මම සුධාරක එක්ක කතා කරන්න ඒ වෙනකොට පටන් අරන්.කොයින් බොක්ස් එකකට දෙකේ කාසියක් දාලා අපි මල් කඩපු තාලේ දැන් ඉන්න තරුණ ළමයි දන්නෙත් නැහැ.ඒත් ඉතින් අපිට තිබුණු එකම සහනය එච්චරයි.ප්‍රධාන මධ්‍යස්ථානයට කතා කරලා එයාව කැඳවනකොට කාසි ටික ඉවරයි.මම කතා කරන දවස් ඔහු දන්නේ නෑ.ඉතින් මඟ බලන් ඉන්නෙත් නෑ.දුරකථනයට ඇවිල්ලා ඔයාට කොහොමද අහනකොටම කතාව ඉවර වෙනවා.
“මට දැන් ඉස්සර වගේ ටක් ශොප් එකෙන් කන්න සල්ලි දෙන්නේ නෑ.ඒ නිසා මං ළඟ ලියුම් එවන්න මුද්දර ගන්නයි ඔයාට ඉඳහිට කතා කරන්නයි සල්ලිත් නෑ..”
මම එහෙම ලියලා යැවුවේ මම ආදරය නිසා ඒ තරමටම අසරණ වුණායින් පස්සේ.ඔහු මට රුපියල් පන්සීයයක් දුන්නේ ඒ කතාව අහලා.ඒ කාලේ ඔහුට ලැබුණු වැටුපත් රුපියල් පන්දාහක් විතර.මාසයකට වතාවක් ඒ මුදලින් මටත් පන්සීයක් දෙන්න සුධාරක වග බලා ගත්තා.
ඒ කාලේ රුපියල් පන්සීයක් කියන්නේ ලොකු ගාණක්.ආදරය වෙනුවෙන් දුක් විඳින කෙල්ල වෙනුවෙන් ඔහුට කළ හැකි ලොකුම දේ ඒක වෙන්න ඇති.ඔහු ඒක කළා.මමත් ඒ හැම රුපියලක්ම ඔහුට කතා කරන්න වැය කරා.ඉස්කෝලේ කැන්ටිමට ඒ මුදල දීලා දෙකේ කාසිවලට මාරු කරගෙන ගෙදර හංගලා තියාගෙන ඔහුට කතා කරන්න පොඩි ගාණක් වැය කළා.
ඉස්කෝලේ ගාව තියන කොයින් බොක්ස් එක විතරක් නෙවෙයි.මම ළමයින්ට හදිසි ඇමතුමක් ගන්න ඔෆිස් කාමරය ළඟ තිබුණු කොයින් බොක්ස් එකත් මේ වැඩේට පාවිච්චි කරන තරම් ඇට්ටර කෙල්ලක් වුණා.
“මට සනීප නෑ..තාත්තට කෝල් කරන්නේ..”
අන්න එහෙම ගල් පැලෙන බොරු අතෑරලා තමයි ඒ වැඩේ මම කළේ.
මගේ අම්මා ගුරුවරියක්.තාත්තා බැංකු කළමනාකරුවෙක්.ඔවුන් දෙදෙනාම ගෙදර නැති නිසා ලියුම් පෙට්ටියට අගුලු දැමුණා.ඒ මගේ ප්‍රේමය නවත්තන්නට බැරි නිසා.ගහන බනින එක මොනතරම් සැර වුණත් මගේ නැවතීමක් නැහැ.අම්මා පාසල් යන්නේ එන්නේ මා එක්ක.නමුත් මම ස්කූල් වෑන් එකෙන් බහිනකොටම ලියුම් පෙට්ටියට “රබර් ඇහැක්” දාන්න වග බලා ගත්තා.ලියුමක් ඇවිත් නම් මට පේනවා.අම්මා නාන්න ගිය හැටියේ මම ක්‍රියාත්මක වෙනවා. පොඩි කෝටු දෙකක් යොදාගෙන ලියුම බලනවා. ඒක සුධාරකගේ නම් වහාම ලියුම මගේ බාරයට ගන්නවා.
පරිණත ගැහැනියක විදියට අතීතය දිහා බලනකොට මට මගේ දෙමාපියන් එක්ක තරහක් නෑ.ඔවුන් සාධාරණයි.ඒ මට ආදරය කරන්නට වයසක් නෙවෙයි. තදබල යුද්ධයක් පැවති කාලයක හමුදා නිලධාරියෙකුට දුව දෙන්න හිත හදා ගන්න අම්මලා තාත්තලාට බෑ.තව හේතුවක් තිබුණා.මම සුධාරක ගැන දැනගත් මගේ ඥාති සහෝදරයා සහ ඔහු අතර රණ්ඩුවක් ඇති වෙලා ඔවුන් අමනාප වීමත් අපට අවාසියක් වුණා.
“කිසිම හේතුවක් නැතුව මෙච්චර පොඩි කෙල්ලක් එක්ක යාළු වෙන්න සුධාරකට පිස්සු නෑ.ඌ ඇහැ ගහගෙන ඉන්නේ මේ දේපලවලට..”
අයියා එහෙම බොරුවක් මගේ දෙමාපියන්ට කිව්වා.ඔවුන් ඒ කතාව හිස් මුදුනින් පිලි ගත්තා.අම්මා සහ තාත්තා මගේ අකීකරුකම සහ ඒ කතාව ගලපා ගත්තා.වෛරය වඩාත් වැඩි වුණා.මමත් ඒ පුංචි වයසටත් අම්මලා සමඟ ඔහු වෙනුවෙන් සටන් කළා.ඔහුට එරෙහිව කියන වචනයක් වෙනුවෙන් පවා මම ගුටි කමින් රණ්ඩු කරා.
මතකය ගලා එන්නේ අපිළිවෙලට නෙවෙයි.මට පාලනයකින් තොරව.වෙන සිදුවීම් මතක් වුණු නිසා අර පාන්දර අහේතුක ගුටිය ගැන කියන්න මට අමතක වෙලා නේද?ඔන්න එහෙනම් අහ ගන්න.
ඔහේ ගුටි කාලා මම එදා ඉස්කෝලේ ගියා.ඉඩ ලැබුණු සැනින් ඔහුට ඇමතුමක් ගත්තම තමයි මට දවල් තරු පෙනුණේ
“මැණිකේ,කේක් එකයි,කාඩ් එකයි,මල් පොකුරයි ලැබුණද?”
කවුද ඉතින් ඕවා දන්නේ? වැලන්ටයින් දවස එදා බව මම දන්නේ එතකොට.ඔන්න ගුටියක රහස මට හෙළිදරව් වුණා.
සුධාරක ඉන්නේ දියතලාවේ.ඔහු මං වෙනුවෙන් අලුත්ම රතුරෝස මිලට අරන් තිබුණා.අනේ මට ඒ මල් පොකුර දකින්න ලැබුණේ අපේ ගෙදර කසල බඳුනෙන්.කේක් එකට වුණු දෙයක් මම අදටත් දන්නේ නැහැ.කාඩ් පත නම් අහුලාගෙන ප්‍රවේසම් කරගන්න මට පුලුවන් වුණා.
ආදරය ඒ වගේ කසළ බඳුනකට නොවැටෙන්න මම කරපු කැප කිරීම් අනන්ත අප්‍රමාණයි.මින්මතු එළඹෙන හැම ආදරවන්තයන්ගේ දිනයම මරණය තෙක්ම ඔහු හා සමරන්න මට උවමනා වුණා.නමුත් දෛවය එයට ඉඩ දුන්නා ද නැද්ද දැන ගන්න ඔබට තව බොහෝ දවසක් මට ඇහුම්කන් දෙන්න සිදු වෙයි.
කොහොමත් ආදරය කියන්නේ කැපකිරීම සහ ඉවසීමට.මේ නසරාණි ඇටකිච්චි එතනින් පස්සේ දාගත්තු බාල්දිය එක්ක අපි හෙට මුණ ගැහෙමු.