සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ. හෝරා දෙක තුනක් වෙහෙස වී ඕ දිවා ආහාරය පිස නිම කළා ය. ඒ ඉමහත් බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවකිනි. ගැහැනියකට බතක් උයා ගන්නට වුව සිතෙන්නේ එයින් පිරෙනා කුසක් තිබේ යයි දැනෙත්දී ය!
ආලෝක ඇගේ ජීවිතයෙන් නික්ම ගිය ඒ අඳුරු මූසල දවස වේදනාත්මක රිදුමක් දනවනා කටුවක් සේ සිත්හි පැටලෙන්නට වූයේ ය. ඇය ඉකි ගසා හැඬුවා නොව කෑ ගසා හැඬුවා ය.
“මොකද්ද සූර්යා ඔයාගෙ මේ හැසිරීම…ඔයා ඉගෙන ගත්ත ළමයෙක් නේද…”
අම්මා තරවටු මුවින් දොස් කීවා ය. නමුත් සූර්යා ට ඇය පාලනය කර ගත හැකි වූයේ නැත.
“අනේ අම්මි මට ආලෝකව නැති කරන්න එපා. මං මැරෙයි අම්මි. මට එයා ළඟට යන්න දෙන්න අම්මි”
ඒ වෙලාවේ අම්මා අවඥාවෙන් හිනැහෙන හැටි සූර්යා දුටුවා ය.
“එයා ඔයාට ඔය කියන තරං ආදරේ කළානං ඔහොම පැනල යයිද සූර්යා. අතේ සතේ නැති ටියුෂන් කාරයෙක්. එයා හැදුවෙ ඔයාව රවට්ටගෙන අපෙං සල්ලි කඩා ගන්න”
“ආලෝක එහෙම නෑ”
“ඒ ඔයා දන්න තරම. දන්නවද එයා ඔයාව අත්ඇරල ගියෙ ඇයි කියල…අපි සල්ලි දෙන්නං කියපු නිසා”
සූර්යා තිගැස්සී ගියා ය. ඇගේ කඳුළු සැනෙකින් වාෂ්ප වී ගියේ ය. සිය ප්‍රේමය පිළිබඳව මහත් ආත්මානුකම්පාවක් ඈ තුළ සැනෙන් වැඩිණි. ආදරය මුදලට පාවා දෙන්නට තරම් ඔහු පහළ ට වැටුණා නම් තවත කුමට ඔහු නමින් හඬන්නෙම් දැයි ඕ වහ වහා හිත සවිමත් කර ගත්තා ය.
“මං කැමතියි ජනිත් ව මැරි කරන්න”
හෝරා කිහිපයක් තුළ ඕ අවසාන තීන්දුව ද දැනුම් දී සිටියා ය. ඉතින් ජනිත් විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජ්‍යය සඳහා නික්ම යන්නට පෙර ඒ විවාහය සිදු විය.
සූර්යා මේ තත්වයට මුහුණ දෙන්නට අධිෂ්ඨාන කර ගෙන සිටියා ය. ආලෝක ව අමතක කරන්නට ඇය අවංකව ම උත්සාහ කළා ය. ජනිත් ගැන ආදරයක් කිසි දා ඇගේ සිතේ උපන්නේ නැත. නමුත් ඕ ඔහු වෙනුවෙන් පේ වී සිටියා ය. බිරිඳක වශයෙන් සියලු යුතුකම් ඉටු කළා ය. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් ප්‍රංශයේ රෝහලක ජනිත් ට පත්වීම ලැබුණාට පස්සේ සූර්යා වඩාත් සන්සුන් වූවා ය. පැරිස් නුවර පදිංචි වෙනවා කියන්නේ මව් බිමත් සමග වූ පෙකණි වැල් සම්බන්ධය කපා දැමිය හැකි අවස්ථාවකැයි ඕ සැනසුම් සුසුම් හෙළුවා ය.
