සඳ කත් මිණි ඇස් – 19

රෝගය සුව වී ගෙදර ගියත් චාන්දනී ගේ හිත සුවපත් ව තිබුණේ නැත. ඇය ඇසුරු කළ වපසරිය තුළ සූර්යා වාගේ ගැහැනු චරිතයක් හමු වී නො තිබිණි. දුක් විඳිනා ගැහැනුන්, අසරණ ගැහැනුන්, සැමියා වෙනත් සම්බන්ධකම් වල පැටළුණ ගැහැනුන්, ස්වාමි පුරුෂයන් හිරේ විලංගුවේ වැටුණ ගැහැනුන්, පුරුෂයන් නිසා ගෘහස්ථ හිංසනයට ලක් වූ ගැහැනුන් වැනි අනේකාකාර කාන්තා චරිත සමග කතා බහ කරන්නට, ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාව කළ කාලයේ දී ඇය ට හැකි විය. සමහර ගැහැනු ළමයින් සිය ගෙදර තුළදී ම පියා ගෙන් අතවරයට ලක් වී තිබිණි. සහෝදරයා ගෙන් අතවරයට ලක් වී තිබිණි. පවුලේ වෙනත් ඥාතීන් නිසා ඒ තත්වයට පත් වූ අය ද වූහ. නමුත් ඔවුන් ට තමන් වෙනුවෙන් හඬක් නගන්නට හැකි වූයේ නැත. ගෙවල් වල සාමාජිකයන් එවැන්නක් දැන ගත්ත ද ඊට එරෙහි ව හඬ නගනු වෙනුවට කළේ එය පවුලේ රහසක් ලෙස තබා ගැනීම ය. ඇතැම් විට පවුලේ ම ඇතැම් සාමාජිකයන් ගෙන් ද ඒ රහසක් කොට ගැනිණි.

එවන් විවිධාකාර ගැහැනුන් අතරේ සූර්යා කියන්නේ චාන්දනී කිසි දාක නුදුටු විරූ අමුතු ම ගැහැනියකි.

ඇය ට ඇය ගේ ම වූ අභිමානයක් තිබිණි. ඇය ගේ ම වූ පෞරුෂයක් තිබිණි. ඇය ගේ ම වූ විලාසිතා වලින් අනන්‍ය වූ සෞන්දර්යක් තිබිණි. ඒ සියල්ලට වඩා හිරු මඬල සේ ප්‍රභාමත් වූ ආත්ම විශ්වාසයක් තිබිණි. එය චාන්දනී වන් මුරණ්ඩු ගැහැනියක පවා මෙල්ල කළ හැකි විදිහේ එකකි.

“පුතා හම්බ වුණ වෙලාවෙ තාත්තා ඔයාට ආලෝක කියල නම තිබ්බෙ හේතුවක් උඩ. මගෙ නම චාන්දනී. හඳ…දවසක මට එළිය දෙන්නෙ ඔයා කියල එයා විශ්වාසය කළා”

සැර වැර කිරීමෙන් බැරි එකේ ආදරයෙන් හෝ ආලෝක ගේ හිත වෙනස් කරන්නට එවර චාන්දනී උත්සාහ කළා ය.

“අම්ම හිතනව හඳක් විදිහට අම්ම එළිය වෙන්නෙ මගෙං කියල..සූර්යා හිතනව ඉරක් වුණත් එයාගෙ එළිය මං කියල. ඉරයි හඳයි දෙකම එක පාර පායල තියෙද්දිත් මගෙ ලෝකෙ කළුවරේම තියෙන එකද අම්මෙ උරුමෙ…”

“බැඳපු ගෑනියෙක්ට අහු වුණොත් කොල්ලෙක්ට ගැලවීමක් නෑ කියන්නෙ ඕන තමයි”

“ඒක මන් දන්නෑ. හැබැයි සූර්යා මාව කොතනකදිවත් හිර කරල නෑ අම්මෙ. එයාව බඳින්නයි කියල බල කරල නෑ”

“හොඳ ගෑනියෙක් නං ඒ විදිහට පිරිමි ආශ්‍රය කරන්නෙ නෑනෙ. ආස්සරේ කරන කෙනාව බඳින්න බලාගෙනයි ආස්සරේ කරන්නෙ”

චාන්දනී අහංකාර බැල්මෙන් නිකට මඳක් ඉහළට කරමින් ඉවත බලා ගත්තා ය. ආලෝක අම්මා දෙස බලා සිටියේ ශෝකයෙනි. ඇගේ මේ මුරණ්ඩු ගති ඔහු දකින්නේ පළමු වතාවට ය. චාන්දනී පවා ඇගේ මේ විලාශය දකින්නේ මුල් වරට ය. දේශප්‍රේමියා ගේ අපමණ හිතුවක්කාරකම් ඉදිරියේ ඈ කළේ මුණිවත රකිනා එක පමණ ය. අතීතයේ මගහැරී ගිය සියල් අයිතිවාසිකම් ඈ දැන් ඉල්ලා සිටින්නේ සිය ශරීරයේ ම කොටසක් ව හිඳ බිහි වූ පුත්‍රයා ගෙන් ද?

ප්‍රවීන් හිටියේ දණ්ඩෙන් පහර කනු ලැබූ සර්පයෙකු සේ ය. සූර්යා පැත්තකින් ම තැබුවත්, මුල සිට ම ඔහු සිටියේ ආලෝක සමගින් ඊර්ෂ්‍යාසහගත තරඟයක ය. සූර්යා ඇවිත් සිදු කරනු ලැබූවේ ඒ ගින්නට පිදුරු දැමීමයි. හිතේ වන අසීමිත කේන්තිය පිට කර ගනු වස් පළි දැරීමේ වඩාත් ම දරුනු ක්‍රමය ගැන ඔහු හිතමින් හිටියේ ය. එසේ හිතත්දී දැවුණේ හිත ය. තවත් ටිකක් දිගු වූයේ සංසාරය ය.

“ප්‍රවීන් දැන් මගෙ මූණ බලන්නෙත් අකමැත්තෙන් වගේ”

ආලෝක මඳහසක් ඇති ව සූර්යා ට කීවේ ය. ඒ මඳහසින් මුවහ කළ නො හැකි සංවේගයක් ඔහු ගේ හිතේ විය. ක්ෂේත්‍රයක් තුළ වන තරඟකාරිත්වය යනු ආලෝක ට දරා ගත නො හැකි දෙයක් නොවේ. නමුත් වෛරක්කාරයන් සේ ක්ෂේත්‍රයේ අය සමග කටයුතු කරන්නට ඔහු කැමති නැත.

“මං නිසාද මේ ඔක්කෝම…”

සූර්යා ආලෝක ගේ ගෙල වටා දෑත් යවමින් ඔහු ගේ මුහුණ දෙස බැලුවා ය.

“ඔයා නිසා වෙන්නැති එළියට පනින්න ඇත්තෙ. හැබැයි ඒ හිත් වල තිබුණ ඒව”

“හ්ම්. ඔයා ඒක දන්නවනං හොඳයි. ප්‍රවීන් කියන්නෙ විස පිරිච්ච ගෙඩියක් වගෙයි. ඔයා පරිස්සං වෙන්න ආලෝක”

ඇගේ චන්ද්‍ර කාන්ත පාෂාණ දෑස් මත අනාගතය දකිනා ඍෂිවර කාන්තියක් විය. නමුත් ආලෝක ඒ ගැන තරම් හිතුවේ නැත. සමහර වෙලාවට ගැහැනුන් තේ කෝප්පයේත් කිඹුලන් දනිනා බවක් හෝ ඔහු ඇය ට කීවේ නැත.

ආලෝක ගේ දුරකතනය නාද වූයේ ඒ වෙලාවේ ම ය. ඇමතුම් අංකය සිය ෆැක්ට්‍රියෙහි එක වූයෙන් ආලෝක වහ වහා එය සවනට ගත්තේ ය.

“සර් ෆැක්ට්‍රි එකේ ගින්නක්”

“මොකද්ද..”

ආලෝක  ගේ දෑස් දුටු ගමන් සූර්යා ඔහු ගේ ගෙල වැළඳ ගෙන සිටි දෑත් නිදහස් කළා ය.

“හිතා ගන්න බෑ සර්. එක පාරටම හැම පැත්තෙන්ම ගිනි ගන්නව. අපි නිවන්න ට්‍රයි කරනව සර්. ෆයර් ට්‍රක් එකටත් කෝල් කළා”

“හරි මං එන්නං”

“ඇයි ආලෝක…”

“ෆැක්ට්‍රි එකේ ගින්නක්ලු. මං දැං යන්න ඕනෙ”

“මාත් එන්නද ඔයත් එක්ක”

“රෑ වෙලානෙ. එපා. ඔයා පර්ස්සමෙං නිදියන්න. දොර ලොක් කර ගන්න”

ඒ කලබල අස්සේත් ආලෝක සූර්යා ගේ නළලත හාදුවක් තබන්නට අමතක කළේ නැත.

ඔහු ගේ හිත ගිනි ජාලාවක් සේ විය. නමුත් සන්සුන් වන්නට ආලෝක ට උවමනා වූයේ ය. ඔහු කල්පනාවෙන් රිය පැදවී ය.

සියල්ල දැවී ගොස් තිබිණ. මිලියන ගණනක් වටිනා කුරුඳු තේ!

කෙසේ ගින්න ඇති විණි දැයි විශ්ලේෂණය කළ නො හැකි වූයේ ය. කිසිවෙකු කිසිවක් නිවැරදි ව දැන සිටියේ නැත. සිදු වූ අලාභය වෙනුවෙන් රක්ෂණාවරණ ලබා ගත හැකි විණි. නමුත් සූදානම් කොට තිබූ අපනයන තොග අළු දුහුවිලි බවට පක් ව තිබිණි.

“ආපහු නැගිටින්න වෙන්නෙ ඔය අළු දූවිලි උඩින් තමයි”

“අපි නැගිටිමු. ඔයාට පුළුවන්”

සූර්යා විශ්වාසයෙන් මිමිණුවා ය.

ආලෝක හැකි තාක් උපේක්ෂා සහගත වන්නට තැත් කළේ ය. ඔහු ගේ හදවත තුළ ගින්දර සෑයක් ඇවිලෙන්නේ ඔහු දස හැවිරිදි කොල්ලෙකු ව උන් සන්දියේ පටන් ය. ඒ සෑය යළි යළි ඇවිළෙතැයි මීට පෙර ආලෝක සිතා සිටියේ නැත. ඉතිහාසය යළි සිදු වන්නට පුළුවන් යයි බියක් වූයේ චාන්දනී ගේ හිතේ ය!

“කවදාවත් වෙච්ච නැති දෙයක්. මටනං හිතෙන්නෙම මේ ඔක්කොම ඔයාගෙ ජීවිතේට අලුතෙන් ආපු කෙනා නිසා කියලයි. සමහරු එන්නෙම අවාසනාව අරගෙන..නැත්තං මෙහෙම වෙන්නෙ කොහොමද…”

චාන්දනී අවාසනාවේ ද තළු මැරුවා ය. සමහර වෙලාවල් එහෙම ය. අපි හැම නපුරක් ම අපේ වාසියේ දූතයන් කර ගන්නට උත්සාහ කරමු!

“අම්මෙ. හැම එකටම ඒ අහිංසක ගෑනිව අල්ලගන්න එපා”

ආලෝක කවදාවත් නැතුව තරමක් තදින් චාන්දනී ට කතා කළා ය. ඒ සැර තානය ඇගේ පපුවේ වැදිණි. හඬන්නට සිටි කෙනෙකු ගේ ඇසකට ඇඟිලි පහරත් ලොකු දෙයකි.

“ඔයාට දැන් ඔයාගෙ අම්මටත් වඩා එයා ලොකුයි”

“මොනාද අම්මෙ මේ කියෝන විකාර කතා..”

“ඔව් ඔව්..අන්තිමට විකාරයක් වගේ පේන්නෙ තාත්ත කෙනෙකුත් නැතුව නරා දුක් විඳගෙන හදපු අම්මව”

චාන්දනී ගේ හඬ කඳුළු ස්වරයකට හැරිණි. ආලෝක තව දුරටත් කෝපය වචන බවට පෙරළෙන්නට පෙර රිය ට නැගී නික්ම ගියේ ය. ඔහු ගේ හිත යකා ගේ කම්මල සේ අවුල් ය. අපිළිවෙල වී හැඩි වී තිබේ. කොතනකින් කෙසේ අස් පස් කිරීම ඇරඹිය යුතු දැයි ඔහු නො දැන සිටියේ ය.

සූර්යා එන්නට පෙරත් යම් අපිළිවෙලක් හදවතේ විය. ඔහු ක්‍රමානුකූල ව කළේ ව්‍යාපාරය පමණකි. එය විනෝදාංශය වූ බැවිනි. විනෝදාංශයක් කියන්නේ ජීවිතයක් නොවන බව බොහෝ අය තේරුම් ගන්නේ නැත. හැම කෙනෙක් ම ආලෝක දෙස බැලුවේ ඉතා පිළිවෙලැති තරුණ ව්‍යවසායකයෙකු කියමිනි. නමුත් ඔහු ගේ හදවත් මන්දිරයේ වූ අපිළිවෙල දුටුවේ ඔහු ම පමණ ය.

සූර්යා ගේ පුනරාගමනයෙන් පසු යම් වෙනසක් එහි සිදු විය. ඈ සිය සිනිඳු රතැඟිලි වලින් ආලෝක ගේ හද මැදුරේ කොනක සිට සියුම් ලෙස නිරවුල් කරමින් සිටියා ය. ඈ එය කළේ කෙසේ දැයි ඔහු වුව දැන සිටියේ නැත. එය වූ කලී ඉතා ම පැහැදිලි හා ගලපා ගත හැකි සම්බන්ධතාවයක් තුළ දී ස්ත්‍රී භූමිකාවට කළ හැකි මෙහෙවරකි. ඒ තැන්පත් කමින් ඔහු ගේ සන්තානය සන්සුන්, තැන්පත් හා සමාධිගත වන හැටි ආලෝක නො දැක්කා සේ බලා සිටියේ ය.

අලුතෙන් ඇති වී තිබෙන අවුල් සහගත බව පැටළුණ නූල් බෝලයක් සේ ය. එහෙන් ව්‍යාපාරික ප්‍රශ්න ය. මෙහෙන් අම්මා ය. එහෙන් ප්‍රවීන් ය. සූර්යා නො වන්නට ඔහු මේ සියල්ල දමා ගසා යළි මීටියාගොඩ යනු ඇත.

“බිස්නස් එහෙම තමයි. ලාබ වගේම පාඩුත් වෙන්න පුළුවන්. ඒ තැන් වලදි අපි වැටිල බෑ. ආයෙ නැගිටින්න පුළුවන් වෙන්නෙ හිතේ හයිය තියාගෙන කල්පනාවෙන් වැඩ කළොත් විතරයි. අපි වැටෙනවනං සතුටු වෙන්න බලාගෙන…අපි වැටුණහම අපේ ඇඟ උඩින් පැනල ඒ පාරෙ යන්න බලාගෙන ඕන තරං අය ඉන්නව ආලෝක”

සූර්යා සෙත් පිරිතක් සේ ගැයෙමින් සිටියා ය. ආලෝක ඇගේ ළමැදෙහි පොඩි කොලුවෙකු සේ හිස හොවා ගෙන, ඒ ඇඟිලි තුඩු වල පහස වින්දේ ය. ඔහු ට වන්නේ කෙතරම් දුර්වල ආත්මයක් දැයි දැන් ආලෝක ට ම සිතේ. ප්‍රශ්න වලින් පැන යන්නට තිබුණා නම් හොඳ ය. දැවී හළු වී ගිය ව්‍යාපාරයක මතක නටඹුන් මතින් ගසා බසා නැගිටින්නට හිතක් නැතිව ඔහු ඔහේ වැටී සිටියේ ය.

“ඒත් මේක කවුරු හරි ප්ලෑන් කරල කරපු දෙයක් සූර්යා. එක සැරයක් උන් ප්ලෑන් කරල මගෙ තාත්තව පුච්චල දැම්ම. මං අමාරුවෙන් ඒ පුළුටු ගඳ අතරින් ඔළුව උස්සගත්ත මිනිහෙක් සූර්යා. ඔයා මාව දාල ගියෙ නැත්තං…එහෙම නෙවෙයි…මං ඔයාව පන්නගත්තෙ නැත්තං…සමහර විට මං එහෙම නැගිටින එකකුත් නෑ. දැං ඒ ගමන උං මගෙ බිස්නස් එක අළු කන්දක් කළා. ඇයි සූර්යා මෙහෙම කරන්නෙ…ඇයි මුං පන්න පන්න මටම ගහන්නෙ…”

ආලෝක දෑතින් සිය හිස කේ ඇද ගත්තේ ය. පොඩි දරුවෙකු සේ ඔහු හඬමින් සිටියේ ය. ආයේ කුරුඳු තේ හැදීම පටන් ගන්නට බැරි කමක් නැත. අමාරු බිඳුණ හිත එක් තැන් කර ගන්නට ය.

සුර්යා මවක් සේ ඔහු ව දරා ගෙන සිටියා ය. ළෙහි හොවා ගෙන සිටියා ය. ඕනෑ තරම් හඬන්නට ඔහු ට අසීමිත අවකාශයක් තනා දුන්නා ය. ආලෝක හිතේ හැටියට හැඬුවේ ය. ඔහු ගේ මනස ඉදිරියේ ගිනි දලු බුර බුරා නැගිණ. ඒ ටයර් සෑයෙන් නැගුණ ගිනි දලු ය. දේශප්‍රේමී පියෙකු ගේ, සියල්ල අහිමි කරනු ලැබූ පුතෙකු සන්තක ව ඉතිරි වූ එක ම වත්කම වන්නේ කළු දුම නැගෙනා පුළුටු ගඳ හමනා ඒ ගිනි දලු ගැන මතක මාත්‍රය ය!

ගැහැනියකට ආදරය සිය ජීවිතය ම වත්දී පිරිමියෙකුට ජීවිතය ම වන්නේ ඔහු ගේ වෘත්තිය ය කියා කතාවක් තිබේ. පිරිමියෙකු ගේ අභිමානය වෘත්තිය ය. ඔහු ගේ ආඩම්බරය ඒ ය. ඒ ආඩම්බරය ට පලුද්දක් ඇති වූ තැන ඔහු ගේ හැසිරීම කෙබඳු විය හැකි දැයි කල් ඇති ව කිව නො හැකි ය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ද වෙනස් වනු ඇත.

ෆැක්ට්‍රිය ගිනි ගැනීම පසු පස ප්‍රවීන් සිටිය හැකි ය යන අදහස ආලෝක තුළ විය. නමුත් කිසිදු විශ්ලේෂණයකින් ගින්න කෙසේ ඇති විණි දැයි අනාවරණය කර ගත නො හැකි විණි. ඒ නිසා කිසි සේත් ප්‍රවීන් ට චෝදනා කරන්නට හෝ ඔහු වැරදිකරු කොට දඬුවම් පමුණුවන්නට හැකියාවක් තිබුණේ නැත.

සූර්යා ආලෝක ගේ හිත හදා යළි ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ අසීරුවෙනි. අලුතෙන් සියල්ල සිදු කොට අපනයනය සඳහා කුරුඳු තේ සූදානම් කෙරිණ. පිච්චුණ ගසක් නැවත අලුතෙන් දලු දමන්නා සේ ආලෝක ප්‍රබෝධවත් ව සිටියේ ය. එළැඹෙනා වසන්තයේ ඔහු ට ගැලපෙන සහකාරියක සොයා ගන්නට චාන්දනී ද හිතෙන් සැලසුම් සූදානම් කළා ය. සූර්යා ට තරඟයක් දිය හැකි, හැම අතින් ම ඇය ට වඩා ඉදිරියෙන් සිටිනා ලා බාල යුවතියක්!

ප්‍රවීන් දිය යට ගින්දර කරකවමින් සිටියේ ය. ආලෝක හා සූර්යා ඔහු ට කළ අපහාසයේ වාඩුව ගැනීම වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරන්නට පුළුවන් කම ඔහු ට තිබිණ. ඒ සඳහා ඔහු ආලෝක ගේ සේවක මඬුල්ල අතරින් ම බලවතෙකු මුදලට බිලි බා ගෙන තිබිණි. කම්හලෙහි ගින්නක් ඇති වූයේ ද ඔහු ගේ අනුදැනුම මත ය.

“එක්ස්පෝට් ඕඩර්ස් වලට රෙඩි වෙනව මිස්ට ප්‍රවීන්. මොකද කියන්නෙ…ඊළඟ ගින්නත් පත්තු කරන්නද…ඕන්නං අපිට පුළුවන් කුරුඳු වලට ගිනි තියන්න වුණත්..”

ප්‍රියලාල් ප්‍රවීන් සමග සතර කන් මන්ත්‍රණයක නිරත වූයේ ය.

“එපා එපා”

ප්‍රවීන් වහා එරෙහි විය.

“ඊළඟ ගින්න ඇවිලෙන්න ඕනෙ ආලෝක ගෙ හිතේ…”

එසේ කියා ඔහු කොක් හඬ ලා සිනාසුණේ ය. ප්‍රවීන් ගේ සැලැස්ම කුමක්දැයි නො දැන වුව ප්‍රියලාල් ද ඒ සිනහවට හවුල් වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles