මාස්ක් එකක් පැළඳ සිටිය ද ආලෝක සුමනරත්න ට ඒ ඇස් හැඳින ගත හැකි විය. ඔහු වසර ගණනාවක අතීතයට ද අඩි කිහිපයක් පසු පසට ද විසි වී ගිය බවක් ඔහු ට දැනිණ.
ඇය ඔහු ගේ දෑස් අභියස හරි අහම්බෙන් පහළ වී හිඳී.
සූර්යා!
අත වූ මධු විත වීදුරුව තොල ගාමින් මෑත මේසයක ඔහු තවත් ව්‍යාපාරික සගයන් දෙදෙනෙකු සමග කතාවේ සිටියේ ය. කතාවේ කීවා ට ආලෝක නම් කතා කළේ එහෙන් මෙහෙන් වචනයක් දෙකක් විතර ය. කතා කිරීම කියන්නේ ඔහු වැඩිපුර කරනා දෙයක් නොවේ. ඒ බව දැන් ව්‍යාපාරික ප්‍රජාව ඉතා හොඳින් දැන හිඳී. මුවින් කතා නොකළා ට ආලෝක ගේ ව්‍යාපාරික ඥානය නිබඳ කතා කරයි. ශබ්ධ නැගෙන සේ කතා තරයි.
සූර්යා මෙතැන ඉන්නට හේතු වූ කාරණය කුමක් දැයි ආලෝක දස අතේ සිතුවේ ය. ඇය මේ ව්‍යාපාරික ප්‍රජාව තුළ කිසි දා ඔහු ට මුණගැසී නොතිබිණි. ඇය ව්‍යාපාර වලට සම්බන්ධ බවක් හෝ ඔහු නො දැන සිටියේ ය. මේ පහළ වීම හරි අහම්බයකි.
ඇය සිටින්නේ ව්‍යාපාරික බිරින්දෑවරු කිහිප දෙනෙකු සමග බව ආලෝක ඇස් වලින් මිනුම් කර ගත්තේ ය. ඇය තවමත් එක එල්ලේ ඔහු ව දුටුවේ නැත. දුටුවත් හඳුනා ගනු ඇත්ද? කළු පැහැති කේ එන් නයින්ටි ෆයිව් මාස්ක් එක ඔහු ට ඇයගෙන් හැංගී සිටීම සඳහා ලැබී තිබුණා වූ වෙස් මුහුණක් සේ ආලෝක ට දැනුණේ ය.
ව්‍යාපාරික ඩග්ලස් ගෝමස් ගේ බිරිඳ වන සුරූපී නටාෂා සමගින් සූර්යා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු වෙත යනු ආලෝක බලා සිටියේ ය. බිරින්දෑවරු නොමැතිව තනිව සාදයට සහභාගී වී සිටි දුලිප් සහ රොෂාන්, අවිවාහක ආලෝක ගේ මේසයට වී සිටියේ එකට පියෑඹිය යුත්තේ එක වගේ කුරුල්ලන් ය කියන කතාව මෙනෙහි කරමින් සේ ය. ඔවුන් දෙදෙනා ම කවදත් මේ වගේ සාද සාමීචී වලට ආවේ තනිව ය. බිරින්දෑවරුන් කැටිව නො එන්නේ මන්දැයි ආලෝක නම් කිසි දා අසා නැත. එහෙම ඇසීමේ උවමනාවක් ඔහු ට දැනීත් නැත. ඔහු වැඩිපුර කතා බහ නො කරන්නෙකු නිසා, පවුල් ජීවිතයට අදාල ඕපාදූප නො සොයන බවත් රොෂාන් ලා දනී. තමන්ට ම කියා බිරිඳක නොගෙනාවාට මෙතැන සිටිනා ඇතැම් ව්‍යාපාරික බිරිඳක පැය කිහිපයක ඇසුරකට පත් කර ගන්නට වුව අසීරුවක් නොවන වග ඔවුහු දනිති.
“හායි”
රොෂාන් නටාෂා ට අතක් වැනුවේ ය. නටාෂා ද පෙරලා හායි කියමින් ඒ වෙත්දීත් ඇය කතා කරමින් සිටි ව්‍යාපාරිකයා සමග දිගටම කතාවේ පසු වූවා ය. රොෂාන් සිටියේ නලියමිනි. ඒ බව ඔහු ගේ ඇස් වලින් ආලෝක ට මැනවින් දත හැකි විය. අද මේ සාදයට සම්ප්‍රාප්ත ව හිඳිනා අලුත් සුරූපිනිය හැඳින ගැනීමේ නො ඉවසිල්ල රොෂාන් හා දුලිප් ඇතුළු බොහෝ ව්‍යාපාරික සගයන් ගේ ඇස් වල නලියනා හැටි හැඳින ගන්නට බැරි කමක් ආලෝක ට නැත.
ඔවුහු සිය සගයන් ට රහසේ උනුන් ගේ බිරින්දෑවරුන් ඇසුරු කරති. ඔවුන් සමග සුඛෝපභෝගී හෝටල කරා රහසිගත ගමන් යති. ආලෝක ගේ හිත අහේතුක ව රිදෙමින් තිබිණ. එක අතකට ඒ අහේතුකව ද?
සූර්යා නිකන් ම මෙහි එන්නට විදිහක් නැත. ව්‍යාපාරික ප්‍රජාව සමගින් කුමක් ම හෝ සම්බන්ධ තාවයක් ඇගේ තිබෙනවා විය යුතු ය. දැනටමත් බොහෝ මත් ඇස් ඇය වෙත යොමු වී තිබේ. මත් බමරු ඇය වටා ගුම් නද දෙමින් කැරකෙමින් සිටිති.
“එක්ස්කියුස් මී”
කියා ගෙන ආලෝක අසුනෙන් නැගිට ගත්තේ ය. ඔහු ට වැසිකිලි කැසිකිලි කටයුතු කෙරේ කිසිදු අවශ්‍යතාවයක් වූයේ නැත. නමුත් ඔහු පිරිමින් සඳහා වෙන් කොට ඇති බවට සලකුණු කොට ඇති පැත්තට ඇවිද ගියේ ය.
ආලෝක සුමනරත්නගේ ඇස් වල වූ උන්මාදනීය බව දකින්නට තරම් පියවි සිහියක් රොෂාන් හෝ දුලිප් වෙත නොවූ බව සහතික ය.
දොර වසා ගත් ආලෝක මාස්ක් එක ගලවා සාක්කුවේ ඔබා, අත් දෙක ග්‍රැනයිට් මේසයට බර කරමින් කැඩපතට නැඹුරු වූයේ ය. මලානික ඔහු ගේ උමතු දෑස් වල ගැඹුරු පත්ලේ ඉතා කුඩා ආලෝක පුංජයක් ඔහු ට දකිත හැකි විය. ඒ එළියෙන් හෙතෙම තිගැස්සී ගියේ ය.
“මං සූර්යා වුණාට ඔයයි ආලෝක. ඔයා නැතුව මට එළියක් නෑ. මගෙං එළියකුත් නෑ”
සූර්යා ගේ ඒ වචන, හැම දවසක ම එක් වතාවක් හෝ මෙතෙක් ඔහු ගේ මතකයේ හොල්මන් කළා වූ ඒ වචන මේ දැනුත් ඇසෙන්නා සේ ය. ඇය එසේ කියා දැන් වසර විස්සකට වැඩිය ගත වී ඇතිවා විය යුතු ය. ඒ වසර විස්ස පුරාවට තුන්සිය හැට පහ වැඩි කිරීම විස්ස සමානයි තුන්දාස් හයසිය පණහ වැඩි කිරීම දෙක; ඒ කියන්නේ දවසකට එක වතාව බැගින් වුණොත් හත්දහස් තුන්සිය වතාවක් ඔහු ට ඒ වචන සිහි වී තිබේ. ආලෝක ඇස් දෙක පියාගෙන සිය ව්‍යාපාර පුහුණුවෙන් ගණන් හැදුවේ ය. ඊට වඩා වැඩි මිස කිසි සේත් අඩු වන්නේ නම් නැත. හිතේ ඈතකට වී උන්නා මිස ඇය ඔහු ගේ හිතෙන් බැහැර වී හිටියා යයි කාට නම් කිව හැකි ද?
