ආලෝක නික්ම ගිය පසු ප්‍රවීන් ඔවුන් ගේ ගෙදර ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි තවමත් ඔහු ට සිතා ගත නො හැකි ය.
ආලෝක සුමනරත්න කියන්නේ අහිංසකයෙකි. මීට පෙර ප්‍රවීන් කවරක් සිදු කළ ද ඔහු කර බා ගෙන නිහඬ ව සිටියේ ය. සූර්යා ට ඇසිඩ් ගැහූ වෙලාවේ කතා කොට කෑ ගැසූව ද එය දුරට දිගට ගෙන නො ගියේ නීතිය ඉදිරියේ යමක් ඔප්පු කරන්නට නම් සාක්ෂි උවමනා නිසා ය. සාක්ෂි හමු නොවෙන සේ මිනී මරන්නට වුව පුළුවන!
නමුත් අද දුටු ආලෝක මීට පෙර කිසි දාක දුටුවෙකු නොවේ. තමන් ගේ ම ගෙදරට ඇවිත් ඔහු සිය කමිස කරෙන් ද අල්ලා ඒ තරම් තර්ජනය කරත්දීත් ඔහු ට කළ හැකි වූයේ කුමක් දැයි ප්‍රවීන් සිතුවේ ය. යන්තම් එහෙන් මෙහෙන් වචනයක් දෙකක් කීවා පමණකි. එද සිය ගැලවුම පිණිස ය. ඒත් එතැන අප්සරා සිටි නිසාවෙන් ඈ ඉදිරියේ නිර්දෝෂී ස්වාමි පුරුෂයා ගේ භූමිකාව රඟන්නට ය. නො එසේ විණි නම් ඔහු ආබාධිතයෙකු සේ අකර්මන්‍ය ව ම හිඳිනු ඇත.
එය තනිකර ම ඒක පුද්ගල ප්‍රසංගයකි. නළුවා ආලෝක පමණක් වූයේ ය. දුෂ්ඨයා මුළුමනින් පරාජිත ව අත් පා හකුළා ගෙන සිටියේ ය. එය පුදුමාකාර දර්ශනයක් සේ තවමත් ප්‍රවීන් ගේ සිතේ හොල්මන් කරයි. ආලෝක ගේ චණ්ඩිකම් ඒ තරම් ප්‍රතාපවත් වෙතැයි ඔහු සිහිනෙනුදු හිතුවේ නැත. කන කොකා ගේ සුද පේන්නේ ඉගිලෙනකොට ය!
ප්‍රවීන් කියන්නේ දුෂ්ඨයෙකු වූවා ට ඔහු ට කිසි දා වීරයෙකු විය නොහැකි ය. අහිංසකයන් ඉදිරියේ පෙන්විය හැකි දුෂ්ඨ කම් වීරයන් අභිමුව හකුළා ගන්නට සිදු වන්නේ ය. මීට ටිකකට කලින් සිදු වූයේ ද එයයි.
ආලෝක නික්ම ගිය පසු ප්‍රවීන් ට රවා ගෙන ගෙතුළට ගිය අප්සරා ට හුඟක් දේවල් කල්පනා වන්නට වූයේ පමා වී ය. කොහොමටත් එහෙම පුරුද්දක් ඇය ට තියේ. ඉස්කෝලේ යන කාලේදීත් ළමයින් ඇයට විහළු කළේ සමහර දේවල් තේරෙන්නේ තැපෑලෙන් කියා ය.
ආලෝක මෙහි පැමිණීමේ අරමුණ තැපෑලෙන් තේරුම් යන කල්හි ඇය රොකට් එකක වේගයෙන් ප්‍රවීන් වෙත ගියා ය.
“සුමනරත්න ගෙ වයිෆ් එක්ක තමුන්ට තියන ගනු දෙනුව මොකද්ද…”
“වයිෆ්…”
ප්‍රවීන් සමච්චලයට සිනහ වුණේ ය.
“ඌට කොහෙද වයිෆ් කෙනෙක්…හොර එක මිසක්…”
“හොර එක හරි පොලිස් එක හරි මොකක් හරි…එයත් එක්ක තමුන්ට තියන සම්බන්දෙ මොකක්ද…”
“සම්බන්දෙ…මොන සම්බන්දයක්ද..”
ඔහු ට මොළයේ රත් වීමක් දැනිණ. විවාහක බිරිඳට හොර වැඩක් අහු වෙනවාට වඩා දිවි නසා ගැනීම පහසු ය. අප්සරා ඒ අංශයෙන් නම් පෙරමුණේ ම සිටියා ය.
“මාත් අහන්නෙ ඒක තමයි. නැත්තං මොකටද ඒ ගෑනිට ඇසිඩ් ගහන්න ගියේ…”
“අර යකාට පිස්සු..මං ගහපු ඇසිඩක් නෑ. අරූ ගෑනු දැකල නැති නිසා හොඳයි. ඒකනෙ චූඩාමාණික්‍යයක් කියල හිතං ඉන්නෙ”
“ඔව් ඔව්. මං මොකද නොදන්නෙ…අපේ මහත්තයනං හොඳ…ට ගෑනු දැකල තියනව. මොකටද ඉතිං මගෙ කට…ගෙදර ගෑනි මේ තරං දුකක් දරා ගෙන ඉන්නව. ඒ ගැන වගේ වගක් නෑ. කිව්වට කනකට ගන්නෑ. හැබැයි අනුංගෙ ගෑනු ගැන පරීක්ෂණ පවත්වන්න හොඳට වෙලා තියෙනව”
කාල බෝම්බ සේ ප්‍රවීන් ට ඒ වචන දැනිණ. කල් යල් බලා පත්තු වන්නට අටවා තිබූ බෝම්බ!
කොහෙන්වත් සැනසීමක් හෝ ගැලවීමක් නැති සැටියක් ප්‍රවීන් ට දැනුණේ ය.
උනුන් වැළඳ කඳුළු සැලීමෙන් පසු සූර්යා සෝෆාව මත හිඳ ගත්තා ය. සති කිහිපයක් තිස්සේ පාළුවට ගොස් තිබුණෙන් ගෙතුළින් පුස් ගඳක් හමනවා ඇය ට දැනුණේ ය. ඇය වායු සමීකරණය ක්‍රියාත්මක කළා ය.
ආලෝක නාන කාමරයේ සිට මුහුණේ තෙත පිස දමමින් විත් සෝෆාවේ අනිත් කෙළවර හිඳ ගත්තේ ය. මේ මොහොත හැරවුම් ලක්ෂයක් සේ සූර්යා ට දැනේ. නමුත් මෙතැනින් හැරී කොයිබ යන්න දැයි ඇය ට නො දැනේ.
දෙදණහිස් මත බර කළ දෙවැලමිට සහිත ව මඳක් ඉදිරියට නැඹුරු වී බිම බලා ගෙන කල්පනා කරන ආලෝක දෙස සූර්යා බලා ගෙන ම සිටියා ය. ඔහු ගේ හිතේ කේන්තිය තවමත් පහබව නො ගිය බව ඇය ට දැනේ. සත්තකට ආලෝක පීටර්ස් පෙදෙසට ගොස් සූර්යා ව රියෙහි දමා ගෙන පැමිණියේ හිතේ කේන්තිය පහ ව යන තුරු ඇය ට බණින්නට සිතා ගෙන ය. නමුත් ඒ සඳ කත් මිණි ඇස් වල වූ කැළඹීම දුටු විට ඔහු ගේ ආවේගය හිඳී ගියේ ඔහු ත් නොදැන ය. ඊටත් වඩා සිය පුතනුවන් කුසෙහි දරා ගෙන හිඳිනා ආදරණීය ගැහැනිය වචනයකින් හෝ පාරන්නට ඔහු ට හිත හදා ගත නො හැකි වූයේ ය. මොනවා සිදු වුව ස, මොනවා සිදු වෙන්නට නියමිත වී ද ඔවුන් දෙදෙනා අතරේ මේ මොහොතේත් තිබෙනුයේ ආදරය ම පමණකි. එය ආලෝක ට දැනේ. ආදරය පවත්නා තැනෙක වායු ගෝලීය අංශු පවා නිසසල ය. කැළඹීමකින් තොර ය. සැනසිලි සහගත ය. එය ආදරය කරනා හදවත් වලට දැනෙන්නා වූ නිසංසල බවකි.
ආලෝක සූර්යා ගේ උකුල මතින් හිස තියා ගෙන සෝෆාවේ හාන්සි වී ඇස් පියා ගත්තේ ය. මේ ඔහු ජීවිතයේ වඩාත් ම කැමති ඉරියව්වකි. ඇගේ උකුලේ හිස හොවා ගත් කල අම්මා ගේ උකුලේ හිස තියා ගත් කල දැනෙන්නා වූ සැනසිලි සුවය දැනේ. සූර්යා හෙමිහිට සිය රතැඟිලි තුඩු ඒ හිස කේ අතර රුවා හිස පිරිමැද්දා ය.
පුතා ත් ඇය ත් ඔහු ත්!
ඔවුන් තිදෙනා ම වඩාත් සමීප ව හිඳිනා බවක් ආලෝක ට දැනිණ.
“කොහොමද මාව දාල යන්න ගියේ…ම්…පුතාවත් අරං…මාව මේ ලෝකෙ තනි කරල…අසරණ කරල…මට කවුද ඉතුරු වෙන්නෙ එතකොට…”
“අනේ ආලෝක”
සූර්යා සිය අතැඟිලි වලින් ඔහු ගේ මුව වැසුවා ය. ළය පැළී මියෙතැයි ඇයට සිතිණ. ආලෝක ඒ අත අල්ලා ගෙන සිප ගත්තේ ය.
“අනිත් හැම දේටම වඩා මං ඔයාට ආදරෙයි දෙයියනේ. මං නිසා ඔයා විනාස වෙනව බලං ඉන්නෙ කොහොමද…කොහේ කොතනක හිටියත් මං ඔයාට ආදරේ කරන බව දන්නවනෙ…ඒකයි මං…ඔයාට ඔයාගෙ ජීවිතේ ඉතුරු කරල යන්න හැදුවෙ”
“මගෙ ජීවිතේ ඔයානෙ”
“අනේහ්…”
ඇය පහත් වී ඔහු ගේ කොපුලක් තදින් සිප ගත්තා ය. තවත් ටික වෙලාවක් ඒ කොපුල මත සිය කම්මුල තබා ගෙන ම කතා කළා ය.
“ආදරෙයි ආලෝක…මගෙ පණටත් වැඩිය. ඔයා වෙනුවෙන් ඕන දෙයක් අත් අරින්න මට පුළුවන්. මාවම වුණත්…”
“ආදරේ කියන්නෙ ලේසියෙන් අත් ඇරල දාන එක නෙවෙයි. අත් අරින්න හේතු ඕන තරං තියා ගෙනත් අල්ලගෙන ම ඉන්න එක…”
“එහෙම තමයි මං පහුගිය අවුරුදු විසි දෙකම හිටියෙ”
“මමත්…”
“ආලෝ…ක…”
ඔහු සිය ඉරියව්ව වෙනස් කරමින් සූර්යා දෙසට හැරී ඇගේ කුස සිප ගත්තේ ය.
“දැන් කොහොමවත් අත් අරින්න බැරි හේතුවක් තියෙනව සූර්යා. ආත්ම ගාණකට අත් ඇරෙන්න බැරි හේතුවක්. එයා ඇවිත්…මං කොච්චර කල් බලං හිටියද එයා එනකල්…”
සූර්යා ඇස් දෙක තද කොට වසා ගත්තා ය. මේ දැනෙන්නේ අසීමිත දුකක් ද අපමාණිත සතුටක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ඇය ට නුපුළුවන.
“තාත්තා කෙනෙක් වෙනව කියන එක පාරමිතාවක් සූර්යා. මගෙ ජීවිතේ තාත්තා කියන්නෙ වීරයෙක්. දේශපාලන වීරයෙක් කියල නෙවෙයි මං මේ කියන්නෙ. තාත්ත කෙනෙක් විදිහට වීරයෙක්. එයා වීරයෙක් වුණේ වචන වලින් නෙවෙයි. වැඩ වලින්. එතකොට මං අවුරුදු දහයක විතර කොල්ලෙක්. එයා මට කිව්ව ආදරේ කියන දේ අවංකව කරන්න ඕන කියල. අවංකව විඳින්නත් ඕන කියල. රට වෙනුවෙන් මැරෙන්න හිත හැදුනෙ ඒ ඇත්ත ආදරේ නිසා කියල. අම්මටයි මටයි වගේම රටටත් එයා ඇත්තටම ආදරේ නිසා කියල. ඉඳ හිට කට්ට කළුවරේ ගෙට ගොඩ වුණ මහ රෑට වුණත් තාත්තා මං නිදියන ඇඳ ළඟට ඇවිත් ඔළුව අත ගගා ටික වෙලාවක් ඉන්නව. තාත්තගෙ ඒ ආදරේ විඳින්න ඕන නිසා මං නිදි වගේ ඉන්නව. තාත්ත හුඟක් දේවල් කිව්වෙ ඒ වගේ වෙලාවල. මං නිදි නෑ කියල දැනගෙනද…නැත්තං නින්දෙන් වුණත් මට ඒව දැනෙයි කියලද…එහෙමත් නැත්තං මට ඒව ඇහෙන්නෙ නෑ කියල ශුවර් නිසාද කියල මං දන්නෙ නෑ. හැබැයි ඒ වගේ හරිම පුංචි මොහොතවල් වලට මං හරි ආදරේ කළා. තාත්තා මට මහ හුඟක් ආදරෙයි කියල කිව්වෙ ඒ වගේ වෙලා වලදි. ඒ ආදරේ නිසාම මටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් හදන්න ඕන කියල එයා කිව්ව. එතනදි එයාලට වැරදෙන්න ඇති. ඒත් ඒ අරමුණු හරිම උත්තරීතරයි. දේශප්‍රේමියෙක්ගෙ පුතා වෙච්ච නිසා මට බය නැතුව ඒක කියන්න පුළුවන්. තාත්ත කිව්ව එයා වගේම තාත්ත කෙනෙක් වෙන්න ඕන කියල දවසක මමත්. එයාට එයාගෙ පුතාව බලා ගන්න බැරි වුණත්…මං මගෙ පුතාව බලා ගන්න ඕන කිව්ව. මං මගෙ ජීවිතේට ලං වෙන ගෑනු කෙනාව බලා ගන්න ඕන කිව්ව. ඒ වගේ ම තාත්තට කරන්න බැරි වුණ දේ…එයාගෙ වයිෆ්ව…මගෙ අම්මව බලා ගන්න ඕන කියලත් කිව්ව. නිද් වගේ ඉඳගෙන මං ඒ පොරොන්දු ඔක්කෝම වුණා සූර්යා. මට ඒ පොරොන්දු කඩ කරන්න බෑ සූර්යා. ප්ලීස්…මට ඒ පොරොන්දු ඉෂ්ට කරන්න දෙන්න”
විටින් විට ආලෝක ගේ උගුර හිර වුණේ ය. වචන බිඳුණේ ය. නමුත් ඔහු පැහැදිලි ව කතා කළේ ය. නොනවතින කඳුළකින් සූර්යා ගේ ඇස් පිරී ඉතිරී තිබිණි. නමුත් ඕ ඔහු ට කතා කරන්නට හැරියා ය. ඒ මහා බරෙන් ඔහු නිදහස් විය යුතු ය. යුතු ම ය.
“පිරිමියෙක්ට කවුරු හරි ගෑනියෙක් එක්ක ළමයි හදන්න පුළුවන් තමයි සූර්යා. මන්දා…ඒත් මට එහෙම කරන්න බැරි වුණා. හැම හීනෙකම මගෙ දරුවන්ගෙ අම්ම වුණේ ඔයා. ඒ හීන මේ ආත්මෙ හැබෑ වෙන්න බැරි නං…ලබන ආත්මෙ දුරයි කියල කවදාවත් මං හිතුවෙ නෑ. සිදුහත් කුමාරය ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බැලුව කියනව. එයින් අන්තිම එක මව කියන්නෙ. ඒත් මං බලපු පළවෙනි සම අන්තිම එක ඒ. මගෙ පුතාට අම්ම වෙන්නෙ කවුද කියන එක. ඔයා ඇර වෙන කවුරුවත් ඒකට සුදුසුයි කියල කවදාවත් මට හිතිල නෑ. කවදාවත් මට දැනිල නෑ”
“මට සමා වෙන්න ආලෝක. අයිම් සොරි…අයිම් රියලි රියලි සොරි”
සූර්යා ඔහු ගේ හිස දෑතින් ම වැළඳ ගෙන සිටියා ය.
“තාත්තෙක් දරුවෙක්ට කොච්චර ආදරේ කරනවද කොච්චර ආදරේ කරන්න ඕනද කියල මං දැන ගත්තෙ මගෙ තාත්ත නිසා. මට එහෙම තාත්තා කෙනෙක් වෙන්න දෙන්න. එහෙම ආදරේ කරන්න ඔයා මාව බලා ගන්න සූර්යා”
ඇය ට කතා කර ගැනීමේ හැකියාවක් නොවූ තරම් ය. සූර්යා හිස සැළුවා ය.
“අපි කොතක් වගේ හැම පැත්තටම බැබලි බැබලි පේන පුතෙක් හදමු. ම්…”
“හ්ම්”
“බය වෙන්න එපා. ප්‍රවීන් දැන් මුකුත් කරන්නෙ නෑ”
“ඇයි..”
ආලෝක ගේ මුහුණට සිනහවක් ආවේ ය. එදා ඔහු ව දවන්නට සූදානම් වන වෙලාවේ දේශප්‍රේමියා ගේ දෙතොලතර තිබුණේ ත් ඔය සිනහව ම ය.
“මං දේශප්‍රේමියෙක්ගෙ පුතෙක්. කෙනෙක්ට ඒක කැරලිකාර ත්‍රස්තවාදියෙක්ගෙ පුතෙක් කියල වුණත් හිතා ගන්න පුළුවන්”
ආලෝක සූර්යා ගේ උදරයෙහි සවන තියා ගෙන අසා උන්නේ ය. ඇකුළේ ඉන්නේ පුතෙක් ද දුවෙක් ද කියා දන්නේ නැත. ඒ කවුරු වුණත් ඔහු ට පුතෙකි. පුතෙකු ට දුවක විය නො හැකි වී ද දුවක ට පුතෙකු වන්නටත් පුළුවන! සූර්යා වගේ දුවක කියන්නේත් පුතෙකි!!
“අම්ම මොනා කියයිද ආලෝක…”
ආලෝක උවමනාවෙන් ම අමතක කොට දමා සිටි ප්‍රශ්නය! ඔහු ලොකු හුස්මක් ගනිමින් ම සූර්යා ගේ උකුල් යහන මතින් නැගිට සෝෆාවේ හිඳ ගත්තේ ය.
“ඉස්සෙල්ලම ඩොක්ට ළඟට යමු. පුතා නිරෝගී ව ලොකු වෙන එකයි වැදගත් ම දේ”
ආලෝක සිය ජංගම දුරකතනය ගෙන දරු ප්‍රසූතිය වෙනුවෙන් ම වෙන් වූ පෞද්ගලික රෝහලක ඇමතුම් අංකය විමසුවේ ය.