දරු දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට සිදු වෙනවා කියන්නේ අම්මා කෙනෙකු ට ඉන් එපිට ලෝකයක් දෙස ඇස් උස්සා බැලිය නො හැකි වෙනවා කියන එක ය. එමිලි හා කැමිල් නිසා සූර්යා ගේ දවසේ හැම තත්පරයක් ම කාර්ය බහුල වූයේ ය. ඇය ඇය ව අමතක කොට දමා සිටියා ය. අමතක කළා ට ඇය ජීවත් වූවා ය. ඈ තුළ ආලෝක ද හුස්ම ගනිමින් නො සිටියා යයි කිව හැකි ද? ඇය ට ඔහු අමතක කරන්නට ඕනා වූ තරමට මතකය ඇගේ ඇගේ සිරුරේ ඇට මස් ලේ නහර පුරා ඔඩු දුවා වැඩිණි. සූර්යා ඉවත බලා ගෙන සිටියා ය. නැත්නම් නො දුටුවා සේ සිටියා ය.
සැමියා වශයෙන් ජනිත් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළා ට ඔහු ට ආදරය කරන්නට ඇය ට අමතක වී තිබිණි. ඒ බව සිහිපත් වන වෙලාවට එසේ කිරීමේ උත්සාහයක් ගත්තත් එය කෙතරම් කෘතීම වූ මවා පෑමක් දැයි ඇය වෙහෙස වූ සිතින් ම සිතුවා ය. වසර ගණනාවකට පසු ජනිත් වෙනත් කාන්තාවක් සමග සබඳකමක් ඇති කර ගෙන යයි දැන ගත් වේලේ සූර්යා සැනසුම් සුසුමක් හෙළුවේ එනිසාවෙන් විය යුතු ය. මේ වෙත්දී විවාහය තුළ වැබවින් ම ඕ වෙහෙසට පත් ව සිටියා ය. ආදරයක් නැති විවාහයක් නඩත්තු කිරීම කියන්නේ කෙතරම් වෙහෙසක් දැයි අත් විඳ ම විඩාවට පත් ව සිටියා ය.
දික්කසාදය ලබා ගැනීම සඳහා ලංකාවට ආ වෙලාවේ සූර්යා සිය මව් වෙත ගොස් එක ම එක පැනයක් ඇසුවා ය.
“මාව අත්අරින්න ආලෝක කීයක් ගත්තද අම්මි…”
මේ තරම් කාලයක් මේ තරම් දේවල් අතීතයට එක් වී තිබියදීත් සූර්යා ඒ කතාව මතකයේ තියා ගෙන සිටියා කියන එක ඇගේ මව ගේ සිත් හි පසු තැවීමක් ඇති කළ කාරණයක් විය. ඔවුන් කොයි තරම් උත්සාහ කළත් සූර්යා ගේ යුග දිවිය සාර්ථක කළ නො හැකි විය. එය අතර මගක දී බිඳී ගියේ ය.
“එහෙම දෙයක් වුණෙ නෑ සූර්යා”
අම්මා සුසුමකින් කීවා ය. එවන් සුසුම් දස දහස් ගණනින් හෙළුවද දැන් ඉතින් කිසිත් වෙනස් කළ නො හැකි බව ද ඇය දැන සිටියා ය. එදා සූර්යා ගේ ආදරයට ආශිර්වාද කොට ඔවුන් ගේ අනාගතය තනා ගන්නට උදව් කළා නම් අද මෙවැන්නක් දකින්නට තරම් ඔවුන් ගේ ඇස් අවාසනාවන්ත නොවනු ඇතැයි ඕ තොමෝ වේදනාවෙන් සිතුවා ය.
“ආලෝක එක සත පහක් වත් ගත්තෙ නෑ. එයාට ඔයාව ජීවත් කරවන්න තරං තත්වයක් නැති බව අපි පැහැදිලි කරද්දි ඒක තේරුං අරං ඔයාගෙන් ඈත් වෙලා ගියා. ඒ අහිංසකය සල්ලි වලට මුකුත් විකිණුවෙ නෑ”
අඬන්නට කඳුළුත් සිනහ වෙන්නට සතුටත් යන දෙක ම සමාන අනුපාත වලින් ඒ වෙලාවේ සූර්යා ගේ ගැහැනු හද මඬලේ විය. ඔහු සිය අහිංසක ආදරය මුදල් වලට පාවා නොදුන්නේ වී නම් එපමණකි.
ලංකාවේ ඕනෑ තරම් කාලයක් හිඳ ආලෝක ගැන සොයා බැලීමේ හැකියාව එදා සූර්යා ට තිබිණි. නමුත් ඇය එසේ නො කළා ය.
විවාහයෙන් පසු ආලෝක පිළිබඳව කිසිදු තොරතුරක් ඇය වෙත ලැබුණේ නැත. ඇගේ යෙහෙළියන් ඔහු ව වැඩිපුර දැන සිටියේ හෝ එක සමාජ ස්ථරයකට අයත් වූයේ හෝ නැත. කෙසේ වෙතත් මේ වෙත්දී ඔහු විවාහ වී දරුවන් ද ලබා ඇතැයි සූර්යා අනුමාන කළා ය. ඒ නිසා ඔහු ගේ ජීවිතයේ ගලා යාමට බාධාවක් නොවී පසෙකට වී ඉන්නා එක හොඳ යයි සිතා ඇය යළි ප්‍රංශය බලා ගියා ය.
“ඇයි මේ..ම්..”
පිටුපසින් ඇගේ ගෙල හා කන් පෙත්ත අතරේ තැබුණ තොල් පහස ආලෝක ගේ ය. සූර්යා සිය සුරතින් ඔහු ගේ කොපුලක් පිරිමැද්දා ය. පපුව පැලෙන්නට එන රිදුමකින් ඇය දුක් විඳිමින් සිටියා
“අයිම් සොරි ආලෝක…සොරි…”
කඳුළු පොකුරු දෙකක් සූර්යා ගේ ඇස් වලින් එළියට පැන්නේ ය.
“රත්තරං…ඇයි මේ…”
“මං එක මොහොතකට හරි ඔයා ගැන වැරදියට හිතුව. ඊට පස්සෙ ඒ වැරදි අවබෝදයත් එක්ක ජීවත් වුණා. එදා ඒ මොහොතට ඒ කතාව විශ්වාස නොකළනං…අපේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා ආලෝක”
“මොකක් ගැනද ඔයා මේ කියන්නෙ…”
“අම්මි කිව්ව මාව අත් අරින්න ඔයා අම්මිලගෙං සල්ලි ගත්තා කියල. ඒ කතාව නිසා මට ඕන වුණා ඔයාව අමතක ම කරල දාන්න. එහෙම නොවුණා නං මැරුණත් මං ජනිත් ව මැරි නොකරන්න තිබුණා. ආයෙ කවද හරි කොහොම හරි ඔයා මුණ ගැහෙනකල් බලං ඉන්න තිබුණා. ඇයි ආලෝක අපිට එහෙම වුණේ”
ඔහු තදින් ඇගේ හිස් මුදුන සිප ගෙන සිටියේ ය. කියන්නට තියෙන්නේ එක ම එක දෙයකි. ඒ හැමදාමත් ඇය ඔහු ගේ හදවතෙහි පිළිකාවක් සේ ඔඩු දුවා තිබූ බවයි.
එක ගැහැනියක මත්තේ නහිනා පිරිමින් ලෝකයේ නැතැයි ලෝකයා සිතන්නේ ය. එවන් පිරිමින් හමු විය හැක්කේ ගැහැනුන් අතින් ලියවෙනා කතා වල පමණකැයි බොහෝ අය සිතති. නමුත් ආදරණීය පිරිමියෙකු හමු වෙන්නේ ඔහු ඇත්තට ම ගැහැනියකට ආදරය කරන්නට ගත්තා ට පසු ය. ඇත්තට ම ගැහැනියක ඔහු ගේ පපුවට ඇතුළු වූ පසුව ය. ඇත්තට ම ගැහැනියක ඔහු ගේ පපුවේ ජීවත් වන්නට ගත් පසුව ය. ඉතින් ඔහු එවන් පෙම්වතෙකු වන්නේ එවන් ප්‍රේමයක්, එවන් ගැහැනියක් ඔහු ට හමු වූ පසුව ය. පිරිමියෙකු ගේ පපුව බදා සිටිය හැකි ගැහැනියක නොවී, ආදරණීය පිරිමින් ලොව නැතැයි කනිපින්දම් කියා පලක් නැත!
ගැහැනු ශරීර කිහිපයක් සමග ම ආලෝක නම් හිමි ශරීරය යහන් ගත වී තිබේ. සූර්යා කියන පිළිකාව මුලිනුපුටා දමන්නට නමුත් ඔහු ගේ හිතට හැකි වූයේ නැත!
“එක දවසක්…වෙඩින් එකෙන් දවස් ගාණකට පස්සෙ…නුගේගොඩ හන්දියෙ ට්‍රෆික් එකේ කා එක නතර වෙලා තියෙද්දි මං ඔයාව දැක්කා. ඔයා බෝ ගහ ළඟින් පහළට බහිනව දැකපු ගමං මට මොනා වුණාද කියල මං දන්නෑ. කා එකෙං එළියට පැනල මං වාහන අස්සෙං පාර පනින්න ගත්තා. සූර්යා ඔහොම නවතින්න කියල ජනිත් කෑ ගැහුව. ඒත් මාව නතර කරන්න කාටවත් පුළුවන් වුණෙ නෑ. පිස්සියක් වගේ වට පිට බල බල දුව දුව මං ඔයාව හෙව්ව. මට ඕන වුණේ උඩ පැනල හරි ඔයාගෙ කම්මුලට ගහන්න..මට එහෙම කළේ ඇයි කියල නෙවෙයි. සල්ලි වලට ආදරේ පාවල දුන්නෙ කොහොමද කියල අහල…ඒත් ඔයා කොහෙං කොහෙට ගියාද කියල හොයා ගන්න පුළුවන් වුණෙ නෑ. ජනිත් ඇවිත් මාව ආයෙ කා එකට එක්කගෙන ගියා. එයා ඇහුවෙ නෑ මට මොකද වුණේ කියල. මං කිව්වෙත් නෑ. තමන්ට ඇත්තටම ආදරේ නොකරන ගෑනියෙක්ව කසාද බැඳගන්න එකේ කිසිම තේරුමක් නෑ කියල එයා තේරුං ගන්න ඇති අවුරුදු ගාණක් ගියාට පස්සෙ. මං ඒ අසරණයට එයාගෙ ආදරේ වෙනුවෙන් නිදහස දුන්නෙ ඒකයි. ආදරේ නැතුව වෙන මොනා තිබුණත් ජීවිතේ සම්පූර්ණ නෑ. වෙන මොන දේකටවත් බෑ ආදරේ කරන දේ අපේ ජීවිත උඩ කරන්න”
“ඔයා ජනිත් එක්ක ජීවත් වුණත්…මං ඔයාට ආදරේ කළා. මං දන්නෙ එච්චරයි සූර්යා”
ඇය කෑම මේසය සූදානම් කළා ය. ඒ ඈ ඒ තරම් ආශාවකින් කෑම පිසු පළමු අවස්ථාව ය. දරු දෙදෙනා හා ජනිත් වෙනුවෙන් ජීවිතයෙන් විශාල කාලයක් කෑම පිසුවේ වී ද, ඒ යුතු කමක් වශයෙනි. මෙහෙව් හැඟීමක් ඒ කිසිදු තැනෙක වූයේ නැත.
“දැන් මට උයන්නත් අමතකයි වගේ”
ඔහු පළමු බත් පිඬ කත්දී අත් දෙක මත නිකට තබා ගෙන එදෙස බලා උන් සූර්යා මිමිණුවා ය.
“ඒත් අද උයද්දි මං දන්න ශිල්ප ඔක්කොම දාන්න ඇති”
ආලෝක උස් හඬින් සිනහ වූයේ ය. ගැහැනියකට ඇබ්බැහි වීමේ ආදීනව දැන උන් ඔහු, ඈ උයනා කෑම වලට ඇබ්බැහි වීම ඊට වඩා භයානක විය හැකි බව නො දැන සිටියේ ය.
“මං හැම දාම ලන්ච් රෙඩි කරන්නං”
සූර්යා සිය සඳ කත් මිණි දෑසින් ආලෝක ගේ ඇස් වලට එබුණා ය.
