අනෝරා මල් වැහි 18

“මම එක්ක කතා කරන එක ඔයාට ප්‍රස්නයක් වෙයිද?”

තේ කෝප්ප දෙකක් අතින් අරගෙන වයිබ්ස් කැෆේහි තමා වාඩි වී උන් එලිමහන් පුටුවට ආ මහිල්ගෙන් තාරා එසේ ඇසුවේ සිනාසෙමිනි. දින කිහිපයක් තිස්සේ එකිනෙකා හමුවීමත් කතා බහ කිරීමත් නිසා මහිල්ට තාරාත් තාරාට මහිල්වත් හැන් නුපුරුදු නැත.

“ප්‍රශ්නයක් කිව්වෙ? කාගෙන්ද?” දෙනෙත් කුඩා කර හිස මදක් හරවා මහිල් අසද්දී ඔහු කෙතරම් සුන්දරද කියා තාරා නැවත වරක් සිතුවාය. තමන්ට වඩා වයස අවුරුදු හතර පහක් බාල තරුණයෙකු ගැන මෙසේ සිතීම කෙතරම් දුරට නිවැරදිද කියා තාරාට නොසිතුනා නොවේ. එහෙත් මේ සිතුවිලි සීමා කරගත යුත්තේ කෙසේද යන ගැටලුවටපිලිතුරක් තාරා දැන උන්නේ නැත.

“කැෆේ එකේ අයගෙන්?”

“අයියෝ නෑ නෑ බයවෙන්න එපා. එයාලගෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා”

“ඔයාත් දැන් හැමදාම හවසට මෙහෙ එනව නේද?”

“මං එහෙම එන බව ඔයා දන්නෙ කොහොමද දන්නවද?”

මහිල් අසන්නේ වඩා ප්‍රේමණීය සිනහවක්දෙතොල් අග තබාගෙනය. එයට හේතුවක් තාරා නොදන්නා නමුත් ඒ සිනහව හිත ඇතුලේ බොහෝ සුන්දර දෑ තනවන්නකි.

“කොහොමද?”

මින්ට් තේ කෝප්පයෙන් තේ උගුරක් ගෙන උගුර උණුසුම් කරගන්නා අතරේ තාරා ඇසුවේ යටැසින් මහිල් දෙස බලමිනි. 

“ඔයත් හැමදාම හවසට මෙහෙ එන නිසා”

දෙතොල මතට එන්නට තනන සිනහව ආයාසයෙන් වාවගන්නට උත්සහ දැරුවත් මහිල්ගේ සුන්දර සිනහව ඉදිරියේ ඒ ව්‍රතය රකින්නට තාරාට හැකියාවක් නැත. අනෙක් අතට ඔහු කියන්නේ ඇත්තක් නොවේද?

“මහිල් මම දෙයක් අහන්න හිටියෙ ඔයාගෙන් ගොඩක් දවසක ඉඳල”

තේ උගුරු දෙකක් පමණ එකවර රස බලා තේ කෝප්පය ලී මේසය මත තබා තාරා මහිල් දෙස එක එල්ලේ බැලුවාය. බැස යන හිරු රැස වයිබ්ස් කැෆේහි විසල් කොබෝලී ගස් අස්සෙන් පෙරී විත් වැටෙන්නේ තාරාගේ මුහුනේ දකූණු කම්මුල මතටය. ඒ හිරු කිරණ ඉදිරියෙන් පෙනෙන මහිල්ගේ දසුනට බාධාවකි. මහා උණුසුමක් එහි තැවරී නොතිබුනද හිරු කදම්බයේ හැසිරිම නිදහසේ කතා කරන්නට අපහසුතා ඇති කරයි.

තාරා මුහුණට වැටෙන හිරු එලිය කදම්බය වලක්වන්නට මෙන් අතක් එසවුයෙත් මහිල් ඔහු හිඳගෙන උන් අසුන මදක් ඔසවා එහායින් වාඩි විය. මෙතෙක් වේලා තාරාගේ මුහුණ සිපගනිමින් හුන් ඒ හිරු රැස් කදම්බය මහිල්ගේ පිටෙහි වැදි වෙනතක් බලා යන්නට විය.

“ඔයා කැමති නැද්ද හයස්ටඩිස් කරන්න”

තාරා කිසිදිනක එවන් දෙයක් තමන්ගෙන් අසනු ඇතැයි මහිල් සිතා උන්නේ නැත. අනෙක් අතට එයට දිය යුතු පිලිතුර කුමක්ද කියා මහිල් දැන උන්නේත් නැත. ඒ තමන් කිසිදිනක සිතා නොවුන් පැත්තකි. 

“හයස්ටඩිස්? 

මම එහෙම හිතල තිබුනෙ නෑ. ඇයි ඇයි එකපාර එහෙම ඇහුවෙ?”

“මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා. ඒ උනාට මම හිතුව මේක ඔයාට කියන්න ඕන කියල. ඔයාගෙ දැන් වයස කීයද?”

“විසි පහයි”

මහිල් තමන්ට වඩා අවුරුදු පහක්ම ලාබාලය. තාරාට දානුනේ බාල සහෝදරයෙකු ලඟ හිඳිනවාටත් වඩා දරුවෙකු ලඟ හිඳිනවා වැනි සෞම්‍ය හැඟීමකි.

“අවුරුදු විසි පහක් කියන්නෙ ටර්නින් පොයින්ට් එකක් මහිල්. ඔයා මේ වයසෙදි තමයි ඩිසයිඩ් කරන්න ඕන ඔයා ඉස්සරහට යන්නෙ දැන් ඉන්න තත්ත්වෙන්මද එහෙම නැත්තම් ඔයා ඔයාගෙ පාත් එක වෙනස් කරගන්නවද කියල. තාම ඔයාට ඕන තරම් වෙලාව තියෙනව ඒ පාත් එක තෝරගන්න වගේම. යන පාත් එක වෙනස් කරගන්න”

“මම ඉගෙන ගෙන මදි කියල ඔයා හිතනවද” මේසය දෙස බලාගෙනම තේ කෝප්පයේ දාරයේ අතින් පිරිමදිමින් උන් මහිල් එසේ ඇසුවේය. ඒ සුපුරුදු සිනහව රැඳුනු බැල්මෙන් මිදී වඩා ගැඹුරු එමෙන්ම බරපතල සිතුවිල්ලක කිමිදෙමිනි.

“මම කවදාවත් ඔයා ගැන එහෙම හිතල නෑ”  තමන් විසින් කියන්නට යෙදුනු කාරණා මහිල්ගේභිත රිදවන්නට ඇතැයි බිය හිත තුල පැලපදියම් වෙද්දී එයින් මිදෙනු පිණිස තාරා පුටුවේ වඩාත් හරිබරි ගැහී වාඩිවූවාය. මහිල් තවමත් ඉන්නේ බිම බලාගෙනම කල්පනාවකය.

“මම එහෙම කිව්වෙ මම ඇත්තටම කැමතියි ඔයා මීට වඩා හොඳ තැනක ඉන්නවට. ඒ කිව්වේ ඔයා දැන් නරක තැනක ඉන්නව කියල නෙවෙයි. ඔයා දන්නවනෙ මහිල් ඔයා කරන ජොබ් එක හොඳ එකක් කියල පිලිගන්න, ඒ වගේ දේකින් උඩට යන්න පුලුවන් අපේ රටක වගේ නෙවෙයි. වෙන රටකදි. මම හිතන්නෙ මම කියනවටත් වඩා හොඳට ඔයා ඒ ගැන දන්නව ඇති. එහෙම රටක ඇත්තටම ඔයාට හොඳ සැලරි එකක් අරගෙන ලක්ශුරියස් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන් මේ පාත් එකෙම ගිහිල්ල උනත්. ඒ උනාට එහෙම තැනක හෙට ඉන්න ඔයා අද ප්‍රොෆෙශනල් වගේ එඩියුකේශනල් කොලිෆිකේශන්ස් හදාගන්න ඕනනෙ. ඔයාට එක්ස්පීරියන්ස් එක හොඳටතියෙනව. හැබැයි ඕනම තැනකදි පේපර් කොලිෆිකේශන්ස් උනත් වැදගත් නෙ. මම ඒකයි එහෙම ඇහුවෙ. ඔයා ඒ ගැනවරදක් හිතන්න එපා”

තාරා කතාව අවසන් කල පසුවත් මහිල් හිස එසවුයෙ නැති තරම් ය. තාරා කියන දේ ඇත්තක් බව මහිල් නොදන්නවා නොවේ. එහා වේලහරිහම්බ කරගෙන කන රස්සාවකට එහා ගිහින් අනාගතයක් ගැන තමා නොසිතුව බව ඇත්තකි. එහෙත් තාරාගේ හඬින් ඒ ඇසෙද්දි යම් කිසි මට්ටමක මදිපුංචිකමක් නොදැනුනා නොවේ. එහෙත් ඇය එසේ කියන්නේ කෙදිනක හෝ තමා ඇය හිඳින අහසට පැමිණිය යුතු බවත්, එහි රැඳී සිටිය යුතු බවත් නොකියා හඟවනු පිණිසද?

ඒ හිතට සතුටක් ගෙන එන සිතුවිල්ලකි. තාරා තමන් ගැන හිතනවා යැයි හිතන සිතුවිල්ල පවා රසාංජනයකි. 

“මම ඒ ගැන හිතල බලන්නම්”

“මං එහෙම කිව්වට ඔයා තරහ නෑ නෙද?” 

“නෑ”

“ඔයා මට වඩා සෑහෙන පොඩියිනෙ. ඔය වයසෙදි අපිට ඉතින් එහෙම යන්න ඕන පාත් එක කියල දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ඒකයි මම හිතුවෙ මම ඔයාට ඒ දේ කියල දෙන්න ඕන කියල”

“තැන්ක්‍යු”

සැඳෑවන්වල මහිල් හමුවන්නට යාම ජීවිතයට එකතු වුනේ එ පරිද්දෙනි. වෙනදාක අඳුරෙන් වැකි සැඳෑවන් දේදුණු පැහැයෙන්වර්ණ ගැන්වුයේ මහිල් ය. වෙනදාක රැකියාව අවසන් වී කෙලින්ම නිවස බලා ගොස් චිරායු එනතුරු තනිවම නිවසේ රැඳී සිටි තාරාගේ අන්දකාර සැඳෑවන් වර්ණවත් කරන මිතුරෙක් වන්නට මහිල්ට ඉඩකඩ ලැබුණි. 

මහිල් තාරාව දරාගත්තේ ආදරයෙනි.තාරාගේ හිතේ තමන් ගැන ආදරයක් නොමැති බවනොදැනය. තාරා විවාහක බවවත් නොදැනය. මුහුනු පොතේ හෝ ඉන්ස්ටග්‍රෑමයෙහි තාරා කිය කොතෙක් සොයා බැලුවද තාරාව සොයාගන්නට මහිල්ට හැකි වුයේ නැත. 

තාරා තාරකාව පරිද්දෙන් මහිල්ගේ ලෝකය එලිය කරද්දී තමාගේජීවිත අහස මත ඒ තාරකාව මිය යමින් හිඳින බව චිරායු තේරුම්ගත්තේ නැත. නොඑසේනම් තේරුණය නුදුටුවා සේ උන්නේය.

ඒ දුරකතන ඇමතුම එද්දී තාරා උන්නේ එදා සැඳෑවේ වයිබ්ස් කැෆේ හිදී මහිල් විසින් ගයන්නට යෙදුණ ගීතයක් මුමුණමිනි. කෙස් කළඹේ රෝස්මරී තෙල් ආලේප කර සම්භාහනය කරමිනි.

“හෙලෝ”

චිරායු ඒ දුරකතන ඇමතුම ගත්තේ එහි ලවුඩ්ස්පිකර් බටනය ඔබාය. එනිසාම කණ්ණාඩිය ඉස්සරහ උන් තාරාට ඒ ඇමතුමට සවන් දෙන්නට හැකි විය. මේ කාර්‍යාල ඇමතුමක් නොවන බව තාරා තේරුම්ගත්තේ චිරායු ඇමතුම ලවුඩ්ස්පීකර් දැමීම නිසාවෙනි. 

“හෙලෝ පුතා මේ අර මධාරා නැන්ද කිව්ව එයා දිස්නි එක්ක එනව කියල ෆොටෝග්‍රැෆර් ට ගෙදර පෙන්නන්න. හෙට ලු එන්නෙ. ඔයාට පුලුවන් නම් විතරක් නිවාඩු දාල ඉන්න. අරය හිටියොත් ඒ මිනිස්සුන්ටඔය මගුල ගන්න ගන්න එකත් එප කරවයි. මං දන්නෙ නැද්ද එයා..”

එතනින් එහා අම්මා විසින් කියන්නට යෙදුන කිසිවක් තාරාට අසන්නට හැකියාවක් තිබුනේ නැත. ඒ චිරායු විසින් දුරකතනයේ ලවුඩ්ස්පීකර් ඕෆ් කිරීම නිසාවෙනි. දුරකතන සවන් පත් තබාගත් චිරායු තමා දෙස නෙතගින් බලමින් බැල්කනියට ඇවිද යනබව තාරා දුටුවේ කණ්ණාඩි වීදුරුවෙනි. වෙන වෙලාවක නම් ඇයවිසින් කියන්න යෙදුන ඒවා හේතු කරගෙන දෙනෙත කදුලින් පුරවගන්නට ඉඩකඩ තිබුනත් මේ මොහොතේ තාරාටඒ කිසිවක වගක් වූයේ නැත. 

තමන් ඉන්නේ සතුටෙනි. කවුරුන් නිසාවෙන් හෝ සතුටිනි. ඉතින් වෙන කවුරුන් නිසාවෙන් හෝ ඒ සතුට නැතිකරගන්නට උවමනාවක් නැත.

මේ සතුට තමාට හිමිවිය යුතුව තිබූ, විඳින්නට නියමිතව තිබූ සතුටකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles