සඳ කත් මිණි ඇස් 10

ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්‍යාපාරික සගයන් හමු වෙන බව ද දැන් ඇය දනී. ඒ නිසා ළද බොළඳ පෙම්වතියක සේ ඔහු ට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙන්නට ඕ නො පෙළඹුණා ය.

රෑ කෑමට එන්න යයි අම්මා සිහි කළ පසු ආලෝක කාමරයට ගොස් සූර්යා ට ඇමතුමක් ගත්තා ය.

“කෑවද..”

ඔහු ගේ පරිනත හඬෙහි ආදරය ඕනවටත් වඩා විය.

“තාම නෑ”

සූර්යා කීවේ උගුර යටිනි. ‘ඔයා එයිද කියල බලං හිටිය’ කියා හිතා මතා ම ඇය නො කියා සිටියා ය.

“ගෙදරද…යාළුවො එක්කද..”

“ගෙදර ආව හවස. ඊයෙ රෑත් ගෙදර ආවෙ නැති නිසා අම්ම අවුලෙන් හිටියෙ”

ඇය ලොකු හුස්මක් හීන් සැරේ ඉහළට ගනිමින් පෙනහලු පිරෙන්නට හැරියා ය.

“අම්මගෙ හිතේ මං කට්ටියට සෙට් වෙලා බිබී ඉන්නව කියල”

“ඉතිං ඇත්තනෙ”

“ඇත්තද…”

ඇය කිකිණි හඬින් සිනහ වූවා ය. හදවතකට අවුරුදු විස්සකින් තරුණ වන්නට වුව පුළුවන!

“මං අම්මට කියන්නද කොහෙද හිටියෙ කියල…”

සූර්යා ගේ මූණට ලේ පුරා ආවේ ය. ආලෝක ඉදිරියේ සිටිනා අවුරුදු දහ අටේ කෙල්ල සේ ඕ ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය.

“එහෙනං…කන්න දැං…අම්ම බලං ඉන්න නිසා මාත් කාල එන්නං. රෑට කතා කරමු”

රාත්‍රිය කොයි තරම් දිගු ද, ඒ තරම් රැය දිගු කොට තිබෙන්නේ ඔවුන් වෙනුවෙන් ම ද කියා සිතෙනා තරම් වෙලාවක් දුරකතනයේ තරංග ඔස්සේ ඔවුන් එක් තැනක හුදෙකලා වී සිටියහ. යෞවනයේ දී මෙහෙම දවස් තිබුණේ ම නැත. ඔවුන් ට කතා කළ හැකි වූයේ ටියුෂන් පන්තිය පැවති දාක රහසිනි. ඒත් නැත්නම් නුගේගොඩ හන්දියේ දී සුළු වෙලාවකට හමු වී ය. ඒ දවස් ඒ තරම් රසවත් වූයේ ත් ඒක ය.

ප්‍රවීන් කිහිප වතාවක් සූර්යා ගේ දුරකතනය ට ඇමතුම් ගත්තේ ය. ඒ, එදා හමු වීමෙන් පසු ඇය අතුරුදන් වූ බැවිනි. නමුත් දුරකතනය හැඬවුණා මිස පිළිතුරු ලැබුණේ නැත. ඒ තරම් ලෙහෙසියෙන් සූර්යා වාගේ ඉල්ලමක් වසා දමන්නට ප්‍රවීන් ගේ පිරිමි හිත ඉඩ දුන්නේ නැත. අපාට්මන්ට් එකට ගොස් ඇය ව මුණ ගැහෙන්නට ඔහු තීරණය කළේ ඒක ය.

සූර්යා ප්‍රවීන් ව මග හැරියේ හේතු කිහිපයක් ඇති ව ය. ඔහු එන පොට හොඳ නැති බව මුල් හමුවේදී ම ඇය තේරුම් ගත්තා ය. ඇය වූ කලී පිරිමින් ඇසුරු කොට නැති අයෙකු නොවේ. පිරිමින් හැරෙන්නේ කුමට දැයි හිතා ගන්නට ඇය ට පුළුවන. බොහෝ පිරිමින් හිතා ගෙන ඉන්නේ සැමියෙකු නැති කාන්තාවක කියන්නේ ඔවුන් ට බෝ පහසුවෙන් සෙල්ලම් කරත හැකි කෙළි බඩුවක් කියා ය. ඒ සිතිවිල්ලට යටි සිතින් සිනහ වන්නියකි සූර්යා. ඔවුන් ට සිය අතැඟිල්ලකට අත තබන්නට නොදී සිය කාරිය කර ගන්නා හැටි ඇය දන්නී ය. මෙතැන ගැටළුව එය නොවේ. ආලෝක යි.

ඇය ප්‍රවීන් ව ඇසුරු කරනවා ට ආලෝක ගේ වන නො කැමැත්ත සූර්යා එදා මැනැවින් දුටුවා ය. ආලෝක පසු වූයේ යකෙකු සේ කේන්තියෙනි. ඒ මැදියම් රැයේ ඔහු ඈ හොයා ගෙන නුවර ආවේත් කේන්තිය වැඩි කමට ය.

ඒ ඊර්ෂ්‍යාවට සූර්යා කැමති වූවා ය. ලෝකයේ සියලු පිරිමින් එක පැත්තකට දමා ආලෝක ව තරාදියේ අනිත් පැත්තට දැමූව ද බර වැඩි පැත්ත ආලෝක ය. වතාවක් ඈ ඔහු අහිමි කර ගත්තා ය. හිමි කර ගන්නට බැරි වන්නට පුළුවන. නමුත් ආයේ ඔහු අහිමි කර ගැනීමක් ගැන සිහිනයෙන් හෝ සිතිය නො හැකි ය.

ඇය හිතා මතා ම ප්‍රවීන් ගේ දුරකතන ඇමතුම් මග හැරියේ ආලෝක ගේ අකමැත්ත මත ඔහු ඇසුරු කරන්නට ඇය ට කොහෙත් ම ඕනෑ නැති බැවිනි.

  ප්‍රවීන් ගේ රිය අපාට්මන්ට් එක ළඟ සිග්නල් ලයිට් දමා ගෙන බලා සිටියදී ආලෝක ගේ රිය නික්ම ගියේ ය. ඒ ආලෝක බව හැඳින ගන්නට ප්‍රවීන් ට කිසිදු අපහසුවක් නොවිණ.

ඔහු සිග්නල් එළි නිවා රිය ඉදිරියට ධාවනය කළේ ය. ආලෝක ඉස්සරවීම ගැන හීනමානයක් ප්‍රවීන් ට වද දෙන්නට විය.

සාමාන්‍යයෙන් ආලෝක ගැහැනු හුටපට වලට නො ගෑවෙන බව ව්‍යාපාර ක්ෂේත්‍රයේ කවුරුත් දැන සිටියහ. නමුත් ඔහු සූර්යා වෙතට මැදින් පැන තිබේ. ඇය ව්‍යාපාරයක් සඳහා මග පෙන්වීමක් ලබා ගන්නට ගියේ ප්‍රවීන් ගෙනි.

එකට හමු වී මධු විතක් පිරුවා ට ප්‍රවීන් ගේ හිතේ ආලෝක ගැන දීර්ඝ කාලීන කෝන්තරයක් තිබිණ. ඒ තේ අපනයනය සම්බන්ධයෙනි. ආලෝක ගේ කුරුඳු තේ වලට තිබූ ඉල්ලුම ප්‍රවීන් ගේ ඊට වඩා විශාල පරාසයක රසයන් ගෙන් සමන්විත වූ තේ වලට නො තිබිණි. ඒ නිසා එතැන තරඟකාරීත්වයක් නිර්මාණය වී තිබුණේ ය. නමුත් තරඟය තිබුණේ ප්‍රවීන් ගේ සිතේ ය. හැමදාමත් ආලෝක ජීවත් වූයේ එවැනි තරඟයක් ගැන දන්නේ හෝ නැති සිසිලස් බවකිනි. නමුත් ප්‍රවීන් ගේ හිත යට ගින්දර තිබිණි.

සූර්යා ඒ ගින්දර තවත් අවුළුවමින් පරාජිත හීන මානයක් ප්‍රවීන් තුළ ඇති කරනා සාධකයක් වූයේ ය. ආලෝක දැනටමත් සූර්යා ව දිනා ගෙන ය කියන්නේ ප්‍රවීන් දැනටමත් පැරදී තිබේ!

මේ පරාජිත මානසිකත්වය යටපත් කොට හෝ අමතක කොට දමන්නට පහසු නොව හැකි වූයේ ම නැත. අන්තිමට ඔහු ආලෝක ට ඇමතුමක් දී මුණ ගැසුණේ ය.

මේ වතාවේ ප්‍රවීන් ගේ මූණ හොඳ නැති බව ආලෝක වහා හැඳින්නේ ය.

“උඹ බලු වැඩක් කළේ සුමනය”

ඔහු කෙලින් ම චෝදනා කළේ ය. ආලෝක ගේ මුහුණට යන්තම් සිනහවක් ආවේ ය.

“දන්න විදිහටනං…මං එහෙම දෙයක් කරල නෑ”

“උඹ දැනං හිටිය සූර්යා මගෙන් බිස්නස් මැටර්ස් දැන ගන්න හිටිය කියල”

“ඉතිං…”

“ඒත් උඹ දැං කාටත් හොරෙං සූර්යාගෙ ප්ලේස් එකට රිංගනව”

එවර ආලෝක ගේ දෙතොලතරට ආ සිනහව අවඥා සහගත ය.

“උඹ පෙන්නගෙන ඉන්නෙ කොහොමද..මාර උපාසක වගේ. ඒ වුණාට උඹ මාර ගේම් කාරයෙක්නෙ. විශ්වාස කරන්න හොඳ නැත්තෙ උඹල වගේ එවුංව යකෝ…හතුරො කියල පෙන්නගෙන ඉන්න එවුංව නෙවෙයි”

“ප්‍රවීන් මේ…”

ආලෝක ඔහු වෙතට හැරුණේ කෝපයෙන් අත මිට මොළවා ගෙන ය. නමුත් වහා ඔහු ඒ කෝපය විසිරුවා හැරියේ ය.

“දැං උඹ මොකද්ද කියන්න යන්නෙ…”

“උඹ සූර්යාගෙං අයිං වෙයං. කරුණාකරල”

“නැත්තං…”

ආලෝක ගේ ඇස් වල ප්‍රවීන් තිගස්සවන බැල්මක් විය. නමුත් තිගැස්සුණ බවක් ඔහු නො හඟවා සිටියේ ය.

“නැත්තං…නැත්තං මං නරක මිනිහ කියන්න එපා”

ආලෝක ට සිනහ ගියේ ය. ඉතා ම සන්සුන් මිනිසුන් තුළ වන රළ පහර කොයි වගේ ද කියා තේරුම් ගත හැකි වන්නේ කලාතුරකින් අවස්ථාවක ය. ඒ නිසා එවැනි මිනිසුන්හෝ ගානා පොකුණ සේ නිතර හෝ ගානා මිනිසුන් ට වඩා භයානක වන්නට පුළුවන.

“පළවෙනි එක..මට උඹේ හොඳ මිනිහවත් නරක මිනිහවත් අදාල නෑ ප්‍රවීන්. ඊළඟ එක…උඹ කිව්වයි කියල සූර්යාත් එක්ක තියන ආස්සරයක් නවත්තන්න ඕන කමක් මට නෑ. ඇයි මං එහෙම කරන්නෙ…සූර්යා උඹේ බූදලයක් ද…”

ඒ විදිහට ආලෝක නම්මා ගත නො හැකි බව ප්‍රවීන් ගේ ටිකිරි මොළයට වහා අවබෝධ විය.

“මං කියන දේ තේරුං ගනිංකො සුමනය. මුලින් ම සූර්යා කතා කළේ මට. මං ඒකිට පොරොන්දු වෙලා හිටියෙ බිස්නස් එකකට අත තියන්න හැම දේම කරල දෙනව කියල. උඹ දැං මේ මැද්දෙං පැනල තියෙන්නෙ. සූර්යා මගෙ කෝල්ස් වලට ආන්සර් කළේ නෑ. ඒ උඹ නිසයි කියල මං නැන ගත්තෙ අද උඹගෙ කා එක සූර්යාගෙ අපාට්මන්ට් එකෙං හයිලෙවල් පාරට දානව දකිද්දි. අපි මේකට මරා ගන්න ඕන නෑ සුමනෙ. උඹ සූර්යාගෙං අයිං වෙලා ඉඳපං”

“උඹ කවුද බං මට එහෙම කියන්න”

ප්‍රවීන් කී සියල්ල සන්සුන් ව අසා උන් ආලෝක ඉතාමත් නිවුණු හඬකින් කීවේ ය. ප්‍රවීන් ට දැනුණේ සිය පපුවට පිහියෙන් ඇන්නා මෙනි.

“උඹ සූර්යාව අඳුර ගත්තෙ මට පස්සෙ”

“මං සූර්යාව අඳුර ගත්තෙ මීට අවුරුදු විසි ගාණකට කලින් ප්‍රවීන්. සූර්යා ට ඒ ලෙවල්ස් වලට බිස්නස් ස්ටඩීස් ටියුෂන් දුන්නෙ මං”

සිය කන් අඩිය රත් වන්නට පහරක් වැදුණා සේ ප්‍රවීන් ට රිදිණි. ඔහු හෝටල් රථ ගාල වෙතට වේගවත් අඩි තබා ඇවිද ගියේ  යනවා කියා ආලෝක ට කියන්නේ හෝ නැතිව ය.

සූර්යා හා ආලෝක අතරේ වන ඇයි හොඳයිය ගැන ආරංචිය ලැව් ගින්නක් සේ ව්‍යාපාරික ප්‍රජාව අතරේ පැතිර ගියේ ඉනික්බිති ය.

“සුමන් ව ඔයා දන්නව කියල මට කිව්වෙ නෑනෙ සූර්යා. ඔයා මට එහෙම කරයි කියල මං හිතුවෙ නෑ”

සූර්යා ව හමු වූ නටාෂා නෝක්කාඩු කීවා ය. ඇගේ වැරදි අවබෝධය වහා දුරු කරන්නට සූර්යා ඉදිරිපත් වූවා ය.

“එදා මංවත් දැනං හිටියෙ නෑ ඒ ආලෝක කියල. ඔයා මට ඉන්ට්‍රඩියුස් කළේ සුමන් කෙනෙක්ව..මං එයාව දකින්නෙ අවුරුදු විසි දෙකකට විතර පස්සෙ..ඒ මදිවට මාස්ක් එකකින් මූණ වැහිල. හුරු පුරුදු ගතියක් දැනුණත් ඒ ආලෝක කියල කන්ෆර්ම් කර ගන්න මට ෆැක්ට් එකක් තිබුණෙ නෑ”

“හරි හරි මං ඒක විශ්වාස කරන්නංකො. ඒත් අර ප්‍රවීන් ගෙන් දැන ගන්නකල් පස්සෙවත් ඔයා මට කිව්වෙ නෑනෙ. එතකොට සුමන් ඔයාගෙ අපාට්මන්ට් එකට යනව එනව කියල ප්‍රවීන් කියන කතාව ඇත්තක්ද…”

“ප්‍රවීන් කියන මනුස්සයනං ටිකක් එක ජාතියක කියල මට තේරුණා. පිරිමි ජාතියක් ඉන්නව ඔහොම. ගෑනියෙක් නම්මගන්න බැරි වුණහම කතා හදල ඒ ගෑනිගෙ ආත්මෙ විනාස කරල දාන්න ට්‍රයි කරන”

“අනේ සූර්යා මටනං මේ මුකුත් තේරෙන්නෑ”

නටාෂා දෑතින් ම සිය හිස අල්ලා ගත්තා ය.

සූර්යා හා නටාෂා අතර වන්නේ දුරින් ඥාතීත්වයකි. නටාෂා ගේ හිතවතියකට ප්‍රංශයට යාමේ අවශ්‍යතාවයක් ඇති ව තිබිය දී සූර්යා උපරිමයෙන් වෙහෙසී ඊට උදව් කළා ය. දුර ඥාතීත්වය ට එහා ගිය හිතවත්කමක් ඔවුන් අතරේ ඇති වූයේ ඉනික්බිති ය.

“සුමන් අන්මැරීඩ් මනුස්සයෙක්..එච්චර හැන්ඩ්සම් එයා මැරි කළේ නැත්තෙ ඇයි කියන එක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. ඊටත් වඩා එයා ලේඩීස්ලව කෙයා කරන්නෙම නෑ. එහෙම එකේ සූර්යා ගෙ අපාට්මන්ට් එකට එනව කියන එකනං…ටිකක් ඔඩ් වගේ නේද…”

සූර්යා මුව මඳහසක් නගා ගත්තා ය. හැම ජීවිතයක් ඇතුළේ ම හැංගුණ කතාවක් තිබේ. ඔවුන් ගේ ජීවිත ඇතුළේ හැංගී ඇති කතාව නටාෂා ට කියන්නට තරම් සූර්යා ඉක්මන් වූයේ නැත.

“නටාෂා ඩග්ලස් ගෝමස් ව මැරි කළේ ඇයි..”

උන් හිටි ගමන් සූර්යා ඇසූ ප්‍රශ්නයෙන් නටාෂා ගැස්සී ගියා ය.

“ඇයි ඔයා එහෙම දෙයක් ඇහුවෙ…”

“නිකමට. දැන ගන්න. ඒක ලව් අෆෙයා එකක්ද…”

නටාෂා බලා සිටියේ මුව ද මඳක් විවර කර ගෙන ය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිසිම බිරිඳක් වෙනත් කාන්තාවක ගෙන් එවන් ප්‍රශ්නයක් අසනවා මීට පෙර නටාෂා ට ඇසී නැත.

“මොකක් නිසා මැරි කළත්…ඒ මැරේජ් ලයිෆ් එක ඇතුළෙ ඔයා සැටිස්ද…සතුටෙන් ඉන්නවද…”

මීට පෙර දිගක් පළලක් දැන නොසිටි දිය පහරකට හසුව හදිසියේ ම ගසා ගෙන යන්නට ගත්තා සේ නටාෂා ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles