“අම්මේ තාත්තා යන්න ඕන නෑ.එයා අපි එක්ක ඉන්න ඕන..”
ජීවිතය අප පරිණත කරන්නේ නොසිතන මොහොතක බව මට සිතුණේ අම්මා ඉදිරිපිටට ගොස් ඇයට එසේ පැවසූ පසු ය.මා අම්මාගේ තීරණයකට මුල්ම වතාවට එරෙහි වු බව මට වැටහිණි.ඇය අපේ ජීවිත ඉතා තදින් පාලනය කළා ය. අපි කන්නට ඕනෑ මොනවාද යන්නේ සිට අඳින ඇඳුම දක්වාම අම්මගේ පාලනයට නතු විණි.නමුත් මේ මොහොතේ මා ඇය ගත් ප්‍රබල තීරණයකට එරෙහිව හඬ නගන්නට පටන් ගෙන ඇත.එය අම්මා කෙසේ දරා ගනීවිදැයි මට සිතන්නටවත් නොහැකි ය.
“හිත හදාගෙන ජීවත් වෙනව කියන්නේ හිත රවට්ටනව කියන එක නෙවෙයි. රත්තරන් දරුවො දෙන්නෙක් උස්මහත් වෙච්ච එකම මදිද ජීවිතේ අන්තිම කාලේ හරි සතුටින් ඉන්න..”
මම්මා එසේ දේශනාවක් දෙන අන්දම මට ඇසුණේ අහම්බයකිනි.අයියා තාත්තා සමඟ පිටතට ගොස් සිටි අතර අම්මා සිටියේ තේරුමක් නැති කාරණාවකට මුහුණ නරක් කරගෙන ය.
“ජයන්තගෙන් අයින් වෙලා ඒ මනුස්සයාටත් යහපතක් කරන්න කියල මම කියනකොට හසරැල්වත් නෑ.ඒ වුණාට අයින් වුණේ නෑනෙ.දැන් ඔයා මුණුබුරෝ දකින වයසටත් කිට්ටුයි පොඩ්ඩි.මොකක්ද මේ විකාරේ..”
මිනිසුන් පරිණත වේ.හිසකෙස් සුදු පැහැව ගොස් වියපත් ලකුණු සිරුරේ ඇඳෙන්නට පටන් ගනියි.නමුත් ඒ කිසිවෙක් හදවතින් වයසට නොයන බව මට සිතුණේ අහම්බයකිනි.අම්මා ඈ අකමැති කසාදයක පැටලුණු කෝපයෙනි.ඇය සැමියාට පමණක් නොව ඔහු නිසා උපන් දරුවන්ට පවා සලකන්නේ ඈත් වූ සීමාවක හිඳිමිනි.සුගත් අංකල් පැරණි පෙම්වතියගේ ජීවිතය දෙස දුර හිඳ බලා සැනසේ.ඔහු ඇගේ ඇනුම්බැනුම් අසමින් පවා උදව්වක් අවැසි මොහොතක වහා ඇය වෙත පැමිණේ.හිත හැදෙන එකම වචනයක්වත් නොලබාම නික්ම යයි.
යෝජනාවකින් මුණ ගැසුණ ද අම්මාට ප්‍රේම කරන තාත්තා කෙදිනක හෝ ඇගේ ආදරය ලැබෙන තුරු ඉවසීමෙන් මඟ බලයි.ඇයගේ ආදරය නොලබාම යුතුකම් අකුරටම ඉටු කරයි.මම්මා කිසිදා ඇගේ ප්‍රේමය නොදැනගත් මිනිසෙකු වෙනුවෙන් තවමත් මඟ බලයි.මේ ආත්මය අතැර දමා සංසාරය ගැන බලාපොරොත්තු රැස් කරයි.
ප්‍රේමය මරණයෙන් මෙපිට කෙළවර වන්නක් නොවන බව මට සිතේ.ප්‍රේමය සෑම තැනකම ඇත.නමුත් නිවැරදි සහ නිදහස් ප්‍රේමයකින් සැනසෙන්නට ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට ය.
“මෙයාගේ හිත වෙනස් කරේ සචිර අයියගෙ මල් මිටියද නැත්නම් රිසල්ට්ද කියලා මං මේ හිතන්නේ.”
මා දකින්නට ආ මිතුරියන් මට කියන්නේ සරදමක ස්වරයකිනි.මා සචිර අයියා රැගෙන ආ මල් වියළමින් රකින කාරණාවට ඔවුන් කතන්දර පොතක්ම ලියා අවසන් ය.
“මල් මිටක් තියන්න ඔබ අතේ..මට කියා කොයින්ද මල් වනේ කියලා කියපු සින්දුව හරියටම ප්‍රයෝජනයට ගත්තෙ සචිර අයියා කියලා අපි කසුන් කල්හාරට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාමු..”
උවනි උස් ස්වරයකින් හිනැහෙමින් එසේ කියන්නී ය.නමුත් ඔවුන් මා සැබෑවටම සරදමට ලක් නොකරන බව මම දනිමි.දෙනෙත් කෙරෙහි වූ ඒකපාර්ශවික ප්‍රේමය අතිශය කටුක වේදනාවකට මා ඇද දමන බවට විශ්වාස වූයේ ඔවුන්ට ය.වචන කර නොපෙන්වූවාට සචිර අයියා මා කෙරෙහි ආදරයකින් පසු නොවන බව මට වටහා දෙන්නට ප්‍රයත්න දැරුවේ ද ඔවුන් ය.මා දෙනෙත් අමතක කරන්නට වෙර දැරීම ඔවුන් සතුටකින් දරා ගන්නා බව මම දනිමි.
“මම සචිර අයියට ඔයාලා හිතන විදියකට ආදරේ නැහැ.ඒ ආදරේ අපේ අයියට තියන ආදරේම තමා..”
මම තරයේම පැවසීමි.සූකිරියෝ කියමින් මගේ කොණ්ඩයෙන් ඇද මා කෝප ගන්වන මගේ අයියා ද මගේ නළලට දබරැඟිල්ලකින් තට්ටුවක් දමා හිනැහෙන සචිර අයියා ද මට වෙනසක් නොවේ.ඒ දෙදෙනාගේම දෑස් මා කෙරෙහි ආදරයෙන් බබළන බව මම දනිමි.මහා රැකවරණයක සහ ශක්තිමත්භාවයක හැඟීම මිස වෙන යමක් සචිර අයියා මට ගෙන එන්නේ නැත.ඔහුගේ ඇස් බැල්ම මගේ ඇස් වහා බිමට නැඹුරු කරන්නට සමත් වන්නක් නොවේ.
“මං දෙනෙත්ව අමතක කරල නෑ.මට ඒක අමාරුයි.හැබැයි මේ ගෙදරම අය කැමති වුණත් මං දැන් එයාට කැමති නෑ..”
තවමත් ඇදුම් දෙන කකුල පිරිමදිමින් මම පැවසීමි.යෙත්මි මගේ උරහිසක් පිරි මැද්දා ය.ඇයට උවමනා මගේ හදවත පිරිමදින්නට බව මම තේරුම් ගතිමි.
“ප්‍රතික්ෂේප වෙන එක පැරදෙන එක සාමාන්‍ය දේවල්.ඒක ඕන මනුස්සයෙක්ට දරන්න වෙන දෙයක්.ඒ වුණාට මං පාවිච්චි වෙන්න යනව කියල හිතෙනකොට මට දුකයි..”
මා එසේ කියද්දී යෙත්මි කෝපයෙන් නළල රැලි කර ගත්තා ය.
“ඔයා එහෙම එක එකාට පාවිච්චි වෙන්න ඕන නෑ හරිද? කොහොමත් ඔයාට අවුල් නම් අපි ආයේ සචිර අයියා ගැන ජෝක් කරන්නෙත් නෑ.ඒ මනුස්සයා කොහොමත් ජෝක් එකක් වෙන්න ඕන කෙනෙක් නෙවෙයි.”
යෙත්මි එසේ කියද්දී උවනි හිස වනා එය පිළි ගත්තා ය.එය සත්‍යයකි.සචිර අයියා වැනි සොඳුරු තරුණයෙකු නිකමටවත් කෙල්ලන්ගේ විහිළුවක් විය යුතු නොවේ.