“ඇයි”
ආදරයෙන් අමතන්නට මඟ බැලූ කටහඬක් වියළි වී ගිය තැන යළිත් එය ආදරණීය නොවේ.දෙනෙත් මගේ ආදරය ඔහුට නොලැබෙන තැනට විනාශ කරගෙන අවසන් බව මට වැටහුණේ මගේ සතුට ළඟ රැඳෙන්නට ඔහු පැමිණෙද්දී ය.
“මම විෂ් කරන්න කතා කරේ..”
මිනිසුන් මොනතරම් ආත්මාර්ථකාමීදැයි සිතමින් මම හිනැහුණෙමි.ඔහුට දැන් මා ගැන අපුල පහ ගොස් අවසන් වී ඇති හැඩකි.
“ඔයා අපේ ගෙදර ගිනි තියන්න ආවම මම ඇක්සිඩන්ට් වුණා.ඊට පස්සෙ මම හොස්පිටල් හිටියා.දැන් සතියක් විතර.අද ඩිස්චාජ් කරන්න යන්නෙ..”
දෙනෙත්ගේ සුබ පැතුම නොසලකාම මම කියවාගෙන ගියෙමි.ඔහු මට බාධා කළේ ය.මා අසන්නට බලා සිටි ප්‍රේමණීය ස්වරය මතුව ආවේ ය.වෙනදා නම් ඒ හඬට මා දියවී වැගිරෙන්නට තිබිණ.නමුත් මට එය දැනෙන්නේ විකාරයක් ලෙස ය.
“මට ඔයා ගැන හරි සතුටුයි.”
මම උස් හඬින් හිනැහුණෙමි.මට දෙනෙත්ට උස් හඬින් හිනැහෙන්නට ඕනෑ විය.එනිසාම ඔහු වික්ෂිප්ත වන සේ මම හිනැහුණෙම්.
“ඔයා මම ගැන ලැජ්ජා වුණා නේද? මං ගැන අප්පිරියා කරා නේද?”
දෙනෙත් මොනවාදෝ දොඩවයි.මම ඔහුට කිසිත් කියන්නට ඉඩ නොතබාම කියවාගෙන ගියෙමි.
“ඔයාට ආදරෙන් ඔයා ගැන බලාපොරොත්තු තියා ගත්තා කියලා නෙවෙයි.ඔයා අපේ අයියගෙ යාලුවෙක් වුණා කියන්නවත් ලැජ්ජයි මට..”
මම එසේ කියා දුරකථනය විසන්ධි කළෙමි.දෙනෙත්ගෙන් දුරස් වන්නට සිදු වුවහොත් මා දැඩි ලෙස මානසිකව ඇද වැටෙන බව මම සිතා සිටියෙමි.නමුත් එය එසේ නොවිණ.මා දෙනෙත්ගේ සැබෑ වර්ණය හඳුනා ගත්තේ මේ මොහොතේ ය.
“මං ඔයා එක්ක මේ ගැන කතා කරන්න හිටියෙ.හ රි කාලේ එනකන් හිටියේ.ඔයාට ඔහොම කේන්ති ගන්න හේතුවක් නෑ.මම ඔයාට ආදරෙයි කියන්න කලින් ඔයා ආදරෙයි කියපු නිසා මට කේන්ති ගියේ.දැන් අපි දෙන්නම වැඩිහිටියෝ නිසා මම හිතනව අපිට ඒ ගැන කතා කරන්න පුලුවන් කියල.”
මම ඒ පණිවිඩය කියවූයේ ද සිනාමුසු මුවිනි.මා සර්ව සම්පූර්ණ බව හැඟෙන තැනක වහා පැමිණ මගේ අත අල්ලා ගන්නට තරම් දෙනෙත් මොනතරමට ආත්මාර්ථකාමී දැයි මම සිතීමි.
“මම ඔයාට ආදරෙයි..ඒක මගේ හිතට ආවේ හුඟක් පුංචි කාලේ ඉඳන්.මගේ යාලුවෝ හිතන් හිටියේ මං සචිර අයියට ආදරේ කරයි කියලා.ලස්සනත් එයා.සල්ලි තියෙන්නෙත් එයාට.ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ එයාගේ.ඔයාලා තුන්දෙනාගෙන්ම හොඳම ඒලෙවල් රිසල්ට්ස් ගත්තේ එයා.කොහොමත් ඔයාට වඩා මට ඇත්තටම ආදරේ කරෙත් එයා.මගේ අයියා වගේම හරි එයා මට ආදරේ කරා..”
මා එසේ කියද්දී පවා දෙනෙත් මා ප්‍රතික්ෂේප කළේ ය.සචිර අයියා මට ආදරය කරන බව කියද්දී පවා ඔහු මා ගණනකට නොගත්තේ ය.
“වන්සයිඩ් ලව් එකක් කියන්නේ මේ ලෝකෙ තියන දරන්නම අමාරු වේදනාවලින් එකක් නංගි.ඔයා අඩුම තරමේ ප්‍රතික්ෂේප වෙන්න හරි එයාට ඒක කිව්වා.මට එහෙම කියන්න ලැබිලත් නෑ.ඒ වගේම තමයි මං කවදාවත් කියන එකකුත් නෑ.ඔයාගේ ඔය වේදනාව අඩුම තරමෙ යාළුවොවත් දන්නව.මං යාළුවන්ට කියලත් නෑ.කියන එකකුත් නෑ..කිව්වනම් හොඳයි කියලත් හැබැයි දැන්නම් හිතෙනව.එහෙම වුණානම් සමහර විනාස නවත්ත ගන්නත් තිබ්බා..”
සචිර අයියා එසේ කීවේ කා ගැනදැයි දැන් මම හොඳින්ම දනිමි.ඔහු මට ආදරය කළේ ය.නමුත් මා සිටියේ දෙනෙත්ව සිතේ ඇඳගනිමිනි.දෙනෙත් දිනා ගන්නා ආකාරය ගැන සිහින දකිමිනි.
සමහරවිට මා දෙනෙත් වෙනුවෙන් ඉසිලු වේදනාව තරමටම වේදනාවක් සචිර අයියා මා නිසා දරා ගන්නට ඇත.