“ගෙදරින් ඔයාට කැමති නැති වුණාට කමක් නෑ ආලෝක. ඔයා මාව කොහේ හරි අරං යන්න. මං ඕන වෙලාවක ඔයා ළඟට එන්න ලෑස්තියි”
අන්තිම දින වල ඇය කෙතරම් වාර ගණනක් එසේ කියන්නට ඇත්ද කියා ඔහු ට සිහි කර ගත නො හැකි ය. සඳකත් මිණි ඇස් ඇති සුරඟන කුමරියක රහසේ සඟවා ගෙන ගොස් බිරිඳ කොට ගන්නට තරම් ඔහු කවුරුන් ද? ඈ වැන්නියක සඟවා රකින්නට තරම් රහසිගත තැනක් ඔහු ට කොයින් ද? ඕනෑ ම සුර කුමරියකට වේල් පටින් මිදුණ දාට අග හිඟ නරක ය. ඇය වෙනුවෙන් වේල් පටක් පළඳන්නට හෝ ඔහු ඉපැයූ වත්කමක් වූයේ නැත.
“ඔයා ගෙදරින් කියන දෙයක් කරන්න”
අන්තිමට ඔහු එසේ කියා තෙමේ ම ගොස් සැඟවුණේ ය. ඇය ට ඔහු සොයා ගත නො හැකි වූවා ද ඇය ඔහු නො සෙව්වා ද කියා හෝ ඔහු දන්නේ නැත.
අතීතය යළි සිය දෑස් අභියස පහළ වෙතැයි ආලෝක කිසි සේත් බලාපොරොත්තු නොවුණේ ය.
පයිප්පය හැර ගෙන සුදු සෙරමික් සින්ක් එක මත දිය බිඳු තදින් හැපෙනා හැටි ඔහු ඔහේ බලා උන්නේ ය. සින්ක් එක දියෙන් පිරී පෙණ බුබුළු වලින් ගහන වූවාට පස්සේ, හෙතෙම සුරතින් වතුර ටිකක් ගෙන මුහුණ තෙමා ගත්තේ ය.
මේ රැයේ සිහි විකල් වන තුරු ම මතින් මත් වන්නට උවමනා ය!
ආලෝක යළි ශාලාව වෙත ගියේ ඇල්කොහොල් මත විසින් ඔහු වෙත ඇති කරන්නා වූ විශේෂ ලක්ෂණය වන තනිව සිනහ වීමත් සමග ම ය. කලිසම් සාක්කුවේ වූ ලේන්සුවෙන් මුහුණ හා දෑත් පිස දමමින්;
කෙනෙක් ඔහු ව දුට හොත් මේ ආලෝක සුමනරත්න නම් වන කෝටිපති කුරුඳු ව්‍යාපාරිකයා ද කියා සිතනු ඇත. ඔහු ගේ හොඳ වෙලාවට මෙතැන ඉන්නා බොහෝ දෙනෙකු දැන් සිටින්නේ පදමට මත් වී ගෙන ය. ඔවුහු ඇතැම් විට සිය බිරින්දෑවරුන් පවා පටලවා ගනිති. මාරු කර ගනිති.එහෙම අයට ආලෝක ගේ උමතු ඇස් හෝ තනිව හෙලනා සිනහව පෙනෙන්නට විදිහක් නැත!
පිරිස අතරට එමින් ම ඔහු මාස්ක් එක පැළඳ ගත්තේ ය. රොෂාන් සමග සල්ලාපයට නටාෂා සූර්යා සමගින් ආවා නම් මේ වන විට එතැනින් නික්ම ගොස් තිබිය යුතු යයි, ශාලාව මැදින් ඇවිද ගෙන යන ගමන් ආලෝක හිතින් ගණන් හැදුවේ ය.
හිතින් ගණන් හැදීම කියන්නේ ඔහු ට දැන් පුරුද්දට ගිය දෙයකි. කොයි දේත් ගණන් හිලව් බලා මිනුම් කොට කළ යුතු ය. සතය සතය හෝ එක ගොඩකට එකතු වන්නේ එතකොට ය.
ඔහු සිටි මේසය ළඟ කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැත. ආලෝක සැනසීමෙන් සිය අසුනට ගියේ ය.
“ඒ සුමනය”
කොහේදෝ සිට රොෂාන් හඬ ගෑවේ ය. ව්‍යාපාරික ප්‍රජාව ඔහු ව හඳුන්වන්නේ සිය පෙළපත් නාමය වන සුමනරත්න යන නමිනි. මේ වාගේ වචන පැටලෙන්නට ගන්නා වෙලාවට එය සුමනයා ලෙස කෙටි වේ.
“හායි සුමන්…කොහෙද අනේ ඔයා මෙච්චර වෙලා හිටියෙ…”
කියමින් නටාෂා ඔහු වෙතට ආවා ය. ආලෝක තිගැස්සී ගියේ ය. ඒ සූර්යා ද නටාෂා අනුව පසු ගමන් එමින් සිටි නිසා ය.
“සූර්යා මේ සුමන්. මිස්ටර් හැන්ඩ්සම්. අන්මැරීඩ් ක්‍රෂ් ඔෆ් බිස්නස් වයිව්ස්…”
ආලෝක ට උවමනා වූයේ සිය අතීත පෙම්වතිය ගේ දෑස් මගහරින්නට ද කියා ඔහු ට නිශ්චිත වූයේ නැත. සඳ කත් මිණි ඇස්!
බලන්නට ත් නො බලන්නටත් ඔහු ට ඕනෑ විය. ඔහු මාරුවෙන් මාරුවට ඒ දේ කළේ ය. බීමත්, උමතු, බොර පැහැ ඇස් ඉදිරියේ ආලෝකා ට දැනුණේ ඇය ගැඹුරු අගාධයක ගිලෙන්නට යනවා සේ ය.
සුමන්!
ඔහු ව ඇය ට දැනුණේ ආලෝක වාගේ ය. ඒත් ඒ ආලෝක වන්නේ කෙසේ ද?
අතීතය තවමත් රාක්ෂයෙකු සේ ඈ හඹා එන්නේ මන්දැයි සූර්යා තැති ගැන්මෙන් යුතු ව සිතුවා ය. ඈ ඔහු අත් හැරියා නොවේ. අසාමාන්‍ය වෙහෙසකින් පසු ඔහු ව අල්ලා ගත්තේත් ඈ ය. නමුත් සිත් පිත් නැති නරුම විලාශයකින් ඔහු ඇය අතැර පලා ගියේ ය. සියල්ල සිදු වූයේ ඉනික්බිති ය.
විවාහයක්, දරුවන් දෙදෙනෙක්, විදේශයක වසර විසි ගණනක් වූ ජීවිතයක්, ඒ ජීවිතයේ අපමණ හැල හැප්පීම්, උස් මහත් වූ දරුවන්…ඒ සියල්ල අතරේ ඇයට කිසි දාක ඔහු අමතක කළ හැකි වූයේ නැත. එහෙම කරන අවංක උවමනාවක් සූර්යා ට තිබිණි. ඒ වෙනුවෙන් ඇය අපමණ උත්සාහ ද කළා ය. නමුත් ඒ සියලු තැත් දැරීම් ගඟට කැපූ ඉණි සේ අපතේ ම ගියා පමණකි. විසි වසරකට අධික කාලයක් ඕ පැරිස් නුවර සිය මව් බිම කර ගෙන ජීවත් වූවා ය. ශ්‍රී ලංකාව තුළ ඇයගේ ය කියා කිසිත් නොවන බව කාටත් කීවා ය. ඇයට ම එසේ ඒත්තු ගන්වන්නට ද කටයුතු කළා ය. නමුත් එය එසේ නොවන බව හැම මොහොතක ම හදවත ඇයට පසක් කරමින් සිටියේ ය. අමතක කරන්නට දරනා උත්සාහය යම් සේ ද ඔහු හදවත මැද්දේ අයිෆල් කුළුණ බඳු පෞරුෂයකින් නැගී සිටියේ ය.
අන්තිමට ඕ සියල්ල හැර පියා යළි මව් බිමට ආවා ය. අයිෆල් කුළුණ සේ නැගී සිටින්නට ඇයට ඕනෑ වී තිබිණි. හැම දේ ම අමතක වී යනු වස් ව්‍යාපාර ලෝකයට පය තබන්නට ඇයට ඕනා විය. ඇගේ අදහස දැන ගත් පසු, ව්‍යාපාරික බිරිඳක වන නටාෂා මේ සාදයට ඇය කැටිව ආවේ ව්‍යාපාර සගයන් ව හඳුන්වා දෙනු වස් ය.
“සූර්යා බිස්නස් ෆීල්ඩ් එකට එන්නයි හදන්නෙ. ෆ්‍රාන්ස් වල කන්ටැක්ස් ගොඩක් තියන නිසා එයා ට්‍රයි කරන්නෙ ඉන්ටර්නැෂනල් බිස්නස් එකකට අත ගහන්න. සුමන් කොහොමත් සිනමන් බිස්නස් එකේ ඉන්න නිසා…මං හිතන්නෙ සූර්යා ඇඩ්වයිස් ගන්න ඕන කෙනා තමයි සුමන්. ඉතිං මිස්ටර් හැන්ඩ්සම්… අපේ මේ ප්‍රිටි ලේඩි ව ඔයාට ඉන්ට්‍රඩියුස් කරන්නම ඕන. එහෙනං සූර්යා මෙතනිං වාඩි වෙලා සුමන් එක්ක කතා කරන්නකො”
නටාෂා ගේ බටහිර ඌරුවට ගසනා සීනුවක් වන් ටකරන් හඬ ඈත් වී යත්දී ආලෝක ගේ කන් වලට දැනුණේ සැනසුමකි. කෙසේ වෙතත් ඔහු සිටියේ සිහිනයත් හැබෑවත් අතරේ ය. පියවි ලෝකයත් මඳ උමතුවත් අතරේ ය.
“සෝ මිස්ටර් සුමන්…ඇක්චුවලි මං මේ ෆීල්ඩ් එක ගැන හිතුවෙ මොනාම හරි කරන්න ඕන නිසා. මට ඕන තරං ටයිම් තියෙනව. අයිම් රියලි ෆ්‍රී ඉන් මයි ලයිෆ්. මට ඒක තමයි අමාරුම. මට ඕනෙ හෝල් ලයිෆ් ලෝං වෙරි බිසී වෙන්න. මං හිතන්නෙ බිස්නස් ෆීල්ඩ් එක ඒකට හොඳ ම තැන..ඉස්න්ට් ඉට්…”
“යුවා ක්වයිට් රයිට් සූර්යා”
මිස් සූර්යා නොකියා පුරුදු ලෙස ඈ ඇමතීම ගැන ගැස්මක් ආලෝක ට දැනිණ. නමුත් දැන් ඒ වෙනස් කළ නො හැකි ය. ඔහු වෙනසක් නැති බවක් පෙන්වන්නට උත්සාහ කළේ ය.
නමුත් හදවත් පටක වල නාය යාමක් සූර්යා අත් වින්දා ය. ඔහු සූර්යා කියා කීවේ මීට විසි වසරකට පෙර ආලෝක එසේ කී ආකාරයට ම ය.
සූර්යා කියන නම කිව හැක්කේ ඒ ආකාරයට ය. ඊට වෙන ක්‍රමයක් නැත්තේ ය. කවුරු කීවත් උච්චාරණය කළ හැක්කේ එක ම විදිහට ය. ආලෝක ගේ වූ ක්‍රමයක් ඊට තිබිය හැකි ද?
ඇයට විකාර යයි සූර්යා තමන්ට ම දොස් කියා ගත්තා ය.
“මං හිතන්නෙ මේක මේව ගැන කතා කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මට මිස්ට සුමන් ගෙ කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න. මං කෝල් කරන්නං. සම් ටයිම්ස්…අපිට මීට් වෙලා වුණත් කතා කරන්න පුළුවන් වෙයිනෙ…”
“වයි නොට්…ශුවර්..”
එසේ කීවාට ආලෝක ගේ මුහුණේ වූයේ මහත් දෙගිඩියාවකි. එයට භීතියක් කියා වුව කියන්නට බැරි කමක් නැත. මේ මුව ආවරණය මේ වෙලාවේ මොන තරම් වටිනා වස්තුවක් වූවා ද කියා ඔහු කල්පනා කළේ ය. එය නොවිණි නම්!