මගේ දෙමාපියන් අවසානයට මොන කෙහෙම්මලකටවත් මගේ ආදරය නැවතිය නොහැකි බව වටහා ගන්නා කාලයක් ආවා. ඇනුම් බැනුම් ගුටි බැට විතරක් නෙවෙයි.ඔවුන් කළ හැකි සියල්ල කරා.
“විභාගේ ළඟයිනෙ.මේ යන්තරේ දාගන්න..”
එහෙම යන්තර කීයක්නම් ඒ කාලේ මට ලැබුණද?
“මේක මන්තර ගුරුකම් තියන රටක්.වැරදිලා හරි ඔය එපා කරන්න දාන යන්තරයක්නම්..ඕක දාන්න නම් එපා මෝඩියේ..”
මගේ හිත මට කියනවා.මාත් ඒක අකුරටම පිළිපදිනවා.ඇත්තටම ඉගෙනීම දියුණු වෙන්න හෝ අපල නවත්තන්න දැම්මද නොදන්න යන්තර සේරම මම කොහේ හරි තියා ගත්තා මිසක කරට නම් දැම්මේ නෑ.
මම උසස් අධ්‍යාපනය වෙනුවෙන් Designing තෝරා ගත්තා.Designing School යන්න පටන් ගත්තා.ඒ ඉගෙන ගන්න කාලයේ ව්‍යාපෘතියක් සඳහා මහනුවර යන්න මට සිදු වෙනවා.
ඔව්! ඒ තවත් තීරණාත්මක ගමනක්.
අපේ අධ්‍යක්ෂවරයාගේ මිතුරෙක් වූ අසංක මාව දකින්නේ ඒ ගමනෙදී.අසංක මා ගැන මගේ අධ්‍යක්ගෙන් විමසන්නේ ඊට පස්සේ.ඒ කතාව මගේ අම්මලා තාත්තලාගේ කන වැකෙනවා.
අසංකව ප්‍රතික්ෂේප වෙන්නේ නෑ.සුධාරකගේ සම්බන්ධය අවසන් කරමින් මා විවාහ කර දිය යුතු මිනිසා අසංක බවට මගේ දෙමාපියන් තීරණය කරනවා.අසංක නිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ම ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය කෙනෙක්. මහනුවර වැදගත් පාරම්පරික පවුලක පුත්‍රයෙක්.ප්‍රබල දේශපාලකයෙකුට නෑකම් කී චරිතයක්.
සාමාන්‍ය පවුලක උපන් තරුණයෙකු වූ සුධාරක ඔහු හා සසඳන්නටවත් අවශ්‍ය නැති බව මගේ දෙමාපියන් එකහෙළාම කියා සිටිනවා.
දැන් මොන දෙයියන්ටද මේ අවනඩුව කියන්නේ? මම සුධාරක එක්ක විවාහ වෙලා වසර දෙක තුනක් ගෙවුණත් මට ඔහු මුණ ගැහුණේ නැති තරම්. කොළඹ පදිංචි ඔහුගෙත් මගෙත් විදේශීය මිතුරියකගේ ගෙදරදී තුන් හතර වතාවක් මුණ ගැහුණත් ළඟකදී අපි මුණ ගැහිලා නෑ.යුද්ධය ඔහුව ඒ තරමට කාර්යබහුල කරලා තිබුණා.
“කොහෙ ඉන්නවද කියලා හොයන්න බෑ..”
ඔහුගේම කඳවුරේ මිතුරන් පවා කියන්නේ එහෙම.සුධාරක ස්නයිපර් සටන්කරුවෙක්.ඔහු හිටි හැටියේ අතුරුදහන් වීම කඳවුරට සාමාන්‍ය දෙයක්.දවස් හතර පහක් පුරා ඔහු අතුරුදහන් වීමෙන් පසු ආරංචි පැමිණෙන බව ඔවුන් කියනවා. සතුරු කඳවුරුවල සතුරන් විනාශ වී ඇති බවත් එය ස්නයිපර් සටන්කරුවෙකුගේ ක්‍රියාවක් බවත් සතුරු හමුදාවගේ පණිවිඩ හුවමාරු හරහා ආරංචි වෙද්දී හැමෝටම එය පසුපස සිටින්නා අනාවරණය වෙනවාලු.
“සුධාරකගේ වැඩක්..”
අන්න එතකොටයි ඔවුන් සුධාරකගේ අතුරුදහන් වීම ගැන වටහා ගන්නේ.දවස් හතර පහකින් සුධාරක කඳවුරට පැමිණෙනවා.එහෙම තනියම ගිය වතාවක අනතුරකට ලක් වී ඔහුගේ මුහුණට සැත්කමක් කළ අවස්ථාවක් පවා තිබෙනවා.
ඉතින් මම කොහෙන් හොයන්නද?
මම ඒ කාලය වෙද්දී සුධාරකගේ අම්මාට සහ පොඩි නංගිට ලිපි ලියන්න හුරුවෙලා හිටියා.පොඩි නංගි මා සමඟ ඉතාම හිතවත්.ඉතින් මම ඇයට ලිපියක් ලියා යැව්වා.
“මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිල්ලා..අම්මලා ඒ මනුස්සයාට මාව බන්දන්නම යනවා.මොකද අපි කරන්නේ?”
පරිණත ගැහැනියක හැටියට මේ මොහොතේ මට සිතෙන දෙයක් තිබෙනවා.ඒ මොහොතේ ඇය වගකීම් සහගත අම්මා කෙනෙකු හැටියට කළ යුතුව තිබුණේ එක් දෙයයි.මම ඒ වෙද්දී නීතියෙන් සුධාරකට අයත් වූ කෙනෙක්.එනිසා ඒ අම්මාට කොහොමටත් ක්‍රියාත්මක විය හැකිව තිබුණා.
“මගේ පුතයි අනුරාධායි තනි කැමැත්තට කසාද බැන්දේ අහවල් දවසේ.දැන් මෙයාව වෙන කෙනෙකුට බඳින්න බෑ..”
ඇය එදා විත් එසේ කීවානම් මට ඔබ සමඟ බෙදා ගන්නට වෙන්නේ මේ කතාව නොවේ.රණවිරු බිරිඳක් ලෙස අන්තිම සටන දරා ගත් හැටි, තාත්තා කිසිම පාසල් රැස්වීමකට නොපැමිණෙන තරම් කාර්යබහුල වී සිටියදී මම දරුවන්ට තනිව යුතුකම් කළ අන්දම,මානුෂීය සටන ජයගත් මොහොතේ හදවතට දැනුණු හැඟීම් මට ඔබ එක්ක බෙදා ගන්න තිබුණා.
නමුත් ඇය එසේ කරේ නෑ.බොහෝ කුණාටු ඉනික්බිතිව හට ගත්තේ ඒ නිසාමයි.සුධාරකගේ අම්මා අවුරුදු විසි තුනක කෙල්ලක් මහත් බයට පත් වෙන අන්දමේ කතාවක් මට ලියා එව්වා.
“කොහොමද ඔයා එක මනුස්සයෙක් බැඳලා තව මිනිහෙක් බඳින්නේ..හිරේ යන්න තමයි ඔය හදන්නේ..”
නීතිය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා කෙල්ලක් ප්‍රේමවන්තයා අහිමි වීමේ අවදානම මදිවාට හිරේ විලංගුවේ වැටීමේ අවදානමක් ගැන බයට පත් වුණේ ඊටපස්සේ.
ඒ හැම කතාවක්ම ඇගේ සැලසුමක් බව තේරුම් ගනිද්දී මම ජීවිතේ දශක තුනක් පමණ පසුකළ ගැහැනියක වීම දෛවය මට කළ දරුණුම සරදමක්