ සතුටක්.ඒ ඇයි කියන්නේ මම දන්නෙ නැහැ.අවුරුදු ගානක් මාව ආශ්‍රය කරලා අතරමග අත ඇරලා දාලා කිසි දෙයක් නොවෙච්ච විදිහට යන්න ගියපු මනුස්සයා.කොහේවත් නැති නිළියක් පටලගෙන තමන්ගේ ජීවිතයට ආභරණයක් එකතු කරගන්න හදපු මනුස්සයා.අසාද් කියනවා වගේ කේසර කියන්නෙ පොට්ටයෙක්.. නිකං පොට්ටයෙක් නෙමෙයි .. අන්ද පොට්ටයෙක්…

කේසර … අයිම් රියලි සොරි … මං ආවේ මම ඉල්ලා අස්වෙනවා කියලා ඔයාට දැනුම් දෙන්න.මේ ප්‍රශ්නය ඉවර වෙනකන් මම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.හැබැයි මම පත්තරෙන් අයින් වෙනවා.දැනගෙන හරි නොදැන හරි සිද්ධ උනේ මහා ජරා දෙයක් .

ප්ලීස් බානු … මාව ටිකක් තේරුං ගන්න .. මේ වෙලාවේ ඔයා පත්තරේ අතහැරලා යනවා කියලා කියන්නේ හරියට මාව අතහැරලා යනවා වගේ වැඩක්.මට පත්තරේ තනියම කරගෙන යන්න බැරි බව ඔයා දන්නවා.පත්තරේ සියයට අනූපහක්ම රන් උනේ ඔයා හින්දා ..

කේසර එහෙම කිව්වහම මම යන්තම් හිනා වුණා විතරයි.ඊට වඩා වචනයක්වත් මට කතා කරන්න හිතුනේ නැහැ.

මේ කවුද … කියලා අසාද් ව පෙන්නලා අහනකොට

මේ මං මැරි කරන්න ඉන්න කෙනා… අසාද් .. කියලා මං කිව්වා .

කේසර බුම්මගත්ත මූනෙන් බිම බලාගෙන ඉන්න කොට අපි දෙන්නා හැරිලා ආවා..

එතකොටම තමයි මගේ ජංගමයට කවුරුහරි එවපු වීඩියෝ පණිවිඩයක් තිබුණේ.වාහනයට ආපු ගමන් මම ඒක දිග ඇරලා බැලුවා..වීඩියෝ එක එවල තිබුණේ සුජී…

හෙලෝ මිස්.. මට සේරම ස්ටෝරිය ආරංචි උනා. මම සුජී කියන්න ඔය සී අයි ඩී කාරයො සේරම දන්නවා .මං ඉන්න තැන නම් දැනට කාටවත් හොයාගන්න බැරුව යයි.ඒකෙන් වැඩක් නෑ.මට කියන්න ඕන වුනේ මේ සිද්ධියෙන් මිස්ගේ නම සම්පූර්ණයෙන් අයින් කරන්න කියන එක විතරයි.මේ සිද්ධියේදී මේ ලිපිය ලියපු කතෘතුමිය අහිංසක පාර්ශවයක් විතරයි.එයා මේ කිසි දෙයක් දන්නෙ නැහැ.  මේක සම්පූර්ණයෙන්ම වානි ගෙයි අපෙයි ප්ලෑන් එකක් . ඔෆිසර් මහත්තයා … මේ මිස්ව ඔය කේස් එකෙන් අයින් කරලා දාන්න.මේ මනුස්සයා ඔය කිසි දෙයක් දන්නේ නෑ.එයා කළේ අපි කියපු එක ලියපු එක විතරයි.මිස් ඔයා මේ  වීඩියෝ එක ගිහිල්ලා සී අයි ඩී එකට බාරදෙන්න.හුඟක් වෙලාවට ඔයාට ගැලවෙන්න පුළුවන් වෙයි.

මට හිතාගන්න බැරුව ගියා. මේ මිනිස්සුන්ගෙ ජාලය කොයි තරම් දුරට විහිදී ගිහින් තියෙන එකක්ද කියන එක අපි කාටවත් හිතාගන්න බැහැ නේද කියන එක මට හිතුනා.කොයිතරම් හැංගිලා හිටියත් මෙහෙ වෙන කියන කරන හැම දෙයක්ම අකුරක් නෑර උන් දන්නේ කොහොමද කියන එක මට හිතාගන්න බැරුව ගියා. මොනා උනත් මේ වීඩියෝ එක නිසා යම් තරමක් හරි මට සහනයක් ලැබෙයි කියලා මම හිතුවා.

ලොකු දෙයක් ..බද්‍රා… අපි දැන්මම ආපහු ගිහිල්ලා මේ වීඩියෝ එක ඒගොල්ලන්ට බාර දෙමු. හිතන තරම් ලේසියෙන් නැති උනත් යම් තරමක් දුරට හරි ඔයාට ගැලවෙන්න පුළුවන් වෙයි.

අපි එදා ඒ වීඩියෝ එක සී අයි ඩී එකට බාරදීලා ආවා. ඊට දවස් දෙකකට පස්සේ ආරංචි වුණා කේසර එයාගේ නීතිඥයා මාර්ගයෙන් මේ ප්‍රශ්නය සම්පූර්ණ වගකීම එයා බාරගන්න බවට cid එකට දැනුම්  දුන්නා කියලා. වාණිව අත්අඩංගුවට ගන්න උසාවිය මාර්ගයෙන් නියෝග නිකුත් කරලා තිබුණා.වීරමාතෘ පත්තරේ වැඩ භාර ගන්න කියලා ප්‍රධාන කර්තෘ සමන් ආරියවංශ මට ආරාධනා කළා.ජීවිතයේ නරක කාල වගේම හොඳ කාලවලුත් මිනිස්සුන්ට ගලාගෙන එන බව අසාද්  මට කියලා දුන්නා. අපි දෙන්නගේ සම්බන්ධයට ගෙදරින් කොහොමවත් කැමති වුණේ නැහැ.අසාද්  කිව්වේ ඒක වෙනම කතාවක පරිච්ඡේදයක් කියලා. නස්රියා ආච්චි ලොකු අම්මා මම අසාද් … අපි හතර දෙනා ඒ තට්ටු නිවාසයේ අටවෙනි මහලේ ආදරයෙන් ජීවිතය පටන් අරන් තිබුණා.අපේ කසාදයට අම්මයි තාත්තයි බොහොම තදින් විරුද්ධ උනත් අන්තිමේදී මම තීරණය කළා මගේ ලෝකයේ සතුට තියෙන්නේ මගේ අත් දෙකේ කියන එක.අපි කසාද බැන්දා.මහා ලොකු උත්සවයක් තිබුණෙ නැති වුණාට දහ දෙනෙකුට සීමා වෙච්ච අපේ මගුල් ගෙදර අම්මයි තාත්තයි නැති අඩුව හොඳටම දැනුනා.

කවද හරි දවසක ඒගොල්ලෝ තේරුම් ගනියි පුතේ කියලා නස්රියා ආච්චි කිව්වා.

එදා අසාද්  හරි ලස්සනට හිටියා.කොහොමත් කඩවසම් අසාද්  එදා අරාබි  රජ පවුලේ කුමාරයෙක් වගේ හිටියා.කේසරගෙන් හිස් වෙලා පාළු වෙලා ඉරිතලගේ ජීවිතය ආපහු සැරයක් දළු දාලා එන්න තරම් පුණ්‍ය අත් දෙකක් හිමි වෙලා තිබුණු අසාද් ට මම ජීවිතය දෙවැනි කොට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. තවත් ඉස්සරහට තවත් ප්‍රශ්න ගලාගෙන එයි. එදාටත් අපි ආදරයෙන් ඉඳී.එදාටත් ඒ ප්‍රශ්න අපි ආදරයෙන් විසඳගනියි….

නිමි…….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles