මිස් බියුටි 

” මේ.. දන්නවද? අර ලිහිණි මේ පාර ඒගොල්ලෝන්ගේ මහත්තයාගේ ඔෆිස් එකේ මොකක්ද මන්දා පැජන්ට් එකකට ගිහින් පලවෙනියා වෙලාලු…”

සුවිමාලි පැමිණීම සලකුණු කරන ගමන් එහෙම කියාගෙනයි මේසේ දිහාවට ඇවිදගෙන ආවේ. සුවිමාලිගේ මේසෙට එහා පැත්තෙන් හිටපු මන්දිරා නම් ඒක ඇහුනේ නැති ගානට ෆයිල් එකක් පෙරලගත්තා. ඒත් වටේ පිටේ හිටපු අනෙක් දෙතුන් දෙනාම කන් ඇරගෙන වට වුණේ මේ මොකක්ද මේ කියන්නේ කියලා අහගන්න නොඉවසිල්ලෙන්. 

” පැජන්ට් එකක් ?”

“ඔව් ඔව්… ඕවට ගිහිල්ලා පිට පිරිමි ඉස්සරහට අමු හෙලුවෙන් නේ ඉතින් නටන්න වෙන්නේ….”

“ඇත්තටමද සුවී ? …”

“නැතුව… එතනින් ඉවර වෙන්නේ නෑ… දිනන්න නම් තව තව සෙල්ලම් තියෙනවා …”

සුවිමාලි කට උල් කර කර විස්තරේ කියනකොට ලිහිණි දොර ළඟ. සතුට සමරන්නත් එක්ක උදෙන්ම නැගිටලා හදාගත්ත කට්ලට් ටිකට කේක් කිලෝ තුනකුත් අරගෙන ආව ලිහිණිට දැනුනේ ඔලුව උඩට හෙණයක් පහත් වුණා වගේ. ලිහිණි එහෙමම ආපහු හැරෙනදා දැකපු මන්දිරා ලිහිණිගේ පස්සෙන් දුවගෙන ගියත්, මන්දිරාට කලින් ලිහිණි ලිෆ්ට් එකට නැගලා ගියා

මන්දිරා ආයෙම ලිෆ්ට් එකෙන් පහලට ඇවිල්ලා බලනකොට ලිහිණි පේන්න හිටියේ නෑ. මන්දිරා  ආයෙම ඔෆිස් එකට දුවගෙන ඇවිල්ලා ලිහිණිට ඇමතුමක් ගත්තා. ඇමතුම විසන්ධි කර නිසා ආයෙම ඇමතුමක් ගන්නකොට ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරලා. 

සුවිමාලිලාට හිතින් බැණ බැණ මන්දිරා ඊළඟ ඇමතුම ගත්තේ ලිහිණිගේ හස්බන්ඩ් ට. සිද්ද වුණ දේ යන්තමට කියලා මන්දිරා ආයෙම ඇමතුම විසන්ධි කරලා එයාගේ අසුනට ආවා. 

ලිහිණි ට ගෙදර ආව විදියක්වත් මතක තිබුණේ නෑ. අවුරුදු විසි පහක පොඩි කෙල්ලෙක් ඉලක්ක කරගෙන, ඒ වයසේ දරුවෝ ඉන්න සුවිමාලි මිස් වගේ කෙනෙක් ඒ වගේ කතා කියාවි කියලා ලිහිණි හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ තියා ඔෆිස් එකේ කිසිම කෙනෙක් තමන්ව එහෙම විනිශ්චය කරනවා ඇති කියලා ලිහිණි හිතලා තිබුණේ නෑ. ඒ නිසාම ලිහිණි හිටියේ බිංදුවටම කඩාගෙන වැටිලා.

තාරකගේ කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දානකොට ලිහිණි දඩි බිඩි ගාලා ඇඳෙන් නැගිට්ටා. උදේ කලබලේ පිටත් වුණ නිසා එකත් එකටම තාරක මොකක්ම හරි වැදගත් ලිපි ගොනුවක් කාර්‍යාල කාමරේ අමතක කරලා වෙන්නැති කියලා ලිහිණිට හිතුණා. අවුල්වෙච්ච කොණ්ඩේ අත් දෙකෙන්ම හදාගෙන ඉස්සරහ දොර අරිනකොට තාරකට දෙන උත්තරේ ගැන ලිහිණිට කිසිම අදහසක් තිබුණේ නැහැ. 

තාරක අඩියට දෙකට පැනලා ලිහිණිව වෑඳගත්තා. ලිහිණිට ඒ අත් දෙක ඇතුලේ මහා හය්යක් දැනුනා.

“ෆෝන් එක ඕෆ් කරගෙන මොකද ළමයෝ.. මන්දිරා කතා කලාම මට හරියට බය හිතුණා…”

ආයේ, තාරකට කිසිම දෙයක් පැහැදිලි කරන්න ඕනි නැහැ කියම සැනසීමෙන් ලිහිණි ඉකි ගහන්න ගත්තා.

තාරක ලිහිණි සන්සුන් බව දැනෙනකල්ම එහෙම හිටියා . දෙන්නා සාලේ පඩිය උඩ ඉඳගන්නකොට විනාඩි පහළොවක් විතර ගිහින්. 

ලිහිණි තාරක දිහා බලලා තොල් පෙරලලා බොරුවට හිනා වුණා.තාරක බර සුසුමක් හෙලුව.

“මට සමාවෙන්න. මං කලබල උනා වැඩි…”

ලිහිණි එහෙම කිව්වා.

“අහන්නකෝ ලිහිණි.. ඒ පැජන්ට් එකට ඔයා ගියේ ඔයාගේ ආසාවට. ඔයාට ඕනි කිව්ව නිසයි මම ඇප්ලිකේශන් එක වුණත් ගෙනල්ලා දුන්නේ… අනෙක, ඔයාට ඒ පැජන්ට් එකේ දෙයක් කරන්න පුලුවන් බව හිතුණ නිසා…ගැලපුන නිසා… එතන වැඩ වුණ විදිය ඔයා දන්නවා.. මම දන්නවා… අනෙක , ඒවගේ වැඩ නොපිට හැරවෙන විදිත් මං ඔයාට කිව්වා. එහෙම තැන් වලට ඔයාට ඉඟිත් ලැබුණා… අපි ඒ ගැන කතා කරා…හිනා වුණා.. මතකනේ…? අනෙක, අපි ගරු කරන්න ඕනි අපිට ගරු කරන මිනිස්සුන්ට … සුවිමාලි මිස්ට උත්තර දෙන්නඕනි විදියට එයාට උත්තර දෙන්න….ඒකට කමක් නෑ…”

ලිහිනි ඔලුව වැනුවා. 

දෙන්නා ආයෙම ලෑස්ති වෙලා වරුවෙන් ඔෆිස් ගියා. ලිහිණිව බඳාගෙන ඉස්සෙල්ලාම සුබ පැතුවේ සුවිමාලි. ලිහිණි සුවිමාලිට ස්තූතියි කියන ගමන්, ලිහිණි මන්දිරා ළඟ ඉඳගත්තා. මන්දිරා ලිහිණි එක්ක විස්තර කතා කරන්න කලින් ලිහිණිගේ කම්මුල් දෙකම ඉම්බා. 

“හරිම ශෝක් කෙල්ල…ඒ ෆොටෝ වල ඔයා හරිම ලස්සනයි “

සුවිමාලි ත් මූනිච්චාවට හිනා වුණා. 

“තැන්ක්‍යූ මන්දිරා…”

“ඔව්වට ගියා වගේ නෙවෙයි, අන්තිමේදී තාරක  මල්ලීට අවැඩක්  එහෙම  කරනවා නෙවෙයි කෙල්ලේ ඈ…”

සුවිමාලි මිස් එහෙම කියලා හය්යෙන් හිනා වුණා. ලිහිණිත් ඒ හිනාවටම එකතු වුණා. 

” සුවිමාලි මිස්  රංජිත් අය්යාට අවැඩක් කරන්නේ නෑනේ මොකෝ මේ එහෙන් මෙහෙන් මිනිස්සු එක එක වාසි වලට නම්මගන්න හැදුවට… මං දන්නවා මගේ ලිමිට්…”

අලුත් මැනේජර් ගේ වාහනේට මඟින් ගොඩවෙන සුවිමාලිට දැනුණේ පිරිස මැද නිරුවත් වෙලා ගියා වගේ. සුවිමාලි ඒ බවක් නොතේරෙන්න හිනා වුණත්, ඇඟ ඇතුලෙන් ගැහෙන බවදැනුණා. එකත් එකටම ලිහිණි එහෙම කිව්වේ මොකක්ම හරි දැනගෙන වෙන්න ඕනි කියලත් සුවිමාලි ට වැටහුණා. සුවිමාලි කලේ කතාවෙන් කතාව බොරුවට ෆයිල් එකකට මූණ ඔබාගත්ත එක. රංජිත් ගේ ආදරණීය මූණ පේනකොට සුවිමාලිට පිච්චිලා යනව වගේ දැනුණා. ලිහිණිලට අවුරුදු හය හත බාල දූලා දෙන්නා මතක් වෙනකොට ඒ පිච්චිල්ල පපුවේ හිර වුණා.

“අද එන්න වෙන්නේ නෑ”

සුවිමාලි අලුත් මැනේජර් ට මැසේජ් එකක් දැම්මා. ඊට පස්සේ ලිහිණි දිහා බලලා ස්තූතියි කියලා හිතෙන් කිව්වා.

| අපේක්ෂා ගුණරත්න

More Stories

Don't Miss


Latest Articles