“ඩිනර් වලට එන්න එපා කියල නොකියා කියනවද ඒ…”
“ඒක ඉතිං ඔයාගෙ කැමැත්තක්”
හදවත් වල කියූ සේ ම නො කියූ දේ ද බොහෝ පැට වී තිබිණි. කෙසේ වෙතත් ආලෝක සූර්යා ගේ නවාතැනෙන් නික්ම ගියේ සිය පිරිමි ආත්මයේ වගකීම් සියල්ල ගැහැනියක අතට පත් කළ පුරුෂයෙකු ගේ සැහැල්ලුවෙනි. සැබවින් එය මීට පෙර ඔහු විසින් විඳ නැති දෙයකි. ගෙදර සේවිකාවක ද සේවකයෙකු ද සිටියේ ය. සියලු කටයුතු කෙරුණේ ඔවුන් අතිනි. නමුත් සිය ජීවිතයට ගැහැනියක පැමිණි විට හා ඇගේ අත මතින් ඔහු ගේ මුළු මහත් වගකීම් සමුදාය තැබුවා යයි සිතන විට පිරිමි හදකට දැනෙනා නිවීම වෙනම ම දෙයකි
ඒ සන්ධ්‍යාවේ ආලෝක වේලාසන ගෙදර ගියේ ය. චාන්දනී ගේ මුහුණේ ඇඳුණේ ආඩම්බරකාර මඳහසකි. ඈ සිතුවේ ම උදේ ඇය ගේ දොස් පැවරීම මත ආලෝක කල් ඇතිව ගෙදර පැමිණි බවයි. අවුරුදු හතළිස් තුනක් වූවත් කොල්ලා තාමත් ඇයට කීකරු ය කියා සිතීම චාන්දනී තුළ සාඩම්බරයක් ජනිත කරවන ලදී.
“ඔන්න ඔහොම හැමදාම කල් ඇතුව ගෙදර ආවනං ඉවරනෙ. එක එක මිනිස්සුත් එක්ක තැන් තැන් වල බිබී ඉන්නෙ නැතුව”
මඳ සිනහවක් දෙතොල් මත්තේ ගවසා ගත් ඇය හිස මඳක් උස්සා ගෙන ගාම්භීර ලෙස දෑත් පපුව මත බැඳ ගත්තා ය. චාන්දනී වූ කලී ලස්සන ගැහැනියකි. තරුණ කාලයේ දී මීටියාගොඩ ඈ ප්‍රකට ව සිටියේ මාලිනී ෆොන්සේකා වාගේ කියා ය. විජය කුමාරණතුංග ගේ වැනි බොකුටු කොණ්ඩයක් හා හිනා වෙන විට හීන් වෙන ඇස් දෙකක් තිබූ තහනම් දේශපාලනය කළ තරුණයා ඇය ට රන් රස සේ පෑහුණේ ය. ඒ දීගය ඒ තරම් කෙටි කාලයකට සීමා වෙතැයි චාන්දනී හෝ සිතුවේ නැත.
“එහෙම බොන්නෑ අම්මෙ. අම්ම කතා කරන්නෙ මාව බේබද්දෙක් ගානට දාලනෙ”
ආලෝක ගේ මුහුණෙන් ඒ වෙලාවේ චාන්දනී දුටුවේ ඔහු ගේ පියාව ම ය. හිනා වෙන සිහින් ඇස් වලින් ඔහු යළි ඉපිද සිටියේ ය.
“එහෙම වෙන්න කලින් මේ කියන්නෙ. නිසි වයසෙදි කසාදයක් කර ගත්තෙ නැති වරද ඔය. එහෙම කළා නං ගෙදර බලං ඉන්න ගෑනියෙක් දරුවෙක් ඉන්නව නේද කියල දුවගෙන එනව..අම්මල ගැන පුතාල එහෙම හිතන්නෙ නෑනෙ ඉතිං”
චාන්දනී සිය සිනහව ආඩම්බරයෙන් වසා ගන්නට හැදුවාට ඒ තුළ වූයේ සන්තාපයකි. එය වූ කලී යම් කිසි දවසක පුතෙක් ඉන්නා ඕනෑ ම අම්මා කෙනෙකු ගේ මුහුණට පැමිණිය හැකි ශෝක සිනහ රැල්ලකි.
“කසාද බඳින්නනං ඉතිං දැන් වුණත් බැරියැ”
චාන්දනී වහා හැරී බැලුවා ය. ඉඳ හිට දේශප්‍රේමියා ගේ මුහුණේ තිබූ මනමාල පාට මේ මොහොතේ ඕ සිය පුතු ගේ මුහුණ මත දුටුවා ය.
“මොකද්ද ඒ කතාව…එහෙම කවුරු හරි ඉන්නවද…”
ආලෝක ඉවත බැලුවේ ඒ සිනහව පුළුල් වෙන හැටි අම්මා දැකිය යුතු නැතැයි සිතූ බැවිනි.