සඳ කත් මිණි ඇස් – 34

කිරි මණ්ඩල මාවතෙන් හැරුණු රිය ඉදිරිය බලා ධාවනය වෙමින් තිබිණි. ආලෝක හිටියේ ජීවිතයේ සියල්ල අත් පත් කර ගත් මිනිසෙකු ගේ තෘප්තිමත් බවෙනි. ඒ බව ඔහු ගේ මුහුණ දකින  සූර්යා ට මැනවින් වැටහේ. ඔහු ට ඒ සතුට අහිමි කළේ වී නම් එය ආත්ම ගණනකට ගෙවා නිම කර ගත නො හැකි පාප කර්මයක් වන්නට ඉඩ තිබිණැයි සූර්යා සිතුවා ය.

රෝහල් රථ ගාලේ නැවතුණ රියෙන් මුලින් ම බැස ගත්තේ ආලෝක ය. ඔහු ඉක්මනට දිව ගෙන අනිත් පසින් විත් සූර්යා ට බහින්නට උදව් කළේ ඇය සත් මස් ගැබිණියක වූවා සේ ය. එසේ සිතෙත්දී සූර්යා ගේ මුහුණට සිනහවක් ද ආවේ ය. මේ ඇගේ ප්‍රථම ගැබ් ගැනීම නොවේ. නමුත් ඕනෑ ම ස්ත්‍රියක ට කවර දරු ගැබක් වුව එක සේ ම අගනේ ය. වෙනස් වන්නේ අත්දැකීම පමණකි.

“මට පුළුවන් ආලෝක”

ඔහු ඇය ගේ අතින් අල්ලා ගෙන රිය දොර වසත්දී සූර්යා මුදු ලෙස මිමිණුවා ය. නමුත් ආලෝක ඇගේ බඳට අත තබමින් ඇය ඉස්සර කර ගත්තේ ය.

“මේක මාර ෆීලින් එකක් ආලෝක. මං මීට කලිනුත් දරුවො දෙන්නෙක් හම්බ වෙච්ච අම්මා කෙනෙක්නෙ. ඒ කාලෙට ඇපේ ඇඟේ හෝමෝන් චේන්ජස් වෙන නිසාද මන්දා…ඒ මාස නවයම ගත්තොත් හැඟීම් කෝටි ගාණක් කියන්න පුළුවන්. එක තත්පරයක් එක හිතිවිල්ලක ඉන්න බැරි තරං. ඒ කාලෙ ගෙවා ගන්න ළඟ ඉන්න අයගෙන් මාර සපෝට් එකක් ඕනෙ. ස්පෙෂලි බබාගෙ තාත්තගෙන්

ආලෝක සූර්යා ගේ අතක් පරිස්සමට අල්ලා ගත්තේ ය. ඇයට මහ තුරක් යට දී දැනෙනා විදිහේ සිහිලසක් දැනිණ. සූර්යා සිය පෙම්බරා ගේ මුහුණ දෙස නිකට ඔසවා බලා මඳ සිනහවක් පෑවා ය.

“කලින් සැර වලදි මට කෑ ගහල අඬන්න හිතුණ වාර අනන්තයි. මන් දන්නෑ ඒ ඇයි කියල. ඒ කාලෙ මං දරුනු විදිහට ඔයාව අමතක කරන්න ට්‍රයි කරපු කාලෙ. මගෙ ලයිෆ් එක ජනිත් තමයි කියල හිතන්න ට්‍රයි කරපු කාලෙ. ඒත්…මන් දන්නෑ ආලෝක…සමහර වෙලාවට මට ම තේරුං ගන්න බැරි ෆීලිංස් මහ ගොඩක් හරියට සුනාමියක් වගේ මාව යට කරන්න හැදුව. මට දරා ගන්නම බැරි වුණ වෙලාවල් ආව. ජනිත් ඩොක්ට කෙනෙක් විදිහටයි මං දිහා බැලුවෙත්. ඕක ඕනම ගෑනු කෙනෙක්ට පොදු සාමාන්‍ය දෙයක්…ඕනවට වඩා ඉමෝශනල් වෙන්න එපා…සෙන්ටිමෙන්ටල් වෙන්න එපා කිය කියා තමයි එයා කිව්වෙ. දැං මට දැනෙනව. ඔයා මේ ඉන්නව වගේ මගේ පැත්තකින් ඉන්න කවදාවත් එයාට පුළුවන් වුණෙ නෑ. මං මේ එයාව ඔයා එක්ක කම්පෙයා කරනව නෙවෙවි…ඒත්… දරුවෙක් බඩේ තියං ඉන්න අම්ම කෙනෙක්ට මහා හුඟක් ආදරේ ඕනෙ. ඒක අපේ හස්බන්ල තේරුං ගන්න දවසක් කවද එයිද දන්නෑ”

ලියා පදිංචි කටයුතු වලින් පසුව ඔවුහු වෛද්‍යවරයා හමු වීම පිණිස අසුන් පෙළෙහි වාඩි වූහ. ආලෝක ට මෙය අලුත් ම අත්දැකීමකි. ඔහු  අම්මා ගේ කුසයට පැමිණි කල තාත්තා ගේ හදවතෙහි මොන තරම් කැළඹීමක් තිබෙන්නට ඇත්දැයි සිතන්නට ආලෝක ට උවමනා විය.

“බබාව දකින්න තව කොච්චර කල් ඉන්න ඕනද…නේද…”

ආලෝක සූර්යා ගේ අතැඟිලි පටලා ගත්තේ ය. මඳ කලබලකාරී බවක් ඔහු තුළ විය.

සූර්යා ආදරණීය මඳහසක් නගා ගත්තා ය. තාත්තෙකු වන්නට ඉවසීමක් නැතුව හිඳිනා මේ තරුණයා ගේ හිත තේරුම් ගන්නට බැරි කමක් ඇයට නැත.

“හ්ම්. ඇත්තටම දරුවෙක් බඩේ තියං ඉන්න මාස නවය අම්මා කෙනෙක්ට අවුරුදු නවයක් වගෙයි. මට මතකයි…කවද ඒ බරෙන් නිදහස් වෙන්නද කියල ඇඟිලි ගැන ගැන හිටියෙ.. දවස් ලං වෙන්න ලං වෙන්න ඒ නො ඉවසිල්ල වැඩියි. දවසකට දහ වතාවක් විතර කැලන්ඩර් එක බලනව.හරියට නිකං…හොද්ද ඉදෙනකල් ඉන්න පුළුවන් බෙදනකල් ඉන්න බෑ වගේ…”

සූර්යා ගේ ඇස් වල කොළ පාට දැන් වඩාත් දීප්තිමත් යයි ආලෝක  ට සිතිණ. ඇගේ කොපුලක් සිප ගන්නට උපන් සිතිවිල්ල ඔහු නතු කර ගත්තේ තැන ගැන හිතා ය.

ඔවුන් හිඳ සිටියේ පසු පසට වන්නට කෙලවරේ ය. එතැන සෙනග අඩු නිසා මේ කුරුලු යුවල කැපී පෙනේ. අනිත් අතට ඔවුන් දෙදෙනා ගේ ම මුහුණු වල වූ නො ඉවසිලිමත් බලාපොරොත්තු සහගත බව නිසා ඔවුන් වෙත දකින්නෙකු ගේ ඇස යොමු වූයේ නිරායාසයෙනි.

වෛද්‍යවරයා ගේ කුටියේ සිට පිටතට එමින් සිටි යුවළක් අතරින් කාන්තාව ගේ ඇස් වහා ම මේ කුරුලු යුවළ ගේ එකට පැටලී තිබි දෑත් ළඟ නතර විය. සාමාන්‍යයෙන් පෙම් කරනා කාලයේ අතිනත් පටලා ගෙන මග තොට ගමන් කරනා පෙම්වතුන් ඕනෑ තරම් දකින්නට පුළුවන. නමුත් යුග දිවියට එළඹි පසු ඒ අත් ගිලිහී යන්නේ ඔවුන් පවා නො දැන ය. හිමි කර ගැනීමෙන් පසු ඕනෑ ම දෙයක අසිරිමත් බව ක්ෂය වී යාම ඊට එක් හේතුවක් වන්නට පුළුවන. නීතියෙන් ම අත් බැඳුනු පසු ඒ අත් යළි නො ගිලිහෙතැයි යන විශ්වාසය ඊට තවත් හේතුවක් වන්නට පුළුවන. කෙසේ වෙතත් ගර්භණී සායනයකදී අතිනනත් පටලා ගෙන අසුන් ගෙන හිඳිනා යුවළක් යනු එතරම් සුලභ දර්ශනයක් නොවේ.

ඇය ඔවුන් දෙදෙනා දෙස බලා ගෙන ම ආවේ එබැවිනි. ඇය අලුත් බිරිඳක් විය යුතු යයි සූර්යා ගේ මුහුණ දෙස බැලූ කාන්තාව සිතුවා ය. ඇගේ වත කාන්තිමත් ය.  ප්‍රේමයෙන් ආතුර ය. එහෙම ගැහැනුත් මෙලොව සිටිතැයි ඇය සිතුවේ සුසුමක් පිට කරනා ගමන් ය.

ඇගේ ඇස් යන්තම් ආලෝක දෙස ට හැරී යළි ඉදිරියට යොමු විණ. යුවළ ආලෝක ව හා සූර්යා ව පසු කර යන්නට ඔන්න මෙන්න ව සිටියහ. ඒ පිරිමි රුවෙහි හුරුවක් දැනුණා වාගේ, ඉදිරියට යමින් සිටි කාන්තාව යළිත් සිය ඇස් ආලෝක වෙත ට යොමු කළා ය. එකෙනෙකි ඇගේ දෙපා නැවතිණ

“සුමනරත්න”

ඇය ට කියවිණ.

අප්සරා!

ආලෝකත් සූර්යා ත් ඔවුන් දෙස බැලුවේ එතකොට ය. පුටු පේළි දෙක අතරින් ඉදිරියට යමින් සිටි අප්‍සරා නතර වූයෙන්, ප්‍රවීන් ට ඇය පසු කොට යන්නට තරම් ඉඩක් එතැන වූයේ නැත. නො එසේ විණි නම් ඔහු එතැන නතර නොවී මග හැර යනවා නියත ය.

ප්‍රවීන් ගේ මූණ පුළුටු වී තිබුණත් අප්සරා හිටියේ සිනහවකිනි.

“සූර්යා මේ ප්‍රවීන් ගෙ වයිෆ් අප්සරා”

යනුවෙන් ඇය ව හඳුන්වා දෙන ගමන් ආලෝක සූර්යා ගේ අත මුදා ලමින් නැගිට ගත්තේ ය. සූර්යා ද ඒ අනුව නැගිට්ටා ය.

“සූර්යා ප්‍රෙග්නන්ට්ද…”

අප්සරා ගේ ප්‍රශ්නයට ආලෝක සිනහවක් නගා ගත්තා පමණකි. නමුත් සූර්යා පිළිතුර ලබා දුන්නා ය.

“ඔව්. දැන ගත්ත ගමන් තමයි ඩොක්ටව කන්සල්ට් කළේ. අප්සරාත්…”

“අනේ නෑ නෑ. තාම එහෙම වාසනාවක් නෑ”

අප්සරා ශෝකප්‍රාප්ත වත බිමට හරවා ගත්තා ය. ප්‍රවීන් ගේ මුහුණ පරාජිත හැඟීමකින් අඳුරු වී ගියේ ය. ‘අද ම මේ ගෑනිට මෙතනට එන්න වුණානෙ’ වැනි සිතිවිල්ලක් ඔහු ගේ සිත වසා ගෙන පැතිර ගියේ ය.

“මං ප්‍රවීන්ට කොච්චර කිව්වද අනේ ඩොක්ටර් කෙනෙක් ට ප්‍රශ්නෙ කියල ට්‍රීට්මන්ට්ස් ගමු කියල. කොහෙද…මෙයාට කිසි ගාණක් නෑනෙ. අදත් මං මේ බලෙන් වගේ එක්කං ආවෙ. අපි මැරි කරල අවුරුදු පහකුත් පහු වුණානෙ අනේ. හරිනං මීට කලින් මේව ගැන බලන්න තිබුණෙ”

එය වූ කලී තනිකර ම නෝක්කාඩුවකි. හිතේ තිබුණ දුක වමාරන්නට ඇය ට ලැබුණ කදිම අවස්ථාව කි. අප්සරා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා ය.

“වෙන වෙන විකාර කර කර ඉන්නව. ෆැමිලි ලයිෆ් එක ගැනනෙ මුලින් ම හිතන්න ඕනෙ”

“ඕව වෙලාවට වෙයි”

ප්‍රවීන් එසේ කීවේ මුණිවත ම රකින්නට හොඳ නැතැයි සිතුණ නිසාවෙනි. එතකොට ඔහු ගේ පරාජිත විලාශය කැපී පෙනේ. ආලෝක සිය ව්‍යාපාරික සගයා ගේ උරහිසකට තට්ටු කළේ කිසිදු අමනාපයක සලකුණක් ඉතිරි නොකරමිනි.

“සිදුහත් කුමාරය ඉපදුනෙත් පස් මහ බැලුම් බලලයි කියනවනෙ. පොඩි එකා තාම බල බල ඇත්තෙ…එන්න වෙලාව හරිද කියල”

ආලෝක සිනහ වෙමින් කීවේ එතැන සිත් තැවුලකට හේතුවක් නො වන බව අප්සරා ට දනවන්නට ය.

“ඩොක්ටර් ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තා. තව ටෙස්ටිංස් වගේකටත් එන්න කිව්ව. බලාපොරොත්තු තියං ඉන්නව ඉතිං”

“ඒ බලාපොරොත්තු ඉක්මනටම ඉෂ්ට වෙයි”

සූර්යා මුදු කාරුණික හඬකින්, අප්සරා ගේ අතක් ද අල්ලා ගනිමින් කීවා ය. ඇගේ ඇස් වලින් ඒ ප්‍රකාශයෙහි වන අවංක බව වඩ වඩාත් ප්‍රකාශ කෙරුණේ ය.

“අනේ තෑන්ක් යූ සූර්යා. ඔයාල වගෙ හිතන..කතා කරන අය හරි අඩුයි. දන්න හැම කෙනෙක් ම දැක්කොත් අහන්නෙ තාම මුකුත් වෙනසක් නැද්ද කියල. ඒකම මට මහ වදයක් වෙලා තියෙන්නෙ. මෙයාටනං ඉතිං කිසි ගාණක් නෑ”

“මිනිස්සුංගෙ කටවල් වලට ලොක් දාන්න බෑනෙ. නැද්ද මචං…”

ආලෝක යළිත් ප්‍රවීන් ගේ උරහිසකට තට්ටුවක් දැම්මේ ය. නමුත් මේ වන තුරු ප්‍රවීන් ආලෝක ට හරියට මුහුණ දුන්නේ නැත. සැබෑ පරාජිතයා තමන් ය යන හැඟීමෙන් මිදෙන්නට ඔහු ට හැකි වුණේත් නැත.

“සූර්යා දවසක ආලෝක එක්ක අපේ ගෙදර එන්න. මං ලන්ච් එකක් රෙඩි තරන්නං. කන්න ආස දෙයක් තියනවනං කියන්නකො මං හදල තියන්නං”

අප්සරා ඇරයුමක් ද කළා ය.

“අනේ තෑන්ක් යූ අප්සරා”

ඔවුන් උනුන් ගෙන් සමු ගත්තේ එතැන තව දුරටත් කතා කරමින් සිටින්නට සුදුසු තැනක් නොවන බව සිහිපත් වූවාක් මෙනි. යළි අසුන් ගත වූ ආලෝක ගේ දෙතොලතර සිනහවක් නළියමින් තිබිණ.

“අරූ සොලියුශන් එකක් හොයල තියෙන්නෙ වටේ පිටේ ගෑනුන්ගෙන්…වයිෆ් එක්ක ඩොක්ට ළඟට ඇවිත් නෙවෙයි”

“අප්සරා පව්”

“ආයෙත් ඔයා දිහා නං ඇහැක් ඇරල බලන්නෑ. ඒක මට ශුවර්”

වෛද්‍ය හමුවෙන් පසු ආලෝක රිය පැදවූයේ ඉතා හෙමිහිට ය. ඔහු ගේ හිත මත පැටවී බොහෝ දේ තිබිණි. ඒ සියල්ල පෙරපර ගලපා කිව නො හැකි තරම් ය. නමුත් එකින් එක නිවී සැනසිල්ලේ පිළිවෙල කර ගත යුතු ය.

“නටාෂාට කෝල් එකක් දීල කියන්න අපිත් එක්ක ඩිනර් අවුට් එකකට යං කියල”

ඇය ට සිය ජීවිත කාලය පුරා ම ස්තූතිවන්ත විය යුතු බවට හැඟීමක් ආලෝක තුළ වෙයි.

“හ්ම්. මටත් අල්ල ගන්න ඕන එයාව”

සූර්යා නටාෂා ට කතා කොට ඒ ගැන තීරණයකට ආවා ය.

“දළදා මාළිගාවටයි ශ්‍රී මහ බෝධියටයි බාර වෙමු. පුතා හම්බ වුණාම ඔප්පු කරන්න එනව කියල”

“එයා දුවෙක් වුණොත්…”

සූර්යා දෙතොල් උල් කොට ඇසුවා ය.

“කමක් නෑ. ඔයාගෙනෙ”

ඔහු ඇගේ හිස මත්තේ ඉක්මන් හාදුවක් තැබුවේ ය.

“කොහෙද මේ යන්නෙ…”

සූර්යා එක්වන එසේ ඇසුවේ අපාට්මන්ට් එක පහු වෙනු දැක ය. ආලෝක සන්සුන් ලෙස ඇගේ අතක් අල්ලා ගත්තේ ය.

“අපි අම්මට කතා කරල ඉමු. ඊළඟට ඕගොල්ලොන්ගෙ ගෙදර යමු”

සූර්යා දෙතොල් තද කොට සිනහ වූයා ය. නමුත් ආලෝක ට ඒ සිනහවේ වෙනසක් දැනිණ.

“බය වෙන්න එපා. අම්මගෙ රිඇක්ෂන් එක මොකක් වුණත් මං මේ අත අත්අරින්නෑ”

ඒ හඬෙහි ස්ථිරසාර බවක් විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles