(අ)හිමි සිහින -168

අප ඉතා තදබල කරදරයක සිටින විට ඉතාමත් ආදරයෙන් අපේ අසල රැඳෙන බොහෝ අය “ඥාතීන්” වන්නේ නැහැ.සුදාරක රෝගී වූ දා පටන් මා සමග රැඳුණේ කවුරුන්දැයි ඔබ මේ වන විටත් හොඳින් දන්නවා.බෝධි පූජාවක් සිදු කළ යුත්තේ කුමන තැනකද එතනට මා සමග යන,සමහර පූජාවලට පූජා භාණ්ඩ සොයන්නට කැලෑ පීරමින් දෙහි කඩන,පලතුරු වර්ග සොයමින් වෙළඳසැල් පීරු,මට කෑම බීම මගනොහැර ගන්නැයි ආදරෙන් ඉල්ලා සිටි,සුදාරකගේ රෝගී සයනය අසල මා සමඟම හඬා වැළපුණු අපූරු සහෝදරයන් පිරිසක් මට සිටියා.ඔවුන් සහෝදරයන්ටත් වඩා මට දැනුණේ මගෙම දරුවන් ලෙසට.ඒ සුදාරකගේ කාර්ය මණ්ඩලයයි.සියල්ල කෙසේ සිදු වුණත් ඔවුන් මා සමඟ රැඳී සිටීම මට මහත් ශක්තියක් වුණා.

නමුත් ඉරණම අප ඔසවා පොළවේ ගසන විට අප සතු සියලුම දේ අපෙන් උදුරා ගැනීම සාමාන්‍ය ජීවන දහම බව අමතක කරන්නට බැහැ.සුධාරකගේ පෞද්ගලික පරිහරණය මා මිලදී ගත් රථයේ රියදුරාගේ සිට මගේ අසල රැඳී සිටි,සුධාරක වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම නැවත කඳවුරට වාර්තා කරන්නට අණ ලැබුණේ ඒ කාලයේ දී.ඔවුන්ට වහාම නැවත පැමිණෙන ලෙස හදිසි අණක් ලැබී තිබුණා.එය පැය කිහිපයක් ඇතුළත සිදු විය යුත්තක්.

සුදාරක කොළඹ රෝහලට මාරු කර යවන බව ඒ වන විටත් අප පැහැදිලිව දැන සිටියේ නැහැ.එය සිදු වේ දැයි නොවේ දැයි අතර මැද තිබූ තීරණයක්.නමුත් ඔහු මේ මොහොතේ සිටින්නේ අනුරාධපුරයේ.එසේ වෙද්දී පවා ඔහුගේ සියලුම කාර්ය මණ්ඩලය ඉවත් කිරීම ඉතා විශාල වේදනාවක් බවට පත්වුණා.ඔහුගේ කටයුතු වෙනුවෙන් දුව පැන කටයුතු කරන කාර්ය මණ්ඩලය නැවත ගෙන්වා ගැනීම සුදාරකට දැඩි හානියක් ඇති කරන්නක් බව මා හොඳින්ම දැන සිටියා.

ඇත්තටම මේ කාලය ගැන කතා කරද්දි  ඔබ අමතක නොකළ ම යුතු කාරණාවක් තිබෙනවා.මේ සාමාන්‍ය කාලයක් වූවානම් මට මහා මාර්ගයේ ඇති පොදු රථවාහන සේවාව භාවිතා කිරීම ඉතාම සාමාන්‍ය කටයුත්තක් වනවා.අනිත් කාරණාව රියදුරෙක් නැති වූවාට වාහනය මට අයිති එකක්.ඒ නිසා මානසිකව මා ඇද වට්ටන්නට මේ වෙනත් කාලයක් වූවානම් හැකි වන්නේ නැහැ.එහෙත් මේ කොරෝනා වසංගතය දැඩිව පැතිරී යන කාලයයි.අපේ රටට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දැඩිව රතු එළි නිකුත් වූ ඒ කාලයේ නිතරම ඇඳිරි නීතිය පැවති බවත් ප්‍රවාහන සේවා අඩාල වී තිබූ බවත් ඔබට අමතක වී තිබෙන්නට බැහැ.

ඉතින් මට දැනුණේ මා ඉතාමත් අසරණ වූ බවක්!

අප සිටින  ස්ථානයේ සිට අටමස්ථානයට සහ සෙසු පූජනීය ස්ථානවලට සාමාන්‍ය දුරක් පැවතුණා.වාහනයක් නැති වීම නිසා සුදාරකගේ බෝධිපූජා කිසිවක් ම අවලංගු කරන්නට මට උවමනා වූයේ නැහැ.ඕනෑම ගැටළුවකදී විසඳුමක් සොයා ගැනීමත් ඇඬීම සහ පෙළෙන්නට යාම අනවශ්‍ය වැඩක් බව කල්පනා කිරීමත් මගේ සාමාන්‍ය සිරිත වී තිබුණා..ඒ නිසා ආරාමයේ මෙහෙණින් වහන්සේ අමතන්නට මම කල්පනා කළා.ඇය ඇමතූ මම මා මේ මොහොතේ සිටින තත්වය කෙටියෙන් විස්තර කළා.

“ඉතිං මැඩම් මෙහෙ එන්න.ඇවිත් මෙහෙ නැවතිලා ඇවිදගෙන යන දුරින් තියෙන පූජනීය ස්ථානවලට ගිහින් ඔබතුමිය කරපු පූජා ඔක්කොම දිගටම කරගෙන යන්න.ඒක මට කිසිම ගැටලුවක් නැහැ.”

මට පූජාවක් පැවැත්වූ පවුලේ උදවිය ද අනුරාධපුරයේ යම් බලයක් හිමි වී තිබූ පවුලක්.ඕනෑම මොහොතක මට නවාතැන් සැපයීම ඔවුන් ද සතුටින් භාරගත්තා.

“අපිට පුලුවන් විදිහට අපි ඔයාව බලාගන්නම්.”

තවදුරටත් සුදාරකගේ ඥාතීන් සමඟ රැඳීම සිටීම අපහසු බවක් දැනෙන නිසා ඒ තීරණ දෙකෙන් එකක් ගැනීමට මම ඒ මොහොතේ කල්පනා කරමින් සිටියා.නීත්‍යනුකූලව සුදාරක සම්බන්ධයෙන් කිසිම වරප්‍රසාදයක් මට හිමි නොවන බව මම දන්නවා.ඒ පැහැදිලි සත්‍යයට මුහුණ දෙන්නට මම ඒ මොහොතේ සිත එකඟ කරගනිමින් සිටියා.ඔහු මට ලබා දුන් සමහර වරප්‍රසාද මම ප්‍රතික්ෂේප කළත් මා ඔහුගේ බිරිඳ ලෙස සැළකීම සුදාරක පුරුද්දක් කර ගෙන සිටියා.අත්සන් සහිත ලියවිල්ලක් අප සතුව නැති නමුත් මට කිසිම මොහොතක අසාධාරණයක් විය යුතු නැති බව ඔහු තරයේ විශ්වාස කළා.

නමුත් මේ මොහොතේ මගේ සුදාරක අවට වටපිටාව ගැන කිසිත් නොදන්නා රෝගියෙක්.මට ආරක්ෂාව සහ පහසුව සලසන්නට ඔහුට හැකියාවක් නැහැ.ඒ නිසා මේ මොහොතේ පවතින සත්‍ය පිළිගන්නට මට සිදුවන බව මම දැන සිටියා.එය ප්‍රතික්ෂේප කරමින් හඬා වැටෙන්නට හෝ මානසිකව ඇද වැටෙන්නට තරම් මම ළාබාල වයසක පසු වූයේද නැහැ.අනෙක් අතට සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා භාවිතා කිරීම පයින් ගමන්වල යෙදීම ආදිය මට ලැජ්ජාවට කරුණක් හෝ මදිකමක් වූයේද නැහැ.

මට ජීවිතය සම්බන්ධයෙන් සෑම මොහොතකම Plan A සහ Plan B ලෙස සැලසුම් දෙකක් පැවතුණා.වැරදෙන්නට පෙර වැරදුණු දිනක කටයුතු කරන්නේ කෙලෙසදැයි මම කල්තියා පෙර සැලසුම් කර සිටියා.එය මට හුරු පුරුදු වන්නට ඇත්තේද මා තරුණ වයසේ සිට විඳ දරා ගත් අනේකවිධ දුක් කම්කටොළු නිසා වන්නටත් ඇති.යකඩයක් තැලීම නිසා පන්නරය වන බව සාහිත්‍යයේ කියැවෙන්නෙ මෙන්න මේ කාරණා නිසා බව මම විශ්වාස කරනවා.ජීවිතය ලබා දෙන අත්දැකීම් අපව පරිණත භාවයට පත් කරන්නේ අන්න ඒ ආකාරයෙන්.

ඒ නිසා මේ මොහොතේ කටයුතු මේ මොහොතේ සකසා ගත් සැලසුම්වලට අනුව මම කරගෙන ගියා.ඒ අතර මට එක් දෙයක් කල්පනා නො වුණා ද නොවේ.සුධාරක ඉතාමත් මෑත දිනකදී කොළඹට රැගෙන යනු ඇති.ඒ වගේම ඔහුගේ ජීවිතය ගැන පවා ඉතා ඉක්මනින් තීරණයකට සවන් දෙන්නට මට ඉදිරියේදී සිදු වෙන්නට පුළුවන්.තවමත් ඔහු ජීවත්ව සිටිනවා.නමුත් සියල්ල සිදුවෙමින් පවතින්නේ මා අසරණ වන බව මට පැහැදිලි කරමින්.නිසා ඉදිරියේදී එළඹෙන වඩාත් කුණාටු සහගත තත්ත්වයන් මා දරා ගත යුතුමයි.

ඔව් මා ඒ සියල්ල දරා ගත්තා.වරප්‍රසාද පමණක් නෙවෙයි,අප තිදෙනා ඉතා සන්තෝෂයෙන් ජීවත් වූ නිවස පවා අහිමි වෙමින් පවතින බව මට වැටහෙන්නට වැඩි දවසක් ගත වූයේ නැහැ.

ඒ ඛේදනීය කතාව මම හෙට ඔබට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles