සඳ කත් මිණි ඇස් – 30

සූර්යා ට ඇසිඩ් ගැසූ පුද්ගලයන් නිර්ණය කර ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. සීසීටීවී දර්ශව වලින් ඒ පුද්ගලයන් ගේ පෙනුම ගැන පැහැදිලි අනාවරණයක් කර ගත හැකි නොවිණි.යතුරු පැදියේ වූයේ ව්‍යාජ අංක තහඩුවකි. ඒ නිසා සියල්ල ඉතා සියුම් ව හා සැලසුම් සහගත ව සිදු කොට ඇති බව පෙනෙන්නට තිබිණි. 

සැක කරුවෙකු වශයෙන් සූර්යා රෝහල් පොලීසියට ප්‍රවීන් ගේ නම ලබා දී තිබුණ ද, ඔහු නිලධාරීන් ඉදිරියේ ඒ චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කළේ ය. නීතියට සාක්ෂි නොමැති ව කිසිත් කළ නො හැකි ය!

“උඹව මං මරණව දැනගනිං. ආයෙත් අපේ ජීවිත අතරට එන්න හැදුවොත්…උඹගෙ වයිෆ්ට වෙන මිනිහෙක්ව හොයා ගන්න සිද්ද වෙයි..”

ආලෝක ප්‍රවීන් ට තර්ජනය කළේ ය. ඔහු කළේ හඬ නගා සිහහ වීම ය.

“නිකං අපරාදෙ අමාරුවෙ වැටෙන්න හදන්න එපා මනුස්සයො ගෑණියෙක් නිසා. උඹට ඒක හරියන්නෑ වගේ”

සූර්යා ගේ මතු ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවීන් ට එරෙහි ව පැමිණිලි කරත්දී, ඔහු ද ආලෝක ගෙන් ජීවිත තර්ජන ඇති බවට පැමිණිලි කළේ ය. 

මහත් අප්‍රසන්න හැඟීමක් ආලෝක තුළ ඇති වෙමින් තිබිණ. නීතිය කියන දේ වුව අවස්ථානුකූල බව ළමා වියේ සිට ම ඔහු දැන සිටියේ ය. ඒ ක්‍රමය වෙනස් කරන්නට යාමෙන් හෝ ඒ සමග සටන් වැදීමෙන් කළ හැකි වූ යමක් නොවූ බව ආලෝක දුටුවේ තාත්තා සහ ඔහු නියෝජනය කළ පාර්ශවය ගැන සිතත්දී ය. සාධාරණත්වය කියා දෙයක් ලෝකයෙහි පැවතිය ද බොහෝ අවස්ථා වල නීතියේ දෙවඟන සිටින්නේ ඇස් වසා ගෙන ද කියා සිතේ. පවතින ක්‍රමය වෙනස් කරන්නට ගිය මිනිසුන්ට සිදු වූයේ ටයර් සෑය වල දැවෙන්නට ය.

යළිත් වරක් පුළුටු ගඳින් ආලෝක ගේ නහස් පුඬු පිරී ගියේ ය. 

ඔහු පසු වූයේ බලවත් හිත් වේදනාවක ය. එය කාටවත් නො කියා හෝ නො පෙන්වා, සිය හද මන්දිරයේ හංගා ගෙන සිටි දුක්ඛ සන්තාපයකි. ඉතිහාසය නැවත සිදු වේ යයි කතාවක් තිබේ. මිනිස්සු හැම දාමත් අන්තවාදී ය. ආත්මාර්ථකාමී ය. ඒ හැඟීමට එරෙහි ව යන තමන් ගේ ම කෙනෙකු වුව දෙවරක් නො හිතා විනාශ කොට දමන්නට ඔහු පෙළඹේ.

මරණය ගැන බියක් ආලෝක ට නැත. ඔහු මරණයේ භයානක ම සේයාව දුටුවේ ළමා වියේ දී ම ය. නමුත් සූර්යා ගැන ඔහු ගේ හදවත පෙර කවදාටත් වඩා බිය ගන්නට පටන් ගෙන තිබේ.

යමක් සිදු වූවාට පස්සේ ඒ ගැන කවර නීති කතා කළත් පලක් නැත්තේ ය. එදා සිට අද වන තුරුත් ඔහු ඒ පාඩම පසක් කරමින් හිඳී. මිනිසුන් වෙනුවෙන් ජීවිතය පිදූ මිනිසුන් ගේ මතකයක් හෝ අද ඉතිරි වී නැත්තේ ය. පවුලේ අයට ඔවුන් අහිමි වී ගිය ශෝකය පමණක් සදාතනික ව පවත්නේ ය.

සූර්යා ගැන බියකින් ආලෝක ගේ පපුව හිරි වැටී යයි. ඇයට වරදක් වුව හොත් ඒ තුවාලයත් එක්ක මිය යාමට හෝ ඔහු ට සැනසීමක් නොවන බව ඔහු දනී. එහෙම දෙයක් නො වන්නට බැරි කමක් නැත. පෙර පිනකින් මේ අවස්ථාවේ ඇය අනතුරින් මිදුණ බව ඇත්ත ය. නමුත් සතුරා එක අවස්ථාවකින් පසු බසින්නේ නැත.

ප්‍රේමය වනාහි සන්තක කර ගැනීම ම නොවන බව ආලෝක ඉගෙන ගත්තේ සූර්යා ගෙන් ම ය. මලක් නිරුපද්‍රිත ව නටු අග පිපී තිබෙනු දකිත හැකි නම්, නො කඩා ම වුව අපට ඒ ගැන තුටු පහටු වන්නට පුළුවන.

සූර්යා ගේ මවු පියවරු ද මේ සිදු වූ ගැන බෙහෙවින් කලබල වී සිටියහ.

“ආයෙ තනියම ඉන්න බෑ. යමු ගෙදර”

රෝහලෙන් ඔවුන් ඇයව කෙළින් ම ගෙන ගියේ පීටර්ස් පෙදෙසේ ගෙදරට ය. පවතින තත්වය මත සූර්යා හිතුවක්කාර වන්නට ගියේ නැත.

“ඔයා පොඩි ළමයෙක් නෙවෙයි වුණාට දැන ගන්න ඕන මේක ලංකාවයි කියල. ලෝකෙ අනිත් තැන් වල කරන දේවල් මෙතන කරන්න බෑ. එහෙම ඉන්න බැරිනං කරුණාකරල ඔයා ආයෙ ෆ්‍රාන්ස් යන්න. දරුවො ළඟට යන්න”

ඔවුන් ගේ තීරණය එය විය. තුවාලය සුව අතට හැරෙනා තුරු නිහඬ වීම හැර කළ හැකි වෙනකක් නොවන බව සූර්යා දැන සිටියා ය. 

ඒ කාලය තුළ ආලෝක ට ඇය හමු විය නො හැකි විය. සූර්යා ඔහු ට මහ ගෙදරට ඇරයුම් නොකළා ය. කෙසේ වෙතත් එවන් පරතරයක් ඒබවෙලාවේ ඔවුන් ට සහනයක් ද සලස්වන්නට ඇත. උනුන් ගෙන් වෙන් ව සිට ගැටළුව දෙස බාහිර නෙතකින් බැලිය හැකි වූ බැවිනි. 

“මට මතක් වෙන්නෙ ඒ කාලෙ…අවුරුදු විසි දෙකකට කලින්…ඔයා එක්ක තිබ්බ අෆෙයා එක නවත්තන්න කියල අපේ අම්මල මාව නිවාස අඩස්සියෙ තියං හිටපු කාලෙ”

සූර්යා දුරකතනයෙන් ආලෝක ට කීවේ දුක්බර අතීතයක් රස විඳිනා ගමන් ය. අපි කොහොමත් දුක රසයක් කොට විඳින්නට කැමති මිනිස්සු වෙමු.

“ඔයාගෙ පේරන්ට්ස්ල හරි”

ආලෝක කීවේ සුසුමකිනි.

“ආ…”

“එදත් ඒගොල්ලන්ට දැනුණා මට ඔයාව බලාගන්න බැරි වෙයි කියල. අද ඒක ඔප්පු වෙලා තියෙනව”

“ආ..ලෝක”

“ආදරේ නිසා ඔයා පිළිගන්න අකමැති වුණාට ඒක නේද ඇත්ත…”

“අ..නේ…ඔයාට මාව බලා ගන්න බැරි වුණා නෙවෙයි. මං නිසා ඔයාගෙ ජීවිතෙත් අවුල් වෙන්න අරං…ඒකයි ඇත්ත…”

ගෙදර කාමරයට සීමා වූවාට පස්සේ බරපතල ලෙස සූර්යා ට මේ සිතිවිල්ල වද දෙන්නට පටන් ගෙන තිබිණ. සාමාන්‍යයෙන් ඇය ආසියාතික ස්ත්‍රියගේ පසුගාමී මානසිකත්වයක් ඇත්තියක නොවේ. නමුත් ප්‍රේමය කියනා හැඟීම තුළ අසීමිත ලෙස පුළුල් වන්නට ද අසීමිත ලෙස පටු වන්නට ද සිතකට පුළුවන. ආලෝක වතාවක් ඈ නිසා ජීවිතය අස්සේ සැඟවී ගත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද දමා ගොසිනි. අමාරුවෙන් ඔහු ගොඩ නගා ගත් සියල්ල විනාශ වන්නට ගත්තේ ඈ නිසාවෙනැයි නිවී සැනසිල්ලේ කල්පනා කරනා සූර්යා ට සිතේ. ඔහු වූ කලී  හෙමිහිට ස්වෝත්සාහයෙන් සියල්ල හිමි කර ගත්තෙකු මිස ප්‍රවේණි උරුමයෙන් කිසිත් ලද කෙනෙකු නොවේ. ඔහු ගේ ව්‍යාපාරයෙහි ප්‍රසිද්ධ සකුරෙකු ඇති වූයේ ද ඈ නිසාවෙනි. තව ඉදිරියේ දී ඔහු ට මොන විදිහේ කරදර වලට පැටලෙන්නට වේවි දැයි සිතා ගත නො හැකි තරම ය.

සූර්යා සුව වීත් හිතා මතා ම ගෙදරට ම වී සිටියා මිස ඇගේ අපාට්මන්ට් එකට නො ගියා ය. එසේ කළේ තව කාලය ගන්නට ය. ආලෝක ට ද තව කාලය දෙන්න ය. 

“ඔයා සන්දීපනී ගැන හිතල බලන්න ආලෝක..කොහොමත් එයා ඔයාට කැමතියි…ඔයාගෙ අම්මත් කැමතියි. ප්‍රශ්න අඩු ජීවිතයක් තරං සැනසීමක් මනුස්සයෙක් ට තව නෑනෙ ආලෝක. මං ආපු දා ඉඳල ඔයාට කරදර…”

ඇය ඉතා හෙමිහිට ඔහුට යමක් තේරුම් ගැන්වීමේ උත්සාහයක් දැරුවා ය. 

“විකාරද ආ…ඔයා හිතුවද මං බය ගුල්ලෙක් කියල…”

ආලෝක තරමක් උස් හඬින් ගුගුළේ ය. ඔහු ගින්දරක් වන විට සිහිල් දිය දහරක් වන්නට තරම් සූර්යා බුද්ධිමත් ය.

“එහෙම නෙවේ ආලෝක මං කියන්නෙ. ඒත් කෙනෙක් ගමනක් යන්න තෝර ගන්න ඕන පහසුවෙන් ඒ ගමන යන්න පුළුවන් කෙනෙක්ව නේද…අඩුම කරදර වලින් ඒ ගමන යන්න පුළුවන් කෙනෙක්ව. මට දැන් තේරෙනව…මං ඔයාට එහෙම කෙනෙක් නෙවෙයි”

“අනේ මොනාද අනේ මේ කියන්නෙ…ඔයා කතා කරන්නෙ නිකංම මේ…කිසිම අවබෝධයක් නැති සාමාන්‍ය ගෑනු ළමයෙක් වගේනෙ. මේ ඔයාද…”

ආලෝක සිනහවක් නගා ගත්තේ ය. ඇය තව දුරටත් කම්පනයට පත් ව සිටිනවා ඇත කියා ද ඔහු ට නොසිතුණා නොවේ. ඇසිඩ් පහරකට මුහුණ දෙන්නට සිදු වූ ගැහැනු හිතක ඇති විය හැකි කම්පනය සිතින් මවා ගන්නට ආලෝක උත්සාහ කළේ ය.

“ඔයාගෙ අම්මලට කියන්න අපි මැරි කරනව කියල. ඒක ඉවරයක් කරල දාමු. ඊට පස්සෙ ඔය අනිත් කොයි දේත් සාමාන්‍ය වෙලා වයි. ඇයි අනේ ඔයා මේ ප්‍රවීන් නිසා මාව අත්ඇරල දාන්නද හදන්නෙ…”

එය ඒ තරම් ම සරල ලෙස ගන්නට ආලෝක තැත කළ ද ඒ සා එහි සරල බවක් නොවන බව සූර්යා දැන සිටියා ය. ප්‍රවීන් වන් නරුම මිනිසෙකු ඒ තරම් පහසුවෙන් නිහඬ කළ හැකි වනු ඇත් ද? ඔහු ට උවමනා වූයේ ඇය ව සිය ජීවිතයට තාවකාලිකව හෝ ලං කර ගන්නට ය. ඇගේ රූ සපුවත්, ඇය බැඳීම් වලින් තොර නිදහස් ගැහැනියක වීමත් කියන හේතු ඔහු ට වැදගත් වූයේ ය. සූර්යා වන් ගැහැනියක පසෙකින් සිටියදී, ගෙදර ගිය කල පවතින අප්‍රසන්න තත්වය නොසලකා හරින්නට පිළිවනැයි ඔහු සිතුවේ ය. 

සැබවින් ප්‍රවීන් ගේ පවුල් ජීවිතය ඔහු ට දැනුණේ අපායක් සේ ය. එයි කිසිදු සතුටක් කියා දෙයක් තිබුණේ නැත. ගෙදර ගිය වෙලාවේ පටන් බිරිඳ ගේ චෝදනා ඔහු ට කන්දොස්කිරියාවක් සේ වූයේ ය. එවන් පසුබිමක් ගෘහ ජීවිතය තුළ පවත්නා පිරිමි, තාවකාලිකව ඒ සියල්ලෙන් පලා යන්නේ පිටස්තර ස්ත්‍රියකට ලං වීමෙනි. සූර්යා ව ඒ සඳහා තෝරා ගැනීම සිය ව්‍යාපාර ජීවිතයට ද සවියක් සේ ප්‍රවීන් ට දැනිණ.

සූර්යා ට ඔහු නැතිව බැරි බව ආලෝක දැන සිටියේ ය. ඒ නිසාවෙන් ම ඔහු ඇගේ මේ වෙනස ගැන ලොකුවට හිතන්නට ගියේ නැත.

මේ ඇසිඩ් ගැසීමේ සිද්ධිය නිසා වූ යහපත් ම අතුරු ඵලය නම් සන්දීපනී ආලෝක ගෙන් සම්පූර්ණයෙන් ඈත් වීමට ගත් තීරණයයි. 

“ඔයා ඔච්චර මෝඩද ළමයො…ඔයා ඇසිඩ් ගැහුවෙ නෑනෙ. ඒව කරපු අයත් එක්ක බේර ගනී”

ආලෝක ගැන යෝජනාව සන්දීපනී වෙතින් ප්‍රතික්ෂේප වීම ගැන ඉන්ද්‍රාණි කලබල වූවා ය.

“වාසනාවට පයින් ගහන්න හදන්න එපා”

“වාසනාව…ආලෝක කිව්වොත් එහෙම මාවත් සැකයි කියල…මටත් පොලිස් කූඩුවෙ ලගින්නයි වෙන්නෙ”

“එහෙම කවුරු හරි මොනා හරි කිව්ව කියල අල්ලං ගිහිං කූඩු කරන්න බෑ. එහෙනං දැං ඔය ප්‍රවීන් කියන හාදයවත් අල්ලගන්න එපැයි. ප්‍රශ්න කරල එවලයි කියලයි චාන්දනී ඇන්ටි කිව්වෙ”

“අම්මෙ මං කිව්වනෙ බෑ කියල. බෑ කිව්වොත් මට බෑම තමයි”

එවර සන්දීපනී ගේ දෙදරන්නට තරම් හයියෙන් කෑ ගැසුවා ය.

“කෙල්ල බය වෙලා ඉන්නෙ. අපි ටිකක් ඔහොම යන්න අරිමු”

අන්තිමට චාන්දනී මා ඉන්ද්‍රාණි කතිකා කර ගත්හ. සන්දීපනී දින ගණනාවකින් වදයක් වෙන්නට නො පැමිණි එක ගැන ආලෝක නම් තනිව ද සිනහ වූයේ ය.

“දැන් ඔය ඇතිනෙ ගෙදර හිටිය. අපාට්මන්ට් එකට එන්නකො”

දවසක් ආලෝක සූර්යා ට එසේ කීවේ ඇය නොදැකීම ඇසට සේ ම හිතට ද වෙහෙසක් ව දැනෙමින් තිබියදී ය. සූර්යා ප්‍රතිචාර නො දක්වා සිටියා ය. මේ බලා හිඳීම ඔහු ට ම දිනෙක එපා වනු ඇතැයි ඇය සිතුවා ය.

“නැත්තං මං එන්නද ගෙදර…එතකොට කොහොමත් අම්මල එක්ක අපි ගැන කකා කරන්න පුළුවන්නෙ”

“එපා එපා”

උසස් පෙළ පෙම්වතියක ගේ තිගැස්මෙන් යුතුව ඕ වහා ප්‍රතික්ෂේප කළා ය.

“මට තව ටිකක් රෙස්ට් කරන්න ඕන වගේ”

සූර්යා කවදාවත් මෙහෙව් මානසිකත්වයකට පත් ව නැත. කළ යුත්තේ කුමක් දැයි ඕ නිශ්චිත ව දැන සිටියේ නැත. එක එක වෙලාවට එක එක විදිහට සිතුවා ය. ඒ කොයි විදිහට හිතුවත් අවසාන සිතිවිල්ල වූයේ ආලෝක සුරක්ෂිත විය යුතු ය යන්නයි. ඔවුන් ගේ ඊළඟ ඉලක්කය කුමක් වනු ඇත්ද කියා කෙසේ නම් ඇය සිතන්න ද? 

ආලෝක ට සූර්යා ගේ වෙනසක් දැනෙමින් තිබිණි. ඇය පෙර දී සේ දුරකතන ඇමතුම් දුන්නේ නැත. ආලෝක කතා කළොත් පමණක් කතා කළා ය. එද බොහෝ ඇමතුම් මග හැරියා ය. ඉන් පසු පෙරලා ඇමතීමක් ද නොකළා ය. ඇතැම් විටෙක ඔහු ගේ නම තිරය මත ලියා ගෙන දුරකතනය හැඬවෙත්දී ඇතුළාන්තයෙන් ඕ ඉකි ගසා හැඬුවා ය.

දවසක් නටාෂා සූර්යා හමු වන්නට පීටර්ස් පෙදෙසේ නිවසට ගියේ ආලෝක ගේ ඉල්ලීම මත ය. මීට පෙර ඇය ප්‍රේම කතාවක දූතයෙකු වී හිඳ නැත. ඒ නිසා ම නටාෂා ට මෙය අලුත් ම අත්දැකීමක් විය.

“ඇයි අර සුමන් ව අවුල් කරන්නෙ…ඒ මනුස්සය පඹ ගාලක පැටලිල වගෙයි ඉන්නෙ. අඩු ගානෙ ඔයාගෙ ඩිසිෂන් එක මොකද්ද කියල කියන්න සූර්යා. වටීස් දිස්…”

නටාෂා සිටියේ මඳ නොරිස්සුමකිනි. කියන්නට නිදහසට කාරණා සූර්යා ට නැත. ඇගේ ස්ථාවරය කුමක් දැයි ඇය ම නො දැන සිටියා ය.

“මට බයයි දැං ප්‍රවීන් ගැන. ඒ මනුස්සයට පිස්සුද කොහෙද…නැත්තං මේ මොන එහෙකටද අපි දෙන්න පස්සෙං පන්නන්නෙ…මේ ලෝකෙ ඉන්න එකම ගෑනි මන්ද…ඒ මනුස්සයට ඕන තව ගෑනියෙක්වනං ඇයි ඒකට මාව අතෑරල කැමති කෙනෙක්ව අල්ලගන්න බැරි…මට බෑ ආලෝකට කරදරයක් වෙනව බලන්න නටාෂා”

“අනේ මන්දා..ඒ කියන්නෙ ඔයා ආලෝක ව අත්අරිනවද…”

උත්තරයක් දෙන්නට පෙර සූර්යා ගේ උදරය කළඹා ගෙන බලවත් අපහසුතාවයක් ඉහළට ආවේ ය. ඇය අතින් මුව වසා ගෙන නාන කාමරය වෙත දිව්වා ය. නටාෂා බලා උන්නේ නෙතු මහත් කර ගෙන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles