දෙහිතක කතාවක් 09

“ඇයි කෝසල ඔයා එහෙම දෙයක් කරේ?”

කෝසල කිසි දිනක තමාට එලෙසින් අමතනු ඇතැයි බලාපොරොත්තු නොවුවද ඔහු තමාව ඇමතීම ගැන කැළුමිනීට එක්තරා අතකින් සතුටු වන්නට කාරණාවක් තිබුනි. ඒ මෙතරම් කාලයක් ගෙවී ගිය පසුත් තමාට මෙසේ කරන්නට තරම් කෝසලට තමා සමග තිබූ තරහව කුමක්දැයි දැනගන්නට තිබූ උවමනාවය.

“ප්‍රභාත් මගෙ යාලුවා. ඌට එහෙම වලක වැටෙන්න දෙන්න බෑනෙ. ඒකයි මං එහෙම කිව්වෙ. යාලුවෙක්ට මේ කපුටො කටගහපු පොල් කෝම්බයක් සෙට් වෙලා තියෙද්දිත් ඌට ඇත්ත තේරුම් කරල දෙන්න බැරි නම් ඒ යාලුකමෙන් වැඩකුත් නෑනෙ. අනික තමුසෙ පත්තිනි අම්මා වගේනේ රඟපාලා තියෙන්නෙ. තමුසෙගෙ ඒ  කාලෙත් පුදුම ලොකුකමක්නෙ තිබුනෙ. එහෙව් එකේ දැන පස්ස බිම ඇණුනම අපෙන් අහන්නෙ මොකද මෙහෙම කරේ ඇයි කියල? 

තොපිල වගේ උන්ට එහෙම තමයි වෙන්න ඕන”

තමා මේ කතා කරන්නේ මානසික නිරවුල්තාවයකින් නොඉඳිනා අයෙකු සමගය යන්න කැළුමිණීට සිතුනේ ඒ වදන් ඔස්සේ දුර සිතා බලද්දීය. තමා කිසිදිනක මේ මනුස්සයා සමග කතා බස් කර හෝ නැති බව සක්සුදක් සේ පැහැදිලි නමුත් තමා එදවස ඔහුට ලොකුකම් පෑ අයුරක් ගැන ඔහු නොදන්නා කතාවක් පවසයි.

“ඒත් මෙච්චර අවුරුදු ගාණකට පස්සෙ ඇවිල්ල මගෙ මුලු ජීවිතේම විනාශ කරල දාන්න තරම් මම ඔයාට කරපු වරද මොකද්ද?”

වරින්වර උඩට එන්නට තනන ඉකිබිඳුම් පාලනය කරගනිමින්  කැළුමිණී එසේ ඇසුවේ මේ සියල්ල වන්නට හේතුවක් වුයේ ඒ ප්‍රශ්නයට අදාල පිලිතුර බව දන්නා නිසාවෙනි. 

“තමුසෙ වගේ වල් වනචර ගෑණු කවදකහරි පාඩමක් ඉගෙන ගන්න ඕන. අන්න ඒකයි මම වෙලාව ආව වෙලාවෙ ඒක කරේ. තවදුරටත් ඒ මිනිහව රවට්ට රවට්ට ඔය කසාදෙ අස්සෙ ලැගල ඉන්නෙ උඹේ තියෙන වනචර කමටද එහෙම නැත්ත උගෙ තියෙන පොන්සි කමටද?”

දුරකතනයේ එහා පසින් ඇදී එන කෝසලගේ අවඥාසහගත වදන් සහ සිනහවන් දරාගන්නට බැරි තරම් වේදනාකාරීය. එහෙත් මේ තම සිතට වද දෙන ගැටලුවටල පිලිතුරු සොයා ගන්නට ඇති එකම වේලාව බව කැළුමිණීට අමතක කරන්නට අපහසුය.

“දැන් ඔක්කොම දේවල් කරල ඉවර වෙලා, මගෙ මුලු ජීවිතේ විනාස කරල දාලා ඉවරවෙලා තමුන් තකහනියෙ මට කතා කරේ මම මැරිලද කියල බලන්නද?”

කෝපය සඟවාගන්නට උත්සහ කරද තමන්ගේ වචන වල කෝපය බිඳක් හෝ තැවරී ඇති බව නොදන්නවා නොවේ. එහෙත් එහා පසින් කෝසලගේ උස් සමච්චල් සහගත සිනා හඬ මතුව එන්නේ ඒ කිසිත් දෙයක් ගැන තැකීමක් නොකරන බව පවසන්නට මෙනි. 

“මැරිලද බලන්න නෙව්‍යි නිම්නයි, ප්‍රභාත් කාරයයි දෙන්නම රස බලපු එකේ අපිටත් තාම චාන්ස් එකක් තියෙනවද කියල බලන්න”

ඇමතුම විසන්දි වූවාද නොඑසේනම් තමා විසින් එය විසන්දි කරාද යන කුකුස සිත තුල තිබෙද්දීම ඇඳ මත වැටුනු කැළුමිනී ඇඬුවා නොවේ. නිහඬවම දෙනෙත් ඔස්සේ කඳුලු වලට ඇදී යන්නට පාර සැකසුවා පමණි. මෙතරම්ම ලැජ්ජාවක්, මෙතරම්ම අවමානයක් විඳින්නට තරම් තමා විසින් කාට කුමන වරදක් කරාද යන ගැටලුව සිතට වද දෙන්නකි.

වෙන දිනක නම් ප්‍රභාත් අමතා මේ සියලු දුක්බර කතාවන් පවසන්නට ඉඩකඩ තිබුනද අද එසේ කල නොහැක්කේ මේ සියලු වේදනා රැහැන් පටවල ප්‍රභාත්ද පැටලී හිඳින නිසාවෙනි. 

මේ වේදනාවන් කාට හෝ පවසා සිත සනසාගන්නට තිබුනා නම් මොනතරම් අපූරුද කියා සිතුනද තමාට මේ බව පවසන්නට හිඳින එකම හිතවතා පබෝධා නැන්දා පමණකි. අනෙක් අතට ප්‍රභාත්ගේ අම්මාද පවසා කියූ දේවල සහ ඇයගේ ස්වරයේ තැවරී තිබුන සමච්චලයද සිත බියපත් කර, වේදනාත්මක කර තිබුනි. 

“ඔයාට කැළුමිනීට සමාව දෙන්න විදියක් ඇත්තෙම නැද්ද?”

සැඳෑවක බීමත්ව නිවසට බලා යෑම මගහැර අමිශා සමග වන් ගෝල් ෆේස් මෝල්ගි ඩිල්මා ටී ලෞන්ජ් වෙත ගියේ එදා රැයේ ඇය සමග තමා ගිලී හිඳින ප්‍රශ්නයෙන් කොටසක් කීමෙන් පසුව ඒ ගැන තවදුරටත් කතා කරනු පිණිසය. 

“ඔයාම හිතන්න මම කොහොමද එහෙම දේකට සමාව දෙන්නේ?”

“ඇයි සමාව දෙන්න බැරි?”

අමීශාගේ ප්‍රශ්නය බොහෝ දේ කියවන්නක් වුව එයට දිය යුතු පිලිතුර ගැන පැහැදිලිතාවක් ප්‍රභාත්ට තිබුනේ නැත, නිහඬව ඩිල්මා ටි ලෞන්ජ්හි වීදුරුවෙන් එපිට පෙනෙන මුහුද දෙස බලා උන්නට වූයේ අමීශාගේ විදුලි සැර බඳු දෙනෙත් රශ්මියෙන් මිදෙනු පිණිසය. 

“මිනිස්සු වැරදි කරනවා. ඒත් ඔයාව හම්බෙන්නත් කලින් ඔයාව රවට්ටන්නවත් හිතල නැති විදියට එයා කරපු දෙයක් වරදක් කියල කියන්න පුලුවන්ද ප්‍රශ්නෙ මට තියෙන්නෙ. ඒ උනාට ඉතින් මේක ඔයාගෙ ජිවිතේනෙ. ඔයාට දේවල් දැනෙන්නෙ තේරෙන්නෙ මට දැනෙන තේරෙන විදියට වඩා වෙනස්වනෙ. ඉතින් ඒක ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ. ඒ උනාට ඔයා තව කීප සැරයක්ම ඔය ගැන හිතන්න. ඔයාම කියන විදියට එයාගෙ වෙන කිසිම වරදක් නැත්තම් මම හිතන්නෙ ඇත්තටම එයාට දෙවනි වතාවක් ලැබෙන්න ඕන”

“මට තියෙන ප්‍රශ්නෙ එයා එහෙම දෙයක් කරගත්ත එක නෙවෙයි ඒක මගෙන් හංගපු එක. මට දරාගන්න අමාරු ඒක. මට හිතෙන්නෙම එයා මාව ආයෙම රවට්ටන්න පුලුවන් කියල. ඒක හරියට අර වීදුරු භාජනයක් බිඳිල ගියාම වගේ. ආයෙ ඒක පුරුද්දන්න බෑනෙ”

“ඔව් ඒක හරි. විශ්වාසයක් බිඳුන කතාව මම පිලිගන්නවා. ඒ උනාට ඒක සහමුලින්ම මේ අවුරුදු කීපයක්ම හොඳට තිබුන ඔයාලගෙ ෆැමිලි ලයිෆ් එක නැති කරගන්න හේතුවක්ද කියන ප්‍රශ්නෙ මට තියෙනවා”

අමීශා කියන කතාවේ ඇත්තක් නැත්තා නොවේ. එහෙත් බිඳුණු හිතක් ආයෙම පහසුවෙන් පිලිසකර කරගන්නට හැකි ද? එය කෙදිනක හෝ වෙනු ඇතැයි සිතා බලා හිඳීම තමන්ගේත් කැළුමිණිගේත් ජීවිතය අඳුරක හෙලීමට හේතුවක් නොවනු ඇතිද?

ඒ බලා හිඳීම අවසානයේත් මේ වෙන්වීමේ අවශ්‍යතාවයම තිබුනහොත් එය කාලය කා දැමීමක් නොවන්නේද?

ඒ ප්‍රශ්නවලට උත්තර පහසුවෙන් සොයාගන්නට බැරි බව ප්‍රභාත් නොදන්නවා නොවේ. එහෙත් දැන දැනම රැවටෙන්නට හැකිද? 

“ඔයා මම උනානම් ඔයා මොකද කරන්නේ?”

ප්‍රභාත් අමීශාගෙන් එසේ ඇසුවේ නිකමටය.

“දැන් මම ඔයා උනානම් කරන දේ කිව්වොත් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඒකම කරන්නද?”

“ඔව් එහෙම කරන එක වරදක් නෑනෙ. ඒක හරි තීරණයක් නම්”

අමීශා මද සිනහවක් නගමින් ප්‍රභාත් දෙසම බලා උන්නට විය. ඒ බැල්ම අපහසුතාවයක් සිතට ඇති කරවන්නකි. මක්නිසාද යත් ඒ දෑස මත ඉතා දිගු කතාවක අත්තිවාරම ඇඳී ඇති නිසාවෙනි. 

“මම ගන්න තිරණේ හරිම තීරණේ කියල ඔයා කියන්නෙ කොහොමද? මම ගන්නෙ මට හොඳයි කියල හිතන තිරණේනෙ. ඒ තීරණේ හරියන්නෙ මට. ඔයාට නෙවෙයි ප්‍රභාත්. ඔයා ගන්න ඕන ඔයාට හරි සහ හොඳයි කියල හිතෙන තීරණේ. 

අපි කරන ඕනම දේකින් අපේ හිතට සැනසීමක් වගේම කිසිම කෙනෙක්ට හානියක් නොවන එකයි වෙන්න ඕන. අන්න ඒ කාරණාව හිතේ තියාගන තමයි අපි දෙයක් කරද්දි වගේම තීරණයක් ගනිද්දි ගන්න ඕන”

ප්‍රභාත් එක එල්ලේම අමීශාගේ දැස් දෙස බලා උන්නට වූයේ තමා සිතුවාටත් වඩා ඇය කෙතරම් නම් බුද්ධිමත්ව ප්‍රශ්නයක් දෙස බලනවාද යන්න සිතමිනි. තමා විසින් මෙතෙක් දිනක් මත් බවින් බරව ගෙවූ සැඳෑවන අවසන් කර ඒවා මෙතරම්ම බුද්ධිමත් කතාබස් කිරීම් සිදුවන අරුත්බර සැඳෑවන කරන්නට ඇය තුල වූ හැකියාව ගැන පුදුම නොවී හිඳින්නට ප්‍රභාත්ට හැකියාවක් තිබුනේ නැත.

“මම මට හරි කියල හිතල ඩිවෝස් එකකට ගියොත් ඒකෙන් කැලුමිනීට වේදනාවක් ලැබෙන එකක් නෑ කියල ඔයා හිතනවද?”

අමීශා එයට උත්තර දුන්නේ මද වේලවක නිහැඬියාවකින් පසුවය.

“ඔව්”

“ඇයි?”

“කැලුමිණී මුල් ටිකේ අඬයි. ඩිවෝස් වෙන්න බෑ කියයි. ඇත්ත. එහෙම නොවී තියෙන්නෙ නෑ. ඒත් ඒ දුක හරි ශෝර්ට් ටර්ම්. ඒ ශෝර්ට් ටර්ම් දුක ගැන හිතල ඔයා ඩිවෝස් එක නොදී ඒත් ආදරයක් නැතුව ඒ සම්බන්ධෙ කන්ටිනිව් කරගෙන ගියොත් එයාට වගේම ඔයාටත් සමහරවිට ලෝන්ග් ටර්ම් දුකක ගිලිල ඉන්න වෙයි. දැන් වෙන් උනොත් කාලෙ එක්ක හිත හදාගෙන තමන්ගෙ ෆියුචර් එක හදාගන්න එයාට වගේම ඔයාටත් ඕන තරම් වෙලාව තියෙනවා”

පිටවයන්නට නැගිටමින් අමීශා ඒ කී වදන්වල කොතෙක් නම් ඇත්ත තැවරී තිබේද යන්න ප්‍රභාත් සෙමෙන් තේරුම් ගනිමින් උන්නාය.

සුන්දරව හඳින පලඳින, කුඩා කෙල්ලක යැයි තමා සිතා හුන් අමීශා මොනතරම් වෙනස් ද කියා ප්‍රභාත්ට තේරුම් ගියේ මේ මොහොතේය.

“ඔයාට කවුන්සලර් කෙනෙක් වෙන්න තිබුනේ”

“ඔයාගෙ හිත සනසන නිසාද?”

එසේ පවසමින් අමීශා තමා වෙත හෙලූ සිනහව සැනසුම් සහගත බව ප්‍රභාත්ට සිතුනේ නිරායාසයෙනි. එහෙත් ඒ සිනහවට පිලිතුරු ලෙස තම මුව මත ඇඳුනු පිලිතුරු සිනහව බොහෝ වේලා යනතුරුත් තම මුවින් නොනික්මුන බව ප්‍රභාත්ට මතකය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles