හසරැල් වැස්සේ -18

“මට කියන්න දෙයක් තියනවා..”

මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය යවන සිතක් මට ඇත්තේ ද නැත.මම ලියූ දේ මකා දමා නැවත වෙනත් දෙයක් ලියූවෙමි.

“මට ආයේ සැරයක් විභාගේ ලියන්න වුණොත් ඒක අපේ අයියට තරහ යන දෙයක් වෙයිද?”

උසස්පෙළ විභාගය තුන්වරක් ලියා සරසවි වරම් ලැබිය හැකි බව ලියා එවූ ඔහු සුබ රැයක් ද පතා තිබිණ.මෙවැනි රාත්‍රියක මා එවැනි ප්‍රශ්නයක් අසන්නට හේතුව හෝ නොවිමසා ඔහු කතාව අවසන් කළේ ය.

“ඔය වගේ කතාවක් සචිර අයියට කිව්වනම් රිසල්ට්ස් වලට බයේ ඔයා ඩිප්‍රෙස් වෙලාය කියලා එයා හසරැල් අයියටත් කියනවා.මොනව හරි කෝලං ටිකක් කියල ඔයාව හිනස්සලා තමයි කතාව ඉවර කරන්නෙ..සත පහකට ගණන් නොගන්න මිනිහෙක් පස්සෙ යන්න ලැජ්ජා නැද්ද බං..”

යෙත්මි මට බැන වැදුණ ද උවනි කිසිත්ම නොකීවා ය.ඇය මට පණිවිඩයක් එවා තිබුණේ බොහෝ වෙලාවකට පසු ය.

“මං ඔයා වෙනුවෙන් දෙනෙත්ට කතා කරනවා..”

නමුත් මට මේ හැඟීම තවදුරටත් උසුලා ගන්නට අපහසු බව සිතිණ.දරා ගන්නටම බැරි තැන මම නිර්මාණි අක්කාට පණිවිඩයක් යැවීමි.ඒ ඇය මුණ ගැසෙන්නට ඕනෑ බව පවසා ය.අයියාට පෙම්වතියක හමු වෙද්දී උරණ වෙන බොහෝ කෙල්ලන් අතර මම නොසිටියෙමි.අපේ පාසලේ දීප්තිමත් සිසුවියක සහ අපේ පරමාදර්ශී චරිතයක් මගේ නෑනා වී යළි මුණ ගැසීම ම මට මහත් සතුටක් ගෙන ආ දෙයකි.

“හසරැලි..ඇයි බබා..”

අඳුරු වූ මගේ මුහුණ දෙස මොහොතක් බලා හුන් අක්කා අපට බොන්නට යමක් ඇණවුම් කරන්නට ගියා ය.මෙලොව මට ඇති එකම ප්‍රශ්නය අනුමාන කළ ඇය අනතුරුව එතැනින් කතාව ඇරඹී ය.

“ඔයා ආයේ අම්මා එක්ක වලියක් දාගත්තද? අපේ අම්මලා ගෙවන්නේ හරිම හරි ස්ට්‍රෙස් ජීවිතයක් නංගි.එයාල ඒ නිසාම ඒ පීඩනේ පොඩ්ඩක් අපි පිටින් යවනවා.ඒක සාමාන්‍ය දෙයක්.බය වෙන්න එපා.රණ්ඩු කරාට එයාලා අපිට ආදරෙයි..ඉස්කෝලෙදි අපේ අම්මා ඔයාලට කොච්චර ආදරේද? ඒත් මම හරි මල්ලි හරි එච්චර ආදරයක් විඳලා නැති තරම් හොඳට බලනකොට…”

ඇය එසේ කියමින් මගේ හිත හදන්නට පටන් ගත්තා ය.නමුත් මගේ ගැටලුව එය නොවේ.ඇයට එය පවසන දැඩි හදවතකින් මම මේ මොහොතේ දැවෙමින් සිටියෙමි.

“මගේ ප්‍රස්නේ ඒක නෙවේ අක්කා..”

මම ඒ වචන පවසා ගත්තේ බොහෝ වෙලාවක් ගැනීමෙන් පසුව ය.

“එහෙනම්..”

අසීරු මොහොතක් වෙනුවෙන් ආරම්භය එළඹ තිබේ.

“මම කෙනෙකුට ආදරෙයි අක්කෙ..”

අවන්හලෙහි සීතල මට තවතවත් තදින් දැනෙමින් තිබිණ.අතීතයේ අප රිබන් හලාගනිමින් අපිළිවෙල දැරියන්ව සිටියදී සැර දමන ශිෂ්‍ය නායිකා අක්කාගේ දෑස මේ මොහොතේ ද මට සිහිපත් විණ.නමුත් ඇය ඒ දෑස වහවහා ආදර අක්කාගේ දෑසකට මාරු කර ගත්තා ය.

“ඉතිං..වරදක් නෑ..ඔයා දැන් ලොකුයි..”

ඇය එසේ කියා මගේ අතකින් අල්ලා ගත්තා ය.නමුත් ගැටලුව එය නොවේ.

“එයා ඒක දන් නෑ..”

අක්කා එයට මඳහසක් පා කළා ය.එය එතරම් ගැටලුවක් නොවන හැඩ ය.

“ඉතින්..අපි එයාට කියමු…”

ඇය කියන්නී ය.එය එසේ සරලව විසඳා ගත හැකි ප්‍රශ්නයක් දැයි මට සිතිණ.මම බීම වීදුරුවේ ඉරි අඳිමින් මොහොතක් ගෙවීමි.

“කොහෙද එයා ඉන්නේ..”

අක්කා අසන්නී ය.මම ඇගේ දෑස මඟ හරිමින් මොහොතක් ගෙවීමි.ඇයට ඒ පුද්ගලයා හෙළි කරන්නට මෙතනට පැමිණි බව මම සිහි කළෙමි.

“අපේ අයියගෙ යාළුවෙක්..”

නිර්මාණි අක්කා සැනසිලිදායක මඳහසක් මවා ගත්තා ය.අනතුරුව මගේ ඇඟිලිතුඩු පිරිමදිමින් මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.

“සචිරයද? එයානම් ඕක දැනිලා හසරැල්ට බයේ ඇත්තේ?”

නිර්මාණි අක්කා හිනැහෙන්නී ය.මගේ හදවත තවත් බරව ගියේ ය.මිතුරියන් කියන අන්දමට මගේ නිවැසියන් මගේ සහකරු ලෙස අපේක්ෂා කරන්නේ සචිර අයියාව ද?

“නෑ අක්කේ..”

ඇය මවෙත විමසුම් බැල්මකින් බලා සිටියා ය.බීම වීදුරුව එක හුස්මට පානය කළ මම අක්කා වෙත මගේ වේදනාව බාර කළෙමි.

“ඒ දෙනෙත් අයියා..”

අක්කාගේ දෑස විසල්ව ගියේ මා බලා හිඳියදී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles