ආලෝක සුමනරත්න හිතා ගෙන ආවේ ඒ රාත්‍රියේ සිහි විකල් වන තුරු මත් පැන් බොනවා කියා ය. මතකය හිතට කරදර කරන්නා වූ බොහෝ රාත්‍රීන් වල එහෙම කොට පුරුද්දක් ඔහු ට වේ. මී විත හා ප්‍රේමය යනු එකට බැඳී යන්නා වූ මත් වීමේ මාර්ග දෙකකි. පෙම් කරනා ගැහැනියගෙන් මත් විය නො හැකි නම් තෝරා ගන්නට ඇති අනිත් ක්‍රමය මී විත බව ආලෝක සිය සගයන් සමග කියා සිනහ වෙයි. මෘදු මත් වීම තුළ කොහොමටත් ඔහු ට සූර්යා අමතක වූවා නොවේ. මේ වසර විසි ගණන පුරාවට ම ඔහු ජීවත් වූයේ හිතෙන් ඈ සමග ය. ඈ සිටියේ ඔහු ගේ ගෙදර ය. ඈ නිදි ලැබුවේ ඔහු ගේ යහනත ය. ඒ නිසා ම මෘදු මත් බවට ක්‍රමයෙන් ආලෝක ලොල් වූයේ ය.
හදිසියේ ම දැඩි හිරු එළියක් සේ සූර්යා දෑස් අභියස පහළ වෙත්දී නම් ඔහු ගේ ඒ මඳ මත් බව ඇසිල්ලකින් වියැකී ගියා විය යුතු ය. ඈතක දිළිසෙන ඇගේ සඳ කත් මිණි ඇස් දෙස බලා ගෙන, වෙනදාට වැඩි මධු විත වීදුරු ගණනක් ඔහු හිස් කළේ ය. නමුත් ඇල්කොහොල් වල කිසිදු ක්‍රියාකාරිත්වයක් වූයේ නැත!
ගෙදර විත් තනිව මී විත පුරන්නට ඔහු හිතා ගෙන ආවේ ඒක ය. නමුත් ඊට සිත් හි අභිරුචියක් නොවන බව දැනුණෙන් ආලෝක යහනෙහි පෙරළිණි. රළු නියපොතු ඇති ඇඟිලි වලින් සූරා දැමූ කලෙක සේ ඔහු ගේ ඇතුළාන්තය ඇදුම් කයි!
මේ වූ කලී සදාතන රිදුමකි. සුව නොවෙන රිදුමකි. මෙහෙම හිත රිදවා ගෙන හිඳිනා බොහෝ අවස්ථා වල ඔහු ගේ මනසෙහි ඇඳී යන්නේ එක ම සිතුවම් පෙළකි. කළුවර දවස් ටිකකි. ටයර් මත ඇවිලූ සෑයකින් විහිදෙනා ගිනි රොටු වල රතු පාටත්, ඒ කළු දුම ඇති කරනා බිරුම් විලාශයත් ය. ඒ පුළුටු ගඳ නැවතත් නාස් පුඬු වලින් ඇතුළු වූ විට දින ගණනාවකට තුනී වී යන්නේ නැත.
“තාත්තා…”
පොඩි කොල්ලෙකුගේ භයංකර ළතෝනිය උල ලේනෙකු ගේ විලාපයක් සරි ව ඊළඟට දෙසවන් පුපුරුවා ලයි. එතකොට ආලෝක දෑතින් ම දෙසවන් වසා ගන්නේ ය. අම්මා තුරුලේ ඉකි බිඳ හැඬු ඒ අවාසනාවන්ත දවස කිසි සේත් ඔහු ගේ මතක ඉතිහාසයෙන් අතු ගා දැමිය හැකි වන්නේ නැත. තාත්තා ටයර් සෑයක් මත අඩ වශයෙන් දැවී සිටි ඒ පව්කාර දවස!
අසූ නවයේ කලබලයෙන් මිටියාගොඩ චිතකයක් වෙත්දී ආලෝක අවුරුදු දහයක කුඩා කොල්ලෙකි. ගම් තුලානෙන් අම්මා ඔහු ද කැටිව පලා යන්නේ ඉනික්බිති ය. ටයර් සෑයේ පුළුටු ගඳ නො දැනෙනු වස් ඔහු ගේ මතක ඉතිහාසයෙන් මීටියාගොඩ දුරස් කරලීම අම්මා ගේ අරමුණ වන්නට ඇත. නමුත් සෑය දැවුණේ හදවත මැද්දේ ය. පුළුටු ගඳ හමන්නේ ආත්මය පුරාවට ය. එසේ ම මීටියාගොඩ ද අමතක කළ නො හැකි මතකයක් ලෙස ආලෝක ගේ මතක පුරාණයේ නිදන්ගත ව තිබිණි.
මීටියාගොඩින් සැඟවී යත්දී අම්මා ගේ යටි හිතෙහි යමක් වැඩ කරමින් තිබි බවක් දැන් දැන් ආලෝක ට සිහි වේ.
“ඉතිහාසය ආයෙ ආයෙ වෙන එක ලෝක ධර්මයක් පුතේ. ඒත් මගෙ ඇස් දෙකට ආයෙ එහෙම දෙයක් දකින්න ඕන නෑ. මගෙ පපුවෙ ආයෙ එහෙම ගින්දරක් ඇවිලෙන්න ඉඩකුත් නෑ. උඹ පරිස්සං වෙන්න ඕන පුතේ. අපිට ඕන ඇති රට හැදිල්ලක් නෑ. තාත්තා රට හදන්න ගිය එකෙං වුණේ මටයි උඹටයි එයා නැති වෙලා ගිය එක. රට හදන්න යද්දි එයා හිතුවෙ නෑ එයා නැති වුණොත් මං කොහොමද තනියම උඹව හදා ගන්නෙ කියල. අන්තිමට එයා ගියේ මහමෙරක බර මගෙ ඔළුව උඩ පටවල. එයාට වෙච්ච දේ කවදාවත් ඔයාට වෙන්න ඕන නෑ. තේරුණා නේද මගෙ පුතාට…”
අම්මා ගේ හඬ වෙව්ළුවා ආලෝක ට මේ දැනුත් සිහි කර ගත හැක. ඇය හැඬුවේ නැත. කඳුළු සැළුවේ නැත. නමුත් කඳුළු සයුරක් ම හදවත තුළ හිර කර ගෙන සිටියා ය.
මීටියාගොඩින් පලා යත්දී ආලෝක මිට මොලවා ගෙන සිටියේ එක ම එක දෙයකි. ඒ තාත්තා ගේ මහ ගෙදර පිටතින් තැනූ කුස්සියේ බිත්ති සකසන්නට දොමන්විල වගුරු බිමෙන් ගෙනා මකුළු කිරිමැටි අතරේ තිබී ඇහිඳ ගත් කොළ පාට චන්ද්‍ර කාන්ත පාෂාණයකි.
මේ පාෂාණ වර්ගය අතීතයේ සිට ම දොමන්විල මීටියාගොඩ හෝ අම්බලන්ගොඩ ආශ්‍රිත ගම්මාන වල වැසියන්ට අමුතු දෙයක් වූයේ නැත. ඔවුන් ඒවා හැඳින්වූයේ පුනක්කම් යන නමිනි. කිරිමැටි ගෙන යන්නට දොමන්විල ආ මුස්ලිම් වෙළෙඳුන් මේ දීප්තිමත් වර්ණවත් පාෂාණ ඔප දමන්නට ගත්තෙන්, සඳ කැන් පාෂාණ සොයා අම්බලන්ගොඩ ආ මුස්ලිම් වෙළෙඳුන් ප්‍රමාණය වැඩි වූ බව ඒ කාලේ සීයා කියනු ආලෝක ට මතක ය.
සීයා සතුව කුරුඳු ඉඩමක් තිබිණි. ඔහු එහි තැලෙනා කුරුඳු විකිණුවේ ද මුස්ලිම් වෙළෙඳුන්ට ය.
අවුරුදු දහයක කොල්ලෙකු කැටිව කොළඹ ආ චාන්දනී, ඥාති නිවසක නතර වී ගාමන්ට් එකක වැඩට යන්නට පටන් ගත්තා ය. ආලෝක ව කොළඹ නගර සභා සීමාවට අයත් ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගත හැකි වූයේ, සැමියා ගේ පියාගෙන් ලද මුදල් ආධාර නිසා ය. සිය වැඩිමල් පුතු ටයර් සෑයක දැවෙනු දුටු ඇඩ්ඩින් මුදලාලි, බාල පුතාව කෙසේ හෝ පිට රටකට පටවා මුණුපුරාව කොළඹ පිරිමි විද්‍යාලයකට ඇතුළත් කරවූයේ සිය කුරුඳු ඉඩම විකුණා දැමීමෙනි.
චාන්දනී ටික කලක් ඥාති නිවසේ නතර වී හිඳ පසුව ගෙයක් කුළියට ගෙන ආලෝක ද සමග එහි පදිංචි වූවා ය. ඇඩ්ඩින් මුදලාලි වැඩි කලක් නො ගොස් මිය ගියේ මහ ගෙදර ඔප්පුව බාල පුතා නමට ලියා තබා ය.
වෝටර්ස් එජ් හි පැවති සාදය නිමාවේ ඇය විසින් මිලදී ගෙන තිබූ නුගේගොඩ අපාට්මන්ට් එකට ගිය සූර්යා තඹරවිල, සිය අබරණ සහිත පෙට්ටිය පිටතට ගෙන ඒ කොළ පාට දීප්තිමත් පාෂාණය පිටතට ගත්තා ය.
“මූන් ස්ටෝන්”
ඇය හෙමිහිට මිමිණුවේ ඒ සිප ගනිමිනි. එදා, ආලෝක ව අවසාන වශයෙන් හමු වුණ දා ඔහු මේ පාෂාණය ඇගේ අත මිට මෙලවූයේ ය.
“තාත්තව මතක් වෙන්න මං මීටියාගොඩින් එද්දි අරං ආපු එකම දේ…මූන් ස්ටෝන් කියන්නෙ මැණික් තරං වටින දෙයක් නෙවෙයි. ඒත් මං මේකට හරි ආදරෙයි. ඔයාව දැක්ක පළවෙනි දවසෙ…ඔයාගෙ ඇස් මේ වගේමයි කියලමයි මට හිතුණෙ. මේක තියෙන්න ඕන ඔයා ළඟ සූර්යා. මාව මතක තියාගන්න ඕන තරං කාලයක් ඔයා මේක ළඟ තියා ගන්න. ඊට පස්සෙ විසි කරල දාන්න”
ඔහු අන්තිමට කියා ගිය වචන ටික එසේ ය. ආලෝක ව අමතක කරන්නට සූර්යා ට ඕන වුණ බව ඇත්ත ය. ඒ ඔහු ගැන මතකය ඇගේ අලුත් ජීවිතයට බාධාවක් වේ යයි ඇති වූ බිය නිසාම ය. සයින් ගඟ දිග ඇවිදින්නට ගිය ඇතැම් ගමන් වලදී, සූර්යා චන්ද්‍ර කාන්ත පාෂාණය සිය අත් බෑගයට දමා ගෙන ගියා ය. සයින් ගඟට ඒ විසි කොට දමා අතීතයෙන් නිදහස් වන්නට ඇයට සිතුණ වාර ගණන අනන්ත ය. නමුත් කිසි ම දාක එය කළ හැකි වූයේ නැත. වසර විස්සකට පසු ඇය යළි මව් බිම පැමිණියේ ද සඳ කත් මිණ ද සමග ය. ආලෝක සිහි වන බොහෝ අවස්ථා වල ඇය ඒ අතට ගෙන එදෙස බලා සිටියා ය.
“එයා කොහේ ඇද්ද…එයා මොනා කරනව ඇද්ද..”
සූර්යා චන්ද්‍ර කාන්ත පාෂාණය පපුවට තුරුලු කර ගෙන යහනේ උඩුකුරු ව වැතිරුණා ය.
“ඇයි මං එයාව හොයා ගන්නෙ නැත්තෙ…දැං මට පුළුවන්. දැන් මං රන්ජන් ගෙන් වෙන් වෙලා ඉන්නෙ. එයා ආයෙ මැරි කරලත් අවුරුදු තුන හතරක් වුණා. ඉතිං මට ඇයි බැරි ආලෝකව හොයන්න…ඒත්…එයා මැරි කරල ඇති. එයාටත් අලුත් ජීවිතයක් ඇති. එයා මාව අමතක කරල ඇති”
සූර්යා ගේ පපුවේ විශාල කැළඹිමකුත් තද රිදුමකුත් එක වර ඇති විය. දැන් දැන් ඉඳ හිට ඇගේ පපුවෙන් රිදුමක් එයි. එය වූ කලී ආලෝක සම්බන්ධ මතකයන්ට අදාල එකක් නොව වසර කිහිපයක් තිස්සේ එක දිගට මත් පැන් පානය කිරීම නිසා ඇති වූවකැයි ඇය දනී. ඇල්කොහොල් දේහ ගත කිරීම නවතා දැමිය යුතු බව වෛද්‍ය අදහස ද වූයේ ය. නමුත් පැරීස්යේ දී වයින් බෝතලයක් හෝ නොබී නින්දට ගිය දවසක්, අවසාන වසර පහක කාලයේ දී උදා නොවූ බව සූර්යා ට මතක ය.
“යූ ශුඩ් ගෝ බැක් ටු යුවර් මදර්ලන්ඩ් මම්. අදර්වයිස් යූ බෙටර් ලිව් අවේ ෆ්‍රොම් ලිකර්”
වයස් සම්පූර්ණ වීමෙන් පසු ඇගෙන් වෙන් වී ජීවත් වෙන්නට පටන් ගත් දුවත් පුතාත් දෙදෙනා ම සූර්යා ට කීවේ එසේ ය. පැරිසියට වී වයින් වලින් තොර ව ජීවත් වීමත් යළිත් වරක් ලංකාවට විත් ජීවත් වීමත් කියන දෙක ම එක වාගේ අමාරු බව සූර්යා දැන සිටියා ය. සැමියෙක් නැති, විවාහක බැඳීමක් නැති, සිය රැකවරණයෙහි වන දරුවන් නැති ගැහැනියකට දැනිය හැකි පාළුව හා තනිකම කෙතරම් වියරු, කටුක එකක් ද කියා දැනෙන්නේ එවන් තත්වයකට පත් වූ කෙනෙකුට ම පමණකි. එය විටෙක දිවි නසා ගන්නට සිතෙනා තරමේ එකකි. පැරිසියේ දී සයින් ගඟට ම පැන මිය නොගියේ මන්දැයි විටෙක ඇය ඇගෙන් ම ඇසුවා ය.
මව් බිමට පය ගැසූ ගමන් සූර්යා සිතුවේ දවස පුරා කාර්ය බහුල විය හැකි මගක් සොයා ගත යුතු බවයි. ශ්‍රී ලංකාව වැනි දූපත් මානසිකත්වයක් සහිත කොදෙව්වක මිනිසුන් අතරේ දී, පැරිසියේ වූ මහාද්වීපික නිදහස සෙවිය නො හැකි ය. ලංකාවේ රැකියාවක් කිරීමෙන් ලද හැකි මාසික වැටුප ගැන සිතත්දී, ව්‍යාපාරයකට අත ඇති මුදල් යෙදවීම නුවණට හුරු ම දේ බව ඇය සිතුවා ය.
රැය පහන් වන තුරු ම ආලෝක ට නින්ද ගියේ නැත. චාන්දනී ඔහු ට කිර් එක සාදා දෙවරක් ම එය සින්ක් එකට හැලුවේ නිවී තිබුණ නිසා ය. ඇගේ සිත් හි නොරිස්සුමක් ජනිත විය.
“රෑ ජාමෙක ගෙදර එනව කට ගොන්නක් බීගෙන…උදේට නැගිටින්නෙ නෑ ඊළඟට”
ඇය තනිව මුමුණමින් ආහාර ගත්තා ය. දැන් දැන් චාන්දනී සිටින්නේ ලෙඩ ගානේ ය. එක ලෙඩක් කියා නැත. එකකට බෙහෙත් කරනා විට තව එකක් ඉස්මතු වේ. ආතරයිටිස්, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හයි බ්ලඩ් ප්‍රෙෂර්!
ඇඳි වත හා අවුරුදු දහයක පුත්‍රයෙකු විතරක් ගෙන කොළඹ ආ ගමන ගැන තවමත් ඇයට පුදුම ය. දේශප්‍රේමයෙකු ගේ බිරිඳ වශයෙන් චාන්දනී ට ද සවිමත් සිතක් තිබිණි.
“මං ගෙදර එන අන්තිම දවස මේක වෙන්න පුළුවන් චාන්දනී. ඔයාගෙය් පුතාගෙයි මූණු දකින අන්තිම වතාව මේක වෙන්න පුළුවන්”
මහ රැයේ ලෝකයට ම හොරෙන් අනුන්ගේ ගෙදරකට රිංගන්නා සේ ගෙට විත් හැකි ඉක්මනින් වෙන් ව යන හැම දවසකම දේශප්‍රිය එසේ කීවේ ය.
“මූසල කතා කියන්නෙපා අනේ”
ඔහු බදා ගෙන ඉකි ගසා හඬන්නට තරම් වේදනාත්මක බරක් පපුවේ හිර වී තිබිණි ද ඔහු ඉදිරියේ කවදාවත් ඇය එසේ නොකළා ය. ඉන්න කීවාට දැන් ඔහු නතර නොවෙනා බව ඉඳුරා දැන උන් ඕ, සිදුහත් ට ඔහු සෙවූ විමුක්තිය සොයා යන්නට ඉඩ දුන් යශෝදරා සේ දරා සිටියා ය. මේ මාර්ගයෙහි විමුක්තියක් සොයා ගත නොහැකි බව චාන්දනී ගේ ගැහැනු හිත නිතර ම ඇයට මුර ගා කීවේ ය. නමුත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුවේ වී නම් දේශප්‍රිය කෝප ගනු ඇති බව දඇය අත්දැකීමෙන් දැන සිටියා ය.
“අපිට නැතත් අපේ පොඩි උන්ට හරි ඉන්න රටක් ඉතුරු වෙන්න ඕන චාන්දනී. මෙච්චර දුක් විඳගෙන අපි මේ දඟලන්නෙ ඒක කරන්න. ඔයා දුර්වල වෙන්න බෑ තේරුණා ද…ඔයා අඬන්න බෑ. හිත හයිය කර ගන්න. කොල්ලව හයියට හදන්න. ඌ ඔයාව බලා ගනී”
නාඬා හිටියේ කොහොම දැයි ආපසු හැරී බලත්දී චාන්දනී ට ම පුදුම ය. ආලෝක උසස් පෙළ සමත් වෙන තුරා ම ඇය හුස්මක් නොගෙන එක සීරුවට වැඩ කළා ය. ගාමන්ට් එකේ අත් උදව් කාරියක ලෙස වැඩට ගොස් කකුල් කඩුත්තුව හැදෙන තුරු මුළු දවසේ ම හිට ගෙන වැඩ කළා ය. බස් වියදම පවා අතේ ඉතුරු කර ගෙන කොල්ලා ගේ ඉගෙනීමටත් කෑම් බීම් වලටත් තියා ගන්නා අදහසින්, කකියන දෙපා වාරු කර ගෙන වැඩ නිම වී පයින් ම ගෙදර ආවා ය. අත් උදව් කාරියකට වඩා ජුකී මැෂින් ක්‍රියා කරවන්නියක ගේ වැටුප වැඩි බව දැන ගත් දවසේ සිට ඉඩක් ලද ගමන් කෙසේ හෝ මැෂිම පුරුදු වූවා ය. ඊළඟට ටාගට් දීමේ යුද්ධය ය. හුස්ම ගන්නට හෝ ඉසිඹුවක් නැතිව ටාගට් කවර් කරනා අතරේ ඇය ට සිතුණේ එක ම දෙයකි. අරගල කියන්නේ මේවාට ය!
චාන්දනී හැම දාම හෝරා කිහිපයක් අතිකාල දීමනා වෙනුවෙන් වැඩ කළා ය. මාස් වේදනා උහුලා ගන්නට ම බැරි වුණ දාක පවා වැඩට ගොස් බඩ තද කරගෙන මැසුවා ය. එසේ කළේ දිනපතා පැමිණීම වෙනුවෙන් ලබා දුන්නා වූ දීමනාව එක දවසක් වැඩට නොයාමෙන් අහිම් කර ගත නො හැකි නිසාය.
ඇගේ වෙහෙසීමත් කැපවීමත් නිසා චාන්දනී ට සුපර්වයිසර් තනතුරක් ලැබිණි. ඒ ඇඟළුම් ආයතනයේ පැරණිම සේවිකාව ඇය වූවා ය.
උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පස් වන ස්ථානයට ලකුණු ලබා ගෙන තිබුණේ ආලෝක ය. ඔහු ගේ උපකාරක පන්තියක ගුරුවරයෙකු ආලෝක ට කතා කොට වැඩක් බාර දුන්නේ ඉන් පසුව ය.
“ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න කියල මට තැනකින් කතා කරනව ආලෝක. දන්නවනෙ ඉතිං…මට ඉන්ඩිවිජුවල් කරන්න ටයිම් බැලන්ස් කර ගන්න පුළුවන් කමක් නෑ මේ මාස්ටර් ක්ලාස් ටිකත් එක්ක. මොකද කියන්නෙ…මං ආලෝකට ඒ වැඩේ සෙට් කරන්නද…”
ආලෝක එක පයින් කැමති වූයේ ය. එවකට විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ පෝලිමක් තිබිණි. දකුණේ පැවති යුද්ධයත් උතුරේ පැවති යුද්ධයත් නිසා වරින් වර පාසල් සේ ම විශ්ව විද්‍යාල ද වසා දැමිණි. ඇතැම් කාල වල එක දිගට මාස ගණන් වසා දමා තිබුණෙන් විශ්ව විද්‍යාල වලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම පමා වෙමින් ද වසර ගණන් ගොඩ හැහෙමින් ද තිබිණ. තව දුරටත් ඔහු පොඩි ළමයෙකු නොවන බව ආලෝක දැන සිටියේ ය. අම්මා වෙහෙසෙන තරම නොදුටුවත්, එය සීමා රහිත බව ඔහු දැන සිටියේ ය. යන්තම් සිය වියදම් ටිකක් හෝ පිරිමසා ගැනීමේ අරමුණ ඇතිව ආලෝක ඒ ටියුෂන් එක බාර ගත්තේ ය.
තැන, කොහුවලත් නුගේගොඩත් අතරේ පීටර්ස් පටුමගෙහි මැදුරකි. සූර්යා තඹරවිල ගේ සඳ කත් මිණි ඇස් ආලෝක මුලින් ම දුටුවේ එදා ය.